|
පංච කල්‍යාණිය ලෙස අභිෂේක ලැබූ සුරූපී නිළියකාන්ති ගුණතුංග
කාන්තිගේ ජීවිතය අමතක නොවන සිද්ධිය ලෙස ඇය කියා ඇත්තේ ලංකාදීප පංච කල්‍යාණිය ලෙස ඇය 1956 අභිෂේක ලැබීමය. අම්බලන්ගොඩ, පොල්වත්තේ 19 හැවිරිදි කාන්ති ගුණතුංග ජයන්ති වසරේ පංච කල්‍යාණිය ලෙස අගනුවර පුරහලේදී තෝරා ගත් බව එම පුවත්පතේ මුල් පිටුවෙන් අනාවරණය වී තිබුණි.
රැජින මමයි අපේ රාජ්ජේ පෘතුගීසීන්ට විරුද්ධව කන්ද උඩරට කඳුකරයේ සැඟ වි සිටි සිංහල කැරලි නායකයා වූ බණ්ඩාරගේ බිරිය වූ සුමනා මේ ගීතය ගයමින් සිය සගයන් සමඟ ගැයු ගීතයක් 'සන්දේශය' චිත්‍රපටයේ එයි. මෙසේ ගී ගයමින් නටන්නී කාන්තිි ගුණතුංගය. එපමණක් නොව ඇය තවත් වරෙක පෘතුගීසි බලකොටුව තුළ පරංගීන් සතුටු කිරීමට ගී ගැයුවාය.
'පුන් සඳ එළියයි එන මද සුළඟයි තවත් වරෙක ඇය 'සුදට සුදේ වළකුලයි නිල් අහසේ පාවෙන්නේ' ගීතය ගයමින් තම දරුවා නැළෙව්වාය. එදා කාන්ති වෙනුවෙන් පසුබිම් ගීත ගැයුවේ ලතා වල්පොලය. දැනට ඕස්ට්‍රේලියාවේ පදංචිව සිටින කාන්තිගේ සිනමා රංගන ජීවිතයට වසර 68 ක් සපිරී ඇත. ඇය චිත්‍රපට නිළියක් වන විට ඇගේ වයස අවුරදු 16 කි. චිත්‍රපට නිළියක්වීමට ඇයට සිතුණේ රුක්මණී දේවි රඟපෑ කැලෑහඳ, අයිරාංගණී චිත්‍රපට දැකීමෙනි. කවදා හෝ රුක්මණී කෙනෙකු ලෙස රඟපානු ඇය සිතින් සිහින මැව්වාය. 1937 මාර්තු 23 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ උපත ලැබූ ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලයෙනි. පසුව ඇය දෙහිවල ප්‍රෙස්බිටේරියන් විද්‍යාලයට ඉගෙනීමට යන කාලේ ගෙදර පවුලේ සියලු දෙනාම පාහේ බටහිර චිත්‍රපට නැරැඹීමට ප්‍රිය කොට ඇත. 'අපේ ගෙදර හැමෝටම බටහිර ඉංග්‍රීසි නළු නිළියන්ගේ නම් පටබැඳී තිබුණා. එළිසබත් ටේලර්, ග්‍රෙගරි පෙක්, ඩීන් මාටින්, සොෆියා ලොරේන්, ප්‍රෑන්ක් සිනේට්‍රා වගේ නම්. මගේ ජීවිතය මා නොසිතූ ලෙස වෙනස් වුණේ මාත්, අක්කාත් බේරුවල මඟුල් ගෙදරක දිනයක වූ අහඹු සිද්ධියකින්' කාන්ති වරක් අපට පවසා තිබුණි. කාන්ති මෙන්ම ඇගේ වැඩිමහල් සොහොයුරිය ද රූමත්ය. මේ අක්කාගේ නම මාලිනීය. කලක් ඇය ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියව සිට දැන් විශ්‍රාමයෙන් පසු වෙයි. එදා මඟුල් ගෙදරට සහභාගි වූ කාන්තිගේ සොහොයුරිය අසළට මැදිවියේ කාන්තාවක් පැමිණියාය. ඇය මොන මොනවාද කතා කරනු කාන්ති ඈතට දුටුවාය. මේ වන විට කාන්ති සිටියේ පවුලේ ඥාතියකු සමඟ ආ ගිය තොරතුරු කතා කරමිනි. අක්කා ලොකු සිනාවකින් සැරසී කාන්ති ඉන්න තැනට ආවාය. 'නංගි හරි වැඩක් වුණේ. ඔයා දැක්කද නෝනා කෙනෙක් මං ළඟට ඇවිත් කතා කරනවා. එයා අර රේඩියෝ එකේ සින්දු කියන ජී. එස්. බී. රාණි'. 'අනේ ඇත්තද? මම එයගේ සින්දු අහලා තියෙනවා. ඉතින් ඉතින් . . .' 'එයා මගෙන් අහනවා, චිත්‍රපටයක රඟපාන්න ආසද කියලා' 'ඔයා කැමතියි කියන්න අක්කෙ' 'මම කිව්වා. මම කැමති ට්‍රෙනිං කොලේජ් එකට ගිහින් ගුරුවරියක් වෙන්න ඉගෙන ගන්න. අපේ නංගි නම් චිත්‍රපටයක රඟපාන්න ආසයි කියලා. දැන් එයා ඔයාව හොයාගෙන ඒවි. කැමතියි කියන්න' 'අනේ අක්කෙ මම තාම ඉස්කෝලේ යනවනෙ' 'ඔයා කැමතියි කියන්න' අක්කා නංගීව ධෛර්යමත් කළාය. ජී. එස්. බී. රාණි කාන්ති සොයා ආවාය. 