වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘කුරුලු බැද්දේ’ - කරලිනා වූ නාලිනී අබේපාල

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

‘කුරුලු බැද්දේ’ - කරලිනා වූ නාලිනී අබේපාල

‘මම මුලින්ම නිළියක්වීමට ආශා කළත් පසුව යමක් කමක් දැන කියා ගන්නා තරම් කාලයේ ඒ ආසාව තුනීව ගොස් හෙදියක් වීමට හිතුවා. ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූ පසු ස්ථිරවම සිතුවේ සමාජ සේවයක් මෙන්ම උතුම් රැකියාවක් වූ හෙදියක් වීමටය. මා සිතින් සාත්තු සේවිකාවක් වූ වාර අනන්තයි. ආරෝග්‍ය ශාලාවක අසරණව සිටින රෝගීන් වෙත ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීම, වේලාවට බෙහෙත් දීම, ඔවුන්ගේ සැප පහසුව බලන හැටි මම මනසින් දුටුවා. ඒත් කලාවටත් ඇලුම් කළා. පාසල් වේදිකාවේ මා කැපී පෙනුණා. එයින් වඩාත් කැපී පෙනුණේ ‘බල බිඳීම’ වේදිකා නාට්‍යයයි.

කුඩා ළමයෙක් කණ්ණාඩි කැබෙල්ලක් අව්වට අල්වා කුඩා දැරියකගේ මුහුණ අව්වට හරවන කළ ඇය මුහුණ සඟවා ගත්තාය. පසු කලෙක ඇයටම චිත්‍රාගාරවල දර්ශනවලදී ද දස අතකින් ගලා එන ආලෝක ධාරා මැද්දේ සිනමා කැමරාවකට මුහුණ දෙන්නට සිදුවීම දෛවයේ සරදමක් වැනිය. ඇයට චිත්‍රපට නිළියක් වීමේ ආසාව ඇති වුයේ බාල කාලයේ පටන්ය. ඒ ආසාවට මූල බිජය පිළිසිඳුණේ රුක්මණී දේවි රඟපෑ චිත්‍රපට බැලීමෙනි. පසළොස් හැවිරිදි වියේ සිටි ඇයට රුක්මණී දේවි රඟපෑ ‘කැලෑහඳ’ චිත්‍රපටය දැකීමෙන් ‘මාත් රුක්මණී මෙන් ලස්සන වී රඟපාන්නේ කවදා ද?’ යන සිතුවිල්ල ඇති වූවාය. මෙය එදවස නිළියක් වීමට සිටි සෑම යුවතියකටම පොදු සිතුවිල්ලකි.

පාසලේදී යන්තම්වත් ඉඩක් ලැබුණු හැටියේ කාමරයකට දුව ගොස් මිතුරියනුත් සමඟ නොයෙක් විකාර වැඩ කළ කාලය මට මතක් වෙනවා. මට හොඳට මතකයි මා ‘කැලෑ හඳේ’ මාලිනී මෙන් රඟපෑ හැටි. මගේ මිතුරිය තමයි ජයපාල තරුණයා ලෙස රඟපෑවේ. එසේ රඟපා අවසානයේ අපි එකිනෙකාට විහිළු කරමින් හිනා වෙනවා. ඇතැම් දිනක ගුරුවරුන්ටත් අපේ නාඩගම් ඇස ගැටෙනවා. ඒත් ඒ අය අපට බනින්නේ නෑ, මොකද අපි පන්තියේ වැඩ අතපසු නොකරන නිසා.’

මේ විස්තර කියන්නේ කලක් සිංහල සිනමාවේ බැබළුණ චිත්‍රපට නිළියක් වූ නාලිනී අබේපාල. දැනට සිය ජීවිතයේ 79 වන විය ගත කරන ඇය රුවන්වැල්ලේ වැන්ඩල ‘රාජගිරි’ නිවෙසේ පදිංචිව සිටින්නීය. 1938 සැප්තැම්බර් 06 වෙනිදා උපත ලැබූ කංකානමගේ ඇග්නස් අබේපාල අධ්‍යාපනය ලැබුවේ ගංගොඩවිල රේවත විද්‍යාලයෙනි. ඇගේ නම ඇග්නස් වුව ද දෙමාපියන්, වැඩිහිටියන් කුඩා කළ සිට කතා කර ඇත්තේ නාලිනී කියාය.

