වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




දසුන් රඟපෑ පැහැසරාට අනාගතයේ අසාධාරණයක් නොවේවි

දසුන් රඟපෑ පැහැසරාට අනාගතයේ අසාධාරණයක් නොවේවි

උදය ප්‍රියන්ත කංකානම්ගේ

‘චායා’,‘උතුම් පැතුම්’‘ආදර දෑසක්’,‘අන්කල් සෑම්’ ඇතුළු ටෙලි නාට්‍ය රැසක ම පිටපත් රචකයා වන්නේ ඔහු ය. මේ දිනවල බොහෝ රූපවාහිනි නරඹන්නන් අතර කතාබහට ලක්වී සිටින සිරස රූපවාහිනියේ විකාශය වන ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා වන්නේ ද ඔහුම ය. ඔහු උදය ප්‍රියන්ත කංකානම්ගේයි. පිටපත් රචනයේ යෙදෙන තරුණ පිටපත් රචකයකු ලෙස සිය කලා ගමන පිළිබඳත්, පිටපත් රචනය පිළිබඳත් ඔහු සමඟ ‘සරසවිය’ට කළ කතාබහකි.

* පසුගිය දිනවල සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම ටෙලි නාට්‍ය අතරට ‘පැහැසරා’ ටෙලි නාට්‍යයත් අයත් වුණා.

මෙවර සුමති සම්මාන උලෙළේ අපට පසුබැසීමට සිදුවුණා. සමහර අවස්ථාවලදි තුන්වැනි ස්ථානයටත් පැමිණි අවස්ථා තිබුණා. ඒත් අවසානයේදි එවැනි තරගයක් ලබාදුන්නත් පසුව ඒ තත්ත්වය වෙනස් වුණා.

* ඒත් ගිය වසරවලදි වගේ ඔබ ලියූ පිටපතට ජයග්‍රහණය හිමිකර ගැනීමට නොහැකි වුණා නේද?

නිල්වලා ආයතනයෙන් නිෂ්පාදනය කරන ටෙලි නාට්‍ය නිර්මාණයි පසුගිය කාලයේ දිගින් දිගටම වගේ ජනප්‍රිය ටෙලිනාට්‍ය ලෙස සම්මාන ලබන්නේ. ‘රන්තරු’, ‘බොඳමීඳුම්’, ‘ඉතිං ඊට පස්සේ’, ‘සිහින පියාපත්’ ඒ අතරින් කිහිපයක්. මේ අතරට පසුගිය කාලයේ මා පිටපත් රචනා කළ ‘චායා’,‘උතුම් පැතුම්’ සඳහා සුමති, රයිගම්, පීපල්ස් අ වෝඩ් සම්මාන ත්‍රිත්වයමත්, ‘ආදර දෑසක්’ සඳහා ජනප්‍රිය ම ටෙලි නාට්‍යයට හිමි පීපල්ස් අ වෝඩ් සම්මානයත් හිමිකර ගත්තා. ජනප්‍රිය සම්මානය සඳහා බලපාන්නේ රූපවාහිනි නරඹන්නන්ගේ මනාපයයි. මොන හේතුවක් මත දෝ මා දන්නේ නැහැ මෙවර ඒ සඳහා ලැබෙන මනාප ප්‍රමාණයක් අපට අඩුවුණා. ඒත් ‘පැහැසරා’ ටෙලි නිර්මාණයේ අප අපගේ පැත්තෙන් කළ යුතු නිර්මාණාත්මක බව වැඩි කිරීම, රසාස්වාදය වර්ධනය කිරීම ආදී දේ ක්‍රියාත්මක කිරීම ගැන බොහෝ අවධානයෙනුයි සිටියේ. එහෙත් අපට ජනප්‍රිය සම්මානය අහිමි වුණා. අවසන් මොහොත වනතුරුත් අප ජනප්‍රිය සම්මානය බලාපොරොත්තුවෙනුයි සිටියේ. මොකද එවැනි බලාපොරොත්තුවක් අප තබා ගත්තේ මේ දක්වා ම රූපවාහිනි නරඹන්නන්ගෙන් ලැබුණු ඉමහත් ප්‍රතිචාර මතයි. මොකක් හෝ හේතුවක් මත ඒ සම්මානය වෙනත් ටෙලි නාට්‍යයකටයි හිමිවුණේ.

