වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් වෙනුවෙන් අද හවස වෙන් කරන්න

සුනිල් වෙනුවෙන් අද හවස වෙන් කරන්න

සුනිල් මිහිඳුකුල යනු සරසවිය පාඨකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නොවේ.සිනමාව කලාව ගැන මේ රටේ අවධියෙන් සිටින සාමාන්‍ය පාඨකයන්ට ද අමුතුවෙන් කිව යුතු නමක් ද නොවේ.අවුරුදු තිහකට වැඩි කාලයක් සුනිල් මිහිඳුකුළ සිනමාව ගැන කලාව ගැන බොහෝ දේ පාඨකයන්ට ලියා ඇත්තේය.සම්මුඛ සාකච්ඡාවේ සිට විචාරශීලී ලිපි දක්වා ඒ සියල්ල වර්ගීකරණය කළ හැක්කේය.ගණනින් එය දස දහස් ගණනින් විය යුතුය. ඔහුගේ ලිපි කිසිවිටෙකත් හුදු ඕපාදූප නොවීය. එය සාරගර්භ සටහනක් විය. ඒ කාලයේ සුනිල් ගේ ලිපියක් පළ නොවුණ පත්තරයක් සඟරාවක් වී නම් එය කැලෑ පත්තරයක් ම විය.1995 වසරේ පමණ ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ ස්ථිර සේවකයකු වන තෙක්ම සුනිල් ලංකාවේ සෑම පුවත්පතකටම ලිව්වේය. ලේක් හවුස් ආයතනයට එන විටත් ප්‍රබුද්ධ සිනමා විචාරකයකු ලේඛකයකු ග්‍රන්ථ කතුවරයෙක් ලෙස රට පිළිගත් නමක් සුනිල් සතු විය. එය ලේක් හවුස් ආයතනයේ දී තවත් ඔප මට්ටම්ව වැඩිණ. සුනිල් මිහිඳුකුල යහපත් කලාවක් පෙරදැරි කර ගත් මිනිසකු විය.

සුනිල් ගැන බොහෝ දෙනාගේ අදහස් අත්දැකීම් එකතු කර ගත් සුනිල් මිහිඳුකුල සිනමා සාහිත්‍ය සම්ප්‍රසාදන ග්‍රන්ථය මහාචාර්ය සමන්ත හේරත් සහ ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්තිගේ සංස්කරණයෙන් යුතුව අද සවස කොලඹ පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී දොරට වඩිනු ඇත.සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස් මුලසුන හොබවන මේ අවස්ථාවේ දී සරසවිය හිටපු කතුවර ජ්‍යෙෂ්ට මාධ්‍යෙව්දී තිලකරත්න කුරුවිටබණ්ඩාර ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම සහ ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක විසින් සුනිල් පිළිබඳ දෙසුම් පවත් වනු ඇත.

මිහිදුකුලසූරියගේ සුනිල් කයිතන් ප්‍රනාන්දු මීගමුවේ උපන්නේය.මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ උගත්තේය. මාරිස්ටෙලා වේ දී නැසී ගිය නළු රන්ජන් මෙන්ඩිස් සහ ජනප්‍රිය නළු ක්ලීටස් මෙන්ඩිස් ඔහුට වැඩිමහල් සිසුවන් වූ අතර සුපිරි තරුව රන්ජන් රාමනායක පහළ පන්තියක සිසුවකු ව සිටියේය.මීගමුවේ සිනමා කලාකරුවන් සහ දූවේ පාස්කු අතර ගොඩ නැගුන සංස්කෘතියක හැදුණ සුනිල් සිංහල පාඨකයා අතරට එන්නේ සුනිල් මිහිඳුකුල යන නමිනි.මා දන්නා තරමින් සුනිල් ගේ හතර වරිගයේ කිසිවකු හෝ පුවත්පත් කලාවට නෑකම් කීවේ නැත.එහෙත් ඔහු සිනමා රසිකයකු විය. තම දුර නෑයකු ගේ නිෂ්පදනයක් ලෙස තැනුණු එච්.ඩී.ප්‍රේමරත්නගේ අපේක්ෂා චිත්‍රපටය ඔහුගේ ජීවිතයට මහත් බලපෑමක් කර තිබිණ. එසේ නොවන්නට වාහන අමතර කොටස් ව්‍යාපාර අංශයට සම්බන්ධ රැකියාවකට යන්නට ඉඩ තිබිණයැයි ඔහු වරක් මා සමග පැවසුවේය.ඒ නුවරඑළිය පැත්තටය. තරුණ වියේ දී සිනමාකරුවකු වන්නට පෙරුම් පිරූව ද පසුකලක එම අපේක්ෂාවෙන් බැහැර වන්නට සුනිල්ට සිදු වන්නේ නොදැනුවත්වය. එසේ වුව ද ඔහු කිසි කලකත් සිනමාව හා කලාකරුවන් සමග වෛර කළේ නැත. සිනමා විචාරකයකු වුව ඔහුට නිශ්චිත මතවාදයක් තිබිණ. අනූ ගණන් වල මුල තරුණ සිනමා කලා විචාරක සම්මන්ත්‍රණයන්ගේ සුනිල් ගේ මතවාද වලට ඉඩක් තිබිණ.

