වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ

සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ

සිනමාවේ ඇවිදින රන් ආකරය

ස්ටීවන් ස්පීල්බර්ග්

මා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට යන්නට කලින් අනිවාර්යයෙන්ම බලන චිත්‍රපට හතරක් තිබෙනවා. ඒවා නම් සෙවන් සමුරායි, ලොරන්ස් ඔෆ් ඇෙරිබියා, ඉට්ස් අ වන්ඩර්ෆුල් ලයිෆ් සහ ද සර්වර්ස්ය.

ඇමරිකා එක්සත් ජනපදය

දෙසැම්බර් 18, 1946

නිසැකයෙන් ලෝක සිනමා ඉතිහාසයේ වඩාත්ම බලපෑම් ඇති කළ සිනමා පෞරුෂයකට හිමිකම් කියන ස්ටීවන් ස්පීල්බර්ග් බොහෝ විට හොලිවුඩයේ සිටින වඩාත්ම ප්‍රසිද්ධ වාගේම ලොව වෙසෙන ධනවත්ම සිනමාකරුවෙකු වෙයි. ඉතා විශාල ආදායම් ලැබූ විචාරක ප්‍රශංසාව ලැබූ චිත්‍රපට බොහෝමයක අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ රචනය යටතේ ස්පීල්බර්ග් ගේ නම සඳහන් වෙනවා. ෆොර්බ්ස් සඟරාව ඔහුගේ වත්කම ඩොලර් බිලියන 3 ක් බව හඳුනාගත්තා. 2006 ප්‍රිමියර් සඟරාව ඔහු චලන චිත්‍ර කර්මාන්තයේ සිටින වඩාත්ම බලවත් මෙන්ම බලපෑම් කළ හැකි පුද්ගලයා බවට තෝරා ගත්තා. ටයිම් සඟරාව ඔහුව විසි වන සියවසේ ජීවත් වුණු වැදගත්ම පුද්ගලයන් සිය දෙනා අතරට නම් කෙරුවා. විසි වන සියවස අවසානයේ ලයිෆ් සඟරාව ස්පීල්බර්ග් ඔහුගේ පරම්පරාවේ සිටින වඩාත්ම බලපෑම් කළ හැකි පුද්ගලයා ලෙස නම් කළ අතර 2005 එම්පයර් සඟරාව ස්පීල්බර්ග් ලෝකයේ ශ්‍රෙෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරින් ප්‍රථම ස්ථානයට ශ්‍රේණිගත කළා.

හරි මැදට ස්ථානගත නොවුණු සම්ප්‍රදායික දර්ශන වලින් මිදුණු කැමරා ශිල්ප ක්‍රම ජෝස් චිත්‍රපටයේ දුටු වියපත් ඇල්ෆ්‍රඩ් හිච්කොක් එය නැරඹීමෙන් පසු තරුණ ස්පීල්බර්ග්ව පැසසුවේ ‘ඔහු තමයි අප අතරින් රඟහල් වේදිකා කාචයෙන් එළියට ගිය පළවෙනියා. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔහු තමයි රඟහලක අවකාශමය ගතිකවලින් මිදී දෘශ්‍යමය වශයෙන් සිතන්නට ගත් ප්‍රථම ප්‍රවාහයේ අධ්‍යක්ෂවරයා.’

