වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




විජේ චරිත තුනක

විජේ චරිත තුනක

ක්‍රියාදාම චිත්‍රපටයක් වන Mersal සමඟින් විජේ මෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ ඒ. ආර් රහ්මාන් සිනමා දිවියේ විසිපස් වැනි වසර සම්පූර්ණ කරන අතර නිෂ්පාදන ආයතනය වන තෙනන්ඩාල් චිත්‍රාගාරය සිය සියවැනි වසර සම්පුර්ණ කරනවා.

දෙමල සිනමාවේ විජේ කිව්වම නොදන්නා කෙනෙක් නැහැ. විජේ රඟන සිනමා නිර්මාණයක් එනතෙක් මඟ බලන අයට නම් සතුටු දායක ආරංචියක්. මේ වසරේ ජනවාරි මස තිරගත වීම ඇරඹි Bairavaa චිත්‍රපටයෙන් පසුව කොලිවුඩයට එන නවතම සිනමා නිර්මාණය හැඩ කරන්නෙත් විජේ. ඒ Mersal චිත්‍රපටය සමඟින්. Mersal 'පුදුම කරවන සුළු' යන අරුත ගෙන දෙනවා. තෙළිඟු බසින් හඬකවා එය තිරගත කෙරෙන්නේ Adhirindhi නමින්. එහි අර්ථය වන්නේ, 'අනර්ඝ' යන්නයි.

එක්තරා මැජික් ශිල්පියෙකු ඉන්දියාවට පැමිණි විට බොහෝ කලකට පෙර ඔහුගෙන් වෙන් වූ වෛද්‍යවරයකු වන සිය සහෝදරයා හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා එක්ව මෙහෙයුමක් දියත් කරන්නේ, තම මවුපියන්ගේ ඝාතකයා සෙවීමේ අරමුණෙන්. Mersal චිත්‍රපටය රිදී තිරයේ දිග හැරෙන්නේ මෙලෙසින්. මෙහිදී විජේ විසින් චරිත ත්‍රිත්වයක් නිරුපණය කරන අතර ඔහු සමඟින් සමන්තා, නිත්‍යා මෙනොන් සහ කජාල් අග්‍රවාල් ප්‍රධාන කාන්තා චරිත නිරූපණය කරනවා. මේ වෙනුවෙන් ජනප්‍රිය නිළි ජෝතිකා ආරාධනා ලැබුවත් යම් යම් ගැටලු හමුවේ එම චරිතය පිරිනැමුණේ නිළියක මෙන්ම ගායිකාවක ද වන නිත්‍යා මෙනොන් වෙතයි. දෙමල සිනමාවේ ජනප්‍රිය සත්‍යරාජ්, එස්. ජේ සූර්යා සහ වඩිවේලු ද මෙහි රංගනයෙන් දායක වී සිටියි.

Mersal චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ යොවුන් අධ්‍යක්ෂවරයකු වන ඇට්ලේ හෙවත් අරුන් කුමාර් විසින්. තිස්එක් හැවිරිදි අරුන් කුමාර් සිනමාවට පිවිසියේ එස්. ශංකර් විසින් අධ්‍යක්ෂණය කළ Enthiran හි සහය අධ්‍යක්ෂවරයකු ලෙසින්. 2013 වසරේදී ඔහු තම පළමු වෘතාන්ත චිත්‍රපටය Raja Rani අධ්‍යක්ෂණය කළ අතර පසුගිය වසරේදී අධ්‍යක්ෂණය කළ Theri ඉහළ ආදායම් වාර්තා තබන්න සමත් වුණා. අරුන් කුමාර්ගේ තෙවන සිනමා අධ්‍යක්ෂණය වන ර්ඥපඵචත නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ පසුගිය පෙබවාරි මාසයේදීයි. ඉන්දීය රුපියල් කෝටි 1300ක වියදමකින් නිර්මාණය කෙරුණු එය ඔක්තෝබර් 18 වැනිදා සිට ලොවපුරා තිරගත කරන්න නියමිතයි.

ක්‍රියාදාම චිත්‍රපටයක් වන Mersal සමඟින් විජේ මෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ ඒ. ආර් රහ්මාන් සිනමා දිවියේ විසිපස් වැනි වසර සම්පූර්ණ කරන අතර නිෂ්පාදන ආයතනය වන තෙනන්ඩාල් චිත්‍රාගාරය සිය සියවැනි වසර සම්පුර්ණ කරනවා.

සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු වන ඒ. ආර් රහ්මාන් සිනමාවට පිවිසියේ 1992 වසරේ මනිරත්නම් අධ්‍යක්ෂණය කළ Roja චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට දායක වෙමින්. එදා මෙදා තුර චිත්‍ර රැසකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අතර ඔස්කාර් සම්මාන ද්විත්වයක් ඇතුළුව ග්‍රැමී සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන, ඉන්දීය ජාතික සම්මාන සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන රැසකට ද හිමිකම් කියයි. දකුණු ඉන්දීය නළු විජේගේ සිනමා දිවියටද වසර විසි පහක් සපිරෙන්නේ ඔහු ප්‍රධාන චරිත නිරූපණය කළ කාලය සමඟ සැසඳීමෙන්. ඔහු පළමුව ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ 1992 වසරේ තම පියා එස්. ඒ. චන්ද්‍ර සේඛර් විසින් අධ්‍යක්ෂණය කළ Naalaiya Theerpu  චිත්‍රපටයෙන්. නමුත් ඊට පෙර 1984 වසරේ සිට ඔහු ළමා නළුවකු ලෙසින් තම පියා අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ හයක කුඩා චරිත නිරූපණය කළා.

මැජික් ශිල්පියකුගේ චරිතය නිසා Mersal වෙනුවෙන් විජේ මැසඩෝනියාව, කැනඩාව සහ බල්ගේරියාවේ මැජික් ශිල්පීන් තිදෙනෙකු යටතේ මැජික් ශිල්පය හැදෑරු බවත් කොලිවුඩයෙන් වාර්තා වෙනවා. මේ දක්වා දෙමල සිනමා නිර්මාණ අතරින් අන්තර්ජාලයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹු පූර්ව ප්‍රචාරක පටය බවට පත්ව තිබුණේ අජිත් කුමාර්ගේ Vivegam චිත්‍රපටයේ ප්‍රචාරක පටය යි. දැන් එම ස්ථානය හිමි වී තිබෙන්නේ, Mersal චිත්‍රපටයේ ප්‍රචාරක පටයට වීමත් විශේෂයි.

යතේජා ඥානරත්න