සුනිල් මුලින් ලේක් හවුස් ආයතනයට ගොඩ වදිනුයේ දිනමිණ පුවත්පතටය.මේ කටයුත්තට එවකට ජනාධිපති මාධ්‍ය උපදේශක සනත් ගුණතිලකයන් උපකාර කළ බව සුනිල් කිහිප වරක්ම කෘතවේදිව පැවසුවේය.දිගු කලක් ස්වාධීන ලේඛකයකු ලෙස කටයුතු කළ සුනිල් එයට පෙර සිනමා පුවත්පත් දෙකකට ස්ථිර සේවකයක් ලෙස ද දායක විය.එහෙත් ඒ වන විට දරු තිදෙනෙකුගෙන් යුත් කුටුම්භ රක්ෂනය විසින් යහපත් ස්ථිර ආයතනයක රැකියාවක අවශ්‍යතාව සුනිල්ට ඇති කර දී තිබිණ. දිනමිණ පුවත්පතෙන් පසු සරසවිය පුවත්පතට ගොඩ වැදුණ සුනිල් එහි උප කතුවරයෙක් හැටියට ද නියෝජ්‍ය කතුවරයෙක් හැටියට ද සම කතුවරයකු හැටියට ද කටයුතු කොට ප්‍රධාන කර්තෘධුරයට පත් විය.තිලකරත්න කුරුවිට බණ්ඩාර.සුසිල් ගුණරත්න,අනුර බණ්ඩාර රාජගුරු යන සරසවිය කතුවරුන් තිදෙනාම යටතේ නියෝජ්‍ය කර්තෘ පදවිය හෙබ වූ සුනිල් ටික කලක් දිනමිණට යළි සම්බන්ධ විය. එයින් පසු ඔහු යළි සරසවියට පැමිණියේ දීප්ති ෆොන්සේකා සරසවිය කතු පදවිය හොබවද්දීය. ඒ අවදියේ සුනිල්ට සම කර්තෘවරයා ලෙස කටයතු කළ හැකි විය. ඔහු සරසවිය කර්තෘ පදවිය ට පත් වූයේ එහි දස වැනි කතුවරයා හැටියටය. තිස් වැනි සරසවිය සම්මාන උළෙල මෙහෙය වන ලද්දේ සුනිල් ගේ ප්‍රධානත්වයෙනි.පසුව සුනිල් ආයතනයෙන් සමු ගන්නා විට සිළුමිණ පුවත්පතේ සම කර්තෘ ධුරය ද රසඳුන පුවත්පතේ කතුවරයා ද විය.එහෙත් මේ කාලය ඇතුළත සුනිල්ට සරසවිය ගේ සම්බන්ධය බිඳ හෙලුනේ නැත.