ස්පීල්්බර්ග් උපත ලැබුවේ ඔහායෝ ජනපදයේ සින්සිනාට් නම් නගරයේ යුදෙව් පවුලකයි. ඔහුගේ මව ලියා ඇඩ්ලර් අවන්හල් මෙන්ම සංදර්ශන පියානෝ වාදකවරියක් වූ අතර පියා ආර්නල්ඩ් ස්පිල්බර්ග් විදුලි ඉංජිනේරුවරයෙකු වූවා. ලොව හොඳම චිත්‍රපට පාසල ලෙස සැලකෙන දකුණු කැලිෆෝර්නියාවේ විශ්ව විද්‍යාලයේ චිත්‍රපට පාසලට ඇතුල්වෙන්නට ස්පීල්බර්ග් තෙවරක්ම උත්සාහ කරත් එය සාර්ථක වූයේ නැහැ. අවසානයේ ලෝන්ග්බිච් හි කැලිෆෝර්නියා ස්්ටේට් (රාජ්‍ය) විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නට ඔහු සමත් වුණා. ඔහුගේ සිනමා ජීවිතය ආරම්භ වූයේ දවස් හතේම ගෙවීමකින් තොරව වැඩ කරන ආධුනිකයෙකු ලෙස යුනිවර්සල් චිත්‍රාගාරයේ සේවයට බැඳුණු දින සිටයි. එහිදී සංස්කරණ අංශයේ ආරාධිතයකු ලෙස ද වැඩ කරන්නට ඔහුට අවස්ථාව ලැබුණා. කෙසේ වෙතත් ස්පීල්බර්ග් ලෝක ප්‍රසිද්ධ වූ පසු ඔහුව ප්‍රතික්ෂේප කළ දකුණු කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලය ඔහුට ගෞරව උපාධියක් 1994 දී පිරිනැමුවා. 1967 දී අතරමග අධ්‍යාපනය අතහැර දැමූ ස්පිල්බර්ග් ඊට අවුරුදු 35 කට පසු 2002 දී ස්වාධීන ව්‍යාපෘති කිහිපයක් සම්පූර්ණ කරමින් කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ඔහුගේ උපාධිය ලබා ගත්තා. එම සරසවිය ඔහුට චිත්‍රපට නිෂ්පාදනය සහ විද්‍යුත් කලා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් පිරිනැමුවා.

රිදී තිරයට එක්වුණු ස්පීල්බර්ග් ගේ කුළුඳුල් චිත්‍රපටය වූයේ ද ෂුගර්ලැන්ඩ් එක්ස්ප්‍රස්ය. එය දුටු හොලිවුඩ් රිපෝටර් බලාපොරොත්තු තැබිය හැකි නවක අධ්‍යක්ෂවරයකුගේ ආගමනය ලෙස එය හැඳින් වූ නමුත් චිත්‍රපටය බොක්ස් ඔෆිස් සාර්ථකත්වයකට පත් නොවී සීමිත චිත්‍රපට ශාලා ගණනක පමණක් තිරගත වුණා.

1975 දී ස්පීල්බර්ග් ජෝස් අධ්‍යක්ෂණය කරන්නට අවස්ථාවක් ලැබුණා. පීටර් බෙන්චිලිගේ නවකතාවක් ඇසුරින් නිමැවුණු සංත්‍රාසය දනවන චිත්‍රපටයක් වූ මෙහි කතාව ගෙතුණේ අති විශාල මිනීමරු මෝරෙකු ගැනයි. වාණිජමය වශයෙන් අති සාර්ථක වූ ජෝස් ගැන ප්‍රේක්ෂක උන්මාදය මුද්‍රිත මාධ්‍යයන් හැඳින් වූයේ ජෝස්්මේනියා නමින්. එයත් සමඟ ස්පීල්බර්ග් නාමය ඇමරිකාවේ දොරින් දොර රැව් දෙන්නට පටන් ගත් අතර ඔහු ඇමරිකාවේ ලාබාලම කෝටිපතියෙක් බවට ද පත් වුණා. ජෝස් හි සාර්ථකත්වයෙන් සැලසුණු තවත් වාසියක් වූයේ එය ස්පීල්බර්ග්ට ඔහුගේ අනාගත ව්‍යාපෘතිවලදී සෑහෙන්න ආධිපත්‍යයක් ලබාදීමට සමත්වීමයි.

ස්පීල්බර්ග් පියාඹන පීරිසි, පිටසක්වල ජීවීන් ගැන චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පිඹුරුපත් සැලසුම් කළා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ක්ලෝස් එන්කවුටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ් (1977) චිත්‍රපටය එළි දුටුවා. මෙය චිත්‍රපටයක් ස්පීල්බර්ග් විසින්ම ලියා අධ්‍යක්ෂණය කළ ඉතා විරල අවස්ථාවක් ලෙස සටහන් කළා. ක්ලෝස් එන්කවුන්ටර්ස් සාර්ථක බොක්ස් ඔෆිස් වාර්තා තැබූ අතරම විචාරකයින්ගේද ප්‍රසාදයට ලක් වුණා. ස්පීල්බර්ග්ට හොඳම අධ්‍යක්ෂක සඳහා ඔස්කාර් සම්මානයට ප්‍රථම නිර්දේශ ලැබුණේ මෙම චිත්‍රපටයටයි.

