වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඕනෑම කෙනෙකුට ඕනෑම කාලයක් තියෙනවා

ඕනෑම කෙනෙකුට ඕනෑම කාලයක් තියෙනවා

මේ මව්-පුතු කතාව කියවමු

කලා ලොවේ සිටින මව්පියන්ගේ දරුවන්ට කලාව උරුම වන්නේ ඔවුන්ගේ උපතේදීමයි. ඒ විදියට ඔවුන්ට උපතේදී ම කලාව උරුම වුණත් ඉන් සමහර අය වෙනත් ක්ෂේත්‍රවල නියැළෙන්නේ කැමැත්තෙන්මයි. ඒත් සමහර දරුවන් තමාට උරුමවුණු කලා ලෝකයට පිය මනින්නේ තමන්ගේ දක්ෂතාත් අරගෙන. ඒ වගේ කලා පවුලකිනුයි අපි මේ කියන්න යන තරුණයත් කලාවට පිවිසෙන්නේ. රවිඳු පියුමිත අරවින්ද ජයසිංහ. රවිඳු, තුෂාරි අබේසේකර නම් සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියගේ පුතණුවන්ය. පසුගිය කාලයේ අතිශය ජනපි‍්‍රය වූ පත්තිනි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඇයයි.

“කලාවට පිවිසෙන මූල බීජය ඔබට ලැබෙන්නේ නිවෙසෙන්මයි”

“ඔව්. මගේ අම්මාගේ සෙවණේ ගෙවන පරිසරයයි කලා ලොවට පිවිසීමේ මූලික අඩිතාලම දමන්නේ. ඊට අමතරව මා පළමුව ගිය හලාවත ආනන්ද ජාතික පාසල වගේම උසස් පෙළ ඉගෙන ගත් කොළඹ ඉසිපතන විද්‍යාලයත් මගේ කලා හැකියා හඳුනා ගැනීමට මට උදව් වෙනවා. ඉසිපතන විද්‍යාලයේ දී තිබුණු විවිධ ප්‍රසංගයකට මට ගීතයක් ගැයීමට අවස්ථාව ලැබෙන්නේ එහි සිටිය සංගීත ටීචර් තරංගනී පතිරාජ නිසා. එතැනින් පසුවයි මා මට ගයන්නට හැකියාවක් තිබෙන වග හඳුනා ගන්නේ. ඒ වගේම ඒ කාලයේ මගේ යහළුවන් කිහිපදෙනෙකු සමඟ එකතු වී මා සංගීත කණ්ඩායමක් නිර්මාණය කර ගන්නවා. ඒත් කාලයක් යද්දී එහි සිටි සියල්ලන්ම විසිර යනවා. ඒ විදියට විසිර ගියත් ලැබෙන වැඩවලට අපි සියල්ලන්ම ඒකරාශී වීම මේ වනවිටත් සිදුවන නිසා සංගීත කණ්ඩායම පූර්ණ කාලීන නොමැති වුණත් ප්‍රශ්නයක් නොවෙයි. ඒත් ඉදිරියේ දී එවැනි සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමටයි මා සිතාගෙන ඉන්නේ.”

රවිඳු නියමිත සංගීත කටයුතුවලින් පසුව ඔහු හා හා පුරා කියලා කලා කටයුත්තකට සම්බන්ධ වෙන්නේ ‘ඒ ලෙවල් ඉවරයි’ කියන ටෙලිනාට්‍යයට. ඒ රවිහාන්ස් වැටකේපත හා ලක්මිණී අමරදේව කියන නිර්මාණකරුවන්ගේ ආරාධනයෙන්. ඒ ටෙලි නාට්‍යයේ තේමා ගීතයට වගේම නාට්‍යයේ අතරින් පතර ඇසෙන මවුත් ඕගන් එක වාදනය කරන්නේ රවිඳු. රවිඳුට ගයන්න පුළුවන් වගේම වයන්නත් පුළුවන්. ඒ ගිටාර් එක. ඒ වගේම තාල වාද්‍ය භාණ්ඩ. ඔහුගේ අම්මා තුෂාරි අබේසේකර ඒ වනවිටත් කලා ක්ෂේත්‍රයේ නම ගිය නිර්මාණකාරිනියක් වුණත් රවිඳුව ඇගේ නිර්මාණවලට නොවෙයි මුලින්ම සම්බන්ධ කර ගන්නේ.

“මේ වනවිට අප අතරින් සමු අරගෙන ගිහින් ඉන්න සංජය ගුණවර්ධන අම්මාව මුණ ගැසෙන්න එන්නේ පිටපතක් ලියා ගන්න. ඒ වෙලාවෙදියි ඔහු මාව දකින්නේ. මා ගැන ඔහු අම්මාගෙන් විමසලා ඔහුගේ නිර්මාණයට සම්බන්ධ කර ගන්න විමසුවත් අම්මා ඒ අදහසට ඒ තරම්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. කොහොම වුණත් සංජය අංකල් ඔහුගේ ‘සැලමුතු වෙරළ’ කියන ටෙලි නාට්‍යයේ මට සැලකිය යුතු චරිතයක් රඟපාන්න දෙනවා. ඊළඟට නාලක තලගලගේ ‘කුලම්බරී’ ටෙලි නාට්‍යයේත් රඟපාන මා චුට්ට චුට්ට රංගනය ගැන ඉගෙන ගන්න පටන් ගන්නවා.”

