වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි

මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි

උදයකාන්ත වර්ණසූරිය

ලාංකේය සිනමාව සහ උදයකාන්ත වර්ණසූරිය යන නම එකට පෑහෙන්නේ දශක කිහිපයක සිටය. අඛණ්ඩව සිනමාකරණයේ යෙදුණ හෙතෙම වර්තමානය වන විට සිය නාමය ඔස්සේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට ගෙන්වන්නකු හැටියට ද ප්‍රකටය. මධුර චාරිකා උදයකාන්තගේ නවතම චිත්‍රපටය වන්නේය. මේ සංවාදය අප ඔහු සමඟ කෙරෙනුයේ එම සිනමාපටය ගැන උද්ගත වූ තත්ත්වයන් ගැන දැන ගැනීමටය.

* මධුර චාරිකා චිත්‍රපටය සිනමා ශාලාවලින් ඉවත් වී ඇති බවකුයි දකින්නට ලැබෙන්නේ. ඔබගේ ප්‍රදර්ශන වාරය තුළ වෙනත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වනවා නේද?

මධුර චාරිකා ප්‍රදර්ශනය සඳහා ඊ. ඒ. පී මණ්ඩලය මට ලබා දුන්නේ අප්‍රේල් 25 දක්වා අතරමැදි කාලයක් පමණයි. ඊළඟ චිත්‍රපටය ලෙස ගිවිසුම අනුව ඔවුන් පෙළ ගස්වා තිබුණේ යශෝධරා චිත්‍රපටයයි. අප්‍රේල් 26 දා සිට එහි ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා. ඊට පෙර ප්‍රදර්ශන වාරය ලැබී තිබුණේ කුසල් චිත්‍රපටයටයි. එම චිත්‍රපටයේ ආදායම එතරම් සාර්ථක මට්ටමක නොපැවතුණු හෙයින් මධුර චාරිකා චිත්‍රපටය ප්‍රදර්ශනයට එම මණ්ඩලයෙන් මට ආරාධනාවක් ලැබුණා. මා ඒ ආරාධනාව පිළිගෙන කුසල් චිත්‍රපටයට සමගාමීව මධුර චාරිකාත් එම මණ්ඩලයේ ප්‍රදර්ශනය ආරම්භ කළා.

ප්‍රධාන ප්‍රදර්ශනයක් ලෙස මධුර චාරිකා චිත්‍රපටය පෙළ ගස්වා තිබුණේ චිත්‍රපට සංස්ථාවට අයත් රිද්මා මණ්ඩලයේ මේ වසර අවසානයට පමණ. නමුත් මේ වසරේ මාගේ අනිත් චිත්‍රපටය වන ‘වස්සානයේ සඳ’ ප්‍රදර්ශනය සඳහා සූදානම්ව ඇති නිසාත්, අලුත් චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති නිසාත් මධුර චාරිකා ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන්නට මම තීරණය කළා. මධුර චාරිකා අප්‍රේල් 25 දක්වා ඊ. ඒ. පී. මණ්ඩලයෙත් අනෙකුත් මණ්ඩලවල සමහර සිනමා ශාලාවලත් ප්‍රදර්ශනය වෙනවා.

* නමුත් පුංචි අන්දරේ චිත්‍රපටය දැන් එම මණ්ඩලයේ ප්‍රදර්ශනය වනවා නේද?

කුසල් චිත්‍රපටය ඉවත් වීම නිසා පුංචි අන්දරේ චිත්‍රපටයට ඒ අවස්ථාව ලැබුණා. එම චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේත් යශෝධරා එනතුරු අප්‍රේල් 25 දක්වා පමණයි.

* එක මණ්ඩලයක එකවර චිත්‍රපට දෙකක් පෙන්වීමේ මොකක්ද මේ අලුත් ක්‍රමය?

භාණ්ඩයක පැවැත්ම තීරණය වන්නේ පාරිභෝගිකයාගේ කැමැත්ත හා අකැමැත්ත මත. අප චිත්‍රපටයක් හදන්නට මොන ධෛර්යක් යෙදුවත්, මොන තරම් මුදලක් වියදම් කළත් අවසානයේ එහි පැවැත්ම තීරණය කරනු ලබන්නේ ප්‍රේක්ෂකයා. ඇත්ත වශයෙන්ම මධුර චාරිකා චිත්‍රපටයටත් සිනමා ශාලාවලට අවශ්‍ය ආදායම් ඉලක්ක නිසියාකාර ලෙස සපුරාලන්නට නොහැකි වූ නිසා එම මණ්ඩලය වෙනත් චිත්‍රපටයකටත් ආරධනා කරනු ලැබුවා. පුංචි අන්දරේ එම චිත්‍රපටයයි. ඒ නිසා දැනට මධුර චාරිකා චිත්‍රපටයත් පුංචි අන්දරේ චිත්‍රපටයත් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවල දර්ශන වේලාවන් බෙදාගෙන ප්‍රදර්ශනය වෙනවා.

