වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




කලාවට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

කලාවට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

පරාක්‍රම නිරිඇල්ල නම්නිර්මාණකරුවා පිළිබඳ අටුවා ටීකා කීම අවශ්‍ය නැත. හේතුව මා වචනයෙන් විස්තර කරනවාට වඩා ඔහු දශක හතරහමාරක පමණ කාලයක් තිස්සේ සෙක්කුව වැනි වේදිකා නාට්‍ය, සිරිමැදුර වැනි චිත්‍රපට සහ යශෝරාවය වැනි ටෙලි නාට්‍ය ඔස්සේ රසික ඔබ වෙත සමීප වූ නිර්මාණකරුවකු නිසාය. මේ වන විට ඔහු නියැලී සිටින්නේ 'ජන කරළිය' මඟින් වෙනස්ම අත්දැකීමක් ජනතාවට ලබා දීමටය. පසුගිය දා වේදිකාගත වුණු තිත්ත කහට සහ හිරු නැඟෙන තුරු නාට්‍ය එයට කදිම නිදසුන් සපයයි.

'ජන කරළිය' ගෙනා අලුත්ම නාට්‍ය දෙකේ විශේෂත්වය?

අපේ ජීවිතයට මතකයන් ඉතා වැදගත්. සමහර අත්දැකීම් අපට ජීවිත හදා ගන්න, යළි වැරැදි නොකරන්න හේතු වෙනවා. ඒවා පෞද්ගලික වගේම ජාතික වශයෙන් වැදගත් වන අවස්ථා තිබෙනවා. මේ කතා දෙකෙන්ම අපේ ඉතිහාසයේ අවස්ථා ගැන කියැවුණාට දකුණේ සමාජයට නැවත පෙර වැරැදි නොවන්න ක්‍රියා කරන්න මේ මතක වැදගත් වනවා. ඒකයි මෙහි විශේෂත්වය.

'තිත්ත කහට'වල ඇත්ත කුමක්ද?

මෙතෙක් නාට්‍ය කේෂත්‍රයේ හෝ චිත්‍රපට මඟින් සාක්ච්ඡා කර නැති, ලංකාවේ ජීවත් වන අමතක කර දැමූ ජන කොටසක් ගැනයි තිත්ත කහට කතා කරන්නේ. ඒත් මේ ජන කොටසෙන් එන නිෂ්පාදනය කාටවත් අමතතක වී නැ. තේ කර්මාන්තයේ කම්කරුවන් කොහොමද ලංකාවට ආවේ?, කවුද ඔවුන් ගෙනාවේ?, ඔවුනගේ දුක් ගැහැට මොනවාද? විශේෂයෙන් ලෝකයේ වහල්බව අහෝසි වුණාට පසුවත් සුද්දන් වතු කම්කරුවන් ලෙස මොවුන් යෙදවීම හා ඔවුන්ගේ ඉරණම පිළිබඳ කතාව තමයි තිත්ත කහට නාට්‍යයේ ඇත්ත.

එතකොට 'හිරු නැඟෙන තුරු' නාට්‍යය?

යුද්ධයේ බැරෑරුම්ම කාලය වන 1992 යුගයේ අනෙක් දෙමළ කලාකරුවන් රට හැර ගියා. ඒත් එසේ පලා නොගොස් දෙමළ නාට්‍ය හා සාහිත්‍ය කලාවට අඛණ්ඩව කළ සේවය වෙනුවෙන් ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූවකු තමයි කුලන්දෛ ශන්මුගලිංගම් කියන්නේ. ඔහු 1992 දි යාපනේ රඟ දක් වූ නාට්‍යයක් තමයි 'හිරු නැඟෙන තුරු'. මෙයින් කියැවෙන්නේ යුද්ධයෙන් ළමයින් බේරා ගන්න පිටරට යවලා තනියම ජීවත් වන යවයෝවෘද්ධ දෙමාපියන්ගේ සංවේදී ඉරණම ගැනයි.

