වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝති සමඟ මුල් වරට චිත්‍රපට යුග ගී ගැයූ ගායිකාව
 ගී ගැයූ චිත්‍රපට සියල්ලම තාත්තා තැනූ චිත්‍රපට

ජෝති සමඟ මුල් වරට චිත්‍රපට යුග ගී ගැයූ ගායිකාව

- ස්වර්ණා අබේරත්න

ශ්‍රී ලාංකේය සිනමාවේ ආරම්භක කතානාද යුගය තුළ අපේ යැයි කියත හැකිව තිබුණේ රංගන ශිල්පීන් හා සිංහලෙන් ඇසුණු දෙබස් හඬ පමණි. කොටින්ම නිවැරැදි ස්වර ස්ථාන හා තාල මත රැඳුණු නිවැරැදි සිංහල වචන උච්චාරණය සහිත ගායනයක් අසන්නට නොලැබුණි.

මෙකී තත්ත්වය වෙනස් වූයේ සිංහල ගායන ශිල්පීන් කිහිප දෙනකු එතැනට පත්වීමෙන් ඉක්බිතිය.

එවන් පැරැණි ගායිකාවන් අතළොස්ස අතුරින් ස්වර්ණා අබේරත්න ද කෙනෙකි. ඉතාමත් දිගු කාලයකට පසු ඇය මට සංහිඳ සංගීතමය වැඩ සටහනකදී හමු විය. එහිදී අප බොහෝ අතීත තොරතුරු කතාබස් කිරීමට කාලය බිඳක් වෙන්කොට ගතිමි.

* ඇත්තටම දැන් ඔබ ලංකාවේ පදිංචියෙන් ඈත් වෙලාද?

මගේ තුෂාරි දුවත් එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. හැබැයි හැම අවුරුද්දකම මගේ උපන් දිනයටත්, නත්තල් උත්සවයත් සමරන්න ලංකාවට එනවා. ඒක අනිවාර්යයි.

* එතකොට ඔබේ උපන් දිනය යෙදිලා තියෙන්නේ නත්තල් දිනටද?

නැහැ. දෙසැම්බර් 10 වෙනිදාට.

* එහෙම නම් අපි ඔබේ ජීවන තොරතුරු ටිකක් විමසා බලමුකෝ?

මම ඉපදුණේ 1940 අවුරුද්දේ කැලණිය පෙතියාගොඩ . මගේ සම්පූර්ණ නම ස්වර්ණා තෙරේසා මෙල්සියා අබේරත්න. මගේ පියා සිරිල් පී. අබේරත්න බව අමුතුවෙන් කියන්න උවමනා නැහැ. මව නමින් මේරි ගර්ටෲට් අබේරත්න. ඇයත් පියා වගේ වෘත්තියෙන් ගුරුවරියක්. මම පවුලේ වැඩිමලා. මගේ සහෝදරයා ඇන්ටන් කනිෂ්ඨ අබේරත්න. ඔහු සුරඟනී චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ ළමා කාලයත්, තරුණ වියේදී සුමුදු භාර්යා චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකුත් රඟපෑවා.

අද ජීවතුන් අතර නැහැ. 2007 රිය අනතුරකින් මිය ගියා. මම ඉගෙන ගත්තේ වරාගොඩ ශාන්ත පාවුළු බාලිකා විදුහලෙන්. වරින්වර මදුරාසියේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේත් ඉගෙන ගත්තා. ඒ ඉන්දියාවට ගිය කාලවල.

* ඔබ කලා කටයුතුවලට යොමු වෙන්නේ කොහොමද?

මම පුංචි සන්ධියේ ඉඳලාම ගීත ගායනයට හරිම ආසයි. පල්ලිියේ කන්තාරු කණ්ඩායමෙත් සාමාජිකාවක්ව හිටියා. බ්‍රසල්ස් ආධුනික පැය ගුවන් විදුලි වැඩ සටහනකට ජේසු බිළින්ඳා ගැන ගීතයක් ගායනය කළා.

* ඒ කියන්නේ ඔබේ කලා දිවිය ඇරැඹෙන්නේ ගායනයෙන්?

එහෙම කිව්වත් වැරැදි නැහැ. ගුරු වෘත්තියෙන් වේදිකාවට පිවිසෙන මගේ පියා කොළඹ යුනයිටඩ් ආර්ටිස්ට් නාට්‍ය සමාජය කියලා නාට්‍ය සංගමයක් පිහිටුවනවා. එහි පික්ලි ඩි ලංකා හා සැකය යන නාට්‍යවල බේබි ස්වර්ණා නමින් රඟපාමින් ගීත ගායනය කළේ මම.