* ‘මධුර චාරිකා’ නරක භාණ්ඩයක් නිසා ද ප්‍රේ්ක්ෂක සහභාගිත්වය අඩු වුණේ?

නැහැ. මධුර චාරිකා ගුණාත්මක හොඳ චිත්‍රපටයක් ලෙස විචාරකයින් ඇතුළු හැම දෙනෙකුගෙන්ම මම ප්‍රශංසා ලබනවා. මධුර චාරිකා චිත්‍රපටය විනෝදාත්මක බවින් අඩු, කලාත්මක හැඩතල බහුල සංවේදී චිත්‍රපටයක් ලෙස මම හඳුන්වන්නට කැමැතියි. වැඩි ප්‍රේක්ෂක පිරිසක් නැරැඹීමට කැමැත්තක් දක්වන්නේ අතිශයින්ම විනෝදාත්මක චිත්‍රපට. සිරිල් වික්‍රමගේ මහතා හමු වූ මොහොතක ඔහු මට පවසා සිටියෙ ‘සත් සමුදුර’ චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරනු ලැබුවේ සති දෙකක් පමණක් බවයි. ප්‍රදර්ශනය සති දෙකක් වුවත් එම චිත්‍රපටය සදාකාලිකවම ලාංකේය සිනමාව තුළ රඳා පවතිනවා. ලෝක සිනමාව තුළත් අප ඔය තත්ත්වය දකිනවා. ඒ නිසා එවැනි භාණ්ඩ කවදාක්වත් කල් ඉකුත් වන්නේ නැහැ.

* මධුර චාරිකා ඔබගේ සුපුරුදු සිනමා ධාරාවත් සමඟ පෑහුණේ නැහැ නේද?

මා මෙතෙක් කළ චිත්‍රපට 21 අතුරින් වැඩි ප්‍රමාණයක් වානිජ විනෝදාත්මක ධාරාවේ චිත්‍රපට. වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිනමාකරුවෙකු වශයෙන් මට ඇලුම් කරන්නේ මගේ විමෝදාත්මක චිත්‍රපට නිසා. නමුත් වානිජ සිනමාවෙන් ඔබ්බට ගොස් කලාත්මක ධාරාවට සමීප චිත්‍රපටයක් ඉඳහිට හෝ කරන්නට මම ආසයි. ලේ කිරි කඳුළු, රාජ්‍ය සේවය පිණිසයි. රන්දිය දහර, දිය යට ගින්දර, සෙනසුරු මාරුව මා එසේ කළ නිර්මාණ. මධුර චාරිකාත් එවැනි චිත්‍රපටයක්. මෙම චිත්‍රපටවලට කැමැති වෙනම පිරිසක් ඉන්නවා. නමුත් බහුතරයක් නොවෙයි.

* මධුර චාරිකා නිෂ්පාදනය කළේත් ඔබ. මධුර චාරිකාවෙන් ඔබට පාඩුවක් සිදු වෙයිද?

මධුර චාරිකා සඳහා වැඩි බරපැනක් යෙදුවේ මම. දයාවංශ ජයකොඩි මහතා සහ කුමාර වඳුරැස්ස මහතාත් නිෂ්පාදනයට සම්බන්ධ වුණා. චිත්‍රපටයෙන් ලාභයක් ලැබිය හැකි යයි මා හිතන්නේ නැහැ. චිත්‍රපටය ආරම්භයේ සිටම මට එවැනි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මා වානිජ පරමාර්ථවලින් බැහැර වූ චිත්‍රපටයක් කරන බව මෙයට සම්බන්ධ වූ නළු නිළියන් හා කාර්මික ශිල්පීන්ට පැවසීමෙන් ඔවුන් ද තම සුපුරුදු අය කිරීම්වලින් බැහැරව අඩු ගෙවීමකට ඔවුන්ගේ සේවය මට ලබා දුන්නා. ඒ නිසා නිෂ්පාදන වියදම අවම කර ගැනීමට මට හැකි වුණා.

