වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මසේන පතිරාජ සිනමා විමසුම - 2 කොටස

ධර්මසේන පතිරාජ සිනමා විමසුම - 2 කොටස

හඳුනාගත්තොත් ඔබ මා

මුඩුක්කු පරිසරයේ පඩි පෙළක් දිගේ පහළට බැස එන දුප්පත් තරුණයෙකුට මී කුනක් දක්නට ලැබෙනවා. අපේක්ෂා භංගත්වයට හා පීඩනයට පත් වූ තරුණයා යමින් සිටින්නේ සම්මුඛ පරීක්ෂණයකටයි. සම්මුඛ පරීක්ෂණ මඬුල්ල තරුණයාව මානසිකව ඇද වට්ටනවා. ඉන් පිට වී අරමුණකින් තොරව නගරයේ උද්‍යානයකට ඇතුළු වන තරුණයා දකින්නේ රැකියා සම්මුඛ පරීක්ෂණයේදී තමා අපහසුතාවට ලක් කළ සභාපතිවරයා බංකුවක හිඳ සිටින බවයි. තරුණයා එම බංකුවේම පසෙකින් හිඳ තමා අත ඇති පිහි තලයෙන් සභාපති හා තරුණයා අතර වූ තොප්පිය ආසන්නයට අනී. අනතුරුව ඊට නුදුරු ගසක් වෙත ගොස් සභාපතිට පෙනෙන්නට ශබ්ද නඟා මුත්‍රා කරයි.

නාගරික පහළ පන්තික තරුණයන් දෙදෙනෙකු වටා ගොඩ නැංවෙන 'අහස් ගව්ව' සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක්. එය 'සතුරෝ' කෙටි චිත්‍රපටයේම දිගුවක්, විස්තාරණයක් ලෙස හඳුනා ගත හැකි වෙනවා.

ඉටු නොවන පොරොන්දු දේශපාලනයත්, රැකියා විරහිතභාවයත්, සිනමා ප්‍රේක්ෂකයා මනෝ ලෝකවල සිර කොට තැබීමත් යනාදී කාරණා දෙස බැලීමේදී 'අහස් ගව්ව' සැබැවින්ම යථාවාදීව සමස්ත තරුණ පරපුරේ ඛේදවාචකය අපූරුවට සිනමාවට නැගූ අවස්ථාව වුණා. 71 කැරැල්ල හා පතිරාජගේ අවියෝජනීය සම්බන්ධයක් නොතිබුණ ද කැරැල්ල පැන නැඟීමට හේතුභූත වූ කාරණා පතිරාජගේ විඥාණයේ තැන්පත් වී තිබුණා නිසැකයි. 'අහස් ගව්ව' තිරගත වන්නේ 1974 ජනවාරි මාසයේදී. ඒ අනුව කැරැල්ල නිමවීමත් සමඟ 'අහස් ගව්ව' වස්තු බීජය පතිරාජගේ මනසේ වර්ධනය වූවා නිසැකයි.

'අහස් ගව්ව' ආදායම් ඉපයීම අතින් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැහැ. පතිගේ සිනමාව එය නරඹන හිස් ගෙඩි ප්‍රමාණයෙන් තක්සේරු කිරීමට නොහැකි වන්නේ ඔහුගේ බොහෝ නිර්මාණ ප්‍රේක්ෂකයා මතු නොව විචාරකයාට ද වඩා බොහෝ ඉදිරියෙන් පවතින නිසායි.

සත්‍යජිත් රේ ඉන්දීය සිනමාවේ සෞම්‍ය සිනමාකරුවා වෙද්දී එහි කැරැලිකරු වූයේ රිට්වික් ඝටක් සිනමාකරුවායි. එපරිද්දෙන්ම සිංහල සිනමාවේ සෞම්‍ය සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස් වන විට එහි නොහික්මුණු විප්ලවීය කැරැලිකරුවා වන්නේ ධර්මසේන පතිරාජයි. ඝටක් මෙන්ම පතිරාජ ද මාක්ස්වාදී දේශපාලනයෙන් උත්තේජනය ලැබීම මීට හේතුව වන්නට පුළුවනි.

