වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රොජෙක්ටර් කාමරේ ජරමරේ

ප්‍රොජෙක්ටර් කාමරේ ජරමරේ

හෙඩ් ඔපරේටර් නැතිනම් ප්‍රධාන ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරු සිනමාහලට එනතුරු කැබින් එකේ නැතිනම් ප්‍රක්ෂේපණාගාරයේ දොර අරින්නට බැරිය. හේතුව දොරේ ඉබ්බාගේ යතුර ඇත්තේ ඔහු ළඟය. අනික් යතුර තිබුණේ අපේ තාත්තා ළඟය. එනම් වැලිගම චාන්දනී සිනමාහලේ නිර්මාතෘ පඥාදාස විජේවික්‍රම. තාත්තා සිනමාහලට එන්නේ උදේ 10.00 ට පමණය. හෙඩ් ඔපරේටර්ට කලින් ඔහුගේ ගෝලයන් දෙදෙනා වන දෙවන ඔපරේටර් සහ රිවන්ඩර් නැතිනිම් රීල් ඔතන්නා පැමිණ සිටීම අනිවාර්යය. උදේ 8.30 ට පමණ ෆුට් සයිකලයක් පැදගෙන එන හෙඩ් ඔපරේටර් සිනමාහලේ විශේෂ ස්ථානයක බයිසිකලය නවතා හැඬලයේ එල්ලා ඇති උදේ කඩාගත් කුඩා මල් බෑගය දකුණු අතින් ගෙන කිසිවකුටත් හිස නමන්නේ නැතිව පඩි දෙකක් එකක් ගානේ කඩිසරව අඩිය තබමින් නඟින්නේ සිනමාහලේ ඉහළම මාලය වූ තුන් වැනි මහලේ පිහිටා ඇති ඔහුගේ රාජධානිය වූ ප්‍රක්ෂණාගාරයටයි. ඔහු එතරම් ජව සම්පන්නය.

දොරේ ඉබ්බා අරින ඔහු පළමුව තම සෙරෙප්පු දෙක ගලවා ප්‍රක්ෂණාගාරයට ඇතුල් වන විට ඔහුට පිටුපසින් ගෝලයන් දෙදෙනාත් ඇතුල් වේ. එක් ගෝලයෙක් ප්‍රක්ෂපණ යන්ත්‍ර දෙක රෙදි කැබැල්ලකින් පිස දමන අතර අනෙකා කොස්සෙන් බිම අතුගාන්නට පටන් ගනී. මේ දේවල් කරන තුරු හෙඩ් ඔපරේටර් අර ගෙනා මල් බුදු පහන ළඟ තබා පහන පත්තු කර බුදුන් වඳී. ඔහු බුදුන් වැඳ අවසන් වන විට ප්‍රොජෙක්ටර් කාමරයේ සියලු දෑ පිරිසුදු වී හමාරය.

සිනමාහලට චිත්‍රපටයක් ලැබෙන්නේ චිත්‍රපට සංස්ථාවේ සිට දුම්රියෙන්ය. චිත්‍රපටයේ රීල් කෑන් තුළට බහා ලොකු ට්‍රන්ක් පෙට්ටියකට දමා පොටෝ කාඩ් සමඟ චිත්‍රපටයේ පිටපත ගැන වාර්තාවක් ද ඒ සමඟ එයි. එම වාර්තාවේ චිත්‍රපටයේ රීල්වල ඇති මූට්ටු ගණන, ඇති කැපුම් ගණන, පිටපතේ සමහර තැන් සීරී ඇත්නම් ඒ ගැන ද, කොපමණ රීල් ප්‍රමාණයක් ඇති බව ද සහ දිග කොපමණ ද යන්න අඩංගුය. මෙම ට්‍රන්ක පෙට්ටිය දුම්රිය ස්ථානයේ සිට සිනමාහල වෙත ගෙන එන්නේ ෆුට් බයිසිකලයේ පිටුපස ඇති ලගේජයේ තියාගෙනය. සේවකයන් දෙදෙනකු මේ සඳහා පිටත් වේ. පිටපත සිනමාහලට රැගෙන ආපසු එය විවෘත කර ෆොටෝ කාඩ් ඉදිරියේ ඇති දැන්වීම් පුවරුවේ ඇනවලින් ගසා සවි කොට අර කෑන් ප්‍රොජෙක්ටර් කාමරයට රැගෙන ගොස් රිවන්ඩරයට දමා නැවත එම රීල් පරීක්ෂා කර චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර තත්ව වාර්තාවක් සකසු කරයි.