* චිත්‍රපටයට සම්බන්ධ වූ නළු නිළියන්ගෙන් ඔබට වාසියක් ලැැබුණාද? විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතය රඟපෑ හේමසිරි ලියනගේගෙන් ඔබට අවශ්‍ය රඟපෑම් ලැබුණාද?

හේමසිරි ලියනගේ මහතාගේ රඟපෑම ගැන මා අතිශයින්ම සෑහීමකට පත් වෙනවා. තම දූ මුනුපුරන්, අවට ගම්වැසියන් හා සුන්දර අතීත මතක සැමරුම් සමඟ උපේක්ෂාවෙන් ජීවත් වෙන නිවුණු පුද්ගලයෙකුගේ චරිතයක් ඔහු නිරූපණය කළේ. එහෙයින් අංග චලනයෙන් බැහැරව මුහුණේ හැඟීම් හා ඉරියව්වලින් කරන රඟපෑමකුයි මට අවශ්‍ය වුණේ. හේමසිරි ලියනගේ මහතා ඉතාමත් දක්ෂ අයුරින් එලෙස රඟපාමින් මගේ අවශ්‍යතාවය ඉටු කළා.

අතිශයින් ජනප්‍රිය නළු නිළියන් යෙදාගෙන චිත්‍රපටයක් වානිජ අවශ්‍යතා සපුරා ගැනීමේ ඕනෑකමක් මට කොහෙත්ම තිබුණේ නැහැ. නමුත් දක්ෂ රංගන ශිල්පීන් මේ චිත්‍රපටයට සම්බන්ධ කර ගන්නට මට අවශ්‍ය වුණා. රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනීතා වීරරත්න, නිල්මිණි තෙන්න්කෝන්, චන්න පෙරේරා, කාන්ති ලංකා වැනි නළු නිළියන් ගරු රඟපෑම්වල යෙදෙන්නට කැමැත්තෙන්ම පැමිණියා. එමෙන්ම පැරැණි සිනමාවේ රංගනයේ යෙදුණු උදුලා දාබරේ, ෂෙල්ටන් සිල්වා, ප්‍රේමලාල් චන්ද්‍රසිරි, නිමලා අතපත්තු, නාලිනි අබේපාල වැනි නළු නිළියන් ද මෙම චිත්‍රපටයට සම්බන්ධ කර ගැනීමට හැකිවීම මට සතුට ගෙන දෙන තවත් කාරණයක් වුණා.

මේ චිත්‍රපටයේ අනිත් ප්‍රධාන ළමා චරිතය නිරූපණය කරන සුදම් කටුකිතුලේ දරුවාත් රඟපෑමෙන් මා සතුටටත්, විශ්මයටත් පත් කළා. ඔහු අනාගතයේදී දක්ෂ නළුවෙක් වේ යැයි මම සිතනවා.

* චිත්‍රපටය ගැන මෙතෙක් පළ වූ විචාර ගැන ඔබ තෘප්තිමත්ද?

චිත්‍රපටය පිළිබඳව මෙතෙක් මට ලැබී ඇත්තේ සුබවාදී විචාරයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, එඩ්වින් ආරියදාස වැනි ප්‍රවීණයන්ගේ විචාර මා අතිශයින් සතුටට පත් කළා. කාලෝ ෆොන්සේකා මහතා මෙය ඛ්ඪදඥථචබඪජ ර්චඵබඥපනඪඥජඥ එකක් ලෙස තම ඉංග්‍රීසි විචාරයේ සඳහන් කර තිබුණා. ආදායම් ජයග්‍රහණ පරදවා මා ලැබූ ජයග්‍රහණ ඒවායි.

* ඔබගේ අනෙකුත් චිත්‍රපටවලට වඩා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා වැඩි කාලයක් ගත වූයේ ඇයි?

මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු නිම කොට දැනට අවුරුදු තුනකටත් වැඩියි. ඉක්මන් ප්‍රදර්ශයක් සඳහා මා උනන්දු නොවූයේ විදෙස් චිත්‍රපට උත්සව හා තරඟ සඳහා ඉදිරිපත් කළ නිසයි.

* ජාත්‍යන්තර මට්ටමින් ඔබ බලාපොරොත්තු වූ ජයග්‍රහණ ලැබුණාද?