මෙය තෝරා ගැනිමට සුවිශේෂ හේතුවක් තිබෙනවාද?

අප වැඩිවශයෙන්ම පරිවර්තනය කරන්න යොමු වන්නේ, හඳුන්ව දෙන්නේ බටහිර හෝ ඉන්දියානු නව කතා, කෙටි කතා, කවි ආදියයි. ඒත් අපේ රටේ සිංහල අය සමඟ ඉන්න දෙමළ ජනයා අතරින් මතු වූ නාට්‍ය හා සාහිත්‍ය කලාවක් තිබෙනවා. ඒවා පිළිබඳ අවධානය යොමු කරන්න තිබෙන අවස්ථාවට ජනවාර්ගික ගැටුම් නිසා දුරස්ථ බවක් ඇති වෙනවා. සිංහල අය තමන්ගේ බසින් නිර්මාණයක් එළි දක්වන විට එය දෙමළ අයටත් කිවන්න පුළුවන් නම්, අපේ රටේ දෙමළ අයගේ නිර්මාණ සිංහල අයට රසවිඳීන්න පුළුවන් නම් ඒ අය දැන ගන්නවා අපට තිබෙන්නෙත් අනෙක් අයට ඇති ප්‍රශ්නම තමයි කියලා.

ඔබේ මේ පණිවිඩය දෙමළ ජනයාටත් ගෙනයනවද?

ඔව්. යාපනය විශ්වවිද්‍යාලයේ මේ මාසේ 20 වැනිදා පවත්වන නාට්‍ය උත්සවේදීත් මේවා රඟදක්වනවා. මේ වසරේ දෙසැමබර් වෙද්දි කිලිනොච්චිය, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවලත් මෙය ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබෙනවා. දෙමළ බස භාවිත වන පළාත්වල මෙය ඒ බසින් රඟදක්වනවා. ඒත් අපි වැඩිපුර ඉලක්ක කරන්නේ දකුණට. මොකද හැදෙන්න ඕන උතුරේ අය නෙවෙයි. දකුණේ අය.

එහෙම කියන්න හේතුව?

හේතුව තාම මේ ප්‍රශ්නය නිරාකරණය වෙලා නොතිබීම. අපේ වාර්ගික ආකල්ප තවමත් වෙනස් වෙලා නෑ. ඒ වෙනස වර්ධනය විය යුත්තේ ශ්‍රී ලාංකික ජාතියක් යන්න තුළ සම අයිතීන් සහිතවයි. සාමාන්‍ය මිනිසුන් හරි කැමතියි ජාති භේදයකින් තොරව එකිනෙකා ආශ්‍රය කරන්න.

ජනකරළියට දැන් වයස 16ක්?

ඔව් දැන් අප අතර නැති ප්‍රවීණ රංගන ශිල්පී එච් ඒ පෙරේරායි මමයි එකතුවෙලා 2002 වසරේ මෙය පටන් ගත්තේ. රට පුරා තරුණ අය තමයි මෙහි මෙහි සමාජික සාමාජිකාවන්.

ඔවුන් එකිනෙකා අතර භාෂා ප්‍රශ්නය විසඳ ගත්තේ කොහොමද?

ඔවුන් පෙන්වා දුන්නා නාට්‍ය කලාවේ භාවිතයන් මඟින් මේ සියල්ල ජය ගන්න පුළුවන් කියලා. ඒ අය භාෂා පන්තිවලට සහභාගී වූ අවස්ථාවලට වඩා නිර්මාණ කාර්යයේදී වැඩි සාර්ථකත්වයක් පෙන්වූවා. මුල් අවස්ථාවල පරිවර්තකයන් සහභාගි වූණා. අපි ඔවුන් වෙනුවෙන් රංග ක්‍රීඩා නිර්මාණ කළා. ඒ වගේම නාට්‍යයකදී දෙබස් මතක තබාගන්න වනවා. එවිට භාෂාව නිරායාසයෙන් ඉගෙන ගන්න සිදු වුණා. ඒ මඟින් ඒ අයත් නොදැනුවත්වම ප්‍රශ්නය නිරාකරණය වුණා.

