|
ආදරය දෝතින් ගත් චූටි දූ
මේ විදියට බොහෝ දෙනෙකුගේ ආදරය ලබන්නේ ‘පීහු’. පීහු කියන්නේ සුරතල් පුංචි දියණියක්. පුංචි පීහු පෙබරවාරි 18 ඉරිදා සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම සවස 6ට ටීවි දෙරණ නාලිකාවෙන් ඔබේ ආලින්දයට පැමිණෙනවා. ඒ ‘චූටි දූ’ ටෙලි නාට්‍ය මාලාව සමඟින්. ‘චූටි දූ’ ලෙසින් ඔබේ ආලින්දයට පැමිණෙන පීහු ගෙන එන්නේ ඉන්දියාවේ Zee Bangla සහ Zee TV ඔස්සේ විකාශය කෙරුණු Bhutu ටෙලි නාට්‍ය මාලාවයි. බෙංගාලි සහ හින්දි බසින් නිර්මාණය කෙරුණු මෙම ළමා හාස්‍යමය ටෙලි නාට්‍ය මාලාව Zee TV ඔස්සේ නම් ඉන්දියාවේ තවමත් විකාශය කෙරෙනවා. පීහු නම් කුඩා දැරිය තම මරණයෙන් පසුව භූතාත්මයක් වී උපත ලබනවා. කිසිවෙකුට ඇය නොපෙනීම නිසා කිසිවෙකුගේ ආදරය මේ පුංචි පීහුට අහිමි යි. ඒ ගැන ඇය නිරන්තරයෙන් කනස්සල්ලට පත් වුණත් හැකි සෑම අවස්ථාවකම අන් අයට උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. නිරන්තරයෙන් මිතුරු මිතුරියන් සමඟින් සෙල්ලම් කිරීමට වඩාත් ප්‍රිය කරන පීහු සිය මව වෙත දක්වන්නේ පුදුමාකාර ආදරයක්.
මෙහි පීහු හෙවත් භූතුගේ චරිතයට පණ පොවන්නේ ඉන්දීය ළමා නිළියක වන අර්ශියා මුඛර්ජි. එම චරිතයට සුරතල් ලෙසින් සිංහල දෙබස් කවන්නේ, ෂුහෛසී ඩේන්. ෂුහෛසී ඩේන් ඔබ කාටත් අමතක නොවන අපේ කලා ලොවේ දිලෙන පුංචි තරුවක්. දෙරණ ලිට්ල් ස්ටාර් 08 වැනි අදියරේ ජනප්‍රියම තරුව වුණේ ඇය යි. ලිට්ල් ස්ටාර් වේදිකාවේ මියුරු හඬින් ගී ගැයුව ෂුහෛසී කලාව උපතින් උරුම කරගත් මැලේ ජාතික පුංචි කලාකාරිණියක්. ඇය සිංහල සිනමාවේ පුරෝගාමී ජනප්‍රිය නිළියක මෙන්ම ගායිකාවක වන ජෙමිණි කාන්තාගේ මී මිනිපිරියක්. ගායනයට පමණක් නොව නර්තනයට ද හපන්කම් දක්වන පුංචි ෂුහෛසීගේ වයස අවුරුදු හතරක්. සුරතල් බසින් ‘චූටි දූ’ ටෙලි සිත්තමේ පුංචි පීහුට හඬ දෙන ඇය කථික තරඟවලත් ඉදිරියෙන්ම සිටින නුවණැත්තියක්. ජාත්‍යන්තර පාසලක සිව්වැනි වසරේ ඉගෙනුම ලබන ෂුහෛසී පදිංචි වෙලා ඉන්නේ අතුරුගිරියේ. ෂුහෛසීට අමතරව සමන්ති චතුරාණි (සුචි), තරංගික රෂාන් (ගෝපාල්), අචලා විතානගේ (ආනන්දිතා), සුභාෂි නිදීෂා, රණසිංහ ලෝලුවාගොඩ, කෝකිල පවන්, ජනාදරී බද්දෙවත්ත, ඉෂාර වික්‍රමසිංහ ඇතුලු පිරිසක් ‘චූටි දූ’ ටෙලි නිර්මාණයට හඬ දායකත්වය ලබා දෙනවා. ෂෙහාන් ක්‍රිස්මරින් විසින් සහය දෙබස් අධ්‍යක්ෂණය සහ පරිවර්තනය සිදු කෙරෙන අතර හඬ කැවීම් අධ්‍යක්ෂණය කරන්නේ අනුරාධ සිගේරා විසින්.
|