වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

ඇත්ත මැණික් හමුවුණු ‘රජගෙදර පරෙවියෝ’

හුදෙකලාවෙන් සිටින ඇතැම් දිනයක පැරණි සඟරාවක් හෝ සටහන් පොතක් කියවීමෙන් මම ආස්වාදයක් ලබමි. මා 'සරසවිය' පුවත්පතට බැඳී වසර හතරක් ගත වූ 1973 වසරේ සටහන් පොතක රත්නපුර, රක්වාන, පැල්මඩුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ගිය දින දෙක තුනක් ගැන තොරතුරු සඳහන් වී තිබුණි. කාලයාගේ ඇවෑමෙන් දුර්වර්ණ වී තිබූ මේ සටහන් පොත් 1973 ජූලි මාසයේ මා ගොස් ඇත්තේ 'රජගෙදර පරෙවියෝ' චිත්‍රපටයේ රූ ගත කිරීමක් බැලීමටය.

ඒ කාලයේ විවාහකයකු නොවූ මට ඒ සඳහා ඉඩකඩ තිබිණ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ හා ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා (කැමරා ශිල්පි) මේ දෙදෙනාය. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමට එසේ ඉඳහිට යන මට සතිස්චන්ද්‍ර (සතිස් අයියා) අවස්ථාව සලසා දුන්නේය. එය ඉතා සුන්දර කාල පරිච්ඡේදයකි. මගේ සටහන් පොතේ ඇත්තේ එසේ ගිය ගමනක සුන්දර අත්දැකීමකි.

මේ චිත්‍රපටයේ රඟපෑ ගාමිණී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, හියුගෝ ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, දොන් සිරිසේන, ජෙනී විනිප්‍රිඩා, කිංස්ලි දිසානායක, රංජිත් දයානන්ද, ෆ්‍රෙඩී සිල්වා, ලයනල් දැරණියගල, මානෙල් වානගුරු යන නළු නිළියන් සමඟ දින තුනක් ගත කිරීමට මට අවස්ථාව ලැබිණ. මේ චිත්‍රපටයට පසුබිම්ව තිබුණේ මැණික් කතාවකි. මැණික් මුදලාලි දෙදෙනකුගේ ගැටුමකි. තණ්හාව පසුපස ලුහුබඳින මේ මිනිස්සු තණ්හාව නිසාම විනාශයට පත් වෙති.

'මොකද සතිස් මේ වගේ කතාවක් තෝර ගත්තේ, මොකද හීනෙන්වත් මැණිකක් පෙනුණද?'

එදා චිත්‍රපටයේ දර්ශන ගැනීම් අවසන් වී විවේකීව සිටි අවස්්ථාවක දොන් සිරිසේන, අධ්‍යක්ෂ සතිස්චන්ද්‍රගෙන් ඇසීය. චිත්‍රපටයේ කතාව හා තිර නාටක රචනය සතිස්ගෙනි.

'ඉස්කෝලේ යන කාලේ මම බොහොම ආසාවෙන් කියවපු කෙටි කතාවක් තියෙනවා ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්තයා ලියපු. ඒක මැණික් පතලක් පසුබිම් කොට ලියපු එකක්. කෙටි කතාවේ නම 'වයිරෝඩිය'. තාමත් මම ඉඳහිට මේ කතාව කියවනවා.'

'මමත් ඔය කතාව කියවලා තියෙනවා. සිල්වා උන්නැහේ ලියපු හොඳම කෙටි කතාව කියලා විචාරකයොත් කියලා තියෙනවා' රංජිත් දයානන්ද කීවේය'.

'රජගෙදර පරෙවියෝ' කතාව ලියන්න මුලින්ම අදහස ආවේ 'සිළුමිණ' පත්තරේ තිබුණු ප්‍රවෘත්තියක්. ලක්ෂ ගණනක් වටිනා වෛයිරෝඩියක් ගැන මම දැකපු ප්‍රවෘත්තියක් ඔස්සේ චිත්‍රපටයේ කතාව විකාශනය කළා.'