2016 වසරේ ඇම්ස්ටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උලෙළේ ග්‍රෑන්ඩ් ජූරි සම්මානයත්, වර්ල්ඩ් ෆෙස්ට් හූස්ටන් සිනමා උලෙළේ සිල්වර් රෙමි සම්මානයත්, ටොරොන්ටෝ, දිල්ලි, ඩකා, කොළඹ මෙන්ම තවත් සිනමා උත්සව රැසකදී හොඳම චිත්‍රපටය වශයෙන් තරඟකාරී අංශය සඳහා නිිර්දේශ ලැබුවා. නමුත් මා බලාපොරොත්තු වූ තරම් ඉහළ ඇගැයීම් ලබා ගන්නට නොහැකි වුණා. එහෙත් ඉන් මා ලැබූ අත්දැකිම් එමටයි.

ජාත්‍යන්තර සිනමා උලෙළවල් සඳහා චිත්‍රපට යොමු කිරිම වෙනම කාර්යභාරයක් හා වෙහෙසකර කටයුත්තක්. ජාත්‍යන්තර සම්බන්ධතාත් අවශ්‍යයි. එහෙයින් දිගින් දිගට එවැනි උත්සාහයක නිරතවීමට මට කැමැත්තක් හෝ වේලාවක් නැහැ. මගේ වැඩි කැමැත්ත ඇත්තේ මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටින්නයි. බොහෝ පේ‍්‍රක්ෂකයින් මගෙන් බලාපොරොත්තු වන්නේත් එයම බව මා දන්නවා.

* අද වන විට සෑම කෙනෙකුගෙන්ම සිනමාව ගැන අසන්නට ලැබෙන්නේ මැසිවිලි. වර්තමාන සිනමාව විශාල අර්බුදකාරී තත්ත්වයක පවතින බවකුයි සැවොම කියන්නේ?

අද සිනමාව තුළ ඇති ප්‍රධාන අර්බුදය ලෙස මා දකින්නේ ආකර්ෂණීය, විනෝදාත්මක, ගුණාත්මක චිත්‍රපටවල හිඟයයි. එමෙන්ම තරුණ සිනමාකරුවන්ට ඔවුන්ගේ කලාත්මක නිර්මාණ ප්‍රදර්ශනය කර ගත නොහැකි අර්බුදයකුත් තිබෙනවා.

* මේ සඳහා චිත්‍රපට සංස්ථාවට මැදිහත් විය නොහැකිද?

කලාත්මක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරිමට යම් තරමින්වත් ඉඩහසර ලබා දී ඇත්තේ චිත්‍රපට සංස්ථාවට අයත් රිද්මා මණ්ඩලයයි. නමුත් සංස්ථාවට චිත්‍රපට නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ. තරංගනී සිනමා ශාලාව හැර වෙනත් කිසිදු සිනමා ශාලාවක අයිතියක්වත් සංස්ථාවට නැහැ.

* මේ අක්‍රමවත් චිත්‍රපට බෙදා හැරීම සිදු කරන පුද්ගලික සිනමා මණ්ඩල ඒකාධිකාරය බිඳ දැමීමට චිත්‍රපට සංස්ථාව පියවර නොගන්නේ ඇයි?

චිත්‍රපට බෙදා හැරිම නිදහස් කර ඇති නිසා දැනට ඇති තත්ත්වය අනුව ඔවුන්ට දැඩි බලපෑම් කරන්නට සංස්ථාවට පවා හැකියාවක් නැතැයි මට සිතෙනවා. කොතරම් නීතිරීති පොත්වල තිබුණත් චිත්‍රපට සංස්ථාවත් සිනමා මණ්ඩලයක් පවත්වාගෙන යමින් ඔවුනුත් වෙළෙදාම් කටයුතුවල නිරත වන නිසා මේ ප්‍රශ්නවලට දැඩි බලපෑම් කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

* එසේ නම් චිත්‍රපට ප්‍රදර්ශනය හා බෙදා හැරීම් කටයුතු සිදු විය යුත්තේ ප්‍රදර්ශන සමාගම්වල ඕනෑ එපාකම මතද?

අද ලෝකයේ සීඝ්‍රයෙන් සිදු වන තාක්ෂණික වෙනස්කම් සමඟ පැරැණි මතවාද මත කටයුතු කිරීම එතරම් සුබවාදී නැහැ. චිත්‍රපට බෙදා හැරීමේ හා ප්‍රදර්ශන කටයුතු නිදහස් විය යුතු යැයි මා සිතනවා. නමුත් ඒ නිදහස කිසියම් පාලනයකින් යුතුව සිදු විය යුතුයි. එය අධීක්ෂණය කළ යුතුයි. එහෙයින් සංස්ථාවට අනුයුක්ත වූ නියාමන ආයතනයක් හෝ ඉන් බැහැර වූ අධිකාරියක් මඟින් මේ දේ සිදු විය යුතු යැයි මා සිතනවා.

