වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

අදත් සුපුරුදු ළෙංගතුකමින් මේ ගොඩ වදින්නට සූදානම් වනුයේ ඔබේම අදහස් එකමුතුවෙන් හැඩගැන් වූ ප්‍රතිචාර පිටුවටයි. 0752805047 යන දුරකතන අංකයට ඔබ එවූ ප්‍රතිචාරයන් බොහෝ තිබේ. ඒවා අතරින් තේරා ගත් කිහිපයක් මෙලෙස පළ වෙයි. ඊට අමතරව ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ඔබ තැපැල් කළ තැපැල් සහ සටහන් පත් හී නැවුම් අදහස් ද නොඅඩුව මෙහි දිග හැරෙනු ඇත.

ඔයා නිසා ලස්සනයි

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගයන ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන් ගීතය ඔහුගෙන් කලකට පසු අප ඇසූ සුන්දර ගීතයකි.

චාමිකා හර්ෂනී

කහතුඩුව

සී. ටී. අමරණීයයි

ශ්‍රී ලාංකේය පොප් ගායකයා යැයි විරුදාවලිය ලද සී. ටී. ප්‍රනාන්දු ගායන ශිල්පියා දැයෙන් සමුගෙන දශක තුනක් ඉක්ම වුව ද ඔහුගේ ගීත සදාකල් ජීවමානව පවතියි. පින් සිදුවන්නේ, අම්බිලි මාමේ වැනි ගී ගයමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු ළමා ගී, නැලවිලි ගී, දේශාභිමානි ගී, මවු ගුණ ගී, ප්‍රේම ගී, සොභා සෞන්දර්යාත්මක ගී අපට දායාද කළේය.

බිළිඳා නැළැවේ උකුලේ, ලෝ අඩ නින්දේ, පියුමෙහි පැණි බොති, සැලලිහිනි කොවුල්, මී වදයකි ජීවිතේ වැනි ගී අපට දායාද කළ සී. ටී. දෙයියන්ගෙ රටේ, ගම්පෙරළිය, පාරාවළලු වැනි චිත්‍රපටවල සුළු චරිත රැඟුවේය.

එමෙන්ම සාරවිට, කවුද හරි, නිම්වළල්ල, පෙම් කුරුල්ලෝ යන චිත්‍රපටයන් හී පසුබිම් ගීත ද ගැයූහ. දශක තුනකට ආසන්න කාලයක් රසිකයන් සැනසූ හොඳ ගායකයකු හොඳ මිනිසකු වූ සිංහල ගීත එතෙරට ගෙනයාමේ පුරෝගාමියකු ද වූ සී. ටී. මේ වන තෙක් ඇගයීමට ලක් නොවීම කණගාටුදායකය. විනෝද චාරිකාවලදී ඔහුගේ ගීයක් නොගයන්නේ නම් පුදුමයකි.1977 ඔක්තෝබර් 17 වැනිදා අවසන් සුසුම් හෙලූ ඔහු අදට ද අමරණීය ගායකයකි.

ආනන්ද වික්‍රමආරච්චි - ඉහළ තල්දූව

සෙල්ලම් ගෙදර ආයෙත් අරඹන්න

ස්වාධීන රූපවාහිනියට,

නවතා දමා ඇති සෙල්ලම් ගෙදර ළමා ටෙලි නාට්‍යය නැවත ආරම්භ කරන ලෙස ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.

සරත් රණසිංහ -පුගොඩ මාළිඳ - සරසවි නිවස

චන්දිකගේ ගමන සුබයි

චන්දික නානායක්කාරට,

සිරස රූපවාහිනී නාලිකාවේ තරු මංසල වැඩ සටහන තුළින් සරසවි දේවියගේ අනුහසින් රංගනයට පිවිසෙන්නට වරම් ලැබූ ඔබ රංගන ක්ෂේත්‍රයේ තවත් දක්ෂ නළුවකුª බව මේ වන විට ඔප්පු කර ඇත.

විකාශය නිමා වූ අමා ටෙලි නාට්‍යයෙත් දැනට විකාශය වන සිහිනයකි ජීවිතේ ටෙලි නාට්‍යය තුළත් විවිධ භූමිකාවන් තුළින් ඔබේ දක්ෂ රංගනයන් අපි දුටුවෙමු. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවා වූ ඔබ තව නොබෝ දිනකින්ම හොඳම නළුවාවීමට වාසනාව උදා වේවා.

රොහාන් සෙනෙවිරත්න

මැණිකේට සුබ පතමි

නම මැණිකේ අත්තනායක වුවත් ඇය පළිගු මැණිකක් වූයේ එනමින් යුත් ටෙලි නාටකය තුළින් දැක් වූ රංගන කුසලතාවයන් නිසයි. මැණිකේ අප පිනවීමට තව තවත් නිර්මාණවලට දායකවීමට ඔබට සුබ පතමි.

