වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




චන්න අයියාගේ දෙබස්වලට මට ඇත්තටම ඇඬුණා

චන්න අයියාගේ දෙබස්වලට මට ඇත්තටම ඇඬුණා

සෙනසුරු මාරුවේ අනුත්තරා සමඟ කතාබහක්

ඇය අනුත්තරා. චාම්, අහිංසක, සංවේදී සරල ජීවිතයක් ගත කරන තරුණියක්. අනුත්තරා කෝටිපති ව්‍යාපාරිකයකුගේ එකම දියණිය. මොන තරම් සැප සම්පත්, ධනය තිබුණත් ඇය ජීවත් වෙන්නේ කියාගන්න බැරි තරම් දුකක් හිතේ හිර කරගෙන.

මේ අනුත්තරා ඉන්නේ නම් මේ දිනවල තිරගත වන උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වන සෙනසුරු මාරුව චිත්‍රපටයේ. අනුත්තරාට පණ පොවන්නී ශේෂාද්‍රි . මේ ශේෂද්‍රි සමඟ කළ සුන්දර කතාබහක්.

සෙනසුරු මාරුවේ අනුත්තරාගෙ චරිතය ඔබට දැනුණේ මොන වගේද?

අනුත්තරා කියන්නේ ධනවත් පවුලක අහිංසක තරුණියක්. ඇය සරල සාමාන්‍ය ජීවිතයක් ගත කළත් ඇත්තටම ඇය ජීවත් වෙන්නේ දැඩි මානසික පීඩනයකින්. ඒකට ගොඩක්ම බලපෑවේ තමන්ගේ තාත්තා. තාත්තාගේ දැඩි ක්‍රියා කලාපය හේතුවෙන් අනුත්තරාට ඇගේ ආදරය පවා අහිමි වී යනවා. ඒත් පසුකාලීනව තාත්තාට ඔහුගේ වැරැදි තේරුම් කරලා දෙන්න අවස්ථාව මේ අනුත්තරාට ලැබෙනවා. මේ දුව මෙම අවස්ථාවේදී හරිම අපූරු විදියට එය තාත්තාට තේරුම් කරල දෙනවා. අද සමාජයේත් අනුත්තරාලා ඇත්තටම ජීවත් වෙනවා.

මේ අවස්ථාව ඔබට ලැබුණේ?

මුලින්ම මම චිත්‍රපට ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා. උදය අංකල් මුලින්ම මට චැලෙන්ජර්ස් චිත්‍රපටය සඳහා ආරාධනා කළා. ඒ අතරතුර චැලෙන්ජර්ස් තිරගත වෙන්නටත් ප්‍රථම තමයි ඔහු සෙනසුරු මාරුව චිත්‍රපටය සඳහා මට ආරාධනා කළේ. චැලෙන්ජර්ස් සඳහා ප්‍රතිචාර ලැබෙන්නටත් කලින් මට ඔහුගේ මීළඟ චිත්‍රපටයට ආරාධනා කළේ මං ගැන ඇති විශ්වාසය නිසා. ඒ ගැන ගොඩක් සතුටුයි.

චැලෙන්ජර්ස් චිත්‍රපටයේ චරිතය සමඟ සසැඳීමේදී මෙම චරිතය නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

මේ චිත්‍රපට දෙකේ චරිත දෙක දෙවිදියක්. ඒ අනුව සෙනසුරු මාරුව චිත්‍රපටයේ අනුත්තරා කියන චරිතය ටිකක් සංකීර්ණයි. චැලෙන්ජර්ස් චිත්‍රපටයේ චරිතය නම් මට ගොඩක් සංකීර්ණ වුණේ නැහැ. ඇත්තටම මට ඒක දැනුණේ මගේ සැබෑ ජීවිතය විදියට.

මම එහි රංගනයේ යෙදෙනවාට වඩා පෙනී හිටියා වගේ තමයි දැනුණේ. ඒ චරිතය මට බොහෝ සමීප වූ නිසා හරිම සැහැල්ලුවෙන් තමයි නිරූපණය කළේ. නමුත් සෙනසුරු මාරුව චිත්‍රපටයේ අනුත්තරාගේ චරිතය ඊට හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. පිටපත ලැබුණම මම ඒක බලලා ගොඩක් අධ්‍යයනය කළා. ඒ තුළින් අනුත්තරා කියන චරිතය මා ගොඩ නඟා ගත්තා. උදය අංකල් මට ඒ සඳහා ගොඩක් උදව් කළා. ඒ නිසා මට ඒක එතරම් අසීරු කාර්යයක් වුණේ නැහැ. මං හිතනවා එය සාර්ථක වුණා කියලා.