* ඔබගේ පිටපත් රචනයට පිවිසීමට පෙර අවධිය සිහිපත් කරමුද?

මගේ ගම ගාල්ල අහංගම නාකන්දයි. පළමුවෙන් ම මා පාසල් ගියේ වැලිගම සිද්ධාර්ථ බාලක මධ්‍ය මහා විද්‍යාලයටත්, දෙවනුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයටත්. උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරුවත් මගේ නිර්මාණාත්මක හැකියාව තිබුණේ මා කුඩා කාලයේ පටන්මයි. මට පුංචි කාලයේ පටන් ම ලියන්න තිබුණේ ලොකු ආශාවක්. ඒ නිසා ම මා පාසල් යන කාලයේ පටන් ම යොවුන් පත්තරවලට ලියන්න පෙලඹුණා. මෙවැනි කටයුතු නිසා මට ඒ කාලයේ විවිධ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිදුවුණා. මොකද මේ යොවුන් පත්තරවලට මා ලිව්ව දේවල් දැක්ක ළමයි ඒවා පන්තියේ සිටි ගුරුතුමාට පෙන්නුවා. ඒවා දැක්ක ගුරුතුමා මාව පන්තියේ නැඟිට්ටලා තිබ්බ විතරක් නොවෙයි පන්තියේ හැමෝටම ඇහෙන්න ඒ නිර්මාණ කියෙව්වා. එහෙම කළත් මගේ සිතේ එක් කොණක හැංගී තිබුණ ලිවීමේ ආශාව නම් මග හැරුණේ නැහැ. මේ වගේ දේවල් නිසා සිදුවුණේ ඒ අදහස එන්න එන්න ම මගේ සිතේ වර්ධනය වීමයි. ඒ අනුව උසස් පෙළ අවසන් වූ විටම මා කළේ ගීතයක් රචනා කිරීමයි. ‘මාගල්ලේ වැව....’ කියන ඒ ගීතය 2005 වසරේදී රොෂාන් ප්‍රනාන්දු සංගීතවත් කළා. එය ගැයුවේ කිංස්ලි පීරිස්. ඒ ගීතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. එතැනෙන් ඇරැඹුණු මගේ ලේඛන දිවියේ ආරම්භය සනිටුහන් කරන්නේ නවකතාවයි.

* ඒ අනුව ඔබ මුලින් ම පුවත්පතට සම්බන්ධ වන්නේ නවකතාව හරහාද?

යොවුන් පුවත්පත් කිහිපයකට ම යොවුන් නවකතා ලිවීම හරහා පසු කාලයේ යොවුන් පුවත්පත් කිහිපයක ම සංස්කාරකවරයකු වීමටත් මට අවස්ථාව උදා වෙනවා. මා අවසන් වශයෙන් සේවය කරන්නේ ‘සඳරෝස’ පුවත්පතේයි. ඒ හරහායි මට රන්ජන් ප්‍රසන්න අයියාව මුණ ගැසෙන්නේ. ඒ වනවිටත් ඔහු මගේ නවකතා කිහිපයක් ම කියවලා තිබුණා. ඒ කියැවීමත් සමඟ ඔහු මට ආරාධනා කළේ, ඒ වනවිට ඔහු සම්බන්ධ වී වැඩ කළ සුසිල නිෂ්පාදන ආයතනයත් සමඟ එක්ක කටයුතු කිරීමටයි. එහි නිර්මාණවලට පිටපත් රචනා කළේ කණ්ඩායම් වශයෙන්. ඒ අනුව පිටපත් රචනයෙන් ‘රුවන් මාලිගා’, ‘අපේක්ෂා’, ‘ඉඳුවරී’, ‘තූර්යා’ ආදී ටෙලි නාට්‍ය කිහිපයකට ම දායකත්වය දක්වන මට එහි තූර්යා ටෙලි නාට්‍යය හා සමගාමීව කළ තූර්යා සඟරාව කිරීමට බාර දෙනවා. එතැනින් පසුව මට නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත මහත්තායා ආරාධනා කරන්නේ ‘චායා’ ටෙලි නාට්‍යයේ පිටපත ලියන්නයි. ඔහුව මා හඳුනාගෙන සිටියේ සඳරෝස පුවත්පතේ වැඩ කරන කාලයේදියි. ඔහුගේ ආරාධනය අනුව මා තනිවම පිටපත් ලිවීම අරඹන්නේ ඒ ටෙලි නිර්මාණයෙන්. ඒ වගේ ම මා පිටපත ලියූ ‘චායා’ ටෙලි නාට්‍යය සඳහා සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානයත් හිමිවනවා. ඉන්පසුව මා රචනා කළ ‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍යයට සුමති සම්මානය, රයිගම් සම්මානය, පීපල්ස් අ වෝඩ් සම්මාන යන ත්‍රිත්වයම හිමි වූ බවත් මට මතකයි.