රවිඳුගේ ජීවිතයේ පරමාදර්ශය වූයේ සිය මව තුෂාරි අබේසේකරයි. එහෙත් ඈ සිය පුතණ්ඩියාව එක්වරම ඇගේ නිර්මාණවලට සහභාගි කර ගත්තේ නැහැ.

“ඇත්තටම ඔබ, ඔබ කළ නිර්මාණවලට පුතාව සම්බන්ධ කර නොගත්තේ ඇයි?”

රවිඳුත් සමඟ කතාබහ මඳකට නතර කළ මා විමසුවේ රවිඳුගේ මව තුෂාරිගෙන්.

“ඕනෑම කෙනෙකුට තමන්ගේම කියලා දෙයක් තිබිය යුතුයි. තමන්ට ම කියන අනන්‍යතාවක් තිබිය යුතුයි. එහෙම නොවුණොත් පවතින්න බැහැ. ඒ නිසා ඒ අනන්‍යතාව ගොඩනඟා ගැනීමටයි මා ඔහුට ඉඩ හැරියේ. මා අධ්‍යක්ෂවරියක් බව ඇත්තයි. ඒ හරහා මගේ පුතා වුණත් ගොඩනැඟීම අනවශ්‍යයි. ඔහුට හැකිවිය යුත්තේ මා මෙන්ම මහන්සියෙන්, කැපවීමෙන් ඒ ගමන යෑමටයි. එවිටයි එහි වටිනාකම තමන්ට දැනෙන්න ගන්නේ. එවිටයි ඒ ලැබුණු දේ පරිස්සම් කර ගන්න පුරුදු වෙන්නේ. අනුන් වපුරපු කුඹුරකින් අස්වැන්න ගන්නේ නැතිව තමන්ම නිසි ආකාරයට වපුරලා ඒ කුඹුරෙන් අස්වැන්න ගැනීම මඟිනුයි එහි වටිනාකම දැනෙන්නේ. ඒ වටිනාකමයි මා ඔහුට දැනෙන්න හැරියේ.”

නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වීමත් සමඟ රවිඳු අම්මාගේ අදහස හැඳීනගෙන වගේ රංගනය හැදෑරීමට උත්සහ ගන්නේ බොහොම කැමැත්තෙන්. ඒ සඳහා ඔහු විවිධ පොතපත කියවනවා පමණක් නොවෙයි රංගනය ඉගෙන ගන්න තිබෙන පන්ති කිහිපයකුත් සොයනවා.

“ඒත් ඔබට රංගනය ඉගෙන ගන්න හරිහමං පන්තියක් හමුවෙන්නේ නැහැ”

“වැඩිපුරම මා කරන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් ඒ ගැන විමසීමයි. මේ වනවිට නම් මා ප්‍රවීණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා යටතේ ඩිල් ෆිල්මිස් ආයතනයේ රංගන පාසලට ඇතුළත් වෙලා රංගනය ගැන ඉගෙන ගනිමිනුයි ඉන්නේ. ඒ වගේම රංගනයේ සමහර දේවල් ගැන, ටෙලිනාට්‍යවල තිබෙන අනෙක් අංශ ගැනත් මා විස්තර දැනගන්නේ අම්මාගෙන්.”

අම්මා අධ්‍යක්ෂවරියක් වුණත් රවිඳුට ඔහුගේ සිතේ තිබුණු ආසාව ඉෂ්ට කර ගැනීමට ලෙහෙසි පහසු වුණේ නැහැ. “එහෙම වුණේ ඇයි?”

“බොහෝ දෙනෙක් සිතන්නේ තමන්ගේ නිවෙසේ අධ්‍යක්ෂවරියක් හරි වෙනත් කෙනෙක් ඉන්නවා නම් නිර්මාණවලට යන්න බොහොම පහසු බවයි. ඒත් ඒ නිසාම මට සිද්ධ වුණේ පුදුමතරම් කරදරවලට මුහුණ දෙන්නයි. තුෂාරි අබේසේකරගේ පුතා කියලා දැනගත්තට පස්සේ ඒ ලැබෙන්න ඉන්න චරිතයවත් මට ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන් මා දෙස බලන්නෙත් ප්‍රවීණයන්ගේ දෙස බලන විදියටයි. මේ නිසා මා නිතරම උත්සාහ කළේ අම්මාගේ නම නොකියා යන්නයි.”

මේ අතර රවිඳු පියුමිත සිය මව වන තුෂාරිගේ නිර්මාණයකට පළමුව සහභාගි වීමට අවස්ථාව ලබන්නේ ප්‍රවීණ නළු ජගත් චමිල නිසයි. ඒ ඇගේ ‘ශෘංගාර නගරේ’ වේදිකා නාට්‍යයේ සංගීතය නිර්මාණයටයි.