මෙහි වේදිකා භාවිතය වෙනස්?

ඔව් එය නිව් එරීනා රංග භූමිය. අපට හුරු ප්‍රොසීනියම් වේදිකාවේදී ඉස්සරහම පේලිවල ප්‍රේක්ෂකයන් වැඩි මිලක් දිලා ප්‍රවේශ පත්‍ර ගන්නවා වගේම වේදිකාවට, නළුවන්ට තිබෙන සම්බන්ධයත් වැඩියි. ප්‍රේක්ෂකාගාරයේ පිටිපස්සට යන්න-යන්න මිල වගේම සමබන්ධයත් අඩු වෙනවා. ප්‍රජා රඟ මඬල නිර්මාණය කළාම එය වටේම ඉන්න ප්‍රේක්ෂකයන් එක ලෙස සම්බ්න්ධකර ගන්න පුළුවන්, පොදු අවකාශයක් නිර්මාණය වනවා. ඒ අත්දැකීම අපූර්වයි. එය ප්‍රොසීනියම් රඟහලක විඳීන්න බෑ.

හැත්තෑව දශකයේ සිට වේදිකා නාට්‍යවලට සම්බන්ධ ඔබ අපේ වර්තමාන වේදිකා නාට්‍ය දකින්නේ කොහොමද?

එදාට වඩා නාට්‍ය කරුවන්ට අද වන විට විශ්ව විද්‍යාලවලින් ආශ්‍රයෙන් හා වෙනත් ක්‍රමවලින් නාට්‍යකරණයේ අන්තර්ජාතික ප්‍රවණතා ආදිය හදාරන්න අවකාශ ලැබී තිබෙනවා. ඒ වගේම පාසල් විෂය මාලාවට 6 ශ්‍රේණියේ සිට නාට්‍ය හා වෙනත් සෞන්දර්ය විෂයන් ඇතුළත් වී තිබෙනවා. ඒත් ප්‍රශ්නය මේ තරම් හදාරන අය ඉන්න සමාජයක ඇයි රස වින්දනය ජීවිතයේ මූලික අවශ්‍යතාවක් බවට පත් නොවන්නෙ? කියන එකයි. එහෙම වුණානම් ඔවුන් අලුත් නාට්‍ය බලන්න එනවා. 50, 60, 70, දශකවල එහෙම ආවා. ඒත් දැන්එන්නේ නෑ. ආවත් බලාපොරොත්තු වන්නේ හුදු බාල විනෝදයයි. රස වින්දනය කියන්නේ එය නෙවෙයි. මෙයට හේතුව විචාරශීලිව නිර්මාණයක් රසවිඳීන ප්‍රජාවක් බිහි වී නැතිකම. කනවා බොනවා විනෝදවෙනවා වගේ මධ්‍යගත අවශ්‍යතා අතරට රසවින්දනය ඇවිත් නෑ.

අලුත් පරපුරට එහෙම වෙන්න හේතු ඇති?

නියත වශයෙන්ම. මේ තත්ත්වය උදා වෙන්න තවත් දේවල් සම්පූර්ණ වෙන්න ඕනා. අද නාට්‍ය හෝ සෞන්දර්ය විෂයක් පාසල්වල උගන්වන්නේ හුදු විභාග සමත් වීම සහ ඉසෙඩ් ස්කෝර් එක වැඩිකර ගැනීමේ අරමුණින් පමණයි. එනිසා ඒ විෂයන් සමාජයට ආවා මිස භාවිතයට ඇවිත් නෑ. රාත්‍රී සමාජ ශාලා හැරුණාම, රාත්‍රී සමාජයක් කියන දෙයක් අපට නෑ. දෙවැනුව නාට්‍යයක් බලලා ගෙදර යන්න පුළුවන් වාතාවරණයක් සමාජයේ තිබෙන්න ඕනා. බස් නෑ, සල්ලි නෑ, රුපියල් 500 ගානේ ප්‍රවේශ පත්‍ර අරන් පවුලේ 4 දෙනෙක් එක්ක කී සැරයක් නාට්‍ය බලන්න එන්න පුළුවන්ද? අද සපත්තු කුට්ටම ගන්නත් ආර්ථිකය සැලසුම් කරන්න වෙලා. මේවා එකිනෙකට බැඳුණු දේවල්. ඒවා වෙනස් වෙන්න නම් සමාජයේ ආයතන, ආර්ථිකය ආදිය වෙනස් වෙන්න ඕන.