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ

සුමින්දට දිගාසිරි

රංගන ශිල්පී සුමින්ද සිරිසේනට,

වියැකුණ ගැමි අසිරි අප සිත තුළ මවන
ඔබ කළ රැඟුම කිසිදා අමතක නොවන
පිනමු පිනට සැම දෙනුවන් සහ සවන
වේවා දිගාසිරි සමඟින් බුදු සරණ

නන්දා මාම්පිටිය -අනුරාධපුර

ආනන්දගේ නිර්මාණ අනර්ඝයි

වල්වැදුණු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීමේ අරමුණින් උඩුගම් බලා යන නිර්මාණකරුවකු ලෙස ආනන්ද අබේනායක හැඳින්විය හැක.

මොහුගේ මුල් නිර්මාණවල සිට අප්පච්චි ළඟ සෙනෙහසින් දැවටෙන අපට හිතෙන්නේ ආනන්දයෙන් පමණක් නොව ප්‍රඥාවෙන් ද කෙළවර වන මොහුගේ නිර්මාණ සැබවින්ම ප්‍රේක්ෂක අපගේ ගෞරවාදරයට පත්වන බවය.

මංජුල පෙරේරා - පහළ කටුනේරිය

බැලුම්ගලට තුති

නෙත් ගුවන් විදුලි නාලිකාව මඟින් දිනපතා උදෑසන ඉදිරිපත් කරනු ලබන ‘බැලුන්ගල’ වැඩසටහන මඟින් මෙම සමාජ තලයේ සිදුවන නොයෙකුත් වංචා අපරාධ අසාධාරණකම්, නීති විරෝධී ක්‍රියාවන් ස්ත්‍රී දූෂණ ආදී සියලු සිදුවීම් ගැන පැහැදිලි ලෙස පෙන්වමින් මහජනතාවට සහනයක් සලසදීමට මඟ පෙන්වීම ගැන මාගේ සතුට සමඟ තුති මෙයින් පිරිනමමි.

තිලකරත්න විල්වල - කෑගල්ල.


මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර තීරයයි

අග්‍රගණ්‍ය ගායන ශිල්පී ගුණදාස කපුගේ වැන්නවුන් අද වගේ දවසක සිටියා නම් වත්මනහි සිදුවන සංගීත ක්ෂේත්‍රයේ අකටයුතුකම් පිළිබඳ බොහොම කලකිරෙනු ඇත.

නිල්මිණි - වාද්දුව

ගුවන් විදුලි නාලිකා ගොඩක් මෙරට තිබුණත් ඒවාහි ප්‍රචාරය වන ගීත හරිම ඒකාකාරීයි.

දයාරත්න - පේරාදෙණිය

සේපාලිකා හි පබා චරිතය මවන නිරෝෂා තලගල රංගනයට උපන් හපනියක්.

අනූෂා  -දික්වැල්ල

මේ වන විට සාර්ථකම සිනමා නිර්මාණකරුවා හැටියට මා දකින්නේ උදයකාන්ත වර්ණසූරියයි.

දයාන් - කුරුඳුවත්ත

සුජීව ප්‍රසන්න ආරච්චිගේ තවත් නවකතාවක් පුංචි තිරයට ගෙන ආවා නම් අගෙයි.

හේෂාන් - පැල්මඩුල්ල

‘නොදැක ඉන්න බෑ’ ගීතය ගැයූ රුවන් හෙට්ටිආරච්චිගෙන් තවත් එවැනිම වූ ලස්සන ගීතයක් අප බලාපොරොත්තු වෙමු.

රුවින්ද- මාතලේ

ශ්‍රී නාලිකාවේ උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන භාෂිනීට ඇත්තේ සිත් ඇද ගන්නා කටහඬකි. කාලාන්තරයක් තිස්සේ ශ්‍රී වැඩ කරන ඇය එම නාලිකාවේ රිදී සීනුව යැයි කිව හැකිය.

ප්‍රදීප් - නාරම්මල

කලර් චිත්‍රපටයේ උදයන්ති කුලතුංග ඉතාමත් හොඳට රඟපානවා. ඇය වඩාත් උචිත රිදී තිරයට යැයි මං හිතනවා.

ගමගේ - පොලොන්නරුව

ඉටිමල් නාට්‍යයේ අජිත් වීරසිංහ රඟන චරිතය තවත් හොඳින් කරනවා නම් සතුටු වෙමු.

දිලුම් - කදුරුවෙල

අසේල ජයකොඩි වියෝ වී වසරකට ආසන්න වුවත් ඔහුගේ මතකයන් සැමදාම ජීවමානයි.

හෙන්රි - පිටකොටුව

හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න. අමරසිරි පීරිස්ගේ කටහඬ අසන්නේ නැතුව අපට බැහැනෙ සිටින්න.

කවිරාජ් - දම්පේ

සේනක ක්‍රිස්බත් ඇතුළු පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම මෑතකාලීනව සංගීත ක්ෂේත්‍රයට ආ දක්ෂයන් රැසකගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමකි.

ලක්මාලි - වරකාපොළ

සඳගලතැන්න, සඳගිරිපව්ව, සුබා අධ්‍යක්ෂණය කළ සමන්කුමාර ලියනගේ ගේ මොනරතැන්න ඉතාම ඉහළ මට්ටමක ඇති ටෙලි නාට්‍යයක්.

වේරංග - දිගන