වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය උපාධියට පේ‍්‍රම කතාවක්

ආචාර්ය උපාධියට පේ‍්‍රම කතාවක්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන

අරුණ ලොකුලියන යන නම කලා ක්ෂේත්‍රයේ අංශ කිහිපයක්ම සමඟින් කියවෙන සුවිශේෂි නමක්. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන සිනමාව හා රූපවාහිනී ක්ෂේත්‍රයන්හි පමණක් නොව කෘති රචකයකු, කවියෙකු සහ රාජ්‍ය සම්මානලාභී පොත් පිටකවර නිර්මාණකරුවෙකු, ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස ද විශේෂ වේ.

ඊෂ්වර විංසතිය, රන්තලිය, දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යති, මින්දද ගංඟාව, චිත්‍රාංගනීලාගේ කතාව, උදාන වැව හැදූ මිනිසුන්ගේ කතාව

ආදී සම්මානනීය වාර්තා හා ටෙලි චිත්‍රපට රාශියක් ඔහුගේ නිර්මාණ අතර වේ. 2006 වසරේ ජර්මනියේ 55 වැනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නියෝජනය කළ රටවල් 90 ක චිත්‍රපටි 623ක් අතරින් හොඳම චිත්‍රපට 25 අතරට තේරුණු ඔහුගේ We Love Football කෙටි චිත්‍රපටය එම වසරේ ජර්මනියේ පැවති FIFA ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩා උලෙළේ ප්‍රවර්ධන චිත්‍රපටයක් ලෙස ද නම් කෙරිණි. සරසවිය සම්මාන උලෙළ ඇතුළුව සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළ රැසක ජූරි සභිකයකු ලෙසින් කටයුතු කර ඇති ඔහු කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද කැප වී සිටියි.

කලා ක්ෂේත්‍රෙය් අංශ රැසක් කෙරෙහිම ඔබේ දායකත්වය විශේෂයි. මේ වෙනුවෙන් ඇල්මක් ඇති වූ අයුරු යළිත් සිහිපත් කරමු?

මට කලා හැකියාව ලැබුණේ පවුල් පසුබිම තුළින්ම තමයි. මෙරට ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙකු වන ප්‍රේමදාස බදුගොඩහේවා මගේ මාමා. මම ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන්න ආසා වුණත් මම උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ ගණිත අංශයෙන්. මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා ඉංජිනේරු සහ වෛද්‍ය වෘත්තියේ නිසා අම්මාට ඕනි වුණේ මාවත් ඉංජිනේරුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි කරන්න. නමුත් පුංචි කාලයේ පටන්ම චිත්‍ර අඳීන ලියන කියන වැඩවලදී මම ඉදිරියෙන් හිටියා. මොනව කරන්න ද අකමැත්තෙන් වුණත් ගණිත අංශයෙන් උසස් පෙළ කළා. ප්‍රතිඵලය වුණේ එස් දෙකක්. ඊළඟ වාරයේ මාස අටක් මහන්සි වෙලා පාඩම් කරලා ගෙදරටත් හොරෙන් කලා අංශයෙන් උසස් පෙළ විභායට පෙනී සිටියා. ප්‍රතිඵලය 'ඒ' දෙකයි 'බී' දෙකයි. ලකුණු 280ක් තිබුණා. මට වුවමනා වුණේ ලකුණු 180ක් විතරයි . මොකද එතකොට හේවුඩ් (සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ) චිත්‍ර ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී ඉන්න අවස්ථාව ලැබෙන නිසා.

නමුත් ඔබ කොළඹට එන්නේ නාට්‍යකරණයට ඇති වු ඇල්ම හේතුවෙන්?

