|
වයස 70 පොත් 90 ප්‍රවීණ නවකතා රචකGUNARATHNE EKANAYAKA
කුඩා කල සිටම ඔහු ලේඛනයට පෙම් බැන්දේය. ඒනිසාම ඔහු අතින් ලියැවුණු පොත්පත් බොහොමයකි. අද හැත්තෑ හැවිරිදි විය ගෙවූව ද ලේඛනයට තවමත් ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් යෙදවේ. ලංකාවේ ප්‍රවීණ ග්‍රන්ථ රචකයකු වන ගුණරත්න ඒකනායක මේ වන විට ඔහුගේ තිස් එක් වන නවකතාව ද පාඨකයා වෙත තිළිණ කර හමාරය. විවිධ විෂයන් ලෙස ගත් කල මෙය ඔහුගේ අනූවන කෘතියයි. 'ගන්ධබ්බයන්ගේ රාත්‍රිය - නඩුකාරයාගේ කතාව' නමැති මේ කෘතියට මේ දිනවල පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එමටය. ගුණරත්න ඒකනායක සමඟ යෙදෙන මේ කතාබහ ඒ නිමිත්තෙනි.
'ගන්ධබ්බයන්ගේ රාත්‍රිය' වෙනස්ම මඟක් ගත් නවකතාවක්?
වෙනස්ම ආරකින් ලියැවුණු, වෙනස්ම කතා තේමාවක් රැගත් නවකතාවක් තමයි. මගේ ලේඛන ශෛලියෙන් බැහැරව නවකතාවක් ලිවිය යුතුයි කියලා කාලයක සිටම මගේ හිතේ සැඟ වී පැවතුණා. ඒ අදහස මල්ඵල ගැන්වීමේ ප්‍රථිපලය තමයි මේ කෘතිය.
මේ එක නවකතාවක් නෙවෙයි. නවකතා ගොන්නක ඇරැඹුමක්?
ඔව්. මෙය එක පොතක් විදිහට අවසන් කරන්නට මම හිතුවත් නවකතාව ලියාගෙන යද්දී එය නිරර්ථක උත්සාහයක් බව පෙනී ගියා. එක එක චරිත වටා මේ ඔස්සේ අපූරු නවකතා කීපයක්ම රචනා කරන්නට හැකි බව පෙනී ගියා. ඉදිරියේදී ඒ එකිනෙක නවකතා පාඨකයා අතට පත්වේවි.
මේ නවකතාවේ කතා තේමාව ගැනත් කතා කරමුද?
මේ කතාව ගන්ධබ්බයෙක් වූ නඩුකාරයෙකුගේ කතාවක්. ඉන්දියාව පසුබිම් කරගෙනයි රචනා වෙන්නේ. ඔහු යම් යම් අවස්ථාවල ලංකාවට පැමිණි ඉන්දියානුවෙක්.
මෙවැනි කතාවක් රචනා කළ යුතුයි කියන අදහස ඔබේ හිතට නැඟුණේ කොහොමද?
මම යන එන මාර්ගයේ ගල්කිස්ස ප්‍රදේශයේ සොහොන් පිටියක් තිබෙනවා. ඒ 'නිසල සෙවණ'. මේ ස්ථානය නෙතට ප්‍රිය දසුනක්. මම බෞද්ධයෙක්. මේ ස්ථානය දකින විට මට හිතුණා මෙතන මිය ගිහින් එන ආත්ම අලළා 'නිසල සෙවණේදී හමු වෙමු' කියලා නවකතාවක් රචනා කරන්නට. ඒත් ඉන් පසුව හිතුණා ගන්ධබ්බයන්ගේ රාත්‍රිය කියලා පොතක් ලියන්නට. එහි එක් චරිතයක් තමයි නඩුකාරයා. නමුත් මේ නඩුකාරයාගේ කතාව දීර්ඝ ලෙස ලියැවුණා. ඒ කතාව මේ නවකතාවට පාදක වුණා. මීළඟට එන්නේ මෙහිි දෙවන කොටස 'කුවේණිගේ කතාව'. ඉන් පසුව 'භික්ෂුවකගේ කතාව' මේ විදිහට විවිධ චරිත වටා මේ කතාව ඇදී ගොස් ඉදිරියේදී පාඨකයා අතට පත් වේවි.
ඇයි ඔබ නවකතාවට මෙතරම්ම කැමැති?
එය මගේ ආත්ම තෘප්තිය. සමාජයෙන් මම ලබපු වින්දනය. ඒ ඔස්සේ තමයි මා අතින් නවකතා ලියැවෙන්නේ.
ඔබ විවිධ විෂයන් යටතේ කෘති 90 ක් පමණ රචනා කොට තිබෙනවා?
