වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රොමිතියස් දැන් අපි තනියෙන්

ප්‍රොමිතියස් දැන් අපි තනියෙන්

වක්‍රාකාර හැඩැති අභ්‍යවකාශයානයක් පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයකින් නික්මී යනු පෙනෙයි. වෙනත් ග්‍රහලෝක වැසියෙකු බුබුළු දමන කළු පැහැති දියරයක් පානය කරනු පෙනෙයි.

මිනිස් රුවට අතිශය සමාන හෙතෙම ප්‍රමාණයෙන් තරමක් විසල්ය. සැනින් හිස පසුපස සිට වේදනාවක් ඇති වෙන්නා සේ හිස බදා ගනිමින් වේදනාවෙන් දගලන ඔහුගේ සිරුර කැබලි වී යාමට පටන් ගනී. දිය ඇල්ලක් වෙත කඩා වැටෙන කැබලි වී ගිය ඔහුගේ සිරුර දිය ඇල්ල පාමුල පවතී. ඔහුගේ සිරුරේ කොටස් යළි ජීවය ඇති කර ගත හැකි වන පරිදි තැන්පත් වී ඇත. ඩී.එන්.ඒ අනුවක ස්වභාවය ගනිමින් මතුව එන ප්‍රොමිතියස් අකුරු සමඟ සිනමාපටය වෙත ප්‍රේක්ෂකයා තල්ලු කර දමන්නාක් මෙන් දැනේ. බුබුළු දමමින් දිය යට ගිලී යන ඔහුගේ සිරුරේ සුන්බුන් සමඟ දියේ ගිලී යන හැඟීමක් දැනේ.

දැන් අපව වසර 2089 ට රැගෙන යන්නේ පුරාවිදඥායන් කිහිප දෙනෙකුගේ මෘදු මිටි පහර කිහිපයකිනි. එළිසබෙත් ෂෙව් සහ චාලි හොලෝවේ දෙපොළ ස්කොට්ලන්තයේ ගල්ගුහාවකින් තාරකා සිතියමක් සොයා ගනී. අහස දෙසට අත දිගු කරගෙන සිටින මිනිස් රූපයක් සහිත මේ තාරකා සිතියම පුරාවිද්‍යාඥයන්ගේ හුස්ම මදකට නතර කරන සුළුය. මිනිසාගේ මූලය කොහිදැයි සොයන වේලෑන්ඩ් ආයතනයේ හිමිකරු ඒ වෙනුවෙන් අතිමහත් වියදමක් දරා 'ප්‍රොමිතියස්' නමින් සුපිරි අභ්‍යාවකාශ යානයක් තනයි.

ඔවුන් ගමන් කරන්නේ එල්.වී 223 නමැති දුරකතර සඳක් වෙතය. අභ්‍යාවකාශයට යන මේ ප්‍රොමිතියස් යානයේ සිටින අභ්‍යාවකාශගාමීන් සියලුම දෙනා තාවකාලික නිද්‍රාවකට පත් කර තිබෙනු පෙනෙයි. ඉන්ජිනේරුවන් ලෙස හදුන්වන මිනිස් උපතේ නිර්මාණකරුවන් සොයා යන මේ ගමනට එක් රොබෝවෙකුද ඇතුළත්ය. ඩේවිඩ් නම් මේ රොබෝවා පීටර් වේලෑන්ඩ්ගේ නිපැයුමකි. ඔහුම කියන ආකාරයට ඔහුගේ රොබෝ පුත්‍රයාය. වසර 2093 දී ගමනාන්තයට ළඟා වීමට නියමිත ප්‍රොමිතියස් අභ්‍යාවකාශ යානයේ භාරකාරිනිය ලෙස ක්‍රියා කරන්නේ පීටර් වේලෑන්ඩ්ගේ දියණියයි. ඈ විකර්ස් නමින් හදුන්වයි.

ප්‍රොමිතියස් නිකුත් වීමට පෙරම දැඩි අවධානයක් ලබා ගත් අලුත් මුහුණක් ඇති සිනමාපටයක් බව සඳහන්ව තිබුණි. සමාන්තර ලෝක,අද්භූත ග්‍රහලෝක,පිටසක්වල ජීවීන් ගැන කියැවෙන කතාන්දර බහුල සමයක ප්‍රොමිතියස් නව මුහුණක් ගෙන පැමිණ තිබුණ බවක් නම් නොපෙනේ. රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටය නිෂ්පාදනය කර තිබුණේ රිඩ්ලි ස්කොට්,ඩේවිඩ් ගිලර් සහ වෝල්ටර් හිල් විසිනි. තිර රචනය ජොන් ස්පේට්ස් සහ ඩේමන් ලින්ලොෆ් ගෙනි. මේ වසරේ ජූනි 08 වැනිදා සිනමාශාලා වෙත නිකුත් වූ ප්‍රොමිතියස් අමෙරිකානු ඩොලර් මිලියන 130 ක් වැය කර නිපදවූවකි.