නැවත ප්‍රදර්ශනය වී දින ගණනින් පසුද චිත්‍රපට පිටපතේ තත්ත්වය පිළිබඳ තත්ව වාර්තාවක් ද හෙඩ් ඔපරේටර් විසින් සකස් කර එම වාර්තාවේ තම අත්සන ද යොදා නැවත පිළිවෙළට අර කෑන් අසුරා ෆොටෝ කාඩ් ද දමා ට්‍රන්ක පෙට්ටිය වසා එහි අගුලට ලාකඩ දමා සීල් කර නැවත දුම්රිය මඟින් චිත්‍රපට සංස්ථාව වෙත යවනු ලබයි. ප්‍රොජෙක්ටර් කාමරයට ඇතුල් වන විට මුලින්ම තිබෙන්නේ පළමුවන ප්‍රොජෙක්ටර් යන්ත්‍රයයි. මැද වැල්ව් ඇම්ලිෆයරය බිත්තියේ සවිකර ඇත. ඊළඟට දෙවන ප්‍රොජෙක්ටරයයි. මේ දෙකම පොළවට වඩා අඩි 1 1/2 ක් පමණ උඩින් සවිකර ඇත. ඊළඟට ස්ලයිඩ් පෙන්වන ප්‍රොජෙක්ටර් යන්ත්‍රයයි. චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භයට කලින් වෙළෙඳ දැන්වීම් පෙන්වනු ලබන්නේ මෙම යන්ත්‍රයෙනි. එක දැන්විමක් තත්පර 5 පමණ පෙන්නා ඊළඟ දැන්වීම පෙන්වයි. මෙය ක්‍රියාත්මක වන්නේ අතින්ය. ප්‍රමාණයෙන් ද කුඩාය. එතනම තැටි වාදන යන්ත්‍රය සහ ටේප් රෙකෝඩරය ඇත. ප්‍රධාන ලාම්පු පුවරුව ඊළඟට සවිකර ඇත. එතන විශාල ස්විච් ගොඩකි.

මා සිනමාහලට ගිය පළමු දිනවල ප්‍රොජෙක්ටර් කාමරයට යාමට කැමති වුණත් ප්‍රධාන යන්ත්‍ර ක්‍රියාකරු එයට අකමැති බව මට තේරුම් ගියේය. මම එය තේරුම් නොගත් විලසින් සිටිමට වගබලා ගත්තෙමි. ටික දිනක් යන විට ඔහු මට කතා කළේය. අනතුරුව මා කැබින් එකට රැගෙන ගියේය. වසා ඇති කලුපාට දොරේ සුදු අකුරෙන් 'අවසර නැතිව ඇතුල්වීම තහනම්' කියා ලියා තිබුණි. ඉබ්බා ඇරගත් ඔහු සෙරෙප්පු ගලවන විට මම ද ඔහුව අනුගමනය කරමින් සෙරෙප්පු දෙක ගලවා පන්සලකට ඇතුල් වනවා සේ ඉතා සන්සුන්ව කැබින් කාමරය නරඹන්නට පටන් ගත්තෙමි. බුදු පින්තූරය තිබෙන කුඩා බිත්තිය ඇරෙන්නට අනෙක් බිත්ති පුරා නිළියන්ගේ පින්තූර අලවා තිබුණි. නළුවන් සිටියේ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් පමණි. වැඩිපුරම තිබුණේ කොටට ඇඳගත් විදේශීය නිළියන්ගේ පින්තූරය. මම නොදැක්කා සේ සිටීමට වගබලා ගතිමි.