1977 දී තිරගත වූ 'එයා දැන් ලොකු ළමයෙක්' සිනමාව තුළ සිය පැවැත්ම සඳහා අධ්‍යක්ණය කිරීමට පතිරාජ භාර ගත් චිත්‍රපටයක් බව නිසැකයි. මෙහි එන්නේ සරල ආඛ්‍යානයක්.

සමකාලීන විනෝදාත්මක සිනමාවේ අංගයන් බවට පත්ව තිබූ පෙම් පලහිලව්, දුෂ්ටයාගේ භූමිකාව, අකල් මරණ යනාදිය අඩංගු වුව ද පතිරාජ ගම දෙස බලන්නේ ව්‍යාජ රොමැන්ටික් සුන්දරත්වයකින් නොවෙයි.

සෘජු දේශපාලන තේමාවකින් යුතු නොවූව ද ගැමි ජීවිතය පෙළන දරිද්‍රතාවත්, පසුගාමී නොදියුණු බවත් 'එයා දැන් ලොකු ළමයෙක්' චිත්‍රපටයෙන් විදාරණය කෙරුණා.

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල සමඟ පැවැති සාකච්ඡාවකදී පතිරාජ ගම පිළිබඳ සිය ආකල්පය මෙසේ පළ කොට තිබුණා.

'ගමේ පන්සලක් තියෙනවා. දාගැබ තියෙනවා. ඒත් එක්කම මිනිස්සු කසිප්පු පෙරනවා, සූදු කෙළිනවා, මිනී මරනවා, නිර්මල සිංහල බෞද්ධ ගම කියන එක මිථ්‍යාවක්. ඒ ගැන මගේ විශ්වාසයක් නැත. මගේ නිර්මාණවලට යටින් මේ යථාර්ථය දිවෙනවා. සමහර චිත්‍රපටවල කටුමැටි බිත්ති ගහපු පොල් අතු පැලක්, බටනළාව පිඹින තරුණයෙක්, නියර දිගේ පොල් අත්තක් ඇදගෙන එන තරුණියක් පෙන්වා දේශියත්වය මවන්න යනවා. මේක අමු ව්‍යාජයක්.'

ශ්‍රී ලංකාවේ තැනුණු 13 වන දෙමළ භාෂිත චිත්‍රපටය වන 'පොන්මනී' ධර්මසේන පතිරාජ විසින් නිර්මාණය කළ එකම දෙමළ චිත්‍රපටය වන්නා සේම සිංහල අධ්‍යක්ෂවරයකු නිර්මාණය කළ පළමු දෙමළ සිනමා කෘතිය ද වෙනවා.

'පොන්මනී 'යනු යාපනේ දෙමළ ජනයාගේ ආගම්වාද, කුල බේද, දෑවැදි ප්‍රශ්න, ලිංගික සූරාකෑම වැනි අධිපති ප්‍රවාහයේ බල අධිකාරියට නතුව ජීවත් වන්නට පොර බදන දෙමළ ජනයාගේ සමාජයීය ප්‍රශ්න යථාර්ථවාදීව විවරණය කළ සිනමාපටයක් ලෙස හැඳින්වීම යුක්ති සහගතයි.

'පොන්මනී' දෙමළ චිත්‍රපටය තිරගත වූයේ 1977 වසරේදී.

1978 දී තිරගත වූ 'බඹරු ඇවිත්' ප්‍රබල සිනමාරූපී දර්ශන අඩංගු කෘතියක් බව අවිවාදිතයි. ශුෂ්ක පරිසරයක පිහිටි ධීවර ගම්මානයක ජනතාව නව ධනේශ්වර පන්තියේ ප්‍රාග්ධන ආධිපත්‍යයට නතු වූ සූරාකෑමට ලක්වන ආකාරයත්, පැරැණි ජාවාරම්කාරයන් හා නව ජාවාරම්කාරයන් අතර හට ගන්නා වෙළෙඳ යුද්ධයත්, එමඟින් ගමේ පාරම්පරික සම්බන්ධතා බිඳ වැටීමත්, අවසානයේ නව ප්‍රාග්ධන ආධිපත්‍යය සහ ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය (එනම් පොලීසිය) ගම ආක්‍රමණය කොට ධනේශ්වර ක්‍රමයේ පරාමාධිපත්‍යය තහවුරු කිරීමත් 'බඹරු ඇවිත්' සිනමාපටයෙන් අපූරුවට ගොඩ නඟනවා.

