වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




18-8 A/L සඳහා සැරසෙමු

18-8 A/L සඳහා සැරසෙමු

නාට්‍ය යනු කුමක්ද?

නෘත්ත, නෘත්‍ය, නාට්‍ය

මෙම වචන ත්‍රිත්වයම 'නෘත්' සහ 'නට්' යන ධාතුවලින් උත්පත්තිය ලබා ඇත.

* නෘත්ත - ශුද්ධ නැටුමයි. (Pure Dance) නැතහොත් රිද්මයානුකූලව සිදු කෙරෙන අංග චලනයයි. මෙහි අභිනයෙන් කිසිදු අර්ථයක් ප්‍රකාශ නොකෙරේ.

'ගාත්‍ර වික්ෂේපමාත්‍රං තු සර්වාභිනය වර්ජිතම් ආඬගිකොක්තප්‍රකාරෙනා නෘත්තං නෘත්ත විදො විදුඞ'

උදා: ලී කෙලි, පන්තේරු නැටුම්.

නෘත්‍ය - ආංගික සහ සාත්වික අභිනයෙන් කිසියම් භාවයක් ප්‍රකාශ වන නර්තනයකි. 'නර්තකිය මුවින් ගයන්නීය. හස්තයෙන් අර්ථය ප්‍රකට කරන්නීය. දෑසින් භාවය දක්වන්නීය. දෙපයින් තාලය තබන්නීය' (අභිනය දර්පන) ඒ අනුව රිද්මයක්, අර්ථයක් මනෝ භාවයක් ඇති නර්තනය නෘතය නම්වේ.

උදා: භරත නාට්‍යම්, මනිපූරි, කථක් කථකලි

* නාට්‍ය - 'කිසියම් අවස්ථාවක් හෝ සිද්ධියක් නළු නිළියන් මාර්ගයෙන්, සතර අභිනය භාවිතයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ අපූර්වත්වයෙන් යුතුව නිරූපණය කිරීම නාට්‍යයි'

නාට්‍ය පිළිබඳ නිර්වචන

'නාට්‍ය' පිළිබඳ ලෝකයේ විවිධ විද්වතුන් ඉදිරිපත් කළ නිර්වචන පහත දැක්වේ.

* නාට්‍ය යනු ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීමයි - භරතමුනි

* නාට්‍ය යනු අවස්ථාවන් අනුකරණය කිරීමයි. (අවස්ථානු කෘතීර් නාට්‍යයම්) - ධනංජය

* නාට්‍ය යනු ක්‍රියාවක් අනුකරණය කිරීමයි. - ඇරිස්ටෝටල් / භරතමුනි

* නාට්‍යය යනු ලෝකයේ සුඛ දුක්ඛ ස්වභාවයන් අභිනයෙන් ප්‍රකාශ කිරීමයි - භරතමුනි

* නාට්‍ය යනු ජීවිතයේ පිටපතකි. සිරිත් විරිත්වල කැඩපතකි. - ඇල්ඩයිස් නිකොල්

* නාට්‍ය යනු ප්‍රේක්ෂකයාට විනෝදය සැපයීම පමණක් නොව ප්‍රේක්ෂකයා බුද්ධියට ගොදුරු කර ගැනීමක් ද වේ. - බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

සතර අභිනය

මෙම සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ භරතමුනිවරයාගේ 'නාට්‍ය ශාස්ත්‍රය' නම් ග්‍රන්ථයේය.

අභි+නය

ඉදිරියට ගෙන යාම

ඒ අනුව නාට්‍ය පෙළක් රංගයක් ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙනයාම සඳහා නළු නිළියන් විසින් යොදා ගනු ලබන ශිල්ප ක්‍රම අභිනය ලෙස හඳුන්වා දිය හැක. අභිනය කොටස් සතරකි.

* වාචික අභිනය

* ආංගික අභිනය

* සාත්වික අභිනය

* ආහාර්ය අභිනය

වාචික අභිනය

සංවාද, දෙබස්, ආත්මභාෂණ, ගීත ආදිය මාර්ගයෙන් නාට්‍යයේ අන්තර්ගතය ප්‍රේක්ෂකයා වෙතට ගෙන යාම වාචික අභිනය නම් වේ. නාට්‍ය ධර්මී ශෛලියේ නාට්‍යවල බොහෝ විට රංග භූමි අලංකරණය නොමැති නිසා පසුතලය, පරිසරය, වර්ණනා කෙරෙන්නේ ද වාචික අභිනය මඟිනි.