තරුණ සේවා සභාවේ සති අන්ත නාට්‍ය පාඨමාලාවක් තිබුණා. ඒකට ආවෙත් උදේ පාන්දර 4.00ට විතර. නිකම් නෙවෙයි ගෙදරින් බැණුම් අහගෙන. බස් ගාස්තුවක් එක්ක පුංචි මුදලක් විතරයි ලැබුණේ. ඒක බත් එකක් කන්නත් මදි. එහි අධ්‍යක්ෂවරයා වුණේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. බුද්ධික දමයන්ත, අජිත් මොරගේ, ආරියවංශ ධම්මගේ ද ඒ කණ්ඩායමට ඇතුළත් වුණා. අපේ නාට්‍ය පාඨමාලාව තිබුණු වෙලාවේදී එහා පැත්තේ කැමරාකරණය පිළිබඳ පාඨමාලාවකුත් කෙරෙන අයුරු දැක්කා. ඒ ගැනත් ලොකු උනන්දුවක් ඇති වුණා. ඒ නිසා විවේක වෙලාවට ඒ පැත්තටත් ගිහින් මොකද වෙන්නේ කියලා බලනවා. ඉතින් ඒ නිසාම නාට්‍ය පාඨමාලාව අවසානයේදී මම රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව වූ ඒ පාඨමාලාවත් හැදෑරුවා. ඒකේ 'බැච් ටොප්' වුණේ මම. ඒ නිසා ඊළඟ කණ්ඩායමේ පුහුණු කරන්නාගේ තනතුර මට හිමි වුණා. ඒ වෙනුවෙන් පුංචි මුදලකුත් අතට ලැබුණා. මේ කාලයේදී මට මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයේ දැවැන්තයන්, විචාරකයන්, නාට්‍ය අධ්‍යක්ෂවරු තිර රචකයන්, වේශ නිරූපණ ශිල්පීන් හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. මේ සියල්ල සිදු වුණේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා විශ්වවිද්‍යාල පටන් ගන්න තෙක් තිබුණු කාලය තුළිදීයි.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණෙත් ඒ කාලයේදි වෙන්න ඇති?

ඔව්. "දැන් ඇති ඔහොම හිටියා. එන්න අපිත් එක්ක එළියේ වැඩ කරන්න" කියලා සෝමවීර සේනානායක මහත්මයා මට කළේ කළේ මේ කාලයේදී තමයි. ඒ 'දූ දරුවෝ' එහෙම විකාශය වෙන කාලයේ. 'කස්තිරම' ටෙලි නාට්‍යයේ සහය කලා අධ්‍යක්ෂවරයා විදියට සම්න්ධ වුණා. එයින් පසුව නාලන් මෙන්ඩිස් මහත්තයා අධ්‍යක්ෂණය කළ සෝමවීර සේනානායක මහත්තයා තිරරචනය කළ 'දූ දරුවෝ' අවසන් කොටස් කිහිපය ඇතුළුව 'නෑදැයෝ', 'අපේ ඇත්තෝ', 'සිටුවරයෝ' වැනි ටෙලි නාට්‍ය රැසක කටයුතු කළා.

මේ වෙකොට ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය මොන වගේ ද?

මුලින් නම් ටිකක් බැණුම් අහන්න සිදු වුණා. නමුත් ප්‍රතිඵල ආවාම ඔවුන් ඒක හොඳීන්ම වටහා ගන්න ඇති. ටෙලි නාට්‍යවල කටයුතු කරමින් සිටින කාලයේදි තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියුම ආවෙත්. අම්මා ඒ ලියුම ලියාපදිංචි තැපෑලෙන් පන්නිපිටියේ ටෙලි නාට්‍ය දර්ශන පසුතලයට එව්වා.

විශ්වවිද්‍යාලයට පැමිණි මුල් දිනය විශේෂයි?