* ‘පැහැසරා’ ටෙලිනාට්‍යයේ පිටපත මුලින් ම ලියන්නේ ඔබ නොවෙයි. ඒ කාර්යය ඔබට හිමිවන්නේ කෙසේද?

මුලින්ම මේ ටෙලි නාට්‍යයේ පිටපත ලියන්නේ මහේෂ් රත්සරමද්දුමආරච්චි අයියායි. ටික දවසක් ගතවෙද්දි මහේෂ් අයියාගේ තිබෙන කාර්යබහුල බවත් එක්ක ඔහුට මේ කටයුත්ත දිගටම කරගෙන යන්නට නොහැකි වෙනවා. ඉන්පසුව ඒ කටයුත්ත මට භාරදුන්නේ සියල්ලන්ගේ ම කැමැත්ත මතයි. මුලින් ම මේ නාට්‍යයේ පිටපත ලියන්නට මට යෝජනා කළ අවස්ථාවේ මා එය ප්‍රතික්ෂේප කළා. ඒ මා තුත්තිරි ගහක් නම් මහේෂ් අයියා දැවැන්ත වෘක්ෂයක් නිසයි. එහෙත් සියල්ලන්ම කළ බල කිරීම මතයි මා ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ පිටපත ලියන්නට භාර ගන්නේ.

* දීර්ඝ ටෙලි නාට්‍යවල කාලයක් ගතවීමේ දී සිටින චරිත අතුරුදහන් වීමත්, අලුත් අලුත් චරිත එක්වීමත් සාමාන්‍ය සිදුවීමක්. මේ සඳහා සමහර විට බොහෝ බලපෑම් කරන්නේ නිෂ්පාදකවරයායි. නැත්නම් අධ්‍යක්ෂවරයායි. එවැනි බලපෑම්වලට මුහුණ දීමට ඔබටත් සිදු වී තිබෙනව ද?

නිල්වලා ආයතනයේ නිෂ්පාදකවරයා ඇතුළු විධායක මට්ටමේ කිසිම කෙනෙක් අද වනතුරුත් මට මේ මේ විදියට පිටපත ලියැන්නැයි, මේ මේ චරිත ඇතුළත් කරන්නැයි, මේ මේ චරිත කපා දමන්නැයි කියමින් බලපෑම් කර නැහැ. නිදහසේ මේ නිර්මාණයේ පිටපත රචනය කිරීමට අවශ්‍ය ඉඩහසර ඔවුන් මට නිර්මාණය කරදීලයි තිබෙන්නේ.

* ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පෙවූ දසුන් පසුගිය කාලයේ අප අතරින් සමුගන්නවා. ඉදිරියේදී ඔබ ඒ චරිතයට කරන්නේ කුමක්ද?

ඔහු රඟපෑ ටෙලි නාට්‍ය කොටස් තවමත් විකාශය වෙනවා. ඉදිරියේදී කතාවට ආසාධාරණයක් නොවන ලෙසින් ඒ චරිතය වෙනසකට ලක්වේවි.

* බොහෝදෙනා පවසන්නේ අපේ රටේ වර්තමානය වනවිට දක්ෂ පිටපත් රචකයන්ගේ බිහිවීමේ අඩුවක් පවතින බවයි. වර්තමානයේ බිහිවී සිටින තරුණ පිටපත් රචකයකු විදියට ඔබටත් මේ හරහා යම් චෝදනාවක් එල්ල වෙනවා?