මෙහි බොක්ස් ඔෆීස් වාර්තාව අමෙරිකානු ඩොලර් මිලියන 402.4 කි. නූමි රැපේස්.මයිකල් ෆැස්බෙන්ඩර්,ගයි පියර්ස්,ඉඩ්‍රීස් එල්බා,ලෝගන් මාර්ෂල් රංගනයෙන් එකතු වූ ප්‍රොමිතියස් ආරම්භයේ දී පටන් ගත් කතා තේමාව වඩාත් මුහුකුරා යන්නට ඉඩ නොදීම කණගාටුදායකය. මෙවන් සිනමාපට බොහෝ ගණනක් පසු කර සපැමිණි ප්‍රේක්ෂකයන් ආපසු ගමන් කරනු නොකැමැතිය. වර්ෂ 1979 දී තිරගත වූ 'ඒලියන්' සිනමාපටයෙන් පටන් ගත් මේ වර්ගයේ සිනමාපට රැල්ල 2007 තෙක් නොනැවතීම ගලා ගියේය.

ඒලියන්,ඒලියන්ස්,ඒලියන් 2,ඒලියන් 3,ඒලියන් රීසරෙක්ෂන්,ඒලියන් වෝසස් ප්‍රෙඩෙටර්,ඒලියන් වෝසස් ප්‍රෙඩෙටර්රෙක්වියම් හි දිගුවක් ලෙස තැනූ ප්‍රොමිතියස් වඩා දිගු පිම්මක් පැන ඇතැයි කිව නොහැකිය. නමුත් සිනමාපටය ආරම්භ වී කෙටි කාලයක් ඇතුළත උත්කර්ෂවත් ඉසව්වක් කරා ගමන් කරන බවක් හැඟී යන මුත් සිනමාපටයේ අර්ධයක් පමණ පසු කරන විට දියාරු ස්වරූපයක් නොසිතන ඉසව්වකින් මතුව එනු වලක්වනු නොහැකිය.

ප්‍රොමිතියස් සිනමාපටයේ අධ්‍යක්ෂ රිඩ්ලි ස්කොට්

1973 නොවැම්බර් 30 වැනිදා උපන් ස්කොට් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයෙකු ලෙස ප්‍රකටය. විශේෂයෙන්ම 'ඒලියන්' සිනමාපට ?රැල්ල පටන් ගත් ඔහු ඒ ආශ්‍රයෙන් සිනමා කර්මාන්තය ඇතුළත මහත් කැළැඹීමක් ඇතින් කළ අයෙකි. ඔස්කාර් සම්මාන දිනූ ග්ලැඩියේටර් සිනමාපටයේ අධ්‍යෂකවරයාද ඔහුය. රොබින් හුඩ් සහ ඇමරිකන් ගැන්ග්ස්ටර් ද ඔහුගේ සිනමාපටයෝය.

ප්‍රොමිතියස් යානය නව ග්‍රහලොව වෙතට ගොඩබසින මොහොතේ සිට සිනමාපටයේ සාමාන්‍ය ස්වභාවය උඩු යටිකුරු වෙයි. මෙතෙක් වේලා මනුෂ්‍යත්වයේ ආරම්භය ගැන සෙවීමට උනන්දුවෙන් පසු වූ විද්‍යාඥයන් සහ සෙසු උගතුන්ට සජීවීව ඒ අත්දැකීමට මුහුණ දීමට සිදු වෙයි. අනපේක්ෂිත ලෙස මේ ග්‍රහලෝකයේ දිවි ගෙවූ බවට සැලකිය හැකි ජීවියෙකුගේ හිසක් ප්‍රොමිතියස් යානය වෙත රැගෙන එන චාලි සහ එළිසබෙත් යුවළට එය පරික්ෂා කිරීමට උවමනා වෙයි. කාබන් පරීක්ෂණයක් මඟින් පිටසක්වල ජීවී හිස කොපමණ පැරැණිදැයි සොයා බලයි. එහි ඩී.එන්.ඒ අනු පරික්ෂාවක් සිදු කරයි. අපේක්ෂිත ලෙසම මේ පිටසක්වල ජීවියාගේ ඩී.එන්.ඒ අනු මිනිස් ඩී.එන්.ඒ හා සමාන බව සොයා ගැනේ. මිනිසාගේ පටන්ගැන්ම සිදු කර ඇති ග්‍රහලොව මෙයම බව තහවුරු කරගන්නා මොවුන්ගේ ඊළඟ අපේක්ෂාව කුමක් සිදු වී දැයි කරුණු සොයා බැලීමය.

