වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




ඉතාලියෙන් ඇවිත් ආදරයේ ඔන්චිල්ලා පදින ජූලියා  ෆිලප්පෝ

ඉතාලියෙන් ඇවිත් ආදරයේ ඔන්චිල්ලා පදින ජූලියා ෆිලප්පෝ

මා මෙරටට පැමිණි පළමු අවස්ථාවේදී වේදිකා නාට්‍ය කිහිපයක්ම නරඹන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් බොහොමයක් ඉතා කෙටි නාට්‍යයන් වීම විශේෂයි. මා නැරඹු සිංහල වේදිකා නාට්‍ය අතරින් දිගු වේදිකා නාට්‍ය වන්නේ 'සෙක්කුව' වේදිකා නාට්‍යය යි. එය ඉතාම සිත් ගන්නා සුළු එකක්. එහි සියලුම දෙබස් සිංහල නිසා මට ඒවා තේරුම් ගන්න නම් බැරි වුණා. මගේ මිතුරෙක් මට සියල්ල පරිවර්තනය කර දුන්නා. එය අගනා වේදිකා නාට්‍යයක්. ඒ විතරක් නෙවෙයි, දැනට මා ගත කළ කෙටි කාලය තුළදී උඩරට නර්තනයක් දැක ගන්න අවස්ථාව ලැබුණා. මා එයටත් බෙහෙවින් ඇලුම් කරනවා.

විසි තුරු කර බැඳී රන් ඔංචිල්ලා
රිසි රිසි අය අරගෙන පැදපල්ලා
ඇසි පිය නො හෙළා බලා සිටිල්ලා
කිසි තැන නැත මේ ලෙස ඔංචිල්ලා

අපට ඔන්චිලි වාරම් නම් ඇසෙන්නේ සිංහල අවුරුදු සමයේදීයි. ඔන්චිලි පැදීම ඉතාම ජනප්‍රිය අවුරුදු ක්‍රීඩාවක් ද අප කවුරුත් දන්නා දෙයක්. නමුත් මේ දිනවල ඉතාලි ජාතික තරුණියක් අපේ රටට පැමිණ කවි කියමින් ඔන්චිලි පදින බව ආරංචි වුණා. ඔන්චිල්ලාවක් ගැන කිව්වත් ඒ ආරංචියෙන් කියවුණේ මේ ඔන්චිල්ලාව නම් තිබෙන්නේ වේදිකාවක බවයි. ඒ විතරක් නෙවෙයි ඇය ගයන්නේ ඔන්චිලි වාරම් නොවේ. ස්ත්‍රිය හා ප්‍රේමය ගැනයි.

'ආදරයේ ඔන්චිල්ලා'

'ආදරයේ ඔන්චිල්ලා' ප්‍රවීණ නාට්‍ය ශිල්පී එම්. සෆීර්ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය යි. ජාත්‍යන්තර නාට්‍ය නිර්මාණයක් වන 'ආදරයේ ඔන්චිල්ලා' කාව්‍යාත්මක රචනය මංජුල වෙඩිවර්ධන ගේය. එහි ඉංග්‍රීසි පරිවර්තනය සිදු කෙරුණේ දිලිනි ඊරියවල විසිනි. ලබන නොවැම්බර් මස ඉන්දියාවේ පූනේහි පැවැත්වීමට නියමිත අයිෆා ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදී 'ආදරයේ ඔන්චිල්ලා' මංගල දර්ශනය පැවැත්වෙන අතර අනතුරුව කොරියාවේ සොල්නුවර කොරියානු ජාත්‍යන්තර ඩියෝ නාට්‍ය උලෙළේදී විශේෂ දර්ශන වාර තුනක් පැවැත්වීමට ද නියමිතයි. පසුව එය ලොවපුරා ආරාධිත දර්ශන වෙනුවෙන් වේදිකා ගතවනු ඇති.

'ආදරයේ ඔන්චිල්ලා' වේදිකා නාට්‍ය යේ තේමාව වී තිබෙන්නේ ස්ත්‍රීත්වය හා ප්‍රේමය යි. ප්‍රේමයේ ස්වභාවික විශ්මයන් වන ආදරය, ලිංගිකත්වය යා ප්‍රචණ්ඩත්වය මඟින් ස්ත්‍රිය තුළ ජනිත කරන්නා වූ සංවේදනය මේ ඔස්සේ නිරූපණය කෙරේ. මෙහිදී එක් කාන්තා චරිතයක් සහ විවිධ වර්ණයේ ඔන්චිල්ලා පහක් විශේෂ වේ. මෙම කාන්තා චරිතය නිරූපණය කරන්නේ, වේදිකාවේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ඉතාලියනු රංගවේදිනියක වන ජූලියා ෆිලප්පෝ විසිනි. ඇය මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ 'ආදරයේ ඔන්චිල්ලා' වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වල නිරතව සිටියි. ඒ අතරතුර සරසවියට සිය අදහස් දැක්වීමටත් ඇය අමතක කළේ නැහැ.