විශ්වවිද්‍යාලයට මුලින්ම ආවේ මාවනැල්ලේ 'සිටුවරයෝ' දර්ශන තලයකට යන ගමන්. 'ඩබල් පොකට් ෂර්ට්' එකක් ඇඳලා. 'ඩෙක් ෂුස්' දාලා හිටියේ. මම ප්‍රථම වසරේ ශිෂ්‍යයෙක් කියලා කවුරුවත් හිතුවේ නැහැ. අපට ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරයකට පිළිතුරු ලියන්න තිබුණා. එතැනට යනකොට අසල බංකුවට මං වගේම ඇඳී පැළැඳී තරුණයෙක් හිටියා. ඉංග්‍රීසි පරික්ෂණය තියෙන තැන ඇහුවාම ඔහුත් ඒ වෙනුවෙන් සිටින බවයි කිවවේ. ඒ වෙන කවුරුත් නෙවෙයි. සෞම්‍ය ලියනගේ. එදා පටන් ඔහු මගේ හොඳ මිතුරෙක්.

මම විශ්විද්‍යාලයට එනකොට තරුණ සේවා සභාවෙන් කෙටි චිත්‍රපට නිර්මාණය වෙනුවෙන් තරගයක් පැවැත්වුණා. ඒකට මම ඉදිරිපත් කළ තිරරචනය අනුමත වෙලා නිර්මාණයට කරන්න සල්ලිත් ලැබුණා. විශ්විද්‍යාලයේ මගේ මුල්ම මිතුරා සෞම්‍ය වගේම රැග් එක විඳපු කාලයේදි හඳුනා ගත්ත මංගල කටුගම්පල ඇතුළුව මිත්‍රයන් පස් දෙනෙක් එක්ක මම මගේ පළමු ටෙලි නාට්‍ය 'ඊශ්වර විංශතිය' අධ්‍යක්ෂණය කළා. ඒ වෙනකොට මං විශ්වවිද්‍යාලයට ඇවිත් මාසය යි. විශ්වවිද්‍යාලයේ රූපවාහිනි පාඨමාලාවේ මූලික සිද්ධාන්ත ඉගෙන ගන්නකොට මම ටෙලි නාට්‍යකුත් අධ්‍යක්ෂණය කරලා ඉවරයි. මගේ වසරේ පළමුවැන්නා වීම නිසා මට සහය කථිකාචාර්ය තනතුරක් හිමි වුණා. ඒ විදියට පැමිණි ගමන තමයි මේ.

දැන් මේ වෙනකොට චිත්‍ර ශිල්පය ඔබෙන් මඟ හැරිලා නේද?

මං හිතන්නේ රූපවාහිනිය, සිනමාව වැනි දෘශ්‍ය මාධ්‍යය පැත්තට හැරුණේ චිත්‍ර ශිල්පයට ඇති හැකියාව නිසා කියලායි. විශ්වවිද්‍යාලයට ඇවිත් පළමු වසරේ කලා උලෙළේ හොඳම චිත්‍ර ශිල්පියා වුණේ මම. ඒ සමඟම මම ග්‍රැෆික් නිර්මාණ පැත්තටත් යොමු වුණා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මගේ චිත්‍ර හැකියාව දැනගෙන එතුමාගේ 'නිර්මාණාත්මක සන්නිවේදනය' පොතට කවරයක් කර දෙන්න යැයි ඉල්ලීමක් කළා. ඒ වෙනකොට මම විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාරයවරයෙක්. ඒ සමඟින් ඇති වුණු ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳ ආසාවත් නිසා ඉන්ග්‍රින් එකේ ග්‍රැෆික් පාඨමාලාවක් හැදෑරුවා. චිත්‍ර අඳීන එක ග්‍රැෆික් නිර්මාණකරණය බවට පත් වුණා. නමුත් අදටත් මං චිත්‍ර අඳීන එක නවත්වලා නම් නැහැ.

එතකොට කවි ලියන්න පටන් ගත්තේ මොන කාලයේද?