මිනිසා සතු කුතුහලයත්,නොනවතින ආශාවත් මොවුන් සියලුන් දෙනාවම කුමන තැනක රදවනු ඇතිද? ස්වල්ප කුතුහලයක් සමඟ අල්ප කතා රසයක් සහිතව ඉදිරිපත් කරන ප්‍රොමොතියස් සිනමාපටය පිටසක්වල ජීවීන්ගේ සම්භවය ඉදිරිපත් කරන ආකාරයද තරමක් විකාර සහගතය.

ඩේවිඩ් නම් රොබෝවා විසින් අද්භූත ගල්ගුහාව තුළින් සොරකම්කරගෙන ආ ජීවී අනු සහිත බදුන තුළින් ගත් ජීවී යමක් චාලිගේ මත්පැන් බදුන තුළට රහසිගතව කලවම් කරයි. එය පානය කිරීමෙන් අනතුරුව චාලි සහ එළිසබෙත් අතර සුළු හිත් නොහොද වීමක් ඇති වෙයි. ඒ එළිසබෙත් හට දරුවෙකු ලැබීමේ සරු බවක් නැති වීම හේතුවෙනි. අවසන මේ යුවළ සංවාසයෙන් සැනසෙයි. උදෑසන චාලි ගේ ඇස තුළින් ජීවී යමක් ගමන් කරනු ඔහුටම පෙනෙන අතර ඔහු වඩාත් කැළඹීමට පත් වෙයි.

අවසන ඔහු පිටසක්වල ජීවී අංශුව හේතුවෙන්ම මරණයට පත් වෙයි. එළිසබෙත් ඔහුගේ වියෝවෙන් වැළැපෙන එළිසබෙත්ව පරික්ෂා කරන ඩේවිඩ් ඈ මාස තුනක ගැබිණියක බව සොයා ගනී. ඇගේ කුස තුළ පිටසක්වල ජීවියෙකු වැඩෙන බව දැනගෙන ඩේවිඩ් අමුතු සතුටකට පත් වෙයි. එළිසබෙත් ස්වයංක්‍රීය යන්ත්‍රයක් උපයෝගී කරගෙන කළලය ඇගේ කුස තුළින් එළියට ගනී.

මෙතැන් පටන් සිනමාපටය විස්වසනීයත්වයෙන් බොහෝ ඈතට ඇදී යන බවක් පෙනේ. මන:කල්පිතයක් තුළ වුවද ගොඩනැගිය හැකි විස්වනීයත්වය පිළිබද එතරම් තැකීමක් නොකරන ප්‍රොමිතියස් අගනා කතා තේමාවක් මත සැකසූ අසාර්ථක සිනමාපටයක් ලෙස හැසිරෙන්නේ මන්දැයි නොදනිමි. කෙසේ නමුත් වඩාත් ආකර්ශනීය නමක් සමඟ පෙනී සිටි ප්‍රොමිතියස් හි සාධනීය ලක්ෂණ ද අමතක කර දැමිය යුතු නොවේ.

සිනමාපටය පුරා වැඩි සෙල්ලම් පාන ත්‍රිමාණ සජීවිකරණ ප්‍රයෝග අති විශිෂ්ටය. විශේෂයෙන්ම ප්‍රොමිතියස් යානය සහ සෙසු භූමි දර්ශන සැකසීමේදී යොදා ගෙන තිබෙන හුරුබුහුටි බව පැසසුම් ලැබිය යුතුය. 2012 වසරේ හොඳම සිනමා ට්‍රේලරය ලෙස ගෝල්ඩන් ට්‍රේලර් සම්මානයට සහ හොඳම සංගීත සංස්කරණයට නිර්දේශ විය. එමෙන්ම මේ වසරේම ටීන් චොයිස් සම්මාන උළෙලේ ග්‍රීෂ්ම සෘතුවේ තිරගත වූ හොඳම සිනමාපටය සහ ග්‍රීෂ්ම සෘතුවේ හොඳම නිළියට හිමි සම්මානයට නිර්දේශ විය.