ටික දිනක් යනවිට හැමදාම වාගේ චිත්‍රපටයක් විවේක කාලයේදී කැබින් කාමරයට යාමට මම පුරුද්දක් කර ගත්තෙමි. පළමුව වසා ඇති දොරට සෙමින් තට්ටු කරයි. එවිට ඇතුළෙන් 'කවුද' යන්න මට ඇසේ. මම මම කියා ඉතා සෙමින් කී විට ටික වේලාවකින් දොර ඇරේ. තාත්තා දොරට ගහන වේගයට තත්පර දෙකක් යන්නට කලින් දොර ඇරේ. ඔහු දොරට ගහන හයිය ඇතුළේ ඉන්නා අය හොඳට දනියි. එහෙම ගිය දිනක මට අපූරු වැඩක් විය. මා පළමුව ගොස් රිවන්ඩරය ළග නතර වී එය කරකවන්නට පටන් ගත්තෙමි. ඒ කියන්නේ ප්‍රෙ‍්‍රාජෙක්ටර් යන්ත්‍රයේ පහළ ඇති ස්පුල් එකය. සෑම විනාඩි දහයකට පමණ වරක් රීල් එකක් මෙම ස්පූල් රිවන්ඩරය වෙත එයි. නැවත එම රීලය මුලට එනතුරු තවත් හිස් රීලයකට එතීමක් එතැන සිදු වෙයි. මෙය සෙලෝලයිට් 35 ර්. ර්. වර්ගයේ රීලයකි. මම එම රීලය නැවත එතීමට ගිය විට ප්‍රධාන යන්ත්‍ර ක්‍රියාකරු පැමිණ ඔහොම නෙවි මෙන්න මෙහෙම වම් අතේ මහපට ඇඟිල්ල පටියේ එක පැත්තකත් අනෙක් පැත්තට මැද ඇඟිල්ලත් තබාගෙන පටිය යාන්තම් තද කරගෙන දඹර ඇඟිල්ල පටියේ මැදින් තබාගෙන දකුණු අතින් රිවන්ඩරය කරකවන්නට උපදෙස් දුන්නේය.

මම ද ඔහු කියා දුන් පරිදි පටිය අල්ලන් කරකවන විට එකපාරටම ඔහොම හෙමින් කරකවලා බෑ. මෙන්න මෙහෙම හයියෙන් කරකවන්න ඕන කියා ඔහු හයියෙන් රිවන්ඩරය කරකවන්නට පටන් ගත්තේය. තත්පර දෙකක් ගියේ නැත. මගේ මහපට ඇඟිල්ලත් මැද ඇඟිල්ලත් ගිනි ගන්නවා සේ දැනුණි. ඒත් මම පටිය අත හැරියේ නැත. රීලය නැවත එතීමෙන් පසු ඔහු මගෙන් දැන් හරිනේ කියා සමච්චලයට මෙන් අසන විට මම ද ඔහුට නොපෙනෙන පරිදි වම් අත කලිසම් සාක්කුවේ ඇතුළට දමාගෙන ගිනි රත් වූ ඇඟිලි කලිසමේ අතුල්ලමින් හරි හරි මම ඊළඟ රීලයත් ඒ විදියට ඔතන්නම්කෝ කියා කීවේ කිසිවක් නොවූ පරිදිය. ආපසු හැරී ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රොජෙක්ටරය වෙත යන ඔහුගේ සිවිලිමේ ඇති ටියුබ් ලයිට් එළියෙන් දිලිසෙන තට්ටය දකින මට හිතුණේ දෙකේ දෙකේ පොල්ලක් ගෙන මුගේ තට්ටය පලන්නට ඇත්නම් කියාය. සෙලොලයිට් පටිය ප්‍රොජෙක්ටරයට සවි කිරීම් ක්‍රියාවලිය ද හරි අපූරුය.