ඔව්. නවකතා, කෙටිකතා ළමා කතා, යොවුන් නවකතා, උපදේශාත්මක කතා, විවිධ විෂයානුබද්ධ කෘතීන් බොහොමයක් මම රචනා කොට තිබෙනවා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා.
ඔබ පිටිසර උපන් කෙනෙක්?
ඇත්තෙන්ම. මම මහනුවරින් හැතැප්ම පහළොවක් පමණ පිටිසර ගම්මානයක උපන්නෙක්. ඒ ගොමගොඩ, එලමල්පත ගම්මානයේ. ඒ ගමේ පාසලෙන් තමයි මූලික අධ්‍යාපනය ලැබුවෙ. අති දුෂ්්කරව ජීවිතය ගැට ගහ ගනිමින්, උත්සාහයෙන් හා කැපවීමෙන් යුතුවයිි මේ තාක් දුරක් මම ආවේ.
කුඩා කාලයේත් ඔබ ලේඛනයට දක්ෂයි?
ඔව්. නමුත් මට අවුරුදු විසි දෙකක් පමණ වන විට තමයි මගේ ඒ ආසාව මුදුන් පමුණුවා ගන්නට හැකි වුණේ. මම මගේ පළවෙනි නවකතාව 'දහසක් පැතුම් පතාලා' එළිදැක්වූවේ ඒ කාලෙදි. ඒ 1972 දියි. ඉන් පසු 1973 දී 'පියෙක් නැති පුතෙක්' නවකතාව රචනා කළා. ඒත් විවිධ ආර්ථීක දුෂ්කරතා නිසාම මම ලේඛනයේ ඉදිරියටත් නිතරවීම අපහසු වුණා. කොහොම හරි 1996 දී මම වාරිමාර්ග හා විදුලියබල අමාත්‍යාංශයේ උපදේශකයෙක් ලෙස කටයුතු කළා. එහිදී කොළඹ සබඳතා ඇති වුණා. මට 'අධිකාරම්' කියන මිතුරා හමු වුණා. ඔහුගේ පෙළඹවීම මත නැවත නවකතා රචනා කරන්නට මම පෙළඹුණා.
ඔබ හොඳ නාට්‍ය නිර්මාණකරුවෙක් ද වෙනවා?
1969 දී වේදිකා නාට්‍යයක් කළා. එය 'ගුවන් ගැබේ තවත් සඳක්' නමින් නම් කළා. එය ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යයක්. 1979 දී 'දිව සළු දිව මාළිගා' නමින් නාට්‍යයක් ද කළා. එය මගේ සොයුරු නිමල් ඒකනායක සමඟයි නිර්මාණය කළේ. මේ නාට්‍යයෙන් තමයි විල්සන් ගුණරත්න සහ කමල් දේශප්‍රිය කියන අද ප්‍රවීණ නළුවන් දෙදෙනා කළඑළි බසින්නේ. 2007 දීත් 'අලුත් ගෙවල්' නමින් නාට්‍යක් කළා. ඒ වගේම වාර්තා චිත්‍රපට හා ඒකාංගික ටෙලි නාට්‍යයක් මම අධ්‍යක්ෂණය කළා.
ඔබ සම්මානනීය ලේඛකයෙක්? 'විත්තිකරුවෝ තුන් දෙනෙක්' කෙටිකතා සංග්‍රහය තමයි මගේ පළමු කෙටිකතා සංග්‍රහය. ඉන්පසුව 2000 වසරේදී 'තෑගි ගොඩයි' කෘතිය සමස්ත ලංකා යොවුන් නවකතා තරඟයේදී පළමු ස්ථානයට පත් වුණා.ඉන් පසුව ගුණසේන, සරසවි, ගොඩගේ, මල්පියලි වැනි පොත් සමාගම් ඔස්සේ විවිධ කෘතීන් මම රචනා කළා. ඒ අතරින් බොහෝ නවකතා සම්මාන සඳහා නිර්දේශ වුණා.
ඔබට ලැබෙන පාඨක ප්‍රතිචාර කෙබඳුද?
ඔවුන්ගෙන් විශාල වශයෙන් මගේ කෘතිවලට ප්‍රතිචාර ලැබෙනවා. මම ලියන්නේ එකිනෙකට වෙනස් නවකතා. ඒ වගේම මගේ බස් වහර ඉතා සරලයි. එය ඕනැම තරාතිරමක පාඨකයකුට කියවා රස විඳිය හැකියි. පාඨක ප්‍රතිචාර මට විශාල ශක්තියක්.
ඔබේ අනාගත පැතුම්?
ලේඛනය තමයි. අත සවි ශක්තිය තිබෙන තුරු මම ලියනවා. පාඨකයා සතුටට පත් කරනවා.
|