වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




දුමින්ද නිරෝෂන් විශිෂ්ටතම නිර්මාණකරුවා

දුමින්ද නිරෝෂන් විශිෂ්ටතම නිර්මාණකරුවා

චීනයේ පැවැති 05 වැනි බීජිං බෙනාල් ජාත්‍යන්තර චිත්‍ර කලා ප්‍රදර්ශනයේදී සංස්කෘතික හා කලා කටයුතුª අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් නිර්මාණය ඉදිරිපත් කළ දුමින්ද නිරෝෂන් රටවල් අනූ එකක් අතරින් විශිෂ්ටතම නිර්මාණකරුවා ලෙස සම්මානයට පාත්‍ර විය.

ඔහුට හිමි සම්මානය හා සහතිකය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අතින් දුමින්ද නිරෝෂන් ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්. පී. වී. සී. පියතිලක මහතා ද පසෙකින් සිටියි.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපනෙත ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශනය තෙදිනක් ලයනල් වෙන්ඩ්ට් හිදී

කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ අවසන් වසර සිසුන් ඉදිරිපත් කරන උපනෙත ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශන උළෙල ලබන 22 වැනිදා සිට 24 දක්වා ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වේ.

මෙය සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර මෙවර පැවැත්වෙන්නේ 15 වැනි ප්‍රදර්ශනයයි.

ප්‍රතිබිම්බ කලා අංශයේ අවසන් වසරේ පබසරා රණසිංහ, අරවින්ද චන්ද්‍රපත්ම, නාලක සංජීව, අමන්දා ජයවර්ධන, චානුක සුධීර සහ සම්පත් දර්ශන විසින් ඉදිරිපත් කරන ඡායාරූප සහ පෞඩ බුවනෙක හා ප්‍රසාද් අලුත්වත්ත විසින් ඉදිරිපත් කරන කෙටි චිත්‍රපට මේ සඳහා ඇතුළත් වේ. මෙවර ප්‍රදර්ශනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් බැහැරව පවත්වන පළමු අවස්ථාව වේ.

‘සපත්තු මල සහ ප්‍රේමය’ 22 දා ලුම්බිණි රඟහලේ

නාමලී කොළඹමුදලි ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘සපත්තු මල සහ ප්‍රේමය’ නාට්‍යය මෙම 22 වැනි දා ලුම්බිණි රඟහලේදී වේදිකා කෙරේ.

ඔබ වහලෙක්ද, දොරගුළු අරින්න, පඹයා, වාරකන්, ඉසිදෝර් මුණිතුමා, සම්බුලා ගීත නාටකය වැනි නාට්‍ය ගණනක් රචනා කරමින් නිෂ්පාදනය කළ නාමලී කොළඹමුදලි ජා ඇල සත්සරණී රංගායතනයේ නිර්මාතෘවරිය ද වේ. නාමලී ගේ ‘හැරදා නොගිය නිසඳැස් කාව්‍ය සංග්‍රහය’ කෘතිය ද එදින එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

අධ්‍යයන කෘති ප්‍රදර්ශනය 6 – 18 දක්වා ලයනල් වෙන්ඩ්ට් හිදී

විභවි ලලිත කලා ඇකඩමියේ සිසුන්ගේ අධ්‍යයන කෘති ප්‍රදර්ශනය 16 වැනි දින සිට 18 වැනි දින දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයේ දී මානව රූපණ, නිශ්චල ද්‍රව්‍ය, භූමි දර්ශන, සොබා රූ සිත්තම්, ත්‍රිමාණ වස්තු ඉදිකිරීම, ළමා චිත්‍ර ආදිය ප්‍රදර්ශනය කෙරේ.

‘මාධ්‍ය මිතුරෝ’ මෙවර ‘රිදම් චැට්’ සමඟින්

මෙම 21 වැනි ඉරු දින රාත්‍රී 10.20 ට ජාතික රූපවාහිනිියෙන් විකාශය වන ‘රිදම් චැට්’ සංගීත වැඩසටහන සඳහා සහභාගි වන්නේ ගායන කුසලතා සපිරි පුවත්පත් කලාවේදීන් පිරිසකි.

