වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සොඳුරු ආඥාදායකයා

සොඳුරු ආඥාදායකයා

15 වැනි ස්මරණාවලෝකනය 19 වැනිදා

ප්‍රවීණ කලාකරු සුගතපාල ද සිල්වා අභාවප්‍රාප්තව පහළොස් වසරක් සපිරීම සහ බෝඩිංකාරයෝ නාට්‍යයට මෙන්ම අපේ කට්ටිය සංවිධානය පිහිටුවා 55 වසරක් ගතවීම හේතු කොටගෙන සොඳුරු ආඥාදායකයා 15 වැනි ස්මර්ණාවලෝකනය නමින් සැමරුම් වැඩසටහනක් මෙම මස 19 වැනිදා සවස කොළඹ 07, ඇල්බට් චන්ද්‍රවංකයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණීභාරත රංග ශාලාවේදී පැවැත්වේ. මෙය අපේ කට්ටිය සමඟ කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන් එකතුවේ සංවිධානයකි.

මෙම උලෙළේ මුලසුන ප්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක හොබවන අතර ආරාධිත ප්‍රධාන සැමරුම් දේශනය සමන් ආතවුදහෙට්ටි විසින් පැවත්වීමට නියමිතය. එමෙන්ම කරුණා පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි, දයා තෙන්නකෝන් සහ බුද්ධදාස ගලප්පත්ති කෙටි සැමරුම් දෙසුම් පවත්වනු ඇත. උලෙළේ සංගීතය මෙහෙයවීම සමන්ත පෙරේරා විසින් සිදු කරන අතර කුමාරි මුණසිංහ සහ කෞශල්‍යා ප්‍රනාන්දු සමඟ තෙස්පියන්ස් කණ්ඩායමේ සාමාජිකයන් මෙහි නාට්‍ය ගීත ගයනු ලබයි. මෙම උලෙළට සමගාමීව සුගතපාලයන්ගේ බෝඩිංකාරයෝ නාට්‍ය පිටපත මුද්‍රණයෙන් එළි දැක්වීමට ද සූදානම් කොට ඇත.


ගාමිණී වෙනුවෙන් ලේ දන්දෙයි

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ 13 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් දෙවැනි වරටත් එතුමන් හා අප අතරින් මියගිය සියලුම සිනමා, වේදිකා, රූපවාහිනි හා සංගීත, ජනමාධ්‍යකරුවන්ද, ත්‍රිවිධ හමුදා නිලධාරින්ද සිහිකර ලේ දංදීමේ පින්කමක් පසුගියදා නාරාහේන්පිට ලේ දන් දීමේ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දමිත් ෆොන්සේකා සහභාගි වූ අතර කලාකරුවෝ රැසක් ඒ සඳහා සහභාගි වූහ. මේ පින්කම දෙවැනි වරටත් සංවිධානය කරන ලද්දේ අශෝක සෙනරත් මුදලි විසිනි.


ජෝ වෙනුවෙන් දානයක්

දිවංගත ජෝ අබේවික්‍රමයන්ගේ 6 වන ගුණ සමරුව නිමිත්තෙන් 2017 ඔක්තෝම්බර් 03 වන දින මහරගම පිළිකා රෝහල් විහාරස්ථායේ සුවමංසල හා විශ්‍රාම ශාලාවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 150 දෙනෙකුට දහවල් ආහාර වේල පිළිගන්වන ලදී.

ජෝ අබේවික්‍රමයන්ගේ දියණිය වන උදේශි කුමාරි අබේවික්‍රම විසින් සංවිධාන කරන ලද මෙම පිංකමට පිළිකා රෝහල් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වෑගන්තලයේ සීවලී ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාවට එක්සත් ජාතික කලා සංසදයේ සභාපති අනුර ශ්‍රීනාත් ඇතුළු සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි විය.


චිත්‍රපට සඟරාවේ නව කලාපය

ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මුද්‍රණය කරනු ලබන චිත්‍රපට සිව් මාසික සඟරාව සැප්තැම්බර් සහ දෙසැම්බර් කලාපය මේ වන විට එළි දැක්වී තිබේ. චිත්‍රපට පිළිබඳ හරවත් ලිපි රාශියකින් සමන්විත මෙය චිත්‍රපට සංස්ථාවෙන් සහ ප්‍රධාන පොත් අලෙවිසැල්වලින් මිලදී ගත හැකිය.


ග්‍රැමෆෝන් තැටි ප්‍රදර්ශනයක්

ග්‍රැමෆෝන් ගීත තැටි, පැරැණි පළමු ෆොනෝ ග්‍රෑම් ග්‍රැමෆෝනයේ අනුරුවක් සමඟ විවිධ වර්ගයේ ග්‍රැමෆෝන් යන්ත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් මෙම මස 12 සහ 13 යන දෙදින පුරා ත්‍රිකුණාමලයේ අභයපුර මහ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ. මෙය සුනිල් ආරියපාල සහ තිලක් වැලිකලගේ සංවිධානයකි.