'නංගී, අක්කා කිව්වා ඔයා චිත්‍රපටයක රඟපාන්න ආසයි කියලා. අපි මේ දවස්වල 'සුරංගණී' කියලා චිත්‍රපටයක් කරනවා. මම ඔයාව ඒකේ අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්නව අඳුන්වල දෙන්නම්' කාන්ති සතුටට පත් වූවාය. ඇය ඒ වන විට කොළඹ මියුසියස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙන ගනිමින් සිටියාය. ඇයට හාපුරා කියා රඟපෑමට ලැබුණේ 'සුරංගණී' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ එඩී ජූනියර් සමඟය. එය ඇයට කදිම අත්දැකීමක් විය. වරක් ඇය තම ප්‍රථම රඟපෑම ගැන මෙසේ පැවසුවාය. 'මම රඟපෑමට ප්‍රිය කළෙමි. පාසලේ ඉගෙන ගන්නා කාලයේ සිට මා රඟපෑම ප්‍රිය කළාක් මෙන්ම, එහි වේදිකා නාට්‍යවලද පෙනී සිටියෙමි. සිනමා නිළියක් වශයෙන් 'සුරංගනී' චිත්‍රපටය සඳහා ඉන්දියාවට යන අතරමඟදී මා මුහුණ දුන් එක්තරා අකරතැබ්බයක් සිනහ උපදවන සුලුය. අප මුලින්ම ඉන්දියාවට ගියේ දුම්රියෙනි. රාත්‍රියේ නින්දට යන විට මා සාමාන්‍යයෙන් ඇඟපත මහත නිසා ඉහළ යහනකට නොගොස් පහළ යහනක් නින්දට තෝරා ගතිමි. මට ඉහළින් වෙන නිළියක් වූවාය. නොකඩවා දුවන දුම්රියේ ශබ්දය මඳක් අවහිර කළත් ගමන් වෙහෙසත් තද නිදිමතත් නිසා මම හොඳ හැටි නින්දට වැටුණෙමි. මහ රෑ මගේ ඇඟ මත විශාල බරක් ඇද වැටී මම තිගැස්සී අවදි වුණෙමි. මට ඉහළ නිදා සිටි නිළිය නින්දෙන්ම මගේ ඇඟ මත වැටී මාත් අවදිකර බිමට පෙරළී සිටිනු දැක මම නිදිමතේම මහ හඬින් සිනාසෙන්නට වීමි. දුම්රිය මැදිරියේ සිටි අනිත් නිළියෝ ද අවදි වී තරගෙට සිනාසෙන්නට පටන් ගත්හ.' කාන්තිගේ ජීවිතය අමතක නොවන සිද්ධිය ලෙස ඇය කියා ඇත්තේ ලංකාදීප පංච කල්‍යාණිය ලෙස ඇය 1956 අභිෂේක ලැබීමය. අම්බලන්ගොඩ, පොල්වත්තේ 19 හැවිරිදි කාන්ති ගුණතුංග ජයන්ති වසරේ පංච කල්‍යාණිය ලෙස අගනුවර පුරහලේදී තෝරා ගත් බව එම පුවත්පතේ මුල් පිටුවෙන් අනාවරණය වී තිබුණි. සුරංගනී චිත්‍රපටයට පසු කාන්ති දොස්තර, දුප්පතාගේ දුක, ශූරයා, සූරසේන, වනමෝහිනි, සන්දේශය චිත්‍රපටවල රඟපෑවාය. 'මා සිනමාවට පිවිසි පසු ඉගෙන ගත් ලොකුම පාඩම තමයි ඉවසීම ප්‍රගුණ කිරීම. දර්ශනයකට පෙනී සිටීම සඳහා පැය ගණනක්, සමහර විට පැය ගණන්, සමහර විට දවස තිස්සේ හැඩ වැඩ දමාගෙන සිටිය යුතුය. සුළු සුළු හේතූන් නිසා සමහර විට ඒ දර්ශනය කැමරාවට නොගන්නත් පුළුවනි. ඉතින් එතැනදී ඉවසීම නැතිනම් . . .' වනමෝහිනි ලෙස ඒ චිත්‍රපටයේ කාන්තිට ලොකුම අභියෝගය වී ඇත්තේ කදිරා නම් ඇතා සමඟ රඟපෑමය. කදිරා නම් මේ ඇතා ළඟට යාමට පවා බියෙන් පසු වූ ඇය පසුව ඇගේ හොඳම මිතුරිය වූවාය. කදිරා පිට නැඟී මහා ඝන වනාන්තරයේ ගිය ගමන වරෙක ඇය බියෙන් ද කුතුහලයෙන් ද යුතු අමුතු අත්දැකීමක් විය. 'මම මුල්වරට 'වනමෝහිනි' චිත්‍රපටයේදී කෙටි ඇඳුමක් ඇඳගෙන රඟපෑවේ. ඒක කැලෑවක් පසුබිම් කරගත් කතාවක්. මගේ කැලෑ ඇඳුමට අප්‍රිය කළ සිනමා රසිකයන් මට බැන වදිමින් ලිපි සිය ගණනක් එවා තිබුණා. මේ චිත්‍රපටයේදී එහි ප්‍රධාන චරිතය රඟපෑ හර්බි සෙනෙවිරත්නගෙන් ලැබුණ සහාය මට අමතක වන්නේ නෑ. 'වනමෝහිනි' චිත්‍රපටයේ එන ගීත සියල්ලටම මම ආසයි. ඒවා ඒ කාලයේ ඉතාම ජනප්‍රිය වුණා. මා වෙනුවෙන් පසුබිම් ගී ගැයුවේ ලතා.