වාචික අභිනය වඩාත් ප්‍රබල ලෙස ප්‍රක්ෂේපණය කිරීමට නම් කටහඬ ආභ්‍යාස, ශ්වසන අභ්‍යාස කළ යුතුයි.

ආංගික අභිනය

අංග, ප්‍රත්‍යාංග, උපාංග භාවිත කරමින් අර්ථයන්, හැඟීම් පළ කිරීම ආංගික අභිනය ලෙස හැඳින්වේ. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව වාරි, ස්ථානක, හස්ත හා කරණ ආදී වශයෙන් සංස්කෘත නාට්‍යයේ ආංගික අභිිනයේ ප්‍රභේද කිහිපයක් ඇත. ආංගික අභිනය වඩාත් ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට ඒ සම්බන්ධව ශාරීරික ව්‍යායාම් කළ යුතු වේ. ආංගික අභිනයේ දී ශරීරයේ පහත කරුණු කෙරෙහි සැලිකිලිමත් විය යුතුයි.

* සැහැල්ලුව (ශිථිලකරණය )

* රිද්මය

* නම්‍යශීලීතාවය

* ශක්තිය

සාත්වික අභිනය

චිත්ත ඒකාග්‍රතාවයෙන් යුතුව සියුම් භාවයන් නිරූපණය සාත්ත්වික අභිනය ලෙස හැඳින්වේ. 'සත්ත්ව' යනු මිනිසාගේ මනෝ භාවයන් ප්‍රකාශනයයි. නාට්‍ය ශාස්ත්‍රය ආදී විචාර ග්‍රන්ථවල සාත්වික භාව 8 ක් දක්වා ඇත.

1. ස්ථම්භ - ඇඟ දරදඬුවීම

2. රෝමාග්ම - රෝමෝද්ගමනය

3. වේපටු -සර්වාංගය වෙව්ලීම

4. ස්වරභංග - කටහඬ බිඳී යාම

5. අශ්‍රැ - කඳුළු සැලීම

6. ස්වේද - දහඩිය දැමීම

7. වෛවර්ණ්‍යය - ශරීරයේ වර්ණය වෙනස් වීම

8. ප්‍රලය - සිහිමුර්ජා වීම

ආහාර්ය අභිනය

'ආහාර්ය' යන වචනයෙන් බැහැරින් ගෙන එන දේ යන අර්ථය ඇත. වාචික, ආංගික, සාත්වික අභිනයන් ඇත්තේ නළු නිළියන්ගේ ශරීරය තුළයි. ඒ අනුව නළු නිළියන්ගේ රංගනය තහවුරු කිරීමට හා ඉස්මතු කිරීමට උපකාරී වන බාහිර සාධක ආහාර්ය අභිනය ලෙස හඳුන්වා දිය හැකිය.

1. රංග භූමි අලංකරණ

2. වේෂ භූෂණ (රංග වස්ත්‍ර)

3. නාට්‍යෝපකරණ

4. අංග රචනය

5. රංගාලෝකය

6. නාට්‍ය සංගීතය

ආහාර්ය අභිනයේ කොටස් වේ.

නාට්‍ය ශෛලිය

නාට්‍යයක ප්‍රකාශන විලාශය නාට්‍ය ශෛලිය ලෙස හඳුන්වා දිය හැකිය. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව ප්‍රධාන නාට්‍ය ශෛලීන් ද්විත්වයකි.

(1) ලෝක ධර්මී

(2) නාට්‍ය ධර්මී

ලෝක ධර්මී ශෛලිය

භරත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රයේදී ලෝක ධර්මී ශෛලිය හඳුන්වා දී ඇත්තේ මෙසේය. 'චරිතයන්ගේ ස්වාභාවික ගති පැවතුම් පදනම් කොටගෙන සම්පාදිතව ඇත්නම්, එය ලෞකික ක්‍රියා ඇතුළත්ව පවත්නේ නම්, අංග ලීලාවන් නොමැති ස්වාභාවික අභිනය ක්‍රමයකින් යුක්ත වේ නම් එය ලෝක ධර්මී වේ.'

ඒ අනුව සැබෑ ලෝකයේ සිදුවන පරිද්දෙන්ම නාට්‍යයක ක්‍රියා හා සංවාද යථා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ලෝක ධර්මී නම් වේ.

