වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මම ආවේ සුදු නෝනගේ ණය ගෙවන්න

මම ආවේ සුදු නෝනගේ ණය ගෙවන්න

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය. ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි. බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි. පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය. ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි. බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුහු සොයාගනිති. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නීය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය. මේ අතර විනෝද් කිසිවකු විසින් මරාදමන ලද සැලවෙයි. එයින් ටික දවසකට පසු ඩික්සන් වංචනිකයකු ලෙස හඳුනා ගන්නා බිනරි ඔහු නිවසින් පන්නා දමයි.

අද එතැන් සිට...

හෙමින් හෙමින් අදුර ගලා එන්නට විය.රාත්‍රිය උදාවත්ම වැඩිවුණ කන්කරච්චලය අනුක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තේය. බිනරිගේ සිතේ උපන් දෙගිඩියාව වැඩිවන්නට පටන් ගත්තේ හෙමිහිටය. රාත්‍රිය මේ තරම් පාළු වනු ඇතැයි ඇය කිසිවිටෙකත් මෙයට පෙර නොසිතුවාය.

ඩික්සන් නිවසින් පන්නා දැමූ පසු ඇය ගෙයි ඇතුළට වැද දොර වසා ගත්තාය. ඩික්සන් යළි දොරට තට්ටු කරනු හඩ ඇසුණ ද එයට ප්‍රතිචාර නොදක්වා සිටින්නට ඇයට හැකිවිය. අනුක්‍රමයෙන් සියල්ල සාමාන්‍ය අතට හැරිණ. හැන්දෑ ජාමය වන විට සාමාන්‍යයෙන් සිදු වන මෝටර් රථ අවහිරතා සවස රාජකාරි නිමා කොට යන එන මිනිසුන්ගේ ඝෝෂාව ද එකිනෙකා පරයමින් නැගෙන්නට පටන් ගත්තේය. එය අනතුරුව මුසු වුණේ අහල පහළ නිවසකින් ඇසුණු ටෙලිවිෂන සංගීතයටය. කිසිවකුට හෝ තමන්ගේ ගාණට සින්දු අසන්නට බැරි හැටි යැයි වෙනදා නම් බිනරි බැණ වදෙනවාය. එහෙත් අද ඇය ඒ සියල්ල ඉවසා සිටියාය.

ගෙයි දොර වසා ගත් ගානටමය. බඩගින්නක් ඇති වූ හෙයින් තියෙන දෙයක් රත් කර කා හිත හදා ගන්නට ඇය කල්පනා කළාය. ගෙදර සිදුවුණේ කුමක්දැයි සොයන්නට අහල පහළ කිසිවකු හෝ ආවේ නැත. ආවා නම් හොඳය.එහෙම නම් හිත හදා ගන්නට ඉඩ තිබිණ. මේ මොහොතේ තමාගේ තනිකම මකා ගන්නටවත් කිසිවකු හෝ නැත. තමාගේ කියා කියන්නට කිසිවකු හෝ නැත.

ඉස්සර නම් ගලක් ගැහුවත් හතර වටේ මිනිස්සු පිරෙති. ගෙදර අරගලය හතර වට මිනිස්සු බලා සිටිය බව ඇත්තය. එහෙත් කිසිවකු හෝ ඒ ගැන කතා කළේ නැත.

දුරකතනය කිහිප වාරක්ම නාද වනු ඇසුණ ඇය එය කොහිදැයි සොයා බැලුවාය. එය තිබුණේ කෑම මේසය ළඟය. කතා කරන්නේ මාමාගේ නිවසෙනි.

හදිසියේම මොකදැයි සිතා බැලූ ඇය එයට අමතන්නට කල්පනා කළාය.

‘මේං අම්මාට කතා කරන්නඩ ඕනැලු’

මාමා පැවසුවේය.මමාගේ හඩ එන්න එන්න මහළු වෙන හැඩය.

බිනරි දුරකතනයේ කන තබා ගත්තාය

‘මොකද ළමයෝ රට්ටු හිනස්සන වැඩ කරන්නේ’

අම්මා ඇසුවාය.

‘මොකද්ද කියන්නේ ?’

‘මොකද්ද කියන්නේ? අම්මා එය ප්‍රතිරාව කළාය.