මේ දෙවෙනි බ්ලොක්බස්ටරය (වාණිජමය වශයෙන් අති සාර්ථක වූ චිත්‍රපටය) ස්පීල්බර්ග් ගේ නැගීම ස්ථාපිත කළා. ඉතා විශාල වියදමක් දරා නිපදවුණු නිෂ්පල දෙවන ලෝක යුද්ධ ප්‍රහසනයක් වූ 1941 විචාරකයින්ගේ බලාපොරොත්තු බිඳ දමමින් අසාර්ථක වුණා.

මීළඟට ස්පීල්බර්ග් ස්ටාර් වෝර්ස් නිර්මාතෘ සහ ඔහුගේ මිත්‍රයෙකු වූ ජෝර්ජ් ලූකස් සමග අත්වැල් බැඳගත්තේ ක්‍රියාදාදම බහුල වික්‍රමාන්විත වූ ඉන්ඩියානා ජෝන්ස් මාලාවේ පළවෙනි චිත්‍රපටය වූ රේඩර්ස් ඔෆ් ද ලොස්ට් ආර්ක් නිර්මාණය කළා. නිර්භීත අවදානම් සහිත විර ක්‍රියාවල යෙදෙන පුරා විද්‍යාඥයකු වූ ඉන්ඩියානා ජොන්ස්ට පණ පෙව්වේ හැරිසන් ෆෝඩ්ය. මෙම චිත්‍රපටය හොලිවුඩ් ස්වර්ණමය යුගයේ නිමැවුණු වීරකතා මාලාවලට කරණු ලැබූ අනුමෝදනාවක් වැනි යැයි සැලකුණා. 1981 දී වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වූ මෙය ඔස්කාර් සම්මාන ගණනකට නිර්දේශ වුණා. අදටත් රෙඩර්ස් ඔෆ් ද ලොස්ට් ආර්ක් සැලකෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට ඉතිහාසයේ සුවිශේෂ තැනක් හිමි සිනමා කෘතියක් ලෙසයි.

ඊට වසරකට පසු ස්පීල්බර්ග් නැවතත් විද්‍යා ප්‍රබන්ධ සිනමාවට අවතීර්ණ වෙමින් ඊ. ටී. (එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල්) නිර්මාණය කළා. කුඩා දරුවෙකු සහ ඔහු සමග මිත්‍රවන පිටසක්වල ජීවියෙකු ගැන කතාව එයින් කියවුණා. එම පිටසක්වල ජීවියා වැරදීමකින් පෘතුවියේ දමා ඔහුගේ මව් යානය අභ්‍යාවකාශගත වෙනවා. ආපසු තම ජීවීන් සමග එක්වීමට ඔහු ගන්නා උත්සාහයත් කුඩා දරුවා ඊට සහයෝගය දක්වන අයුරුත් දක්වන අපූරු කතා පුවතක් වූ එය ඒ වන විට ලොව වැඩිම ආදායම්ලාභී චිත්‍රපටය බවට පත් වුණා. තවද එය හොඳම චිත්‍රපටය සහ අධ්‍යක්ෂණය ඇතුළුව ඔස්කාර් සම්මාන 9 ක් සඳහා නිර්දේශ වුණා.

ස්පීල්බර්ග්ගේ ඊළඟ වෘතාන්ත අධ්‍යක්ෂණය වූයේ රේඩර්ස් ඔෆ් ද ලොස්ට් ආර්ක් හි දෙවැනි කොටස වූ ඉන්ඩියානා ජෝන්ස් ඇන් ද ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටයයි. ඒ සඳහා ඔහු නැවතත් ජෝර්ජ් ලූකස් සහ හැරිසන් ෆෝඩ් සමඟ එකතු වුණා. පිටපත පිළිබඳව පැන නැගුණු ගැටළු රාශියක් හැරෙන්නට චිත්‍රපටය නිෂ්පාදනය සාමකාමීව කෙරුණු අතර මෙය සහ ස්පීල්බර්ග් ඒ වසරේම නිෂ්පාදනය කළ ග්‍රෙම්ලින්ස් චිත්‍රපටයේ ඇතුළත් වුණු ප්‍රචණ්ඩ දර්ශන හේතුවෙන් ඇමරිකාව තුළ චිත්‍රපට සඳහා වූ වයස් වර්ගීකරණය ජි ජි 13 (සමහර දර්ශන වයස 13 න් පහළ දරුවන් සඳහා සුදුසු නැත) අලුතෙන් හඳුන්වා දෙන්නට සිදු වුණා. මෙහි හරි අඩක් රූ ගැන් වුණේ ශ්‍රී ලංකාවේදීය.