'සිහිනේකි බාල කාලේ
'හෝ එනවයි කීවේ - නෑ තව ආවේ 'මාත්, හර්බිත් කදිරා පිටේ නැඟ යන විටත් ගල් ගුහාවකත් ගැයෙන 'දෑතට දෑත තියාලා ඔබ - මගේ කියා පවසා' ගීතයත් මා ගැයූ 'ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ' ගීතයත් මම ප්‍රිය කරනවා. මම රඟපෑ චිත්‍රපට කිහිිපයේම ජනප්‍රිය ගීත ගයන්න අවස්ථාව ලැබුණා. 'සූරසේන' චිත්‍රපටයේ මාත් හර්බිත් ගැයූ 'ආනන්ද ශ්‍රීය වෑහෙයි - සොබා දහම් සිනාසෙයි', 'සඳ කාන්ති වැදී රාත්‍රිය මේ ශාන්ත වී ගියා', 'ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ' මේ ගීත. මම නිළියක් වීමට සිහින මැව්වේ රුක්මණීගේ රඟපැම් දැකලා. මට ඇයත්, එඩී ජයමාන්නත් සමඟ රගපාන්න ලැබීම ජීවිතයේ ලොකු භාග්‍යයක්. ඒ 'දොස්තර' චිත්‍රපටයෙනි. ඒ චිත්‍රපටයේ මා ගැයූ 'දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ' ගීිතයත් එකල ජනප්‍රිය වුණා. 'සූරසේන' චිත්‍රපටයේ හර්බි සෙනෙවිරත්න, ඩොමී ජයවර්ධන පිහියකින් අනින දර්ශනයකට මටත් රඟපාන්න වුණා. ඇත්ත වශයෙන්ම එය භයානක අවස්ථාවක් ලෙස මට දැනුණේ. එක අවස්ථාවක පිහිය මගේ මුහුණේ ගෑවී නොගෑවී ගියා.' ඇය රඟපෑ චිත්‍රපට අතුරින් වඩාත් ප්‍රිය කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'සන්දේශය' චිත්‍රපටය බව ඇය කීවාය. දකුණු ඉන්දියානු චිත්‍රපටවල ගොරෝසු රඟපෑමවලට වඩා ස්වභාවික හිතේ හැටියට රඟපෑමට ලැබුණු එකම චිත්‍රපටය ලෙස මේ චිත්‍රපටය ඇය හඳුන්වා ඇත. එහි දී ආනන්ද ජයරත්න හා ගාමිණී ෆොන්සේකා සමඟ රඟපෑ අවස්ථා ඇයට අමතක නොවන බව පැවසුවාය. 'සන්දේශය' චිත්‍රපටය කාන්ති රඟපෑ අවසාන චිත්‍රපටය විය. චිත්‍රපට ජීවිතයේදී ඇයට ජනප්‍රිය චිත්‍රපට නළුවන් කිහිප දෙනෙක්ම ආදරය කළ බව ඇය සිනාසෙමින් වරක් අප සමඟ පවසා ඇත. එහෙත් ඇගේ සිත දිනාගත්තේ අම්බලන්ගොඩ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ තිස්ස අමරසිංහය. ඇයට තිස්ස හඳුන්වා දී ඇත්තේ කරුණාසේන ජයලත් විසිනි. ජයලත් විවාහ වී සිටියේ තිස්සගේ සහෝදරියක් වූ රූපා අමරසිංහ සමඟය. 1958 හඳුනා ගත් තිස්ස හා කාන්ති 1959 විවාහවීමෙන් පසු සිනමාවෙන් සමු ගත්තේය. අද තිස්ස ජීවතුන් අතර නැත. කාන්ති තම පුතුන් දෙදෙනා හා දියණිය සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නීය. කාන්ති අවසන් වරට තිස්ස ලියනසූරියගේ 'සිරියලතා' ටෙලි නාට්‍යයේ රඟපෑවාය. කාන්තිගේ මිනිබිරිය වන සාවින්ද්‍රි ද සිල්වා සොමි බෝයිස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළාය.
|