සුනිල් යනු ලියන්නට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.සුනිල් ට මිතුරන් මුණ නොගැසී සිටිය හැක. සිනමා හලකට ගොඩ නොවැදි සිටිය හැක. එහෙත් නොලියා ඉන්නට බැරිය. මා එය දන්නේ අද ඊයේ සිට නොවේ. මා පුවත්පත් කලාව ජීවන වෘත්තිය කර ගන්නට සිහින නොදුටු යුගයකය. පාසල් අධ්‍යාපනය හමාර කළ සමයේ ම විසින් කොටි වලිගය චිත්‍රපටය නිර්දය විවේචනයට ලක් කොට ලියන ලද ලිපියක් සහ ඕසන් වේල්ස් පිළිබඳ සරසවිය පුවත්පතට ලියන ලද ලිපියක් දැක ගත් සුනිල් මා සොයා අපේ ගෙදරට ආවේය.ඒ අරිසෙන් අහුබුදු පතිණිය සඳා අහුබුදු මැතිණිය ගෙන් මගේ ලිපිනය සොයා ගෙනය. එසේ පැමිණි සුනිල් මා රැගෙන ගියේ ප්‍රේම් දිසානායකයන්ගේ සංස්කරණයෙන් යුත් විචිත්‍ර පුවත්පතේ කාර්යාලයටය. එය සුනිල් ගෙන් මට පමණක් ලැබුණු වරප්‍රසාදයක් නොවේ. කාගේ හෝ නන්නාදුනන කෙනෙකුගේ ලිපියක් දුටු විගස එය අගය කිරීමට සුනිල් කිසි විටෙකත් මැළි වූයේ නැත.මචං මරු එකට ලියන එකෙක් ඉන්නවා සුනිල් බොහෝ විට එසේ කියනු මම පසුකලක අසා ඇත්තෙමි. මෙයට වසරකට ආසන්නයේ සුනිල් ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගිය දව‍සේ සරසවියට ලිපි මාලාවක් අලුතින් ලියන්නයැයි මම ඔහුට ආරාධනා කළෙමි.නොපැකිලව ඔහු එය බාර ගත්තය. මචං අපි නාට්‍යයකරුවන් ගැන ලිපි මාලාවක් ලියමුදැයි ඔහුම යෝජනා කළේය. එපමණක් නොව සරසවියේ කලක් අතිශය ජනප්‍රිය ව තිබුණ රසිකයන්ගේ පැනවලට පිළිතුරු දුන් සුමි ගෙන් අහන්න විශේෂාංගය නැවත සරසවිය වෙත යොමු කරන්නට ද ඔහු කටයුතු කළේය.මුලින් සරසවියේ පළ වූ එම තීරුව ඔහු සිළුමිණට යද්දි එයට රැගෙන ගොස් තිබිණ. නැවත මගේ ආරාධනයෙන් සුමි ගෙන් අහන්න තීරුවට සරසවියේ ඉඩක් ලබා දිම සඳහා එතෙක් සරසවියේ පළ වූ අර්ජුන ගෙන් අහන්න තීරුව නතර කර දැමීමට මම කටයුතු කළෙමි. සුමි ගෙන් අහන්න තීරුවට ලංවන්නට අර්ජුන්ගේ පැන විසඳුම් වලට බැරි බව මම දැන සිටියෙමි. එයින් පසු සෑම සතියකටම වරක් සරසවියට ගොඩ වදින සුනිල් සතිපතා එකතු වන පාඨකයන්ගේ පැන සහිත තැපැල් පත් ගොනු කර ගෙන ගොස් ඒවාට උත්තර ලියා දීම සිරිතක් කොට ගත්තේය.

කිසි විටෙකත් පරිගණක ඇසුරෙන් ලිපි නොලියූ සුනිල් ලියන්නට පෙරාතුව කඩදාසිය ඉතා තීරු වලට නමා ගැනීම සිරිතක් කොට ගත්තේය. කුරුමිණි අඩු හැඩ තළ ඇති සුනිල් ගේ අත් අකුරු ලියැවෙන්නේ තීරු වලට නමා ගත් කොළ මතය. අකුරු වල ප්‍රමාණය කොයි හැටි වෙතත් එහි අක්ෂර වින්‍යාසය නිවැරදිය. ව්‍යාකරණා නුකූලය. කෙනෙකු ගේ ලිපියක් සංස්කරණයේ දී එම ලිපියේ අඩංගු සියලු කරුණු ඉතා සූර ලෙස සංස්කරණය කරන්නට සුනිල් සමත් විය.ඔහු ට ලැබුණ හැම අවස්ථාවකම ඔහු හොදින් ශිල්පය උගත්තේය.තිලකරත්න කුරුවිට බණ්ඩාර යන් සරසවිය කතු පදවිය හොබවද්දී සුනිල් නිවැරදි වහරත් ලිපි සංස්කරණයත් ඉතා හොඳීන් ධාරණය කර ගත්තේය.