1985 දී ස්පීල්බර්ග් ද කලර් පර්පල් තිරගත කළා. ඇලිස් වෝකර් විසින් රචිත පුලිටිසර් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විශිෂ්ට නවකතාවක් ඇසුරෙන් නිරමාණය වුණු මෙම චිත්‍රපටයෙන් කියවුණේ ඇමරිකවේ ආර්ථික අවපාත පැවැති කාලය තුළ අප්‍රිකානු අමෙරිකානු කාන්තා පරම්පරාවක් ගැනයි. වාණිජමය වශයෙන් අති සාර්ථක වූ මෙම චිත්‍රපටය විචාරකයින් පැසසුමට ලක් කළේ නාට්‍යමය ශෛලියේ චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට ස්පීල්බර්ග් සාර්ථකව අනුවර්ථනය වූ හැටියි.

1987 චීනය ලෝකයට විවෘත වීමට පටන් ගත් පසු ස්පීල්බර්ග්ට චීනයේ ෂැන්ග්හායි හී 1930 ගණන්වලට පසු රූපගත කළ ප්‍රථම ඇමරිකානු චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ භාග්‍ය ලැබුණා. ජේ. ජී. බැලාඩ් ගේ ස්වයං චරිතාපදානයේ අනුවර්තනයක් වූ එම චිත්‍රපටය එම්පයර් ඔෆ් ද සන් නම් වුණා. එහි ප්‍රධාන චරිත ජෝන් මැල්කොවිච් සහ ලාබාල ක්‍රිස්ටියල් බේල් රඟපෑවා. මෙයත් ඉහළ විචාරක ප්‍රතිචාර ලබමින් ඔස්කාර් සම්මාන ගණනක් සඳහා ද නිර්දේශ වූ නමුත් වාණිජමය වශයෙන් සැලකිය යුතු ආදායමක් ලැබීමට අපොහොසත් වූවා.

1989 දී ස්පීල්බර්ග් ඔහුගේ තුන්වන ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටය ද ලාස්ට් කෘසේඩ් නමින් අධ්‍යක්ෂණය කළා. එය හොඳ විචාර ලබමින් එම වසරේ ලොව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් වුණා.

ස්පීල්බර්ග් 1991 දී ද හුක් අධ්‍යක්ෂණය කළා. කලාවට අනුව මැදිවයේ සිටින පීටර් පැන් නැවතත් නෙවර්ලන්තය වෙතට පැමිණෙනවා. රොබින් විලියම්ස් එම චරිතය රඟපෑ අතර මිශ්‍ර විචාර මැද්දේ වුණත් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හිට් එකක් වුණා.

1993 දී ස්පීල්්බර්ග් නැවතත් වීරකතා සම්ප්‍රදායට හැරෙමින් මයිකල් ක්‍රයිටන් ගේ නවකතාවක් වූ ජුරාසික් පාක් රිදී තිරයට නැඟුවා. ජාන ඉංජිනේරු තාක්ෂණයේ පිහිටෙන් පෘතුවිය මත නැවත බිහි කළ ඩයිනසෝරයින්ගෙන් සැදුම් ලත් විනෝද උයනක් ගැන කියවුණු මෙම චිත්‍රපටයට ස්පීල්බර්ග් ගේ මිත්‍ර ජෝර්ජ් ලූකස්ගේ ඉන්ඩස්ට්‍රියල් ලයිට් ඇන්ඩ් මැජික් විසින් නිර්මාණය කෙරුණු ආශ්වර්යමත් විශේෂ ප්‍රයෝග ඇතුළත් වුණා. ලොව වටා තිරගත වී අවසානයේ මෙම චිත්‍රපටය එතෙක් ලොව වැඩිම ආදායම්ලාභී චිත්‍රපටය බවට පත් වුණා.