දේශීය උදාහරණ (1) සුගතපාල ද සිල්වා - බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්

(2) ආර්. ආර්. සමරකෝන් - කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු

(3) රංජිත් ධර්මකීර්ති - මෝදර මෝල

(4) ප්‍රේමරංජිත් තිලකරත්න - වහලක් නැති ගෙයක්

විදේශීය උදාහරණ (1) හෙන්රික් ඉබ්සන් බෝනික්කි ගෙදර (Doll's House) ජන හතුරා (An Enemy of the People) සමාජයේ කුළුණු (Pillars of Society)

(2) ඇන්ටන් චෙකෝෆ් - චෙරිවත්ත (The Cherry Orchard) මුහුදු ලිහිණියා (The Seagull)

නාට්‍ය ධර්මී ශෛලිය

භරතමුනි නාට්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය ධර්මී ශෛලිය හඳුන්වා දී ඇත්තේ මෙලෙසිනි.

'යම්කිසි නාට්‍යයක කාර්ය, භාව හා සංවාද තාත්වික ගුණය ඉක්මවයි නම්, අංග ලීලාවක් සහිත අභිනයන් ද නාට්‍යමය ලක්ෂණවලින් ද යුක්ත වේ නම් එය නාට්‍ය ධර්මී ලෙස හඳුන්වයි. මෙහිදී සතර අභිනය සාමාන්‍ය ජීවිතයට ළං නොවන අයුරින් හසුරුවයි'

මේ අනුව තාත්විකත්වයෙන් දුරස්ථ වූත්, නැටුම්, ගැයුම්, වැයුම් බෙහෙවින් උපයෝගි කරගන්නා වූත් නිශ්චිත සංකේත හා රංග සම්මුති භාවිත කරන්නා වූත් ශෛලිය නාට්‍ය ධර්මී ශෛලිය ලෙස හඳුන්වා දිය හැකිය.

දේශීය උදාහරණ - 1. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර - මනමේ, සිංහබාහු, ලෝමහංස

2. සොකරි, කෝලම්, නාඩගම් වැනි නාට්‍ය සම්ප්‍රදායන්

විදේශීය උදාහරණ - ග්‍රීක නාට්‍යය, සංස්කෘත නාට්‍ය, චීන පීකිං ඔපෙරා, ජපන් නෝ, කබුකි

* ඕනෑම නාට්‍යයක් ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී සම්ප්‍රදායන්ගේ සංකලනයකි.

උදා (1) ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යය ලෝක ධර්මී ශෛලියේ නාට්‍යයකි. එහි ගද්‍ය සංවාද භාවිතා කරයි, සාත්වික සහ ආංගික අභිනය ස්වභාවිකව, සාමාන්‍ය ජීවිතයට සමීප ආකාරයකින් සිදු කරයි. රංග වස්ත්‍ර සහ අංග රචනය සාමාන්‍ය ජීවිතයට සමීප ආකාරයකින් නිර්මාණය කර ඇත.

නමුත් මෙහි නාට්‍ය ධර්මී ලක්ෂණ දක්නට ලැබේ.

උදා: (1) පාලම, පහන් කණුව, වතුර පයිප්පය ආදිය ස්වාභාවික දෑ නොවේ. සංකේත පමණි. (2) ඇතැම් ක්‍රියා අනුරූපණාත්මකව සිදු කරයි. (කරාමයකින් වතුර බීම, කෑම කෑම, පිඟාන සේදීම)

උදා: (2) බර්ටෝල්ට් බෙ‍්‍රෂ්ට්ගේ ඛ්ධජචඵඪචද ඛ්ඩචතඬ ඛ්ඪපජතඥ නාට්‍ය ඇසුරින් හෙන්රි ජයසේන සිංහලයට පරිවර්තනය කළ 'හුණුවටයේ කථාව' නාට්‍ය ධර්මී ශෛලියේ නාට්‍යයකි. එහි පොතේ ගුරෙක් සහ ගායක කණ්ඩායමක් දක්නට ලැබේ. ඇතැම් චරිත සඳහා අර්ධ වෙස් මුහුණු භාවිත කරයි. (නටාලියා, ජෝර්ජ් අබෂ්විල්ලි) අවස්ථාවන්, හැඟීම්, පරිසරය වර්ණනා කිරීමට ගීත ගායනා කරයි.

නමුත් මෙහි ලෝක ධර්මී ලක්ෂණ ද දක්නට ලැබේ.

උදා - (1) ගද්‍ය සංවාද දක්නට ලැබීම

(2) ආංගික හා සාත්වික අභිනයන් ස්වභාවිකව, සාමාන්‍ය ජීවිතයට සමීප ආකාරයකින් සිදු කිරිම.

(3) සරල රංග භූමි අලංකරණ සහ රංග භාණ්ඩ භාවිත කිරිම.

මේ අනුව ඕනෑම නාට්‍යයක ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බව අපට අවබෝධ කර ගත හැකිය.