ඔබ කියන්නේ සමස්ත සමාජ ක්‍රමය වෙනස් නොවන තාක් හොඳ නිර්මාණත් බිහි වන එකක් නෑ කියලාද?

නෑ. කටුක ජීවිත ගත කරන රටවල හොඳ නිර්මාණ බිහිවෙනවා. දකුණු අප්‍රිකාවේ ජාති භේද තිබුණා. පිලිපිනය වියට්නාමය වගේ රටවලත් ප්‍රශ්න තිබුණා. ඒවා ඉවර වූ පසු හැඩගැහෙන සමාජයේ හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒත් අපේ එහෙම වුණේ නෑ, අපේ සමහර නිර්මාණ නාට්‍ය උත්සව වලට පමණක් සීමා වෙනවා. ඒ නිසයි රටක නිර්මාණකරණයට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වන්නේ. යුනෙස්කෝ ප්‍රඥප්තියක් තිබෙනවා, සංස්කෘතියට ඇති අයිතිය හා සංසකෘතියේ අයිතය. 'රයිට්ස් ටු කල්චර්' කොටසේ තිබෙන්නේ කලාකරුවකුට නිර්මාන කිරීමට ඇති අයිතිය සහ ඒ සඳහා පහසුකම් සැපයීම පිළිබඳව. 'ස්මාට් සිටි' විතරක් නොවේ, ඒවායේ ජීවත් වන්න ස්මාට් මිනිස්සුත් ඇති වෙන්න ඕනා. මිනිස්සු බුද්ධිමත් වන්නේ විචාරශීලීත්වය ඇති විටයි. භෞතික සංවර්ධනය සමඟ කලාව අවශ්‍ය වන්නේ ඒ පිරිස තැනීමටයි.

මෙහිදී කලාකරුවන්ටත් වගකීමක් තිබෙනවා?

ඔව්. කලාකරුවට තිබෙන වගකීම තමයි සංවීධාන ගත වී තමන්ගේ නිර්මාණ වඩා ප්‍රචලිත කර ජනතාව ආමන්ත්‍රණය කරන එක. ඒ සඳහා විධිමත් ජාතික ප්‍රතිපත්තියක් ගොඩ නඟා ගන්න කටයුතු කරන එක.

කිසිදු ක්ෂේත්‍රයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් නැති අපට කලාවට පමණක් එසේ කළ හැකිද?

එහෙම ඇති කරන්න අප උත්සාහ කරනවා, ක්ෂේත්‍ර පහක් නියෝජනය වන පරිදි. ඒවා කලාව, සංස්කෘතිය වගේම අවදානමට ලක් වූ හා ඔද්දල් වු ජනමාධ්‍ය, ආගමික දේශපාලනික, අධ්‍යාපනික යන ක්ෂේත්‍ර. මේවා ප්‍රතිසංවිධානය විය යුතුයි. ඒ සඳහා රට පුරා කලාකරුවන්, රසිකයන්, විචාරකයන් වැනි ප්‍රජාවන් සහභාගි කරගෙන දැවැන්ත සමීක්ෂණයක් කරනවා. එහි දෙවැනි කෙටුම්පත මේ නොවැම්බරයේදී බාර දෙනවා.