‘මම ඔතැන නැතුවට ඇහැ කණ පියාගෙන ඉන්න ද මට කියන්නේ’

අම්මා වෙනදාට වඩා ගුගුලමින් පවසනු බිනරි අසා සිටියාය.

අද වෙච්ච දේවල් ඔක්කොම මට ආරංචියි’

‘මොනවද උණේ?’

බිනරි කතා කළේ කිසිත් නොවුණ ගානටය.

‘මම උඹ ගැන හොයන්නේ නැතුව ඉන්නේ නෑ. ඔය වෙන දේ සිද්ධ වෙයි කියලා නෙවේ මට බය ඔයිට වඩා දෙයක් වෙයි කියලයි මට බය’

අම්මා එක දිගට කියනු බිනරි අසා සිටියාය.

‘අම්ම දන්නෑ නේ වෙච්ච දේ’

‘මම නොදන්න දේවල් නෑ ළමයෝ’

‘එහෙනම් ඒ කිව්ව අයගෙන්ම ඉතුරු ටිකත් අහ ගන්න එකයි’

බිනරි දඩස් ගා දුරකතනය විසන්ධි කළාය.

හතර වට තමා දෙස යොමු වූ ඇස් අතරින් කිසිවකු හෝ මේ මොහොතේ කුමක් කළ හැකිදැයි ඇසුවේ නැත. අවම වශයෙන් තමා ජීවත් වනුයේ කෙසේදැයි විමසුවේ නැත.තමා තම උපන් බිමේ පිටස්තරයෙක්ය.එහෙත් සිදුවන සියල්ල සැණෙකින් අම්මාට කියන්නට මිනිසුන් ඇත. බිනරිට කේන්තිය ඒකමය.ඇය කෝපයෙන් වෙළී ගියාය.එහෙත් කිසිවකු සමඟ රණ්ඩුවට නොගිය ඇය හූල්ලා වැටුණාය.

අනුක්‍රමයෙන් පරිසරය පුරා රාත්‍රියේ පාළුව එළැඹියේය.මිනිසුන් නින්දට වන් කල බිනිරි ගේ නින්ද පළා ගොසිනි. ඇය අසලට නින්ද ආවේ නැත. අතරින් පතර ගමන් කරන වාහනයක හඬ හැරුණු විට වෙනත් හඩක් නොවිණ. ගෙවෙන රාත්‍රිය මේ තරම් පාළුයැයි දැනුණේ නම් කිසි විටෙකත් තමා ඩික්සන් එළවන්නේ නැත.දහවල් තිබුණු කලබැගෑනියෙන් විඩා පත්වූ අසල්වාසිහුද නින්දට වන්හ.අහල පහල ඇති කඩ සාප්පුවල ජීවත් වූවන් වේලාසනින් අවදි විය යුතුය.බිනරි ගෙයි ඉදිරිපස දොර කවුළු පිරික්සා බලා කාමරයට වැදුණාය. එහෙත් නින්ද අසලක නොවිණ.කවුදෝමහ හඬින් කෑගසනු ඇසීමෙන් කලබලයට පත් වූ ඇය ජනේල් තිරයක් මෑත් කර බැලුවාය. බීමත් තරුණයන් පිරිසක් රාත්‍රියේ වීදි සංචාරයකය. ඇයට බියක් දැනිණ. ඇය දෙවියන් යැද්දාය. යළිත් කාමරයේ අගුළු පිරික්සූ ඇය ඇඳ මතට විත් ගුලි ගැහුණාය.කාමරයේ ආලෝකය නිමා ලන්නට ඇයගේ සිත ඉඩ දුන්නේ නැත.

මුළු පළාතම නිශ්ශබ්දය. එකෙකු තමන් අසලින් පියවර තැබුව ද එය ඇසෙන සුළුය. පංකාවේ සුළං රැල්ල ඒ නිහැඬියාව බිද හෙළන්නට තිබුණු එකම සැනසිල්ලය. කවුදෝ කාමරයේ දොර අගුල කැරකී කවුදෝ එයට පිවිසෙනු බිනරි දුටුවේ අහම්බයක් හැටියටය.අවසන් මොහොතේ කෑ ගසන්නට ගිය ද පැමිණි තැනැත්තා පළපුරුදු ඇත්තෙකු සේ ඇයගේ මුව වසා ගත්තේය.

