වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘පෝස්ටර් ගහන්න ඕන එළිවෙන ජාමෙට’

‘පෝස්ටර් ගහන්න ඕන එළිවෙන ජාමෙට’

‘ඉලන්දාරියා ගේ වැඩේට අපෙන් ඕන මොන වගේ සපෝට් එකක්ද ?

චුට්ටං මුදලාලි ඇසුවේ ඉදිරියට නෙරා ගිය බඩ අත ගාමිනි. බඩ අත ගා ගැනීම දැන් ඔහුගේ පුරුද්දක් ව පවතී.

ඔහු ට විනෝද් මුණ ගැසෙන්නේ පිටකොටුවේ දිය. සති අන්තයේ දී පිටකොටුවේ පළතුරු කඩය මැදියම් රැය ඉක්මවන තුරු විවෘත කර තැබීම චුට්ටං කලක සිට සිරිතක් කර ගත්තේය. සති අන්තයේ කොළඹ අත හැර ගමේ යන පිරිස වැඩිය. ලහි ලහියේ පිටකොටුවට විත් බස් රථයකට ගොඩ වෙන මගීන්ට ඒ මොහොතේ දහසක් දේ කල්පනා වන්නේය. කාගේත් කල්පනාව ඉක්මනින් ගෙදර යෑමය. බස් රියේ රියැදුරා ඉන්නේ නියමිත කාලය මරමිනි.පිටකොටුවෙන් පිට වන විට පිම්මේ යන ඔහු එතෙක් වෙලා කයිවාරු ගසන්නට පටන් ගනී. මේ කාලයේ ගෙදර ගැන සිහිපත් වන මගීන් සතියක් මුලුල්ලේ දුවා දරුවන් වෙතින් දුරස්ථ වූවෝය.නැත්නම් දවස පුරා කොළඹ කරක් ගැසූ රාජකාරි වලට පැමිණිවුන්ය.ඉඳ හිට කොළඹ එන්නෙකු ආපසු ගමට යන විට දූදරුවන්ට කොළඹින් කියා දෙයක් ගෙන ඒම සිරිතක් කොට ගනිති. හිස් අතින් යාම නොහොබියැයි කල්පනා වෙති. එය චුට්ටං ගේ සිතට සතුටක් ගෙන දෙන්නට මගීහු සමත් වන්නකි.

හැන්දෑවේ පැවැති ඝන වර්ෂාව එදින චුට්ටංගේ බලාපොරොත්තු බිඳ දැමුවේය. චිරි චිරි ගගා පාවහන් අතරින් එරී එරි යන මඩ තලි දවටමින් කඩ ගානේ ඇවිදින්නට කවුරුවත් කැමැති නැත. කවුරුන් හෝ එනතුරු වට පිට බලමින් කඩේ පළතුරු අත ගාමින් හූල්ලා වැටෙමින් සිටි චුට්ටං නතර වූයේ දැකලා පුරුදු මුහුණක් ඇස ගැසුණු නිසාය.

විනෝද් ය. විනෝද් තවත් ගැටවරයකු සමග පිටකොටුවේ ඇවිදිමින් සිටියේ බාල්දියක් සහ පෝස්ටර් මිටියක් අතැතිවය.

විනෝද් චුට්ටං දුටු විට මුලින් කල්පනා කළේ මුහුණ නොදී යන්නටය.එක් අතකින් චුට්ටං තාත්තාගේ යාළුවෙකි. අනිත් අතට චුට්ටං තමාගේ හොඳම යෙහෙළියගේ තාත්තාය. නාට්‍යයේ රඟපාන්නට බිනරි එන වගක් චුට්ටං නොදනිතියි විනෝද් විශ්වාස කළේය.