'මමත් ලියන්න ඕනෑ ඒ වගේ කතාවක්' දොන් සිරිසේන කීවේය.

'අනේ, තමුසෙ ලියන කතා. ඔය කණ්ණාඩි කුට්ටම ගලවල අරන් තියනව දැන්වත්. ඕක බිඳේවි තියෙන දැඟලිල්ලට.' එසේ කීවේ එච්. ඩී. කුලතුංගය.

'අම්මපා ඔව්, කුලේ අයියා කියන කොටයි මතක් වුණේ. මේක සිල්වා උන්නැහැ (කැමරා ශිල්පී) දුන්නේ ෂූටිං ඉවර වෙලා දෙන්න කියලා. කෝ මේ සිල්වා මහත්තයා.'

දොන් සිරිසේන කැමරා ශිල්පී සිල්වා මහතාගේ කණ්ණාඩි කුට්ටම පසෙක තබා අනතුරුව මුහුණේ අලවා තිබූ රැවුල ද ගලවා දැම්මේය. ඔහු චිත්‍රපටයේ රඟපෑවේ ශාස්ත්‍ර මාමාගේ චරිතයයි.

'අන්න සුන්දරී එනවා. කවුරුත් නිශ්ශබ්ද වෙයල්ලා'යි කවුදෝ කීය.

'ඉතිං ජෙනී, කාලෙකට පස්සේ. කොහොමද සැප සනීප? අපි කොච්චර කාලෙකට පස්සෙද හම්බ වුණේ. 'චණ්ඩාලි' ෆිල්ම් එකෙන් පස්සේ. අවුරුදු 10 යකට විතර පස්සේ.' එච්. ඩී. කුලතුංග කීවේය.

'ඔව් මට තවම මතකයි කුලේ අයියා අශ්වයා පිට නැගලා මාව එලවගෙන එනවා. මම පණ බයේ දිව්වේ. ඇත්තම කියනවා නං මම අයියට හරි බයයි' ජෙනී කීවාය.

'ඇයි ජෙනී විතරද මමත් බයෙන් හිටියේ' සතිස්චන්ද්‍ර කට ඇරියේය.

'ඒක හොඳ කතාවක් වේවි. ඒ කතාවත් කියන්නකෝ' කතා අහන්න පුලපුලා බලා සිටින දොන් සිරිසේන කුතුහලයෙන් ඇසීය.

'එතකොට මට වයස අවුරුදු 15 ක් විතර ඇති' සතිස් කතාව පටන් ගත්තේය.

සතිස් දිහා කවුරුත් ඇස් දල්වාගෙන බලා සිටියහ. මොකද? සතිස් යමක් කියන කොට හරිම රසවත්ය. ඒක ඔහු කියන්නේ ආල වට්ටම් දාලා රසවත්ය.

'ඒ කාලේ කුලේ අයියාගේ මුල්ම ෆිල්ම් එක රිලීස් වෙලා. චිත්‍රපටය 'නළඟන'. ඒකේ රඟපෑවේ දුෂ්ට චරිතයක්. ජේ. ඩී. ඒ. පෙරේරා මහත්තයාගේ 'වෙස්සන්තර' නාට්‍යයේ වෙස්සන්තර රජු හැටියට රඟපෑවේ කුලේ අයියා. මමත් මේ නාට්‍යයේ ජාලියගේ චරිතය රඟපෑවා. ඒ කාලේ කුලේ අයියා දිහා බලන්නත් බයයි. හරිම තේජස්. මම හීනෙකින්වත් හිතුවේ නෑ කුලේ අයියා ජීවිතේට අධ්‍යක්ෂණය කරන්න ලැබේවි කියලා.