අනුත්තරා ගොඩක් ඇඬුවා නේද?

අනේ ඔව්. අනුත්තරාට ඇගේ පියාගේ දැඩි ක්‍රියා කලාපය හේතුවෙන් ආදරය අහිමි වී යනවා. මොන තරම් සැප සම්පත් තිබුණත් එදා සිට ඇයට ජීවිතය ගත කරන්න වෙන්නේ ඇඬූ කඳුළින්. ඇය ජීවත් වුණේ ආදරය අහිමිවීමේ වේදනාව හිතේ තියාගෙන. පසුව ඇයට මුහුණ දෙන්නට සිදු වූ දේවල් නිසා අනුත්තරා ගොඩක්ම ඇඬුවා. ඉතිං සමහර අවස්ථාවලදී මට ඇත්තටම ඇඬුණා. චන්න අයියාගේ සමහර දෙබස් ගොඩක් සංවේදීව දැනුණා. ගොඩක් දුක හිතුණා.

සෙනසුරු මාරුව චිත්‍රපටයේ රූගත කිරීම් අතරේදී අමතක නොවන සිදුවීම් එහෙමත් සිදුවන්නට ඇති නේද?

අපි බොහෝමයක් රූගත කිරීම් කළේ මුලතිව්වලදී. එහි ෆාරා 3 නැවේ කළ රූගත කිරීම්වලදී ටිකක් බය හිතුණා. රූගත කිරීම් අතරතුරේදී නැව කඩා වැටෙයි ද කියලා හරිම බයෙන් තමයි හිටියේ.

ඔයාගේ අක්කා දිනක්ෂි නම් මේ වන විට සහාය අධ්‍යක්ෂණයට පිවිසිලා තියෙනවා. ශේෂද්‍රි‍්‍ර ඔයත් ඒ පැත්තට යොමු වෙන්න අදහසක් එහෙම නැද්ද?

අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවා කියන්නේ ලෙහෙසි පහසු පොඩි දෙයක් නෙවෙයිනේ. මම පොඩි කාලේ ඉඳලම ඇලුම් කළේ රංගනයට. අක්කාට නම් අධ්‍යක්ෂණ කටයුතුª සඳහා යොමු වෙන්න ආසාව තිබුණා. ඒ වගේම එයාට තාක්ෂණික අංශය ගැන හොඳ දැනුමක් තියෙනවා. මොන දේ කරන්න වුණත් ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕන. මම තවම ක්ෂේත්‍රයට ඇවිල්ලත් වැඩි කාලයක් ගත වෙලත් නැහැනේ.

ඔයාගේ අදහස චිත්‍රපටවල විතරක්ම රඟපාන්නද?

මම ගොඩක්ම ආස චිත්‍රපටවල රඟපාන්න. මම ටෙලි නාට්‍ය එපා කියනවා නෙවෙයි. පොඩි කාලේ ඉඳලම ආසා කලෙත් චිත්‍රපවලට. ඒ වුණාට ටෙලි නාට්‍ය ආසාවෙන් බලනවා. අක්කා නම් ගොඩක්ම කැමැති ටෙලි නාට්‍යවල රංගනයට තමයි.

රංගන කටයුතු සඳහා ගෙදරින් ලැබෙන සහායත් කියමු?

අම්මා, තාත්තා වගේම අක්කා සහ නංගිගෙනුත් ගොඩක් උදව් ලැබෙනවා. මට වඩා අක්කා ටෙලි නාට්‍ය සමඟ සම්බන්ධ වෙලා කටයුතුª කරනවානේ. මට තිර පිටපතක් ලැබුණම අක්කා එක්ක තමයි සාකච්ඡා කරන්නේ. එයා ඒ ගැන උපදෙස් දෙනවා. ඒක මට ලොකුª ශක්තියක්.