ඔය සැකය කියන නාට්‍යය පසු කාලයක සුභද්‍රා නමින් චිත්‍රපට ගතවෙද්දී මගේ චරිතය රඟපෑවේ වින්සන්ට් ද සිල්වා නම් ළමා නළුවෙක්. ඔහුත් එහි ගීත ගායනය කළා. මා දන්නා තරමට ඒ ළමයා ටවර් හෝල් නළු රොම්ලස් ද සිල්වාගේ පුතා.

* ඔබ චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන සුරඟනී චිත්‍රපටය ගැන වැඩි විස්තර මතකද?

සුරඟනී චිත්‍රපට කතාව පියා පොතක් හැටියටත් 1954 පළ කොට තිබෙනවා. ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයත් එයයි. සුරඟනී චිත්‍රපටයෙන් මම විතරක් නෙමෙයි ජී. එස්. බී. රාණි පෙරේරාත් චිත්‍රපට පසුබිම් ගායනයට අවතීර්ණ වෙනවා. ඇය චිත්‍රපටයේ චරිතයකුත් රඟපෑවා. ඇගේ සැමියාත් ඉන්ස්පැක්ටර්වරයකු ලෙස රඟපෑ බවත් මතකයි. ප්‍රධාන චරිතය රඟපාන දිස්නා රංජනී, උප ප්‍රධාන චරිතය රඟපෑ කාන්ති ගුණතුංග වගේම නළඟනක් විදියට ප්‍රෙමිලා කුරුප්පු තිරයෙන් දකින්නේ ඒ චිත්‍රපටයෙන්.

* සුරඟනී චිත්‍රපටයේ ඔබ ගීත කීයක් ගායනය කොට තිබෙනවාද?

රාණි පෙෙරේරා සමඟ දීපේ ශ්‍රී ලංකා දිලෙනා නාමාවලී ගීතයත්, ආලෝකේ සන්ධ්‍යාවේ ශ්‍රීයදේ හා සේයාව ඇඳුණා රූපේ කියන කේවල ගීතත් ගායනය කළා. සේයාව ඇඳුණා රූපේ ගීතය 1953 තිරගත ලඩ්කි හින්දි චිත්‍රපටයේ ගී තනුවකට ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වායි පද රචනය කළේ. අනෙක් ගීත දීපේ ශ්‍රී ලංකා දිලෙනා හා තෙළිගු තනුවක් අනුව ආලෝකේ සන්ධ්‍යාවේ ශ්‍රීයදේ පියා ප්‍රබන්ධය කොට තිබුණා.

* ඊළඟට ඔබ පසුබිම් ගායනයට එකතු වෙන්නේ සුරතලීගෙන් නේද?

සුරතලී චිත්‍රපටයේ මූලික කටයුතු සම්පාදනය කරද්දී පියා මාව ඒකට සම්බන්ධ කර ගන්න තීරණය කළේ නැහැ. හේතුව මගේ ඉගෙනීමේ කටයුතු අඩාල වෙයි කියලා. ඒ වුණාට සුරතලී චිත්‍රපටයේ ගීත ගායනය කරන්න දෙන්න කියලා මම පියාට ඇවිටිලි කළා. දුන්නෙ නැත්නම් මැරෙන බවටත් ප්‍රතිඥා දුන්නා.

* පියා බයටම සුරතලී චිත්‍රපටයේ පසුබිම් ගායනයට ඉඩ දුන්නා?

පියකු තම දරු මල්ලන්ට තරම් ආදරය කරන වෙන වස්තුවක් නැහැ. ඒ හින්ද මගේ තදබල ආශාවට ඉඩ දුන්නා. මම සුරතලීට ගීත හතරක් ගායනය කළා.

* සුරතලීට ගායනය කළ එම ගීත ගැන විස්තරයක් කරන්න.

සුරතලී චිත්‍රපටයේ මුලින්ම පටිගත කළේ ප්‍රේමේ මෝරණ කාලේ ගීතයයි. එය සමූහ ගීතයක්. ගීත ගායනයට රාණි පෙරේරා, ධර්මදාස වල්පොල, එච්. ආර්. ජෝතිපාල හා මා එක් වුණා. චිත්‍රපටයේ එන පුදුමෙකි ලෝකේ අවසන් ගීතය ගායනය කළේත් මේ පිරිසමයි.

මම සුරතලී වෙනුවෙන් ගායනය කළ ආලෝකේ දේය මා හදේ ගීතයේ සහාය ගායකයා ජෝතිපාල. මේ අනුව ඔහුගේ පළමු චිත්‍රපට යුග ගායිකාව මා බව සඳහන් කරන්න කගෙන්වත් සහතික අවශ්‍ය නැහැ. මා ගැයූ දැවුණා ප්‍රේම ගිනි ජාලේ කේවල ගීතය සිරිමතී රසාදරීට පසුබිම් ගැයුමක්. මේ ගීත සියල්ලේම පද රචකයා ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා.