“ජගත් චමිල අයියා මගේ ගායනය වගේම සංගීත කටයුතුත් දැකලා තිබුණා. ඒ නිසාම මාව නාට්‍යය කටයුතු සඳහා යෝජනා කළත්, අම්මා මුලින්ම මාව ප්‍රතික්ෂේප කරනවා. ඒත් ජගත් අයියාගේ මැදිහත් වීම මත ඒ වේදිකා නාට්‍යයේ සංගීත කටයුතු කරන්නේ මමයි. ඒ හරහා මගේ දක්ෂතාව අම්මා හඳුනා ගන්නවා. ඊට පස්සේ අම්මාගේ ‘ආරාරීරෝ’ ටෙලි නාට්‍යයට මා රංගනයෙන් සහභාගි වෙන්නේ එහි ඔඩිෂන් එකට ගිහින්. ඇය නම් මට චරිතයක් දෙන්න කැමැති වෙන්නේ නැහැ. ඒත් එහි ගිටාර් එකක් වයන්න, ගී ගයන්න හැකි තරුණයෙකුගේ චරිතය මට ලැබෙන්නේ, ඒ හැකියා දෙකම මට තිබෙන නිසා. ඒ වගේම පසුගිය කාලයේ හිරු රූපවාහිනියේ විකාශය වුණු ‘පත්තිනි’ ටෙලි නාට්‍යයේ කන්නගි ගේ මල්ලිගේ චරිතයටත් මා පණ පෙව්වා.”

තනිවම ගොඩනැඟෙන්න ඉඩහළ රවිඳු පුතාට තුෂාරි අබේසේකර එක් අවස්ථාවක් දුන්නා. ඒ පසුගිය දවස්වල විකාශය වුණු ‘ශ්වේත ගංතෙර’ හා ‘පත්තිනි’ ටෙලි නාට්‍යවල තේමා ගීත ගයන්නට.

“ඔබගේ නිර්මාණයකට ඒ තරම් කාලයක් තමන්ගේ පුතාව සම්බන්ධ කරගන්න කාලය ගත්තේ ඇයි?”

“මා දැනගෙන සිටියා මට තිබෙන දක්ෂතා සියල්ලක් ම මගේ දරුවන්ට පිහිටලා තිබෙන බව. මොකද ඔවුන් මගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සේ මා ඉල්ලුවේ මගේ හැකියා සියල්ලම ඔවුන්ට පිහිටන්න කියලයි. මට ඔවුන්ට දෙන්න පුළුවන් එකම දායාදය එයයි. පුතා ගී ගයන බව මට හඟවන්න හදද්දී මම ඒ ගැන දැනගෙන සිටියා. ඒත් ඒ ඔහුට තිබුණු හැකියාව මම කාලයක් ඉවසගෙන සිටියා. සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කුලය දේශය බැලුව වගේ හැමදේටම ඕනෑම කෙනෙකු ඉස්මතු වීමට සුදුසු කාලයක් තිබෙනවා. ඒ කාලය ඇතුළේ නොපැමිණියොත් ඕනැම තැනක දීර්ඝ කාලීනව රැඳෙන්නට නොහැකි බව මා දන්නවා. ඒ නිසා ඒ කාලය පැමිණෙනතුරු මා බලාගෙන සිටියා. ඊට පසුව දක්ෂතාවලට මා තැන දුන්නා.”

වෙනස් විදියේ මියුරු ස්වරයක් හිමි රවිඳුට බලාපොරොත්තු ගොඩයි.

“කවදහරි මම විනය ගරුක නළුවෙක් වෙන්න කැමැතියි.”

ඒ බලාපොරොත්තුව ඇතුළේ රවිඳුගේ තාත්තා ඔවුන්ගේ කටයුතුවලට දෙන සහයෝගය ගැන අහන්නටත් මා අමතක නොකළා.

“තාත්තා කලාවට සම්බන්ධ කෙනෙක් නොවුණත් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්. කලාව කලාව විදියට කරන්නත්, ව්‍යාපාර ව්‍යාපාර විදියට කරන්නත් අම්මා අපට කියලා දීලා තිබෙනවා. ඒ නිසා මේ කටයුතුත් කරන ගමන්ම තාත්තා නතර කළ තැනින් ව්‍යාපාර කරන්නට මම යළිත් ගමට යන්නටයි සිතාගෙන ඉන්නේ.”

රවිඳු පියුමිත කලාවට වගේම ව්‍යාපාර ගැනත් සිතන්නේ කලාවෙන් පමණක් ම ජීවිතය දෙස බැලීම අද කාලයේ හොඳ පුරුද්දක් නොවන නිසා වෙන්න ඇතැයි අපට සිතුණා. අම්මත්, පුතත් එක්ක කළ ඒ සොඳුරු කතාබහට තිත තබමින් ඔවුන්ගෙන් සමුගත්තා. ඒ අනාගතයේ දී යළිත් හමුවන අදහස පෙරදැරිව.