* සිංහල චිත්‍රපට සඳහා සියයට හැටක තිර කාලයක් තිබිය යුතු බව සඳහන් වෙනවා. දැන් ඒ නීතිය එලෙස ක්‍රියාත්මක වන බවක් දකින්නට නැහැ?

එම නීතිය බල පැවැත් වෙන්නේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වෙන් වූ සිනමා ශාලාවල පමණයි. සිංහල චිත්‍රපට හොඳින් දුවනවා නම් සියයට හැටක් නෙවි සියයට සියයකින්ම සිනමා ශාලා හිමියෝ සිංහල චිත්‍රපට පෙන්වාවි. අර්බුදය පැන නගින්නේ එවැනි දුවන හොඳ සිංහල චිත්‍රපට නැති වුණාම. හින්දි හෝ ඉංග්‍රීසි චිත්‍රපට පෙරකකා නරඹන ප්‍රේක්ෂක පිරිසක් අද අපට නැහැ. ෂාරුක් ඛාන්ගේ, රැජිණකාන්ත්ගේ චිත්‍රපටයක් අවොත් ඒවා බලන පිරිසක් ඉඳීවි. අනෙකුත් චිත්‍රපටවලින් සිංහල චිත්‍රපටලට විශාල බලපෑමක් කරන්නට බැහැ. සිංහල චිත්‍රපට පෙන්වන සිනමා ශාලාවල පැවැත්ම රඳා පවතින්නේ සිංහල චිත්‍රපටවලින් පමණක්ම බව සිනමා ශාලා හිමියෝ හොඳින් දන්නවා. අපත් එය දැනගත යුතුයි.

* නමුත් දැනට චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වී පෝලිමේ හිර වී තිබෙනවා නේද?

ඔව්. ආරංචියේ හැටියට චිත්‍රපට අසූවක් පමණ ප්‍රමාණයක් අද නිර්මාණය වී තිබෙනවා. නමුත් මෙම චිත්‍රපට අසුවෙන් හය හතකට වඩා පෝලිම්වල හිර වී නැහැ. බොහෝ ප්‍රමාණයක්, ප්‍රේක්ෂක ආකර්ශණීය තත්ත්වයක් හා ගුණාත්මක බවක් නැති නිසා ඒවා ප්‍රදර්ශනයට සිනමා මණ්ඩල බාර අරගෙන නැහැ. සැබැ තත්ත්වය ඒකයි.

* නමුත් හොඳ යැයි කියා මණ්ඩල තෝරා ගත් චිත්‍රපට බොහොමයක් අසාර්ථක වුණා නේද?

පසුගිය කාලයේ එලෙස අසාර්ථක වූ බොහෝ චිත්‍රපට එම මණ්ඩල විසින් තමන් පෙළ ගස්වා ගෙන සිටි ගුණාත්මක චිත්‍රපටය ප්‍රදර්ශනය වනතුරු අතරමැදට හදිසියේ දමාගත් චිත්‍රපට. එසේත් නැත්නම් දේශපාලන බලපෑම් මගින් රිංගා ගත් චිත්‍රපට. කලාත්මක චිත්‍රපටවලට නම් හැමවිටම ඒ ප්‍රශ්නය තිබුණා.

* ප්‍රේක්ෂකයින් නඟන තවත් මැසිවිල්ලක් තමයි නියමිත දර්ශන වේලාවක තමන් කැමති චිත්‍රපටයක් නරඹන්නට නොහැකි වීම?

