වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




රියැලිටි වැඩසටහන්වලට එන තරුණ පරපුර හෑල්ලුවට ලක්වීම දුකක්

රියැලිටි වැඩසටහන්වලට එන තරුණ පරපුර හෑල්ලුවට ලක්වීම දුකක්

ගායන ලොවේ අපේ හඬ සමන් ලෙනින්

ගාල්ලේ කොට්ටව නම් ග්‍රාමයේ විසූ යුවලකට සියපස්වැනි දරු උපත සිදු වූයේ හරියටම ජාත්‍යන්තර කම්කරු දිනය එළඹි මැයි පලමු වැනිදාවකය. පස්වැනියත් පුතෙක් වූ නිසාවෙන් ඔහුට නම් තැබුනේ සමන් තුසිත ලෙනින් කුමාර යනුවෙනි.සමාජවාදී අදහස් දැරූ මේ පියාට කම්කරු දින උපන් සිය පුතුට ලෙනින් සිහිපත්වීම පිණිස ඔහුගේ නමටද ලෙනින්’ යන්න එක් කළේය. වර්තමානයේ අපි ඔහු හදුනාගන්නේ මෙරට ගායන ක්ෂේත්‍රයේ සුවිශේෂී ගමන් මගක් සනිටුහන් කල ගායකයෙකු වශයෙනි. අපි ඔහු හදුනන්නේ ‘ සමන් ලෙනින්’ යනුවෙනි.

සමන් ලෙනින් යන නාමය මෙරට ගීත ක්ෂේත්‍රය තුළ වෙනස්ම හඩ පෞරුෂයක් වශයෙන් ස්ථාපනය වන්නට විශේෂයෙන් බලපැවේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘ සිරි පැරකුම්’ චිත්‍රපටයේ එන ‘අම්බරුවෝ’ ගීතයෙනි. එවකට බොහෝ දෙනෙක් මේ ආකර්ෂණය දිනාගත් හඩ පෞරුෂය හිමි කාටදැයි යන්න විමසිලිමත්ව සොයා බැලූ ආකාරය මට මතකය.

කැලේ හැදෙන කිරිමදුවැල් කාපල්ලා

දොලේ ගලන හීතල දිය බීපල්ලා

වෙලේ හීය අහවර කර නාපල්ලා

ජලේ කන්ද ගොඩ දමල බීපල්ලා

යලේ කන්න ගොඩ දමල දීපල්ලා

මේ සමන් ලෙනින් ගේ නාමය මෙරට සුවිශේෂී ලෙස සමාජගතවූ ගීතයයි.

‘’ මේ ගීතය ගයන්න මට අවස්ථාව සැලසෙන තෙක් මම ගමන් කරපු ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දි ලොකු සතුටක් මට දැනෙනවා. මගේ ජීවිතේ අක්මුල් දිව යන්නේමගේ ගමට සහ මගේ පවුලට. මගේ තාත්තා ගාල්ලේ කොට්ටව නම් ගමේ කෙනෙක්. නමුත් අපි පුංචි කාළේ ඉදන් ජීවත්වුණේ ගාල්ලේ උණවටුන ප්‍රදේශයේ.අපි ඒ කාලේ ඉස්කෝලේ නිවාඩු දෙනකම් බලාගෙන ඉන්නේ තාත්තාගේ ගමේ යන්න.

ගමට ගියාම ගහ කොලත් එක්ක සතා සීපාවත් එක්ක මට බොහොම ළග සම්බන්ධයක් තිබුනේ. අපේ තාත්තට හොදට කවි ගායනා කරන්න පුළුවන්. තාත්තා හරි ලස්සනට හයියෙන් කවි කියනවා. ඒ වගේම තමයි තාත්තට හොදට චිත්‍ර අදින්නත් පුලුවන්. අපේ තාත්තා චිත්‍ර ගුරුවරයෙක්. මමත් මුලින්ම චිත්‍ර විෂයට තමයි දක්ෂතා දැක්වූයේ. අපේ පවුලේ පිරිමි ළමයි පස් දෙනයි, එක ගැහැනු ළමයයි. පිරිමි දරුවන්ගෙන් මම පස්වැනියා. අපි හැම දෙනාම කලාවට දක්ෂයි.

අපේ තාත්තා මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් සමග කොග්ගල ගගේ ඔරුපැදපුකෙනෙක්. ඔහුත් සමග තිබුණු ඇසුර නිසාවෙන් හොද සාහිත්‍ය දනුමකුත් තිබුණා. තාත්තා චිත්‍ර අඳිනකොට අපි බලාගෙන ඉන්නවා . ඒ කාලෙ මම මූර්ති ශිල්පයටත් දක්ෂතා දැක්වූවා.