‘සුදු නෝනේ කෑ ගහන්ඩ එපා’

ඩික්සන් ගේ ඇතුළට පමණක් නොව කාමරයට ද පිවිස ඇත.

‘බය වෙන්ඩ එපා සුදු නෝනේ.මට සිය දහස් වාරයක් සමාවෙන්ඩ.’

ඩික්සන් කොඳුරන්නේ ඇය තදින් ග්‍රහණය කරගනිමිනි.ඔහු වෙතින් මත්පැන් ගඳක් වහනය වෙයි.

‘මම කරදරයක්කරන්ඩ ආවා නෙවේ සුදු නෝනේ.’

‘කොහොමද මිනිහෝ ගෙට රංගුවේ’

මේ ගෙයි කොයි බිත්තිය ද සුදු නෝනේ මං දන්නේ නැත්තේ

උඹ මහ හොරෙක්.මං දන්නේ නෑ.

ඇය දත්මිටි කමින් කෑගෑවාය.

‘අනේ සුදු නෝනේ වඳීන්නම්.කෑ ගහන්ඩ එපා.මම හොඳ මිනිහෙක් නොවෙන්ඩ පුළුවන්.හැබැයි මම සුදු නෝනේට බොරු කරල නෑ

ඩික්සන් ගේ ස්වරයේ තිබුණේ බැගෑපත් විලාසයකි.

‘උඹ මාව කෑවා.මගේ හැම සතයක්ම හූරල’

බිනරි ගේ එබස සම්පූර්ණ කරන්නට ඩික්සන් ඉඩ නොදුන්නේය.

‘නෑ සුදු නෝනේ.මම ආවේ සුදු නෝනේ ගේ ණය ගෙවන්ඩ.මයේ අම්මපා මේ ඇත්තමයි’

ඔහු බිනරිගේ හිස මත අත තබා දිවුරන්නට වන්නේය.බිනරි උන් තැනින් පැන ගන්නට සැරසිණ. ඩික්සන් ඇය වළකාලූයේය.

‘සුදු නෝනේ මම මේ කියන්නේ සහතික ඇත්ත.අපිට ඉස්සරහ කාටවත් ණය වෙන්ඩ දෙයක් නෑ.’

තමුසේ ආයේ කාටද ගිනි දුන්නේ

බිනරි මෙතුවක් බියෙන් සැලෙමින් තනියම සිටිය ද ඩික්සන් ඉදිරියේ ඒ බවක් පළ කළේ නැත.

‘මං කාටවත් ගිනි දුන්නේ නෑ සුදු නෝනේ. මට පුළුවන් සුදු නෝනේගේ ණය ඔක්කොම ගෙවන්ඩ.’

ඩික්සන් කීමෙහි බිණිමෙහි හපනෙක් බැව් බිනරි දත්තාය.ඔහුට වසඟවනුනේ එනිසාය.

‘ඩික්සන් තමුසෙගේ බොරු මට ඇති.කරුණාකරල මම එළියට ගිහින් කෑගහන්ඩ කලින් ඩික්සන් මෙතැනින් යන්ඩ’

‘ඕකනේ කියන්නේ මේ ගෑණුන්ට යමක් තේරුම කරල දෙන්ඩ බෑ කියලා’

ඩික්සන් බහිනවා එළියට.මට පව් නොදී බහිනවා.

බිනරි ගේ හඩ වැඩිවෙතැයි ඩික්සන් අපේක්ෂා කළ ද එය එසේ වූයේ නැත.කතා බහින් තොරව ඩික්සන් කාමරයේ කෙළවරක තිබුණු ඇඳ තනිවම අනිත් පැත්තට ඇද්දේය.එය බරස් ගා පැත්තකට ඇදිණ.

බිනරි කිමරයෙන් එළියට පනින්නට හැදුවේ ජීවිත ආරක්ෂාවටය.

‘දුවල මොනවා කරන්න ද සුදු නෝනේ.බලන්ඩ මේ තැන.’

ඩික්සන් ඇඳ යටින් වූ ටයිල් පොලවේ ඇවිදින්නට පටන් ගත්තේය.