ඒ බව මා දන්නවා. ඒ චෝදනාව වඩාත් එල්ල වන්නේ මෙගා ටෙලි නාට්‍ය සඳහායි. මෙගා ටෙලි නාට්‍ය හා දර්ශන තිහක් වැනි කෙටි වූ ටෙලි නාට්‍ය අතර වෙනස පවතින්නේ එහි තිබෙන නිර්මාණාත්මක බව සමඟයි. ඒ නිර්මාණවලට දායක වන කණ්ඩායම අනුවයි. වර්තමානයේ රූපවාහිනි සේවාවල විකාශය වන ඉන්දියානු ‍මෙගා ටෙලි නාට්‍ය දෙස විමසිල්ලෙන් බලන්න. ඒ නිර්මාණ දෙස විමසිල්ලෙන් බැලීමේදී අපට පෙනෙන්නේ ඒ එක දර්ශනයක් සඳහා ඔවුන් දරා ඇති දැවැන්ත වියදමයි. එවැනි වියදමක් දරා අපේ රටේ නිර්මාණ කිරීමට නොහැකි වී ඇත්තේ ලැබෙන පහසුකම් මතයි. අනෙක් කාරණය නම් ටෙලි නාට්‍යවලට රූපවාහිනි සේවාවලින් ගෙවන මුදල් සැලකීමේදී එවැනි දැවැන්ත නිර්මාණයක් කිරීම කළ හැක්කක් නොවෙයි. මෙන්න මේ කාරණාත් සමඟ ටෙලි නාට්‍ය පිටපත් රචකයන්ට වර්තමානයේදී සිදු වී තිබෙන්නේ අයවැය ගැන සිතා පිටපත රචනා කිරීමටයි. ඒ ගැන සිතා පිටපත රචනා කරන විට ටෙලි නාට්‍යයේ නරඹන්නන්ව රදවා තබා ගැනීමේ වගකීම සියයට හැත්තෑපහකටත් වඩා පැවරෙන්නේ පිටපත් රචකයාටයි. සියලු නාලිකා උත්සාහ ගන්නේත් වැඩිම රේටින් තිබෙන නාට්‍ය විදියට ඔවුන්ගේ නාට්‍ය විකාශය කිරීමටයි. ඒ නිසා මා පවසන්නේ වර්තමානයේ පිටපත් රචකයන් නැතුව නොවෙයි, ඉන්නවා. ඒත් ඔවුන්ට සිදු වී තිබෙන්නේ මේ පවතින ක්‍රමයට අනුගත වී නිර්මාණවල නියැළෙන්නයි.

* ඔබ පිටපත් රචනයට පිවිසීමට පෙර ඒ ගැන යම් හැදෑරීමක් කළාද?

අපේ රටේ අධ්‍යක්ෂණය, රංගනය වගේ ම පිටපත් රචනය ගැන ඉගෙන ගන්නත් පාසලක් ඇත්තේ නැහැ. ඒ පිළිබඳ ඉගෙන ගැනීමට පෞද්ගලිකව යම් යම් ස්ථාන තිබුණත් අපි හැමෝටම ඒ සඳහා යොමු වීමට නොහැකි තත්ත්වයකුයි උද්ගත වී තිබෙන්නේ. ඒ නිසා බොහෝ දුරට මා කළේ හොඳ පිටපත් රැසක් ගෙන ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වීමයි. ඒ ඔස්සේයි මා පිටපත් රචනය හැදෑරුවේ. එහෙම වුණත් අදත් ප්‍රවීණයෙක් මේ මේ තැන් වැරැදියි කියලා කිව්වොත් ඒ වැරැද්ද හදා ගන්න මා දෙවරක් සිතන්නේ නැහැ. මේ ගමන පැමිණීමේදී මට උදව් කළ සියල්ලන්ටම ස්තුති කිරීමට මට අවස්ථාවක් කර ගන්නවා. ඒ නිල්වලා ආයතනයේ අධිපති ආචාර්ය උපුල් ජයසිංහ මහත්තයා වගේ ම විධායක නිෂ්පාදක ලලිත් වසන්නත මහත්තයා, නීල් රුකුමන් මහත්තයාවත් මෙහිදි සිහිපත් කළ යුතුයි. ඒ වගේ ම මෙතෙක් මා පිටපත් රචනයෙන් දායක වූ නිර්මාණවල අධ්‍යක්ෂවරුන් ඇතුළුව සියලුම ශිල්පීන්වත්, පැහැසරා අධ්‍යක්ෂතුමා ඇතුළු එහි සියලුම කණ්ඩායමත්, සංස්කරණ ශිල්පී නිශාන්තවත් මා සිහිපත් කරන්නේ බොහෝ ආදරයෙන්.