ගාමිණී ජයලත්, අසංක දේවමිත්‍ර පෙරේරා, සිරිමෙවන් කස්තුරිආරච්චි, රමේෂ් උවයිස්, ටෙනිසන් එදිරිසිංහ, සඳුන් ගමගේ, ප්‍රදීප් නිශාන්ත හේරත්, සමන් ප්‍රියංකර නම්මුනිගේ එම මාධ්‍යවේදීන් වේ.

මනෝජ් පීරිස් සංගීත අධ්‍යක්ෂණය කරන ‘රිදම් චැට්’ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ප්‍රසන්න හෙට්ටිආරච්චිගෙනි. අසේල බණ්ඩාරනායක කථනයෙන් දායක වේ.

චිත්‍රපට සංස්ථාව කෙටි චිත්‍රපට තරගයට අයැදුම්පත් කැඳවයි

නිර්මාණශීලී හැකියාව ඇති යොවුන් පරපුර සිනමාව කෙරෙහි යොමු කිරීම, නවක නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇගයීම, මැන බැලීම සහ දේශීය සිනමා කර්මාන්තය කෙරෙහි ඔවුන් සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංස්ථාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කෙටි චිත්‍රපට නිර්මාණ තරගය මෙම වසරේ ද පැවැත්වීමට නියමිතය.

අයැදුම්පත් භාර ගැනීම එළඹෙන නොවැම්බරයේ 17 දිනෙන් අවසන්වේ.

සීනි නැති තේ කඩෙන්දී. ග. වතුර බීලා . . .

දී. ග. සෝමපාලගේ අලුත්ම ටෙලි නාට්‍යයට නවක නළුනිළියන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ මේ දිනවල සිදු කරනවා. දවසක් දීගට මේ සම්මුඛ පරීක්ෂණයක සිටින විටදී හදිසියේ තිබහක් දැනුණා.

ළඟ හිටපු ප්‍රවීණ කැමරා ශිල්පීන් දෙදෙනෙකුත් සමඟ අසල ඇති තේ කඩයට දීග ගොඩ වුණේ සම්මුඛ පරික්ෂණයට මඳ විරාමයක් තබමින්.

‘ළමයා අපිට තේ තුනක් ඕනේ, තව බනිස් මොනව හරිත් ගෙන්න’ කියූ දීග කඩයෙන් වාඩි වුණා. ‘මහත්තයා තේ ඕනේමද?’ කඩේ කොලුවා ඇසුවා.

‘ඇයි?’

‘නෑ මහත්තයා සීනි ඉවර වෙලා ඒකයි.’

‘එහෙනම් මේකේ තේ කඩේ කියලා ගහලා තියෙන්නේ’ දීගට තරහ ආව නිසාම කියැවුණා. ‘හරි එහෙනම් ඔය බනිස් එක්ක අපිට වතුර තුනක් ගේනවා’ දීග අහක බලාගෙනම පැවසුවා.

කඩේ කොලුවා දීග ඇතුළු පිරිසට ගෙනාවේ බෝතල් කළ පානීය ජලයයි. ‘මේ මොනවද ළමයෝ අපිට ඕනේ වීදුරුවලට වතුර, සල්ලිවලට නෙමේ’ කියූ දීග තම සගයන් දෙදෙනා සමඟ සීනි තේ නැති තේ කඩෙන් පිට වූයේ මුදලාලිට ද ඔරවමින් කියලා ආරංචියි.

‘පවර් ඔෆ් ඩාන්ස්’ 20 දා මීගමුව පුරහලේ

මීගමුව සිනේත්‍රා කලා ආයතනය සහ සිනේත්‍රා ඩාන්ස් ඇකඩමිය ඉදිරිපත් කරන සිනේත්‍රා ඩාන්ස් ඉන් කොන්සර්ට් ‘පවර් ඔෆ් ඩාන්ස්’ ප්‍රසංගය මෙම මස 20 වැනිදා සවස 5 ට මීගමුව පුරහලේදී පැවැත්වෙයි.

සිනේත්‍රා කලා ආයතනයේ සාම්ප්‍රදායික සහ නිදහස් අංග යටතේ නර්ථනය හදාරන සිසු සිසුවියන් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි වන මෙහි නර්ථන නිර්මාණය, මෙහෙයවීම නදීශානි පෙරේරාගෙනි.