ඇයි ඔය වගේම වැඩක්නේ සිල්වා මහත්තයටයි මටයි වුණේ. මම පුංචි කාලේ ඉස්කෝල් ගිහින් ඇවිත් ගෙදර ගේට්ටුව ගාවට වෙලා පාර බලන් ඉන්න කොට සිල්වා මහත්තයා එනවා නවජීවන චිත්‍රාගාරයේ ඉඳලා. උදේට ඉස්කෝලේ යන කොටත් සිල්වා මහත්තයා දකිනවා. ඒ කාලේ පෙන්නපු 'පොඩි පුතා', 'එකමත් එක රටක', 'සිරකරුවා' චිත්‍රපටවල කැමරාව කළේ සිල්වා මහත්තයා. මම ඒ කාලේ ඔහුව දැන හිටියේ නෑ. කොහොම වුණත් මගේ මුල්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය් - 'මාතර ආච්චි' චිත්‍රපටයේ කැමරාව මෙහෙයවීමට මම ගත්තේ සිල්වා මහත්තයා' සතිස් කීවේය.

'රජගෙදර පරෙවියෝ' චිත්‍රපටයේ තවත් දර්ශනයක් පැල්මඩුල්ල පැත්තේ රූපගත විය. මේ දර්ශනය ගැනීමට ඇත්තටම මැණික් හාරන පතලක් හොයාගෙන තිබුණි. ගමේ පුංචි මිනිහයි, ලොකු මිනිහයි මේ පතලේ මැණික් ගරන්නේ.

පුංචි මිනිහ බණ්ඩාර මුදලාලි ලෙස හියුගෝ ප්‍රනාන්දුත් ලොකු මිනිහා දැරිණියගල හාමු ලෙස ලයනල් දැරණියගල රඟපෑහ. මේ දෙදෙනාම මිනිස්සු යොදවා මැණික් ගරවති. ඇත්තම මැණික් ගරන්නන් මේ දර්ශනයට යොදා ගැනුණි. වාඩි අයිතිකාරයා ද බලා සිටියා. කැමරා ශිල්පී සිල්වා මේ දර්ශනය රූප ගත කළේ සමීප රූපයක් ලෙසය. කවුරුත් පුදුමයට පත් කරන සිදුවීමක් එදා සිදු විය. බැලින්නම් ඇත්ත මැණික් ගලක් මතු විය. අයිතිකාර මුදලාලිට පුදුම සතුටකි.

'මහත්තුරු මැණික් කරනවා පින්තූර ගන්න ආවා. මට ඉල්ලම පෑදුණා' මුදලාලි සතුටින් කීවේය.

'ඔහොම තමයි මුදලාලි රජගෙදර මිනිස්සු ආවාම. බලන්න තවත් මැණික් ඇති' ඒ කීවේ කිංස්ලි දිසානායකය.

චිත්‍රපටයට බොරුවක් වගේ රූපගත කලාට මැණිකක් ලැබීම කාගෙත් සතුටට හේතුවක්. එදා දර්ශන රූගත වීම් අවසන්ව කවුරුත් ගී ගයමින් සතුටු වූහ. සතිස් මුලින්ම 'අන්න බලන් සඳ' ගීතය ගයමින් මුල පිරුවේය. ඊට පස්සේ හියුගෝ මාස්ටර් පරණ නාඩගම් ගීතයක් කීවේය.

'දුව දීමට කාරෙ බැඳා

ධනවතෙක් සොයයි මෑණි'

ලයනල් දැරණියගල, කිංස්ලි දිසානායක, රංජිත් දයානන්ද, ෆ්‍රෙඩී නටන්න පටන් ගත්හ.

'බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ' කිංස්ලි තමාගේ සුපුරුදු ගීතය පටන් ගත්තේ නර්තනයක් ද එක් කරමිනි.

හිටිවන කවි කීමේ සුරයකු වූ රක්වානේ කිංස්ලි දිසානායක කවියෙන්ම සභාව සතුටු කිරීමට කලාකරුවන් කැඳ විය.