සිනමා ශාලාවක සාර්ථකව එක දිගට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර ගත නොහැකි වූ විටයි ඔය තත්ත්වය උද්ගත වන්නේ. දර්ශන සඳහා ප්‍රේක්ෂකයින් නොපැමිණෙන විට සිනමාහල් අසරණ වෙනවා. එවිට ඔවුන් වෙනත් චිත්‍රපටයක් හෝ යොදා ආදායමක් උපයා ගන්නට උත්සාහ දරනවා. මේ නිසා ඔවුන් තම හිතුමතේට දර්ශන වේලාවන් වෙනස් කරමින්, වෙනත් මණ්ඩලවල දුවන චිත්‍රපට පෙන්වමින් සිනමා ශාලාව කෙසේ හෝ නඩත්තු කර ගන්නට පෙළඹෙනවා. හැමෝම පත්තරවල පළවෙන දර්ශන වේලාවන් බලලා සිනමා ශාලාවට යන්නේ නැහැ. සිනමා ශාලාවට ගිය පසුවයි ඔවුන් දැන ගන්නේ ඒ වේලාවට ඇත්තේ තමන් බලන්නට ආ චිත්‍රපටය නොවන බව. මේ නිසා ඔවුන් සිනමා ශාලාව ගැන දැඩි කලකිරීමකටත්, කෝපයකටත් පත් වෙනවා. මධුර චාරිකා චිත්‍රපටයෙන් මාත් ඒ අමිහරි අත්දැකීමට මුහුණ දුන්නා.

සිනමා ශාලා හිමියන් තාවකාලික පිළියමක් ලෙස මෙලෙස හිතුමතේ දර්ශන වේලාවන් වෙනස් කර එක එක චිත්‍රපට පෙන්වීම, දීර්ඝකාලීනව සිනමාවට කෙරෙන හානියක් ලෙස මම දකිනවා. මෙයට පිළියමක් ලෙස මට හැඟෙන්නේ තමන්ට අයත් මණ්ඩලයේ චිත්‍රපටය පමණක් සියලුම දර්ශන වේලාවල පෙන්වා ආදායම අඩුනම් එය හැකි ඉන්මනින් හෝ ඉවත් කර, පෙළ ගස්වා ඇති ඊළඟ චිත්‍රපටයට අවස්ථාව ලබාදීමයි.

* මෙම චිත්‍රපට පෝලිම අඩුකර ගැනීමට හා සාධාරණ චිත්‍රපට ක්‍රමවේදයක් සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ අනුමත අනු පිළිවෙළ අනුව මණ්ඩල සඳහා චිත්‍රපට මුදා හැරිය යුතු බවටත් ගෙන එන යෝජනා ගැන ඔබේ අදහස කිව්වොත්?

රැඟුම් පාලක මණ්ඩලය චිත්‍රපට අනුමත කරන්නේ වර්ගිකරණ හෝ ගුණාත්මක ක්‍රමවේදයකට අනුව නොව චිත්‍රපටයේ අන්තර්ගතය සමාජයට හිතකරද නැද්ද යන කාරණාව මත පමණයි. චිත්‍රපටය මහජනයාට නැරැඹීමට සදුසු ද නැද්ද යන කාරණාවට. එහි කාර්මික හෝ සිනමාත්මක බව රැඟුම් පාලක මණ්ඩලය නිර්නායකයන් කර ගන්නේ නැහැ. අද චිත්‍රපටය කියන වචනයට මුවා වී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉතාමත් ලාබ මුදලකට බාල, නිසරු දේවල් හැදෙන්නට පුළුවන්. ඒවා රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලබාගෙන සිනමා ශාලාවල අනිවාර්යයෙන්ම පෙන්විය යුතු බවට ප්‍රදර්ශන පෝලිමට එක් වුවහොත් මුලු සිනමා කර්මාන්තයම කඩා වැටෙනවා. එවිට පෝලිම දික්වීම නිසා ගුණාත්මක චිත්‍රපට හදන නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන් සිනමාවෙන් ඉවත්වීමක් සිදු වේවි. ඒ නිසා කිසියම් වර්ගීකරණ ක්‍රියාවලියක් ඔස්සේ ඒ දේ සිදු වන්නේ නම් කමක් නැහැ.

* ඔබගේ මීළඟ නිර්මාණ කටයුතු මොනවාද?

අප්‍රේල් 25 දායින් පසු මධුර චාරිකා සමඟ ඇති බැඳීම් හැර දමා වස්සානයේ සඳ චිත්‍රපටය සමඟ බැඳෙනවා. වස්සානයේ සඳ, වෛශ්නාවී චිත්‍රපටයෙන් පසු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. අගෝස්තු මාසයේ තවත් විනෝදාත්මක ආදර කතාවක රූපගත කිරීම් ආරම්භ කරනවා. ලබන වසරේ ගින්දරී 2 ත්, ගිනි අවි සහ ගිනි කෙළි 2 හෝ පටාචාරා ඓතිහාසික චිත්‍රපටයත් ආරම්භ කිරීමටත් සැලසුම් කරගෙන යනවා.