ස්පීල්බර්ග් ගේ ඊළඟ සිනමා කෘතිය වූ ෂින්ඩ්ලර්ස් ලිස්ට් දෙවැනි ලෝක යුද්ධ සමයේ යුදෙව් ජාතිකයක් 1100 කගේ පමණ ජීවිත බේරාගත් ඔස්කාර් ෂ්ලින්ඩර් නැමැති පුද්ගලයාගේ සත්‍ය කතාව ඇසුරෙන් නිර්මාණය වුණා. හොඳම අධ්‍යක්ෂණය සඳහා ස්පීල්බර්ග්ට පළවෙනි ඔස්කාර් සම්මානය ලබා දෙන්නට මෙම චිත්‍රපටය සමත් වුණා.

1994 දි ස්පීල්බර්ග් අධ්‍යක්ෂණයෙන් ටික කාලයකට බැහැර වී ඔහුගේ පවුල සමග වැඩියෙන් කාලය ගත කරන්නට තීරණය කළා. ඊට අමතරව ඔහුගේ නව චිත්‍රාගාරය වූ ඩ්‍රීම්වර්ක්ස් සමාගම ජෙෆ්රි කටිසන්බර්ගර් සහ ඩේවිඩ් ජෙෆන්ගේ සහයෝගයෙන් ගොඩ නැඟීමටත් ඔහු කාලය මිඩංගු කළා. 1997 දී ස්පීල්බර්ග් ජුරාසික් පාක් හී දෙවන කොටස වූ ලොස්ට් වර්ල්ඩ් නිමැ වූ අතර එයත් විශාල බොක්ස් ඔෆිස් ආදායමක් ඉපයුවා.

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වුණේ අප්‍රිකානු වහලුන්ගේ කැරැළි කණ්ඩායමක් ගැන කියවුණු සත්‍ය කතාවක් ඇසුරෙන් නිමැවුණු අමිස්ටාඩ්ය. හොඳ විචාරක ප්‍රතිචාර ලැබූව ද එය වාණිජමය වශයෙන් අසාර්ථක වුණා.

එම වසරේම ඔහුගේ තවත් චිත්‍රපටයක් වූ දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගත් සේවිං ප්‍රයිවෙට් රයන් තිරගත වුණා. ටොම් හෑන්ක්ස් විසින් නායකත්වය දුන් ඇමරිකානු සොල්දාදුවන් කණ්ඩායමක් ප්‍රංශයේදී අතුරුදහන් වුණ තවත් සොල්දාදුවකු (ඔහුගේ සහෝදරයන් තිදෙනාත් යුද්ධයෙන් මරු දැක තිබුණා) සොයා යන ගමනක් ගැන චිත්‍රපටයක් නිරූපණය කළා. මෙය විශාල ආදායම් වාර්තා ලැබූ අතර ස්පීල්බර්ට හොඳම අධ්‍යක්ෂණය සඳහා දෙවන ඔස්කාර් සම්මානයත් දිනා දෙන්න සමත් වුණා. මෙම චිත්‍රපටයේ පිළිබිඹු වුණු තාත්ත්වික යුද්ධ සටන් ප්‍රචණ්ඩත්වයෙන් ආභාෂය ලැබ පසු කාලයේ බ්ලැක් හෝක් ඩවුන් සහ එනිමි ඇට් ද ගේට්ස් යන චිත්‍රපට නිර්මාණය වුණා.