පළමුවන අංකය ඇති රීලය පළවන ප්‍රොජක්ටරයේ උඩම ඇති ඇනයේ රඳවා ලොක් එක දමා පටිය පහළට අදී. මෙහිදී පටියේ සිටිනා නළු නිළියන් සිටින්නේ ඔළුවෙන් හිටගෙනය. ඒ කියන්නේ ඔළුව පහළට සිටින සේය. ඊට පසු ක්‍රමයෙන් ස්ප්‍රොකට් හරහා පටිය තද කරමින් ගේට් එක නම් ස්ථානය් ඇති 35 ර්. ර්. සිදුරට අර පටියේ ඇති එක රූප රාමුවක් හරියටම තබා තද කළ යුතුය. රූප රාමු දෙකක් අතර තිබෙන කළු පාට ඉර නොපෙනී සිටින ලෙසය. ඊට පසු අනෙක් ස්ප්‍රොකට් හරහා පටිය රඳවමින් අවසානයේ පහළට ඇති ස්පූලයට පටිය හිර කරයි. ප්‍රොජෙක්ටරයේ කර කැවෙන්නේ ස්ප්‍රොකට් සහ පහළ ස්පූලය පමණි. උඩම ඇති ස්පූලයෙන් පටිය නිකම් පහලට ඇදී යයි. කලින් සඳහන් කළ ගේට් එක තුළින් එක තත්පරයකදී රූප රාමු 24 ක් පහළට ඇදී යයි. විශාල ආලෝක ධාරාවක් ගමන් කරන්නේ එම ගේට් එකෙනි. මෙහිදි එම රූප රාමුවල තිබෙන චලනය අපි තිිරයේ දැක ගතිමු. උඩ ගේට් එක ඉදිරියේ ඇති කාචය තුළින් ඔලුව පහතට තිබෙන රූප රාමුව ඔලුව උඩ අතට හැරවීමෙන් පසු ඉදිරි බිත්තියේ ඇති කුඩා කවුළුව තුළින් අඩි 80 ක් පමණ දුරින් පිහිටා ඇති විශාල තිරයේ රූප පතිත වේ.

සමහර අවස්ථාවලදී සෙලොලයිට් පටිය ප්‍රොජෙක්ටරය මැද දී කැඩී යයි. එවිට පටිය අර ගේට් එක තුළ නවතින විට අර එන ආලෝක ධාරාවේ සැරට පටිය පිලිස්සී යයි. නරඹන්නන් චිත්‍රපටයේ කෑලි පිච්චි ඇද්දැයි අපෙන් අහන්නේ ඒ ක්‍රියාවලිය නිසාය. චිත්‍රපටය නරඹන අයට පටිය පිලිස්සෙන ආකාරය තිරයේ හොඳට දැක ගත හැකි වේ. සෙලොලයිට් පටි කැඩුණ විට එම කැඩුණු කැබැල්ලේ රාමු දෙක අතර තිබෙන කලු පාට තීරය ළඟින් කපා වෙන් කරයි. ඉන් පසු පටි දෙකේම ඇති කලු ඉර බ්ලේඩ් තලයකින් සූරා දමා ෆිල්ම් සිමෙන්ට් නම් වූ දියරයකින් බිඳක් පොඩි බුරුසුවකින් එම කොටස් දෙක එකට තබා තිබූ පසු තත්පරයක් යන්නට මත්තෙන් එම පටි දෙක ඇලවේ. එදා අපි චිත්‍රපටයක් නරඹන විට සින්දුවක් යන විටදී මැදින් පනින ගතියක් දැනෙන්නේ අන්න අර කපපු කැබැල්ල නැති නිසාය.

තවත් සමහරක් අවස්ථාවලදී පටිය ප්‍රොජක්ටරය යටින්ම ඇති ස්ප්‍රොකට් එකෙන් කැඩී යයි. එවිට චිත්‍රපටය නරඹන්නන්ට එය දැනෙන්නේ නැත. චිත්‍රපටය තිරයේ දිගටම යයි. ඒත් කැබින් කාමරය පුරාම අර පටි බිම දිගේ නයි එන්නා සේ ගොඩ ගැසේ. මේ වේලාවට ඔපරේටර්ලා සියල්ලම කඩියන් සේ අර කැඩුණු මුල් ස්ථානය තෝරා ගෙන පහළ නිකං කරකැවෙන සුපුලයට නැවත අර පටිය ඇතුල් කර ගනී. මෙය කියන තරම් ලේසි කටයුත්තක් නොවේ. හරි පළපුරද්දක් නැතිනම් පටියට දැඩි හානි සිදුවන්නට පුළුවන.