උසස් පෙළ ඉගෙන ගන්න කාලයේ පටන් මම රාවය පත්තරයට කවි ලිව්වා. රාවයෙන් සාහිත්‍ය මාසයට 'පත්ම තටාකය' නමින් කවි පොතක් කළා. 'පද්ම තටාකය' සංස්කරණය කළේ, රත්න ශ්‍රී විජේසිංහ. මගේ කවියකුත් එහි පළ වුණා. ඒකම මට ලැබුණු හොඳ ඇගයීමක්. ඊට අමතරව යෞවන සම්මානවලට කවි ලිව්වා. මම විශ්වවිද්‍යාලයේ තව මිතුරෙක් වන තුසිත ආනන්දශීල පිටිගලආරච්චි සමඟින් පළමු කවි පොත 'කලණ අසපුව' ලිව්වා. මගේ සංස්කෘතික ජීවතය තුළ කවියටත් ලොකු ඉඩක් වෙන් වුණා.

ඔබ ආචාර්ය උපාධිය වෙනුවෙන් සිනමාව තෝරා ගත්තේ ඒ වෙනුවෙන් වැඩි කැමැත්ත නිසාම වෙන්න ඇති?

විශ්විවිද්‍යාලයේ මට උගන්වන්න භාර වුණේ රූපවාහිනිය සහ සිනමාව. ඒ කාලයේ දැන් වගේ අපට චිත්‍රපට බලන්න ඩීවීඩි එහෙම තිබුණේ තරුණ සේවා සභාවේ වැඩ කළ කාලයේදී මට චිත්‍රපට බලන්න කාලසටහනකුත් තිබුණා. ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පෙන්වන චිත්‍රපට නරඹන්නත්, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේත් බ්‍රිතාන්‍ය කවුන්සිලයේත් විභවි එකේත් නොමිලයේ චිත්‍රපට ප්‍රදර්ශනය කළා. ඒ හැම චිත්‍රපටයක්ම නරඹන්න මගේ කාලසටහනේ කාලය වෙන් කෙරුණා. හවසට චිත්‍රපට නරඹලා එන්නේ මිතුරන් සමඟ ඒ පිළිබඳ කතාබහකත් යෙදෙමින්. මේ කාලය ඉතා වටිනා සංස්කෘතික රස්තියාදුවක් කළ කාලයක් කිව්වොත් නිවැරදියි. ඉන්දියාවේ පූනේ රූපවාහිනී හා චිත්‍රපට ආයතනයේ රසවින්දන පාඨමාලාවකුත් හැදෑරුවා. We Love Football කෙටි චිත්‍රපටයට අමතරව විශ්වවිද්‍යාලයේ මගේ සිසු සිසුවියන් සමඟින් තවත් කෙටි චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළා. ඒ වගේම විවිධ ජාත්‍යන්තර ආයතන වෙනුවෙන් වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කරන්නත් මට අවස්ථා උදා වුණා.

සිනමාවට මේ තරම් ආසා වුණත් වෘතාන්ත චිත්‍රපටයක් හදන්න පමා වැඩියි කියලා හිතෙන්නේ නැතිද?

මගේ ආචාර්ය උපාධියේ කොටසක් වෙනුවෙන් දැන් වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. එය විශ්වවිද්‍යාලය පසුබිම් වූ ප්‍රථම ප්‍රේමය පිළිබඳ ආඛ්‍යානයක්. ලබන වසර ආරම්භයේදී එහි රූපගත කිරීම් ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. මගේ ජීවිතයේ හීනයක් කියලා දෙයක් තියෙනවා නම් ඒ සිනමාකරුවෙක් වීම තමයි. මේ දක්වා මගේ වෘත්තිය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ කටයුතු සාධනීය මට්ටමකට ගෙන එන්න හැකි වුණ නිසා පරක්කු වුණාට දුකක් නැහැ. මේ චිත්‍රපටය සමඟින් ඉදිරියට සිනමා ක්ෂේත්‍රයේ රැඳී සිටින්න හැකි වේවි කියා මං හිතනවා.