පසුගිය දවස් වල විනෝද් රාජගිරියේ අලුත් නවාතැන්පොළක් හොයා ගත්තේය.එය අපූරු නවාතැන් පොළකි.ඒ තැන සොයා දුන්නේ නාට්‍යතරණයට බොක්කෙන්ම සහාය දෙන දසයාය. නිවිතිගල පැත්තේ උපන් දර්ශන නාට්‍ය ලෝකයේ දී දසයා වූයේය. සමහර විට ඔහු නාට්‍යන්ගේ දාසයාය. දසයා රඟපාන්නට දෙනවා නම් නොකරන ජාතියක් නැති එකෙකි. ඔහු නැවැති සිටියේ රාජගිරියේ බෝඩිමකය..නිතර දෙවෙලේ තාත්තා සමග රණ්ඩු සරුවල් වන විනෝද් ට නිවසින් බැහැර අලුත් තැනක් සොයා ගන්නට වුවමනාව තිබිණ.පුංචි රස්සාව එයට කදිම මගක් වූයේය. දසයා නැවතුන බෝඩිමට වරින් වර ගිය විනෝද් අනතුරව එහි පදිංචි කරුවකු විය. එහි ගෙවන්නට නියමිත ගානක් නැත. අවිවාහක තරුණයක් වූ නිවසේ හිමිකරු මුලින් එහි සගයකු නතර කර ගත්තේය.සගයා තවත් සගයෙක් ද ඔහු තවත් සගයෙක් ද ආදි වශයෙන් නවාතැන වර්ධනය කළේය. දැන් ඔහුගේ නවාතැන සරණාගත කඳවුරක් ව පවතී.නිවසේ ඇති එකම ඇඳ අයිති වූයේ හිමිකරුට වුවත් ඇතැම් දිනවල ඔහුට ලගින්නට පැදුරක් හෝ නැත.එක ඇඳේ තුන්දෙනෙක් වත් නිදි යති. කොළඹ ආශ්‍රිත ව ලොකු බලාපොරොත්තු තබා ගෙන පැමිණි බොහොමයක් එහි නවාතැන් ගෙන සිටිති. ලෝස් නැත්තෝ එහි විදුලි බිල් ජල බිල් ගෙවති. නැත්තො අනුන්ගේ පහනින් එළිය බලති. ඒ වෙනුවට හොද්දක් මාළුවක් පියා ගන්නට ශ්‍රම දායකත්වය සපයති. විනෝද් මේ නවාතැනට කැමැතිවූයේ කනක් ඇහිලා ඉන්න පුළුවන් නිසාය. නාට්‍යක් කරන විත්තිය තාත්තා දැන ගත්තේ ලක්ෂ්මන් ගෙනි.බොරැල්ලේ බාර් එකකින් හැන්දැවරුවේ සියයක් දමා ගන්නට ගිය ඔහුට ලකී මුණ ගැසෙන්නේ අහම්බයෙනි. විනෝද් ගේ මුද්‍රණාලයේ රස්සාව තාත්තා ගේ හිතට අල්ලා නැත. ඔක්කෝටම වඩා හැන්දෑවට හැන්දෑවට කොල්ලන් සමග රස්තියාදුව වැඩිය. ගෙදර වියදමට සත පහක් වත් දෙන්නට ඔහු සිතාවත් නැත.

විනොද් බලා පොරොත්ත වුනේ චුට්ටං තාත්තා ගැන අසාවි යනුවෙනි. එහෙත් ඔහු ඇසුවේ නැත.

‘මොනවද පෝස්ටර් ? ආණ්ඩුවට විරුද්ධව ද?’

‘ නෑ මේ නාට්‍ය පෝස්ටර් ටිකක්’.

ඔය ළමයා ගේ නාට්‍යය ද ?’

නැහැයි කියන්නට හිස සෙළ වූ විනෝද් සිය සගයා පෙන්වූයේය.

‘අපි එක එකා උදව් කර ගන්නවා.නැත්තම් අපිට කොයින් ද සල්ලි’

‘අද පෝස්ටර් අලවලා වැඩක් නෑ ළමයෝ. පෝස්ටර් ගහනවා නම් සඳුදා ට එළිවෙන්නයි ගහන්න ඕනා. අද පෝස්ටර් බලන්න කොළඹ මිනිස්සු ඉන්නවාද ?’

චුට්ටං පැවසුවේ දැක පුරුදු දෙයයි .

‘දැන් කොයි පෝස්ටරෙත් ගැහුවත් තව ටිකකික් කට්ටියක් වහනවා.පෝස්ටර් ගැහෙන්න ඕන එළිවෙන ජාමෙට’

චුට්ටං මුදලාලි පැවසුවේ කෙසෙල් ගෙඩි දෙකක් දෙමිතුරන්ට බෙදා දෙමිනි. ඔවුන්ගේ කතාව නතර වූයේ එතැනට පිවිසි ගණුදෙනුකරුවෙකු නිසාය.

“එන්න මහත්තයෝ.කාලා බලන්න. මේ ළමයින්ටත් මං දුන්නා හොඳ කෙහෙල් ගෙඩි ඇඹිලිපිටියෙන් අද ගෙනාවේ. බේත් ගහල නෑ. බය නැතුව දරුවන්ට අරන් යන්න”

ඔහු ගණුදෙනු කරුගේ සිත කියන්නට සමත් වූයේය. විනෝද් සහ දසයා එකිනෙකා ගේ මුහුණු බලා ගත්හ.තවත් කෙසෙල් ගෙඩියක් කන්නට සිතේ උපන් ආසාව විනෝද් යටපත් කර ගත්තේය. එහෙත් දසයා ට එබඳු ආකල්පයක් නොවීය.එබැවින් ඔහු තවත් ගෙඩියක් කඩා ගත්තේය.