'බඹරු ඇවිත් තිර නාටකයේ සඳහන් යම් යම් දර්ශන රාජ්‍ය සීමාවන් හේතුවෙන් ස්වයං වාරණයක් ලෙස ඉවත දමන්න සිදු වූ බව ප්‍රකාශිතයි. මේ හේතුවෙන් චිත්‍රපටයේ ප්‍රබලත්වයට සීමා පැන වූ බව පතිරාජම පවසා තිබෙනවා. එසේ වතුදු 'බඹරු ඇවිත්' යනු සිංහල සිනමාවේ විශිෂ්ටතම කාතීන් තේරීමේදී විචරකයන් විසින් හයවන ස්ථානයට තේරූ නිර්මාණයයි.

සිංහල සිනමාවේ දේශපාලනමය කෘති පිළිබඳ සලකා බැලීමේදී 'බඹරු ඇවිත්' කඩඉමක් සනිටුහන් කරන ප්‍රබල චිත්‍රපටයක් ලෙස හැඳින්වීම උචිතයි. ජෝ, විජය, මාලිනී ත්‍රිත්වයේ පමණක් නොව සිරිල් වික්‍රමගේ, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි වැනි රංගන ශිල්පීන්ගේ ඉහළම දක්ෂතා මේ චිත්‍රපටයට ආලෝකය සපයනවා.

ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය පමණක් නොව ටී. එම්., සුනිලා අබේසේකර සහ අයිවෝ ඩෙනිස් ගයන 'උදුම්බරා' සහ 'හඳුනා ගත්තොත් ඔබ මා' ගීත ද 'බඹරු ඇවිත්' චිත්‍රපටය ප්‍රේක්ෂක මතකයේ තැන්පත්වීමට හේතු වුණා.

1980 වසරේදී තිරගත වූ 'පාර දිගේ' චිත්‍රපටය මුළුමහත් සිංහල සිනමා ඉතිහාසය තුළ ප්‍රේක්ෂකයින් හා විචාරකයන් වඩාත්ම වල්මත් වූ චිත්‍රපටයයි. ධර්මසේන පතිරාජගේ සිනමා ගමනේ විශිෂ්ටතම ඵලයවන 'පාර දිගේ' සම්මත විචාර මිනුම් දඬු මතින් විග්‍රහ කළ හැකි චිත්‍රපටයක් නොවේ. අතිශය දේශපාලනික කතා බහක නියැළෙන පතිරාජ ඒ බව එක එල්ලේම දැනෙන්නට ඉඩ හැර නොතිබීම මේ චිත්‍රපටයේ විශේෂත්වයයි.

'පාර දිගේ' හි එන ප්‍රමුඛ පාත්‍ර වර්ගයා වන චන්දරේ හා ස්වර්ණා යනු ලාංකික පහළ මැද පාන්තික තරුණ පරම්පරාවේ නියෝජනයයි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ගෙන්දගම් පොළොවේ, කොන්ක්‍රිට් වනාන්තරයේ අතරමං වී නන්නත්තාර වන තරුණ පරම්පරාවේ ඛේදවාචකය යනු මෙරට දේශපාලනයේ පවතින ම්ලේච්ඡ අධිකාරවාදයේ පිළිබිඹුවයි. මුළු මහත් සමාජ ක්‍රමයෙන්ම පරාරෝපිත තරුණයකු වූ චන්දරේගේ ජීවිතයේ පවතින අසංවිධිතභාවය පිටුපස වන ඛේදය ඉතා සංවේදීව අවබෝධ කොට ගත යුත්තකි.

'පාර දිගේ' හි වැදගත් වන්නේ ඊට පාදක වන කතා පුවත නොවේ. ඉන් නිරූපණය වන නාගරික පහළ මධ්‍යම පාංතික තරුණ පරපුරේ ඛේදවාචකය විශ්ලේෂණය කරන ආකාරය හා විලාසයයි. ශීඝ්‍ර කාර්මිකකරණයකට හා නාගරිකරණයට හසු වී නවීණකරණය ඉදිරියේ අන්දමන්දව වල්මත් වන තරුණ පෙළට මුහුණ දෙන්නට සිදු වන අතෝරයක් වූ ව්‍යසන අප තේරුම් ගත යුත්තේ කෙසේද?, චන්දරේ ලවා පතිරාජ වරෙක ප්‍රකාශ කරවන පරිදිම 'අපි හරියට විසි කරපු එරඬු දඬු වගේ . . . අපට මුල් නෑ . . . ඒත් දළු එනවා' යන කියමන මේ පරම්පරාව තේරුම් ගැනීමට කෙරෙන ප්‍රබලතම ඉඟියයි.