සතිස් පැමිණ සිටි පිරිසට කිංස්ලි හා රංජිත් දයානන්ද හඳුන්වා දිමට අවස්ථාවක් කරගත්ත්ය. මේ සාදයට සම්භාවනීය පිරිසක් ද එක්ව සිටියහ. එය පැවැත් වූයේ ප්‍රකට මැණික් මුදලාලි කෙනෙකුගේ විශාල නිවසකය.

නෝනාවරුනි, මහත්වරුනි අපිට අද හොඳ දවසක්. උදේ අපි ෂූටිං කරන කොට මුදලාලිට මැණිකක් ලැබුණා. අද ෂූටිං ඉවර වෙලා අපි සතුටුවන අවස්ථාවේ කිංස්ලිත්, රංජිත්වයි හඳුන්වා දෙන්න ඕනෑ. කිංස්ලි රක්වානේ. තැපැල් ස්ථානාධිපතිවරයෙක්. කවියෙක්. 'බිනරමලී' චිත්‍රපටයේ පොඩි බණ්ඩා හැටියට රඟපෑවා. අපිට ලොකේෂන් හොයා ගන්න, මුදලාලි මහත්තයා අඳුන්වලා දුන්නෙත් කිංස්ලි. රංජිත් දයානන්ද මහත්තයා විදුහල්පතිවරයෙක්. කුරුලු බැද්ද චිත්‍රපටයේ පුණ්‍යාගේ සැමියා. මේ මහත්තයා සීතල වතුර, සුරංගණී චිත්‍රපටවලත් රඟපෑවා.'

සතිස්ගේ හඳුන්වා දීමට කවුරුත් අත්පොළසන් දුන්නා. එදා වඩාත් සිත්ගත් ගීතය වූවේ ෆ්‍රෙඩී සිල්වා ගැයූ 'මිනි ගෙජ්ජි හඬන කාලෙට අත් සෙත්ති කරකවනා' ගීතය ගයමින් ඉදිරිපත් කළ නැටුමටය. ෆ්‍රෙඩීට ගීත පහක්ම ගැයීමට සිදු විය.

ඊට පසු දින ගාමිණී ෆොන්සේකා සහ නීටා ප්‍රනාන්දු පැමිණියහ. එදා රත්නපුර සමන් දේවාලය තුළ තිබූ දර්ශනයට ගාමිණී, නීටා, හියුගෝ, පර්ල් වසුදේව ද සහභාගි වූහ. මේ දර්ශනයේදී නළු නිළියන්ට දෙබස් කියා දෙන ලෙස සතිස් මට පැවරුවේය. හියුගෝ හා පර්ල් බාරයක් වෙයි. එළිමහනේ නීටයි, ගාමිණියි කතා කරමින් ්සිටියෝය.

'මේ බාර හාර වෙන එක වැඩක් නෑ ළමයෝ' ගාමිණී කීවේය. චිත්‍රපටයේ පියල් - ගාමිණීය. ලාලිනී ලෙස රඟපෑ නීටා මෙසේ කීවාය.

'මොනවද . . . ඔයා මේ කියන්නේ. හොඳයි දෙයියන්නේ පිහිටෙන් අපිට ඉක්මනට බඳින්න ලැබෙනවා ලැබෙනවාමයි'. බලන්න කෝ බාරෙන් පස්සේ කොහොමද කියලා.'

මගේ සටහන් පොත්වල ඇති ආකාරයට මේ සිදුවීම් වී වසර 44 ක් ගත වී ඇත. එදා සිටි හියුගෝ, ගාමිණී, දොන්, රංජිත්, කිංස්ලි, ලයනල්, කුලතුංග, ෆ්‍රෙඩී සිල්වා අද ජීවතුන් අතර නැත. යුගයක් එකලු කළ ඔවුන් ගැන සිතන විට කඳුළක් ඇසට නැඟේ.