වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රීදේවි යළිත් පෙරමුණට

ශ්‍රීදේවි යළිත් පෙරමුණට
 

මධුරී - ශ්‍රීදේවි සමානකම් රැසක්

 ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’ ශ්‍රීදේවි නම් යුගයක සුපිරි තාරකාවගේ පුනරාගමනයයි. මේ වන විට ඒ සිනමාපටය ලොව ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වන්නේ යළි සිනමාවේ දිගු ගමනක් යාමට ශ්‍රීදේවිට ශක්තියක් ලබා දෙමිනි.

පසුගිය ඔක්තෝබර් පස් වැනිදා හින්දි, දමිළ සහ තෙලිඟු භාෂාවලින් සිනමාපටය තිරගත විය. සිනමාපටයේ පූර්ව දර්ශනය 2012 ටොරොන්ටෝ අන්තර් ජාතික සිනමා උළෙලේදී පැවැත් වූ අතර සිනමාපටය සහ ශ්‍රීදේවිගේ රංගනය කාගේත් ඇගැයුමට ලක් විය.

ඇය මෙහි රඟන්නේ ලඩ්ඩු විකුණමින් නිවෙසට අමතර ආදායමක් සොයා ගන්නා මැදි වියේ බිරියකගේ චරිතයකි. (චරිතයේ නම ශෂී ගොඩ්බෝලේ). ඉංග්‍රීසි නොදන්නාකම නිසා සැමියා සහ දූවරුන් ඉදිරියේ අසරණ වන ඇයට, නිව්යෝර්ක්හී ලේලියකගේ මංගල්‍යයට උදව් වීම සඳහා එහි යාමට සිදු වෙයි. එහිදී සති හතරකින් ඉංග්‍රීසි ඉගෙන ගෙන ඇය කරන වික්‍රමය හරිම අපූරුය. එහි අපූර්වත්වය විඳි ප්‍රේක්ෂකයන්ගෙන් ශ්‍රීදේවියට ලැබෙන සුබවාදී ප්‍රතිචාරවලින් මේ දිනවල අඩුවක් නැත.

ශ්‍රීදේවි අධ්‍යක්ෂිකාවක සමඟ වැඩකළ පළමු අවස්ථාව මෙයයි. පා චිත්‍රපටය නිර්මාණය කළ ආර්. බල්කි අධ්‍යක්ෂවරයාගේ බිරිය ගෞරී ෂින්ඩේ මෙහි අධ්‍යක්ෂිකාවයි. ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් ගෞරීගේ ද මංගල අධ්‍යක්ෂණයයි.

අමිතාබ් බච්චන්ගේ කෙටි රංගනයක් ද සිනමාපටයට ඇතුළත් වී තිබේ.

ශ්‍රීදේවි මේ දිනවල පසුවන්නේ හදපිරි සතුටිනි. ඇය පවසන පරිදි ශෂී ගොඩ්බෝලේ යනු ඇයගේ විශිෂ්ටතම රංගනයකි. දූවරුන්ට මහත් අභිමානයෙන් සිනමාපටය පෙන් වූ ඇය කියන්නේ මුනුබුරු මිනිබිරියන්ට ද තම රංගනය ආඩම්බරයකින් පෙන්විය හැකි බවයි.

තම දියණිවරුන්ට උගන්වා, ඔවුන් ඉක්මනින්ම විවාහකර දීමට බලාපොරොත්තු වන බව ශ්‍රීදේවි පැවැසුවත්, වැඩිමල් දියණිය ජාන්වී බොලිවුඩයට පිය මනිමින් සිටින බව බොහෝ දෙනාගේ අදහසයි. අනාගතයේදී කරන දේ ගැන තාම ජාන්වී සිතා නැති බව මාපියන් පවසන්නේ සැබෑවටම ද? ක්‍රම ක්‍රමයෙන් ඇය බොලිවුඩ් පුරයට පා තබමින් සිටින බව තතු දන්නෝ පවසති. ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’ නැරැඹීමට පැමිණි ජාන්වී මව සමඟ කැමරාවට මුහුණ දුන් ආකාරය, නර්තන පන්ති යාම, ජිම් යාම සිනමා ගමනයට පූර්ව සූදානමක් බව කියැවෙයි. ශ්‍රීදේවි සිනමා රංගනයට පිවිසියේ සිවු හැවිරිදි වියේදීයි. එසේ නම් පහළොස් හැවිරිදි ජාන්වීට සිනමාව අකැප තැනක් වන්නේ කෙසේ ද?

ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් තිර පිටපත දුටු සැනින්ම ශ්‍රීදේවි එය උකුස්සකු මාළුවකු ඩැහැ ගන්නා පරිද්දෙන් තමන් සතුකර ගැනීමේ රහසක් ඇත. ශ්‍රීදේවි තමිල්නාඩුවෙන් බිහි වූ නිළියකි. බොලිවුඩයට පිවිසි පසු හින්දි හා ඉංග්‍රීසි භාෂාවන්ට දුර්වල වූ ඇය අභියෝග රැසකට මුහුණ දුන්නාය. සිනමාපටවල දෙබස් කියවීමේදී මෙන්ම ක්ෂේත්‍රයේ අය සමඟ කතාබහ කිරීමේදීත් භාෂා දැනුම ඇයට ගැටලුවක් වූ අවස්ථා එමටය. අවසානයේදී ශෂී මෙන් ඇය ද සියල්ල ජය ගත්තාය. අධ්‍යක්ෂිකා ගෞරීගේ මව ද භාෂා ප්‍රශ්නය නිසා අසරණ වූ අයෙකි.

සිනමාපටය නිසා ශ්‍රී සහ ගෞරී අතර ගොඩ නැඟුණේ අපූරු මිතුදමකි. වසර පහළොවක නිහැඬියාවකින් පසු හතලිස් නම හැවිරිදි දෙදරු මවක් ලෙස රඟන්නට පැමිණි ශ්‍රීදේවි ගැන ගෞරීගේ සිතේ තිගැස්මක් ඇති වීම අස්වාභාවික නැත. යුගයක රාජිනියට යළි රසික ආකර්ෂණය දිනා ගත හැකි වේවි ද? එසේ නොවුණොත් කුලුඳුල් නිෂ්පාදනයෙන්ම තමා දැඩි අසීරුතාවකට පත්වෙන බව ඇය හොඳින්ම දැන සිටියාය. එහෙත් ශ්‍රී කැමරාව ඉදිරියට පැමිණි පසු ඇය නම් අධ්‍යක්ෂවරයාගේම නිළියක බව ගෞරී තේරුම් ගත්තාය.

‘ලතා ජී වයස අසූ ගණනක හිටියත් තවමත් ගී ගයනවා වගේ ශ්‍රීදේවිටත් ඕනෑම කාලයකදී ඕනෑම වයසකදී රඟපාන්න පුළුවන්’ ගෞරී නොපැකිළව ශ්‍රී අගයන්නීය. දැන් ඇයට ශ්‍රීදේවියගෙන් තොර නිළියක ගැන සිතීමටත් අසීරුය. ශ්‍රීගේ අසමසම හැකියාව සහ ප්‍රියමනාප ගති ගුණවලට ඇය වශීකෘත වී සිටින්නීය.

වසරේ විශාලම සහ අති උත්කර්ෂවත්ම සිනමා පූර්ව දර්ශනය වූයේ ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’ ය. ශ්‍රීදේවියට සුබ පතන්නට ක්ෂේත්‍රයේ සුපිරි තරු රැසක්ම එදින පැමිණ සිටියහ. ඒ අතර අමිතාබ් – ජයා, මධුරී, ශිල්පා, විද්‍යා බාලන්, සෝනක්ෂි, කන්ගනා, බිපාෂා ද වූහ.

ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් රූගත කිරීමේදී දර්ශන තලයට පැමිණි ශිල්පීහූ ශ්‍රීගේ තවත් හැකියාවක් රස වින්දාහ. ඇය ලැබෙන සෑම විවේකයක්ම ගත කළේ චිත්‍ර ඇඳීමෙනි. රැඟුමට, නැටුමට මෙන්ම සිතුවමටත් ශ්‍රී අති දක්ෂය.

ශ්‍රීගේ ආගමනය සමඟ ් දුලබ අවස්ථාවක් අත් විඳින්නට අවස්ථාවක් පසුගිය දා උදා විය. ශ්‍රීදේවිගෙන් පසු බොලිවුඩයේ අංක එකේ කිරුළට හිමිකම් කී මධුරී එකම කරලියේ එකට නර්තනයේ යෙදෙන දුලබ අවස්ථාව දැකගන්නට, ජලක් දික්ලා ජා වැඩ සටහනේ අවසාන වැඩ සටහනින් පසුගියදා රසිකයන්ට වරම් ලැබිණි. මධුරී, ශ්‍රී ගේ ‘මිස්ටර් ඉන්ඩියා’ සිනමාපටයේ ‘කාතේ නහී කාත් තේ’ ගීතයේ නර්තනය ඉදිරිපත්කළ අතර, ශ්‍රීදේවි, මධුරීට ජනප්‍රියත්වයේ කිරුළ රැගෙන ආ ‘ඒක් දෝ තීන්’ නර්තනය ඉදිරිපත් කළාය. මේ දෙදෙනා එක්ව නර්තනයක යෙදුණු ප්‍රථම අවස්ථාවයි.

දෙදෙනාම දෙදරු මවුවරුන්ය. මධුරීගේ සිනමා ජීවිතයේ දෙවැනි ගමන මේ වසරේදී ‘ගුලාබ් ගෑන්ග්’ සහ ‘දේ ඉෂ්කියා’ රූගත වීමත් සමඟ ඇරැඹේ.

අන්තර් ජාලයෙනි