දස දෙනකුගෙන් යුතු පවුලක හත්වැන්නී නාලිනීය. ඇගේ වැඩිමහල් අක්කා ටියුරින් පාදුක්කේ පදිංචිව සිටින්නීය. ඊළඟට සිටි හෙන්රි හා ලින්ටන් මිය ගොස්ය. ඩේසි අක්කා පයාගල ද, මියුරියල් අක්කා විජේරාමයේ ද, වයලට් අක්කා (ඇය විවාහ වී සිටියේ අභාවප්‍රාප්ත චිත්‍රපට නළු විනී රන්වල සමඟය. ටෙලි නාට්‍ය නිළි වසන්ති රන්වල ඇගේ දියණියකි). ජුබිලි කණුව අසල පදිංචිව සිටින්නීය. ඇයට බාල යසවර්ධන මල්ලී නීතිඥයෙකි. වින්සන්ට් මල්ලි ගාල්ලේ ද, බාලම මල්ලී රෝලන්ඩ් අබේපාල කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ මහාචාර්යවරයකුව සිටි ඔහු නාට්‍ය කලාව ගැන පොතපත රාශියක් ලියා ඇති ලේඛකයෙකි. අධිනීතිඥවරයෙකි. සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

‘මම මුලින්ම නිළියක්වීමට ආශා කළත් පසුව යමක් කමක් දැන කියා ගන්නා තරම් කාලයේ ඒ ආසාව තුනීව ගොස් හෙදියක් වීමට හිතුවා. ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූ පසු ස්ථිරවම සිතුවේ සමාජ සේවයක් මෙන්ම උතුම් රැකියාවක් වූ හෙදියක් වීමටය. මා සිතින් සාත්තු සේවිකාවක් වූ වාර අනන්තයි. ආරෝග්‍ය ශාලාවක අසරණව සිටින රෝගීන් වෙත ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීම, වේලාවට බෙහෙත් දීම, ඔවුන්ගේ සැප පහසුව බලන හැටි මම මනසින් දුටුවා. ඒත් කලාවටත් ඇලුම් කළා. පාසල් වේදිකාවේ මා කැපී පෙනුණා. එයින් වඩාත් කැපී පෙනුණේ ‘බල බිඳීම’ වේදිකා නාට්‍යයයි. පුංචි කාලේ සිටම ධර්මානුකූල ජීවිතයකට අපව පුරුදු පුහුණු කරලා තිබුණා. ඒ නිසා ඉරිදා දහම් පාසලට ගිය මා පසුව මිරිහාන ශ්‍රී රෝහණ දහම් පාසලේ ගුරුවරියක් හැටියට ඉතා තෘප්තියෙන් සේවය කළා’ නාලිනී කීවාය.

නාලිනී රඟපෑම සඳහා යෙමු කරන්නී ඇගේ වැඩිමල් අක්කා විසිනි. චිත්‍රපට නළු සුදම් වනිගතුංගගේ යොමු කිරීමෙන් ඇයට හාපුරා චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ ජෝ අබේවික්‍රම සමඟ විකට චරිතයකි. ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ ‘අවිස්වාසය’ (1959) චිත්‍රපටයේ අනුලා ලෙස ද, ජෝ අබේවික්‍රම බණ්ඩා ලෙස ද රඟපෑහ. මේ චිත්‍රපටය 1958 වසරේ එක් වන විට ඇගේ වයස අවුරුදු 20 කි. නාලිනී මේ චිත්‍රපටයේ විකට චරිතය නිරූපණය කිරීමට පමණක් නොව නැටුම් ඉගෙන ගැනීමටත් සිදුව ඇත. ඇගේ ඊළඟ චිත්‍රපටය වී ඇත්තේ ඇල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ නළඟන (1960) චිත්‍රපටයයි. එහි ද ඇය රඟපෑවේ ජෝ අබේවික්‍රම සමඟය. ඉන්පසු එල්. එස්. රාමචන්ද්‍රන් විසින්ම අධ්‍යක්ෂණය කළ ‘කුරුලු බැද්ද’ චිත්‍රපටයේ කර්ලිනා චරිතයට ඇය තෝරා ගත්තේය.