චුට්ටං ගණුදෙනුකරු සමග කතා කරන අතරතුරම දසයා කෙසෙල් ගෙඩියක් කඩා ගත් ඇවරිය හෙමින් සීරුවේ තම අතට ගත්තේය.

‘මෙතන ගෙඩි අටක් තියෙනවා.ඔන්න ඔහේ ගානක් දෙන්න. අපි මේවා කරන්නේ ළමයිනට කන්ඩ දෙන්ඩ නේ මහත්තයෝ’

චුට්ටංගේ කතාබහට ගණුදෙනු කරු වසඟ වූයේය.

‘ගෙදර පැත්තේ යනවා නම් එන්න. මං තව පැය භාගයකින් විතර වහන්නයි හිතන් ඉන්නේ’

චුට්ටං පැවසුවේ ගනුදෙනු කරු නික්ම ගිය පසුය. හොඳ මුදලාලියැයි ඔහු සිතින් කියමින් යනු ඇතැයි සිතුන චුට්ටං ට සිනහ ගියේය. ගෙන්දගම් පොළව සමග ඔට්ටු අල්ලන්ට ඔහු පුරුදු වුණේ පළතුරු වෙළඳාමට අත් උදව්වට ආ දවසේමය.

‘එපා.චුට්ටං මාමේ.අපි මේ ටික මේ පැත්තේ ඉවර කරන්න ඕනෑ’

විනෝද් නැගිට සිටියේ ආපසු පිටත් වන්නටය. ඔවුහු ආපසු මාරගයට පිවිසුනහ.

‘මොකක්ද බං.තව කෙහෙල් ගෙඩියක් කන්න තිබ්බ වෙලාව’

දසයා මැසිවිලි නැංගුවේය.

‘මෙන්න මෙහෙ වරෙං .ආපු වැඩේ කර ගන්නේ නැතුව

‘මං හිටියේ හරි බඩගින්නේ බං.කෙහෙල් ගෙඩි දෙක කැළණි ගගෙන් පොල් ලෙල්ලක් ගියා වගේ’

විනෝද් ට දුක සිතිණ. ඔවුහු පෞද්ගලික බස් ගාලේ නවතා තිබූ බස් රථ දෙකක් මැදින් ගමන් කළහ . එක් බසයක් වෙසක් තොරණක් මෙන් හතර වටේ බල්බ් දල්වා තිබිණ. එහි නළාව ඔවුන්ගේ කන් දෙදරවා ගියේය.

‘අලි එලවන්ඩ ගහනවද ?’

දසයා කෑගෑවේ කනට ඇඟිල්ලක් යවමිනි.

විනෝද් බස්රිය දෙස බැලුවේය. අම්පාර යනුවෙන් එහි ගමනාන්තය සඳහන් ව තිබිණ.

‘උඹ දන්නවද උඹ කෙහෙල් ගෙඩි කෑවේ කාගෙන් ද කියලා.

විනෝද් විතාළේය..

‘නෑ ?.

‘ඒ බිනරි ගේ තාත්තා’

‘හොඳ වෙලාවට බං අපි එළියට බැස්සේ.’

‘ඇයි ?’

‘නෑ මං කියන්න හිටියේ.බිනරි හිටියා නම් ප්ලෙන්ටියක් හදනවා කියලා.ඉඟුරු දාලා කියලා

‘කිව්ව නම් විනාසයි’

විනෝද් පැවසුවේ සිතා මතා නොවේ.

“මචං.බලපං ඒ මනුස්සයා පළතුරු වෙළෙන්දෙක් වුණේ අපේ කරුමෙට”

පෝස්ටරයක් ගසන්නට පුවරුව සමීපයට පැමිණි දසයා කියා සිටියේ බාල්දිය අතට ගනිමිනි.

‘ඇයි ?’

“ඇයි කියන්නේ මචං.ඒ යකා තේ කඩයක් දාලා තිබුණා නම් අපි කෙහෙල් ගෙඩි කයි කියලද ?”

පොද වරුසාවක් රඳවා ගත් සුළඟක් හමා ගියේ පෝස්ටරය මතින් පාප්ප පින්සලය ඇදෙද්දීය.

“අපි එහෙම නම් අද කන්නේ කොත්තු රොටී”

ලබන සතියේ

නාට්‍යයේ සිහිනයේ සැබෑව