පළමුවෙන්ම මෙම ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍යයේ රඟපෑමට ඔබ අවස්ථාව ලද අයුරු දැන ගන්න කැමැතියි?

මා මෙහි මුලින්ම පැමිණියේ මීට වසර දෙකකට පෙරදීයි. එවර කොළඹ අන්තර්ජාතික වේදිකා නාට්‍ය උලෙළේදී මම ඒක පුද්ගල වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කළා. සෆීර් මට මේ ආරාධනාය කළේ මගේ ඒ වේදිකා නාට්‍යය නැරඹීමන් පසුවයි. පසුව පූනේහිදී පැවති නාට්‍ය උලෙළකදීත් අපි නැවත හමු වුණා. එහිදී ඔහු අප එක්ව නාට්‍යයක් කරමු දැයි කියා ඇසුවා. මා එකඟ වුණා. 'ආදරයේ ඔන්චිල්ලා' වේදිකා නාට්‍ය නිර්මාණ කෙරුණේ ඒ අනුවයි.

මේ අවස්ථාව ඔබට දැනෙන්නේ කෙසේද?

ඇත්තටම ඒක ලොකු වාසනාවක්. හොඳ අවස්ථාවක් වගේම වගකීමක්. මගේ උපරිම හැකියාවන් ඉදිරිපත් කිරීමට ලැබුණු අවස්ථාවක්. ලංකාවට පැමිණ සෆීර් සහ ඔහුගේ නාට්‍ය කණ්ඩායම සමඟින් කටයුතු කරන්න ලැබීමත් මගේ භාග්‍යයක් කොට සලකනවා.

වෙනත් රටක, වෙනත් භාෂාක, වෙනත් සංස්කෘතියක වෙනස් කෑම බීම සමඟින් ලබන මේ අත්දැකීම කොහොමද?

මම හුඟක් සංචාරය කරන්නෙක්. ඒ නිසා මෙය මට බෙහෙවින් හුරු පුරුදු දෙයක්. නමුත් ඕනෑම සංචාරක හොඳ, පහසු දේ වගේම අභියෝගාත්මක අත්දැකීම් ද ලැබෙනවා. විශාල ප්‍රශ්නයක් නොවුනත් එකවරටම දිගු ගමනකින් පසුව කාලගුණ, පරිසර උෂ්ණත්වය, කෑම බීම ආදිය සියල්ල වෙනස් වූවිට යම් යම් අභියෝගාත්මක තත්ත්වයන් උදා වෙනවා. නමුත් ටික දිනකින් එය සාමාන්‍ය වෙනවා. මෙවර පැමිණි ගමනේදීත් එවැනි දේ අත්දකින්න ලැබුණා. කොහොම වුනත් ඒකත් සුන්දර අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.

මේ වේදිකා නාට්‍ය වගේම එහි අධ්‍යක්ෂ සෆීර් ගැනත් ඔබේ අදහස?

ලංකාවට පැමිණීමෙන් පසු මට මෙහි තිරරචනය කියවීමට ලොකු කාලයක් තිබුණේ නැහැ. මෙහි පැමිණීමට පෙර මෙවැනි ස්ථාවර තිර රචනයක් තිබේද යන්නවත් මා දැන සිටියේ නැහැ. කෙසේ නමුත් මෙහි ප්‍රධාන අදහස ඉතාම සිත් ගන්නා සුලු එකක්. එය කියන්නේ ලොව අවසාන කාන්තාව ගැනයි. මෙය ඉතාම නිර්මාණාත්මකයි. කාන්තාවන් නොමැති මීළඟ පරම්පරා ගැන මේ කාන්තාවට කිව හැක්කේ කුමක්ද? ඇයගේ ජීවිතය ගැන ඇයට කිව හැක්කේ කුමක්ද? අවසාන කාන්තාව වීමේ අත්දැකීම ගැන, ආදරය ගැන ඇයගේ අත්දැකීම් මොනවාද? ඇත්තටම මේ සංකල්පය අතිශයෙන්ම සිත් ගන්නා සුළුයි.