‘කුරුලු බැද්දේ’ කෝපි කඩේ දර්ශනයේදී මම කර්ලිනා මෙන් රඟපෑවා. එහි සිටි බෙම්පි ආතා (කේ. එෆ්. පෙරේරා) කයිතන්ගේ අම්මා ළමස්සි කාලේ රේස් කරත්තයේ තබාගෙන කැන්දන් ආ හැටි කියමින් හිටියා. මම ඒ කතාව අහද්දී ඉබේටම සිනා ගිය හැටි තාම මතකයි. අපට නොදැනෙන්නට අධ්‍යක්ෂවරයා ඒ දර්ශනය රූපගත කළා. ඒ සිනාව චිත්‍රපට ජීවිතයේ සැබෑ සිනාවයි. මේ චිත්‍රපටයේම රන් මැණිකලාට (පුණ්‍යා හීන්දෙනිය) කයිතන් කිරීමට යන නස්පැත්තියක් ගැන ඉව වැටුණ ඇගේ යෙහෙළිය වූ මම (කර්ලිනා) තම පෙම්වතා වූ විලිසොන්ට (ප්‍රේමරත්න පලිහක්කාර)මේ රහස කියන දර්ශනයටත් මම කැමතියි. ගැමි ජීවන සුවඳ මුසු වූ ‘කුරුලු බැද්ද’ චිත්‍රපටයේ රඟපෑමට ලැබිම මගේ ලොකු භාග්‍යයක්. මට මතකයි ‘කුරුලු බැද්ද’ ගැන විචාරයක් ලියූ ‘සිළුමිණ’ පත්‍රයේ කර්තෘ මීමන ප්‍රේමතිලක මහතා කියා තිබුණා එය ඉතා හොඳ චිත්‍රපටයක් බවත්, එතෙක් නිපදවා තිබූ උසස් චිත්‍රපට දෙක වූ ‘රේඛාව‘ හා ‘පොඩි පුතා’ ට වඩා ස්වභාවික දර්ශන හා ගැමි ජීවිතය මැනවින් පිළිබිඹු වුණා කියලා’ නාලනී කීවාය.

‘කුරුලු බැද්දෙන්’ පසු ඇය රොබින් තම්පෝගේ ‘සුදු සඳේ කළු වලා’ (1963) චිත්‍රපටයේ ද, ඇල්. ඇම්. පෙරේරා සමඟ විකට චරිතයක් රඟපෑවාය. ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ ‘කළ කළ දේ පල පල දේ’ චිත්‍රපටයේ (1964) ද, රොබින් තම්පෝගේ ‘සමාජේ අපි ඔක්කොම සමානයි’ (1964) ඇම්. ඇස්. ආනන්දන්ගේ ‘සිතක මහිම’ චිත්‍රපටවල රඟපෑවාය. ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමඟ ‘සිතක මහිම’ චිත්‍රපටයේ ඇය රඟපෑ විකට චරිතය ප්‍රේක්ෂකයන්ට අමතක නොවන අත්දැකීමක් විය. ‘සිතක මහිමෙන්’ ඇගේ සිනමා චාරිකාව අවසන් විය.

ඊළඟට නාලිනී වේදිකා නාට්‍යවලට එක් වූවාය. ‘සිවම්මා ධනපාල’ ඇය රඟපෑවේ එක යුගයක් එකලු කළ ටවර්හෝල් නළු නිළියන් සමඟය. ප්‍රේමසිරි කේමදාසගේ ‘කැලෑ මල’ ගීත නාට්‍යයේ ගී ගයමින් රඟපෑ ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ ‘දුකී දුක’ වේදිකා නාට්‍යයයි. මේ නාට්‍යය නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතය රඟපෑ කමල් රාජපක්ෂ පසුව 1965 වසරේ ඇගේ සැබෑ ජීවිතයේ සැමියා වුයේය. ඉඩම් හිමි වැවිලිකරුකු වූ කමල් හා නාලිනී යුවළට දරුවන් පස් දෙනෙකි. වැඩිමහල් දියණිය වූ චම්පා අකාලයේ මිය ගොස් ඇත. දෙවන දියණිය ටෙක්ලා ගුරුවරියකි. පුතා උදිත ඉංජිනේරුවෙකි. පුතා නාමල් රුවන්වැල්ලේ රාජගිරි හොලිඩේ රිසෝට් හි අධිපතිය. බාල දියණිය ගයනි ගෘහනියකි. නාලිනීගේ දයාබර සැමියා කමල් රාජපක්ෂ මහතා 1982 වසරේ ජීවිතෙන් සමුගත්තේය.