එපමණක් නොව සිනමාව කලාව පිළිබඳ යම් වැදගත් ලිපියක් දුටු විට එය කපා ආරක්ෂා කර ගැන්ම සුනිල් ගේ සිරිතය. සාමාන්‍යයෙන් කලාව සම්බන්ධ සියලු පොත පත කියවන්නට සුනිල් කැමැතිය. සුනිල් ගේ පරම්පරාවේ බොහෝ පුවත්පත් කලාවේදින්ට විහ්ව විද්‍යාලයක් වූයේ ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ට මාධ්‍යෙව්දීන් විසින් ගුරු මුස්ටි නොසඟවා ලබා දුන් දැනුමය.සුනිල් ද එම දැනුම ලබා ගත්තෙකි. ඇසූ තැන් ඇති විද්වත් ඇසුර ද එයට මහෝපකාරී විය.

සුනිල් හැමවිටම සිය දැනුම යාවත්කාලින කර ගත්තෙකි.එබැවින් සිනමාව සාහිත්‍යය ආදි සියලු කාරණා පිළිබඳ ප්‍රමානාත්මක දුනුමක් ඔහු සතු විය.එමෙන්ම ඒ සම්බන්ධව තමාට ආවේණික මත ඔහු සතු විය. එබැවින් කටපාඩම් කළ ගිරා පෝතකයකු හෝ ගුරුකුල ආකල්ප ද ඔහුට නොවීය.මේ මතවාද සමග එකඟ නොවුණ වුන් සුනිල්ට පහර දුන් අවස්ථාවන් ද එමටමය. එබඳු විටක සුනිල් ගේ සදස උපහාසය සහිත භාෂාව ඉස්මතු වන්නේ ප්‍රතිවාදියා නිරුත්තර කරමිනි.කොහොමටත් කන්තොරුවේ දී සුනිල් ගේ රස කතා සියල්ලන්ගේ ඉල ඇදෙන ඒවාය.

සුනිල් මුල් වරට රචනා කරන ලද ග්‍රන්ථය රුක්මණී දේවි නිළිය ගායිකාව සහ ජනප්‍රිය සංස්කෘතිය නම් විය.ඒ එම ග්‍රන්ථය නිළ වශයෙන් පිරි නමන ලද්දේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට ලෙස සටහන් වුව එය මුල් වරට පත් කරන ලද්දේ මා අතටය. ග්‍රන්ථයේ ප්‍රකාශකයා සුනිල්මය. එය නම් කරන ලද්දේ සුරාජි ප්‍රකාශන යනුවෙනි. සුරාජි යනු සුනිල් ගේ ආදරණීය බිරින්දෑය. මගේ මතකයේ හැටියට සුරාජි සුනිල් ඒ දවස්වල එක වහලක් යටට යන්නට පෙරුම් පුරමින් සිටි අවදියයි. නැතහොත් විවහ වූ අලුතය.එක් දවසක් සුනිල් මා සමග මුද්‍රණාලයකට ගියේය. ඒ වන විට රාත්‍රිය එළැඹෙමින් තිබුණ වග මට මතකය. එය කොළඹ වජිරඥාණ මාවතේ මැණික් මුද්‍රණාලය ලෙස ග්‍රන්ථයෙහි දැක්වෙයි.රුක්මණී ගේ රුවින් සැරසුන පොත සම්පූර්ණයෙන් පිරික්සා බැලූ සුනිල් එහි සටහනක් තබා මා අතට පත් කළේය.මා හිතවත් අරුණ ගුණරත්න මිතුරාට සෙනහසිනි යනුවෙන් එහි සටහන්ව ඇත. දිනය 1989 වසරේ අප්‍රේල් මස 25 වැනි දිනය.

එයින් පසු ඔහු රචනා කරන ලද බොහෝ ග්‍රන්ථ ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතින්ගේ නිර්දිෂ්ට ග්‍රන්ථ අතර ඇත්තේය.ඒ අතර මහගම සේකර ගේ තුං මං හන්දිය විමසීමක්,කඩවුණු පොරොන්දුව සහ මිනර්වා චිත්‍රපට සම්ප්‍රදාය,ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සිංහල සිනමාව,මාර්ටින් වික්‍රමසිංහ සහ සිංහල චිත්‍රපට විචාරය,ජයවිලාල් විලේගොඩ ගේ තෝරා ගත් සිනමා විචාර,සිනමාවට හැදින්වීමක්.ඉන්දීය සිනමාවේ දහ තුන් වැනි භාෂාව,විශ්ව කීර්තිධර නාට්‍යකරුවෝ,උත්තම පුරුෂ ඒක වචන,මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍යාවලිය,පර්යායලෝකය,පික්චර් පිස්සා.ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ ආදී ග්‍රන්ථ රාශියක් දැක්විය හැක්කේය.