ඒ වගේම මෙහි අධ්‍යක්ෂවරයා සෆීර් ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙවැනි සංකල්පයක් වේදිකාවට ගෙන ඒම සම්බන්ධයෙන් මම ඔහුට ස්තූතිවන්ත වෙනවා. අපේ උපරිමට මෙම නාට්‍යයට ලබාදීමට අපි ගොඩක් උත්සාහ කරනවා. එහිදී අධ්‍යක්ෂවරයා ලෙසින් සෆීර් ලොකු කැපකිරීමක් කළා. ඇත්තටම ඔහු සුවිශේෂි වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක්. ඊට අමතරව මෙහි රංගාලෝක රචනය කෙරෙන සූජීව පතිනිසේකර, සංගීත නිර්මාණය කළ වින්දක වීරසිංහ, වේදිකා කළමණාකරණය කෙරෙන ජීවන්ති පෙරේරා වගේම වේදිකා පරිපාලනය කෙරෙන තරුෂි කාවින්දිටත් මම ස්තූතිවන්ත වෙනවා.

ඔබ මීට පෙර වේදිකා නාට්‍ය පිළිබඳ ලබා ඇති අත්දැකීම් ගැනත් කියමු ?

මා සංචාරය කරන්නියක්. විවිධ රටවල බොහෝ ආයතන සමඟින් මම කටයුතු කර තිබෙනවා. ඉතාලියේදී වගේම ඩෙන්මාර්කය, කොලොම්බියාව, දකුණු අමෙරිකාව වැනි රටවල වේදිකා නාට්‍ය අත්දැකීම් මා සතුයි. මෙලෙස වෙනස් සංස්කෘතීන් හා සම්බන්ධවීම ඉතාම සුන්දර කටයුත්තක්. එය සංචාරයකින් ලබා ගත හැකි දෙයකට වඩා වැඩි දෙයක්. ඒ ඒ නාට්‍ය කණ්ඩායම් සමඟින් සම්බන්ධ වෙමින් ගැඹුරු සම්බන්ධතාවක් එම සංස්කෘතින් සමඟින් ගොඩනඟා ගත හැකියි. නිළියකගේ දෛනික කාර්යයන් සමඟ මේ අත්දැකීම් ඇයට අලුත් අලුත් දේ කියා දෙනවා. මෙවැනි සම්බන්ධතා ලොවපුරාම ඇතිකර ගැනීම මට හැකි වේවි කියා හිතනවා.

ඉතාලියානු නාට්‍ය ගැනත් දැනගන්න කැමැතියි? ඔබ ඉතාලියානු චිත්‍රපටවලටත් දායක වෙලා තියෙනවා ද?

චිත්‍රපට ගැන නම් මා එතරම් දන්නේ නැහැ. ඉතාලියානු සිනමාව ගැනත් මා ලොකු හැදෑරිමක් කරලා නැහැ. නමුත් මා චිත්‍රපටවලට කැමැතියි. ඉතාලියානු නාට්‍ය, රංගකලා ප්‍රභේද රැසක එකතුවක්. මේ වන විට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයටත් වැඩි වැඩියෙන් තාක්ෂණය එකතුවෙමින් පවතිනවා. එය වේදිකාව, හඬ, සංගීතය මේ සියල්ලම සම්බන්ධ කර ගනිමින් කරන විශාල පරීක්ෂණයක්.

වෙනත් ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය නරඹන්න අවස්ථාව ඔබට ලැබුණා ද?

මා මෙරටට පැමිණි පළමු අවස්ථාවේදී වේදිකා නාට්‍ය කිහිපයක්ම නරඹන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් බොහොමයක් ඉතා කෙටි නාට්‍යයන් වීම විශේෂයි. මා නැරඹු සිංහල වේදිකා නාට්‍ය අතරින් දිගු වේදිකා නාට්‍ය වන්නේ 'සෙක්කුව' වේදිකා නාට්‍යය යි. එය ඉතාම සිත් ගන්නා සුළු එකක්. එහි සියලුම දෙබස් සිංහල නිසා මට ඒවා තේරුම් ගන්න නම් බැරි වුණා. මගේ මිතුරෙක් මට සියල්ල පරිවර්තනය කර දුන්නා. එය අගනා වේදිකා නාට්‍යයක්. ඒ විතරක් නෙවෙයි, දැනට මා ගත කළ කෙටි කාලය තුළදී උඩරට නර්තනයක් දැක ගන්න අවස්ථාව ලැබුණා. මා එයටත් බෙහෙවින් ඇලුම් කරනවා.