පතිරාජ සම්මත ආකෘතියක කොටු වූ ගතානුගතික සිනමාකරුවන් මෙන් නොව දැඩි සූක්ෂමතාවකින් යුතුව පේ‍්‍රක්ෂකයා ඔවුනොවුන්ගේ ඇතුළු හදවත් වෙතට කැඳවාගෙන යන්නේ දැඩි ආතතියක් (Tension) ගොඩනඟමිනුයි. 'පාර දිගේ' චිත්‍රපටයේ සිනමා බස ඉතාම තියුණු ප්‍රබල අවියක් ලෙස භාවිතා කිරීමට පතිරාජ දරා ඇති උත්සාහය සිංහල සිනමා ඉතිහාසයේ තීරණාත්මක කඩඉමක් සනිටුහන් කරනවා. ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් දිවෙන යථාර්ථය සම්ප්‍රදායික ආකෘතියෙන් ග්‍රහණය කොට ගැනීමට නොහැකි බව පතිරාජ මැනවින් තේරුම් ගත් බව නිසැකයි. අතිශය දේශපාලන සිනමාකරුවකු වන ආර්ජන්ටිනාවේ ෆර්නැන්ඩෝ සොලනාස් පැවසූ 'ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයට රූප රාමු 24 කින් වෙඩි තැබිය හැකි තුවක්කුවකි' යන කියමන පතිරාජ තුළ විශාල උත්තේජනයක් ඇති කළා නිසැකයි. 1981 දී තිරගත වූ 'සොල්දාදු උන්නැහේ' චිත්‍රපටය ඊට දෙස් දෙනවා.

'සොල්දාදු උන්නැහේ' චිත්‍රපටය තිරගතවීමෙන් වසර 20 කට පසු එනම් 2001 වසරේදී ප්‍රදර්ශනය වූ 'මතු යම් දවස' චිත්‍රපටය ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය වන 'සතුරෝ' තුළින් ආරම්භ කළ නන්නත්තාරවාදී යෞවනය යළිත් කියැවීමට ගත් උත්සාහයකි. එය 80 දශකයේ අග භාගයේ ජන සමාජය ව්‍යසනයට හෙළූ ධවල භීෂණය පදනම් කොට නිර්මාණය වූවක් වුව ද 'අහස් ගව්ව', 'බඹරු ඇවිත්', 'පාර දිගේ', 'සොල්දාදු උන්නැහේ' හරහා පැමිණි ශක්තිමත් පදනම සරල මතුපිටක තබා ලිස්සා යැවීමක්.

ධර්මසේන පතිරාජගේ සිනමා භාවිතයේ අවසන් චිත්‍රපට දෙක වන්නේ 'ස්වරූප' හා 'සක්කාරං' චිත්‍රපටයි. රූගත කොට නිෂ්පාදනය අවසන් කිරීමේ අනු පිළිවෙළට අනුව 'ස්වරූප' චිත්‍රපටය නිර්මාණය වූයේ 'සක්කාරං' චිත්‍රපටයට පෙරාතුව වුව ද එය ඔහුගේ අවසන් චිත්‍රපටය ලෙස තිරයට පැමිණීම එක්තරා අතකින් පතිරාජ ලද භාග්‍යයකැයි සටහන් කිරීමට මා පැකිළෙන්නේ නැහැ.

2016 දී තිරගත වූ 'සක්කාරං' යනු පතීගේ සිනමාවේ අවරට ගිය චිත්‍රපටයක් වෙද්දී 'ස්වරූප' ඔහුගේ දේශපාලන සිනමා ගමනේ උත්කෘෂ්ට නිර්මාණයක් වෙනවා.

තවත් කොටසක් ලබන සතියට...