සුනිල් පුවත්පත් කලාවේදියකු ලෙස නිතරම මාධ්‍යවේදියාගේ නිදහස අගය කළේය..පුවත්පත් කලාවේදින් යනු කන්තෝරුවල උදේ අටට පොත අත්සන් කර හවස හතරට ගෙදර යන ජාතියේ අය නොවිය යුතු වග දැන සිටියේය.එබැවින් පුවත්පත් කලාවේදින් සිය කාර්යාලයේ සිටිනු දක්නට වඩා කොයි මගුලක ගොස් හෝ අවශ්‍ය සාරගර්භ ලිපිය තමා අතට පත්වනු දක්නට කැමැති වර්ගයේ කර්තෘවරයෙක් ව සිටියේය. කාල වේලාවට කන්තෝරුවේ සිටින පුවත්පත් කලාවේදින් සහ ලිපිකරුවකු අතර වෙනසක් නොමැති බව ඇදහූ සුනිල් එමගින් පුවත්පත් ආයතනයට කිසිදු පලක් නොවන බව දැන සිටි කතුවරයෙක් වූයේය. සුනිල් ගේ ඇතැම් මතවාද බෙහෙවින් විවාද සම්පන්නය.ඇතැම් විචාර නිසා ඇවිලෙන සමහරු ඒවා පෞද්ගලිකව සලකා සුනිල්ට විරුද්ධව අවි ගත් අවස්ථා එමටය.එහෙත් හැමවිටම සුනිල්ට කරුනු ඉදිරිපත් කිරිමට හැකියාව තිබිණ.එමෙන්ම සුනිල් සංවේදශීලි මිනිසකු විය.එබැවින්ම හිත රිදවා ගැනීම සුලභ ලකුණකු විය.හිත් වේදනා නොසලකා සිටිය හැකි වන්නේ අණ්ඩපාල ගල් ආඳෙකුට පමණී.අවාසනාවට සුනිල්ට ඒ හැකියාව නොතිබිණ.

සුනිල් කිසි විටෙකත් ලිපියක් ලියන්නට බාර ගතහොත් එය මග හරින්නේ නැත.මෙරට විදග්ධ කලාකරුවන් කිහිප දෙනෙකුගේ අභාවයන් සිදුවද්දී සුනිල් ට ලබා දෙන එක් දුරකතන ඇමතුමක දී ඔහු වහා සාරගර්භ ලිපියක් ලියා නිසි වෙලාවට බාර දෙයි.වසන්ත ඔබේසේකර,ටයිටස් තොටවත්ත.ආදී බොහෝ සිනමානරුවන් මිය ගිය අවස්ථාවන් ගේ සුනිල් ගේ දැනුම සරසවියට මහෝපකාරි විය.තිස්ස අබේසේකරයන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිව සිටිය දී එමගින් පළ කළ චිත්‍රපට නම් විදග්ධ සඟරාව සංස්කරණය කර දෙන්නැයි මුලින් ආරාධනාව ලැබුණේ මටය. එහෙත් මම එය කාරුණිකව ප්‍රතික්ෂප කළෙමි.ඒ සරසවියේ වැඩ තිබෙන බව පවසමිනි. සුනිල් ඒ ආරාධනාව බාර ගත්තේ සරසවිය නියෝජ්‍ය කර්තෘ පදවිය දරමිනි.ඒ සියලු රාජකාරි මැද වුවත් ලියන්නට සුනිල් ට ඇති ඇල්ම නිසාය.එමගින් වරක් ඉන්දියාවට ගිය සුනිල් එරට ඒ වන විටත් ජිවත්වන ලංකික සිනමාවට සම්බන්ධ සිනමා කලාකරුවන් මුණ ගැසී සැගව ගිය සිනමා ඉතිහාසයක් ගොඩ දැමීමට තිස්ස අබේසේකරයන්ට සහාය විය.

සුනිල් හැම විටම පෙනී සිටියේ යහපත් සිනමාව වෙනුවෙනි.

සුනිල් මිහිදුකුල සහෘදයා වෙනුවෙන් අද පැවැත්වෙන ප්‍රණාමයට සහභාගි වන්නැයි සරසවිය ඔබට ආරාධනා කරනුයේ ගෞරවයෙනි.ඒ ඔහු අපේ රැහේ එකෙක් නිසාම නොවේ.සුනිල් නම් මාධ්‍ය සලකුණ තැබූ පුවත්පත් කලාවේදියකුට ගෞරව කළ යුතු නිසාය.