සමන්ට අසිරිමත් ළමාවියක් තිබී ඇත. සිය පියාගේ කලාකාමී ජීවිතය තුළ සමන් ඇතුලු දරුවන් සයදෙනාම ජීවිතය විද ඇත්තේ අපූරු නිදහසකිනි. සමන්ගේ මවද පියාට නොදෙවෙනි කලාකාමී සිතුවිලි වලින් පරිපූර්ණ ගැහැනියක වූවාය . සමන් කියන්නේ ඇයට සැළලිහිණියේ කවි සියල්ල කටපාඩම් කියාය.

‘ කවි කියන්න ආසාව ඇතිවුණේ ඇත්තටම අම්මා නිසාවෙන්.....’ සමන් කියන්නේය.

මගේ ජීවිතේ ජන සංගීතය පැත්තෙන් වන අක්මුල් සියල්ල පිලිසිද ගන්නේ මගේ පවුලෙන් සහ මගේ ගමෙන්. හැබැයි 2004 අවුරුද්දේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඒ ජීවිතේට වෙනස් ආකාරයක හැරවුම් ලක්ෂයක් එක්වුණා.මම ඉගෙන ගත්තේ ගාල්ලේ ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ. ඒ කාලේ ඉදන්ම මම බාහිර ක්‍රියාකරකම්වලට විශේෂ දක්ෂතාවයක් තිබුණා. ඉස්කෝලේ ක්‍රිකට් සෙල්ලම් කළා.

මේ හැම දෙයක්ම වෙනස් පැත්තකට හරවමින් මගේ ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුනේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට පැමිණීම.එහිදී මට සමන් පනාපිටිය , රෝහණ බැද්දගේ වැනි ඉතාම වටින අපූරු ගුරුවරු කිහිප දෙනෙක් මුණගැසෙනව.එතැනදි තමයි අද මම මේ ගෙවන ජීවිතේ ට අරුතක් එක්වෙන්නේ’

සමන් ගායකයකු වශයෙන් මෙරටසංගීතලෝලීන් හදුනා ගන්නට හේතු වන්නේ 2005 වර්ෂයේ ජාතික රූපවාහිනිය ඉදිරිපත්කල ‘ රජත රශ්මි’ වැඩ සටහනයි.එය කෙටි පණිවුඩ මගින් ගායකයන් තෝරන වැඩසටහනක් නොවීය. විධිමත්, ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් යටතේ කෙරුණු ප්‍රමිතිගත වැඩ්සටහනකි.මෙම වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගත්තේ සමන්ය.

‘ රජත රශ්මි මගේ විශ්වාසයේ හැටියට නම් භායනක වැඩසටහනක්. ආචාර්ය රෝහණවීරසිංහ ප්‍රමුඛ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයකින් යුතුව මුලු රටම බලාගෙන ඉන්නැද්දි භයානක විනිශ්චයන් ඔවුන් ලබා දුන්නා. මිනිස්සුන්ගේ සිතුවිලිත් එක්ක ඔවුන් සෙල්ලම් කළේ නැහැ. .වර්තමානයේ අපි දකිනවා රියැලිටි වැඩසටහන් තුළින් තරුණ් තරුණියෝ කොයි තරම් හෑල්ලු වෙනවද කියල. කලාකරුවෙක් වෙන්න , නිර්මාණ කරුවෙක් වෙන්න උත්සාහ කරන අහිංසක මිනිසුන් අපි අතර කොච්චර ඉන්නවද?එවැනි මිනිසුන් සමච්චලයට ලක්කරනපිරිස් ඕන තරම් ඉන්නවා. ඒ වගේම ඒක මාධ්‍ය හරහා සමාජගත කිරීම කොයි තරම් පවුකාරකමක්ද?ඒවා හරි වැරදි වැඩ.හැබැයි රූපවාහිනිය එක කවදාවත් කලේ නැහැ.මට මතකයි දවසක් රජත රශ්මි කරත්දි මට ගීතයක් අමතක වෙලා අපහසුතාවයට පත්වෙච්ච ආකාරය . ඒ මොහෙතේ මම දැක්කා රූපවාහිනී කැමරා ඔක්කොම පහතට හෙළන ආකාරය. ලැජ්ජාවට පත්වෙන මේ තරුණයාව වීඩියෝ කරල සමාජයට පෙන්වන්න ඔවුන් උත්සාහ කළේ නැහැ.මම රූපවාහිනියට ආදරේ කරන්නේ මම ගොඩනැගුණු තැන හින්දම නොවේ. එවැනි චින්තනයක් තිබෙන තැනක් නිසා.අද රියැලිටි වැඩසටහන්වල සමහරු අසරණවෙන විදිය දැක්කම මට හරියට දුක හිතෙනවා.