* සුරතලී ගැන තව බොහෝ දේ කතා කරන්න තියෙනවා නේද?

ඇයි නැත්තේ. 1949 පෙන්නූ බර්සාත් හින්දි චිත්‍රපට කතාව පසුබිම් කොට ගත් සුරතලී මුල් යුගයේ සිංහල චිත්‍රපට අතර හිට් එකක්. සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් චිත්‍රපට නිෂ්පාදනයට මුල පුරන්නේ ඒ චිත්‍රපටයෙන්. ලීනා ද සිල්වා, ආනන්ද ජයරත්න, එල්. එම්. පෙරේරා සිනමාවට හඳුන්වා දුන් සුරතලී තමා අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලට චිත්‍රපට පසුබිම් ගායන ලෝකයේ දොර විවර කර දුන්නේ.

* සුරතලීට පසුව ඔබ සම්බන්ධ වූ අනෙක් චිත්‍රපට මොනවාද?

මගේ අවසන් ගීත ඇතුළත් වෙන්නේ සුභද්‍රා චිත්‍රපටයේ. එහි මම ගීත පහක් ගායනය කොට තිබෙනවා. එයින් මේ දීපේ සිංහලේ හා ප්‍රාණේ පුදන්නම කියන ගීත ජෝතිපාල සමඟ ගායනය කළා. බාරි මගේ නටාපන් කෝ ඩොමී ජයවර්ධන හා ඔස්මන් ළමාහේවා එක්ක ගායනය කළ මම ගුඩ් ලක් ටු යූ මයි ඩාලිං හා පතිවත මා රැකි ගීත තනිවම ගායනය කෙරුවා. කරුණාරත්න අබේසේකර ප්‍රබන්ධය කළ එම අවසන් ගීතය හැර සෙසු ගීත පබැඳුවේ පියා විසින්.

* සුභද්‍රාගෙන් පසු ගීත ගායනයෙන් ඉවත් වීමට හේතුවක් තිබුණාද?

ඔව්. සුභද්‍රා චිත්‍රපටයේ නිෂ්පාදනයට හවුල් වූ සෙබස්තියන් රෝයි ඉද්දමල්ගොඩ සමඟ විවාහ වීම නිසා ගායනයෙන් ඈත් වුණා. ඒත් ඒ අතර පියා නිපදවීමට ගොස් ඇනහිටි චිත්‍රපට දෙකක ගීත කළත් තිරයෙන් ඇසුණේ නැහැ. එකක් සකුන්තලා බස් සමාගම නිපද වූ සුදු මැණිකා. එහි සිඩ්නි ආටිගල සමඟ යුග ගීතයක් ගැයුවා. පියා අධ්‍යක්ෂණය කිරීමට තිර පිටපත ලියූ සංගීතා චිත්‍රපටය සඳහා ගැයූ ගීතයත් අතීත මතකයන් අතරට පමණක් සීමා වෙලා.

* ඔබ පියාගේ චිත්‍රපටවල හැර වෙනත් ගීත ගායනය කොට තිබෙනවාද?

නැහැ. ගුවන් විදුලි හෝ ග්‍රැමෆෝන් තැටියකටවත් ගීතයක් ගායනා කරලා නැහැ. ඒ වගේම තිරයෙන් ඇසුණු මගේ ගීත සියල්ලේම සංගීත අධ්‍යක්ෂවරයා එක් කෙනෙක්. ඔහු ටී. ආර්. පාපා. හරිම දක්ෂ, නිහතමානී සංගීතඥයෙක්. ඔහුගේ තනුවකට ගීතයක් ගැයීමට ලැබීමත් භාග්‍යයක්.

ළඟදී ඔබ සංයුක්ත තැටියකට ගීත ගායනය කළා නේද?

මගේ ලොකු පුතා තේජා ඉද්දමල්ගොඩ නිෂ්පාදනය කළ සිහින මල් පිපිලා සංයුක්ත තැටියට හා කැසට් පටයට මගේ චිත්‍රපට ගීත 12 හා අලුත් ගීත දෙකක් ගායනය කළා. නව සංගීත සංයෝජනය කළේ තුෂාර කුරුවිට.

ගායනයෙන් නලීන් පෙරේරා, මරියසෙල් ගුණතිලක, රොනී ලීච් සහාය වුණා. මීළඟට ලබන වසරේ මගේ පියාගේ චිත්‍රපටවලින් ඇසුණු ජනප්‍රිය ගීත 16 සංයුක්ත තැටියක් කිරීමට අදහස් කරනවා. එහි ගායනය මගේ මුණුබුරා වන සංගීත් ඉද්දමල්ගොඩට පවරනවා. ඔහුත් සමඟ යුග ගායනය කරන්නේ මමයි. ඒක පරම්පරා හතරක සංකලනයක්.