තවද චිත්‍රපටය පෙන්වීමට එළිය එන්නේ ධන හා රින කාබන් කූරු දෙකක් එකට එකතුවීම මඟිනි. මෙය හරියට වෑල්ඩින් කරන එළිය හා සමානය. ඒ එළිය කෙළින්ම බැලුවොත් ඇස් නිලංකාර වී යයි. ඒ මදිවාට පුදුමාකාර රස්නයක් එම කාබන් කූරු පත්තු වන ස්ථානයේ තිබේ. සෑම විනාඩි දහයකට පමණ වරක් මෙලෙස ප්‍රොජෙක්ටර් දෙක මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වේ. පළවෙනි ප්‍රොජෙක්ටරයේ දුවන රීලය අවසන් වීම ළඟා වන විට දෙවන ප්‍රොජෙක්ටරය සුදානම් වී සිටී. අර කැබින් එක ඇතුළේ ඇති පුංචි කවුළු තුළින් ඔපරේටර්ලා දෙන්නා තිරය දෙස බලා සිට දැනට දුවන රීලය අවසන් වන්න ළඟා වන විට තිරයේ දකුණු පස උඩ කෙළවරින් ඉතා කුඩා ඉරක් තිරයේ පතිත වී නොපෙනී යයි. පළවන ඉර දැක්ක ගමන් දෙවන ප්‍රොජෙක්ටරය ක්‍රියාත්මක කරයි. ඊළඟට තත්පර දෙකක් ගතවන විට දෙවන ඉරි කැබැල්ල තිරයේ පතිත වේ. පළමු ප්‍රොජෙක්ටරයේ ආලෝක කවුළුව වැසී දෙවන ප්‍රොජෙක්ටරයේ කවුළුව විවෘත වේ. ශබ්දය ද ඒ හා සමානව දෙවන ප්‍රොජෙක්ටරයට මාරු කරයි. මෙම කාරිය හරියට කළේ නැතිනම් ප්‍රේක්ෂකයාට රීලයේ ඇති අවසන් අකුරු තිරයේ දැක ගැනීම හැකිවේ. එහෙම වුණ වේලාවට දෙවන ඔපරේටර්ගේ ඔළුව දෙදරන්නට ටොක්කක් වරදින්නේ නැත. ඉතින් ඔහු ඔළුව අතගාමින් කරබාගෙන ඊළග වැඩේට යයි.

රිවන්ඩර්ට ප්‍රොජෙක්ටර් දෙකම ඇල්ලීම තහනම්ය. ඔහුට තියෙන්නේ රීල් නැවත ඔතා අනු පිළිවෙලට රීල් තබන කබඩයේ තැබීම පමණි. වැරැදීමකින් හරි වෙනත් නොම්මරයක් තිබෙන තැනක රීලයක් තැබුවොත් චිත්‍රපටය නරඹන්නාට කතාව එක පාරටම වෙනස් වන ගතියක් දැනේ. ඉතින් හූ හඬ නවත්තන්නට බැරිය. කාබන් එළිය වැරැදිලාවත් නිවුණොත් අර හු හඬ ප්‍රේක්ෂකාගාරය දෙවනත් කරයි. මේ වේලාවට ඔපරේටර්ලා සත්තු වාගේය. කලබල වී සමහර විට අර රත් වූ කාබන් කැබැල්ල හරි ගස්සන්නට යාමේදී ඇඟිලි ද පිච්චෙන අවස්ථා බොහෝය.

චිත්‍රපටය පටන් ගෙන ඉවර වන තෙක් ප්‍රොජෙක්ටර් කාමරය එකම යුද්ධයකි. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන් මේ කිසිවක් දන්නේ නැත.

හෙඩ් ඔපරේටර් මොන තරම් දඩබ්බර චරිතයක් වුණත් ප්‍රක්ෂේපණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර යන්ත්‍රයට වැඳ නමස්කාර කර යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම හොඳ පුරුද්දක් ලෙස මම දකිමි.

සමහර දිනවලදී මේ සියලු ක්‍රියාවලියම තනිවම කිරීමටත් ඔවුන් දක්ෂය.

මේ ළඟදී දිනයක මාතර ආදායම් බදු කාර්යාලයේදී දකුණු පළාතේ සිනමාහලක හිමිකරුවකුගේ දියණියක් මුණ ගැසුණු අවස්ථාවේදී අපි අතීත සිනමාව ගැන කතාබහ කළෙමු. ඇය මට කීවේ ඇය කුඩා කාලේදී සිනමාහලේ ප්‍රොජෙක්ටර් කාමරයට යාමට දැඩි බියක් තිබූ බවයි. හේතුව ප්‍රධාන යන්ත්‍ර ක්‍රියාකරු විදුලි කාර්මිකයකු නිසා කාමරය පුරාම වයර් ඇද තිබීමයි. පසුව ඇයට ද මට මෙන් දැන් තනිවම ප්‍රොජෙක්ටර් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි බව කී විට මගේ ඇස් උඩ ගියේ නොදැනුවත්මය.