සමන් රජත රශ්මි වැඩ සටහනෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු සෝමරත්න දිසනායකගේ ‘ සිරි පැරකුම් චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක් වන්නට අවස්ථාව සැලසේ. එතැන් සිට ඔහු විවිධ නිර්මාණ් ඔස්සේ මෙරට සංගීත ලෝලීන් පිනවීය. චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රය තුළ තවදුරටත් ස්ථාවර වෙමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ’ පත්තිනි, ලලිත් පන්නිපිටියගේ ‘ සංගිලි‘ වැනි නිර්මාණ සදහා ඔහු දායක විය. විශ්ව විද්‍යාලය තුළදී සමන්ට මානව සංගීත විද්‍යාව හැදෑරීමට ලද අවකාශය ඔහුගේ නිර්මණ දිවිය තවදුරටත් බබලවන්නට හේතුවක් විය.ලෝකයේ විවිධ රටවල සංගීත ශෛලීන් හැදෑරීම නිසා ඔහුගේ නිර්මාණ දිවියටද නොයෙක් වර ඒවා බලපෑවේය.

‘ සමාජයේ කොටස් දෙකක් ඉන්නවානේ. නිර්මණකරුවෝ සහ සහෘදයෝ කියල. ඒ අතරින් නිර්මාණකරුවෝ සියයකින් කෙනෙක් , දාහකින් කෙනෙක්, ලක්ෂයකින් කෙනෙක් බිහිවෙනව කියල තමයි අපි අහලා තියෙන්නේ.කලාකරුවන් උණහම රටේ සමස්ත හර පද්ධතිය , සංස්කෘතිය පිලිබද අවබෝධයකින් කටයුතු කළ යුතුයි.රටේ මිනිස්සු ජීවත් වෙන විදිය දැනගත යුතුයි. ඒ රටේ සංගීතය හදාරල තිබිය යුතුයි. එහෙම කෙනෙකුගෙන් කවදාවත් කලා කෘතියකට වරදක් වෙන්නේ නැහැ.

ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ

දොළ හදන තුංමං හන්දියේ

කවුරු එනතුරු මග බලන්නද

මෝහිනී මගේ නංගියේ

කලා කෘතියක් කොයි තරම් දුරට සමාජයට බලපෑමක් එල්ල කරනවාදැයි තවමත් නිවැරදිව ගණනය කළ නොහැක.එහෙත් කලා කෘතියකට සමාජය වෙනස් කළ හැකි බව අප පිලිගත යුතුය.කලාකරුවා යනු සමාජයේ පෙර ගමන්කරුවාය . එහෙත් අද සමාජයේ පෙර ගමන් කරුවන් වී ඇත්තේ දේශපාලකයින්ය.සමන් ලෙනින් වැනි එසේ සමාජයේ පෙරගමන්කරුවන් ලෙසින් හැදින්විය හැකි කලාකරුවන් ඉදහිට හෝ තවමත් බිහිවීම පිලිබද අප සතුටුවිය යුත්තේ එහෙයිනි,

සමන් පසුගිය කාලයේ ඔහුගේ ගුරුවරයෙකු වන රෝහන බැද්දගේ සමග එක්ව ‘ දැසමන්’ නමින් ප්‍රසංගයක් ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයක පැවැත්වීය ඉදිරි ජූනි මාසයේදී එම ප්‍රසංගය ලංකාවේ පැවැත්වීමට සූදානම් වේ.

පංති නැති ඉස්කෝලෙ බිදලා

ජීවිතේ ගැන එපා ටියුෂන්

හෝඩියට ආදරේ අරගෙන

ආයිමත් එනවාද් දුයිෂෙන්

සමන් ගේ නිර්මාණ සමග මෙරට ගීත රචනා කලාවට මෙන්ම සංගීත ක්ෂේත්‍රයට දක්ෂතා රැසකින් යුත් නව පරපුරක් එක්වීම දැක ගත හැකිය.

‘ දක්ෂතා සපිරි නව පරපුරක් අපට ඉන්නවා. සුජීව හෙට්ටිතන්ත්‍රී, නයනසේන වන්නිනායක , බණ්ඩාර බෙලිකැටමුල්ල වැනි අය අඩහ් වෙනකොට ඉන්නේ රටින් පිට.නමුත් ඔවුන් කවදාවත් අවර ගණයේ නිර්මාණ බිහිකරන්නේ නැහැ.මේ දිනවල මගේ සිත්ගත් සංගීතවේදියා අමිත් ලියනගේ.ඉස්සරහට බැබළෙන චරිතයක් වෙනව කියල මට විශ්වාසයි.