2001 දී ස්පීල්බර්ග් තම මිත්‍ර චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටැන්ලි කුබ්‍රික් ගේ අවසන් ව්‍යාපෘතිය වූ ඒ. අයි. (ආර්ෆිෂල් ඉන්ටෙලිජන්ස්) (තම ජිවිත කාලය තුළ එය ආරම්භ කිරිමට කුබ්‍රික්ට නොහැකි වූවා) රූගත කළා. අනාගතයේ සිදුවන කතාවක් වූ එය ආදරය ලබන්නට ඇලුම් කරන මානවරූපී රොබෝ පැටියෙක් ගැන කියවුණා. මෙය නව නිර්මාණශීලී දෘෂ්‍ය ප්‍රයෝග සහ බහු ස්තර ව්‍යාංගාර්ථයෙන් යුතු සිදුවීම් පෙලකින් සමන්විත සිනමා කෘතියක් වූවා. එය ස්පීල්බර්ග් විසින් අනුවර්තනය කරගෙන තිබුණා. ඇමරිකාව තුළ චිත්‍රපටයට තිබූ පිළිගැනීම මඳ වුවත් එය ලොව වටා වඩාත් සාර්ථක ලෙස තිරගත වුණා.

ස්පීල්බර්ග් සහ නළු ටොම් කෲස් මුල්වරට එකට වැඩ කරමින් නව කළු චිත්‍රපටයක් වූ මයිනොරිට් රිපෝටර් නිමැවූයේ පිලිප් ඩී ඩික් ගේ විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාවක් ඇසුරෙන්.

ස්පීල්බර්ග්ගේ 2002 චිත්‍රපටය වූ කැච් මී ඉෆ් යූ කැන් ගැටවර වංචාකාරයෙකුගේ නිර්භීත ක්‍රියාවලියක් ගැන නිර්මාණය වුණා. ලියනාඩෝ ඩි කැප්‍රියෝ ප්‍රධාන චරිතය රඟපෑ මෙම චිත්‍රපටය වාණිජමය වශයෙන් අති සාර්ථක වෙමින් විචාරක ප්‍රතිචාර ද නොඅඩුව දිනාගත්තා.

නැවතත් ටොම් හෑන්ක්ස් සමඟ එකතු වූ ස්පීල්බර්ග් මේ වර කැතරින් සිටා ජෝන්ස් සහ ස්ටැන්ලි ටුවිච් ද සම්බන්ධ කර ගනිමින් 2004 ද ටර්මිනල් නම් උණුසුම් කොමඩියක් අධ්‍යක්ෂණය කළා. නිව්යෝක් නුවර ගුවන් තොටුපලක සිර වෙන්නට සිදුවන අහිංසක නැගෙනහිර යුරෝපීය ජාතිකයෙක් ගැන කියවුණු කතාවකින් යුක්ත වූ මෙම චිත්‍රපටය මිශ්‍ර විචාර මධ්‍යයේ වුවද සැලකිය යුතු බොක්ස් ඔෆිස් ආදායම් උපයා ගත්තා.

2005 දී ස්පීල්බර්ග් එච්. ජී. වෙල්ස්ගේ නවකතාවක් වූ වෝර් ඔෆ් ද වර්ල්ඩ්ස් හී නූතන අනුවර්තනයක් අධ්‍යක්ෂණය කළේ ටොම් කෲස් සහ ඩැකෝටා ෆැනින් ප්‍රධාන චරිතවලට සහභාගි කර ගනිමින්ය. මෙහි විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග සපයන ලද්දේ ඉන්ඩස්ට්‍රියල් ලයිට් ඇන්ඩ් මැජික් ආයතනයයි. මෙහි ඊ. ටී. හෝ ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ් චිත්‍රපටවල මෙන් මිත්‍රශීලී පිටසක්වල ජීවින් නොසිටි අතර ඔවුන් මානව සංහතියට තර්ජනය කරන ප්‍රචණ්ඩ ජීවීන් වර්ගයක් වූවා. මෙයත් අති විශාල බොක්ස් ඔෆිස් හිට් එකක් වුණා.

1972 මියුනික් ඔලිම්පික් උළෙලේ සිදු වු අවාසනාවන්ත යුදෙව් ක්‍රීඩක සංහාරය ගැන ස්පීල්බර්ග් නිර්මාණය කළ ඊළඟ චිත්‍රපටය වූ මියුනික් යුදෙව් ජාතික සම්බන්ධතා ගැන ඔහු අතින් නිමැවුණු දෙවන චිත්‍රපටය වුණා. කැනේඩියානු ජාතික මාධ්‍යවේදියකු වූ ජෝර්ජ් ජෝන්ස්ගේ පොතක් ඇසුරෙන් සම්පාදනය වුණු මෙහි අනුගත වූයේ සත්‍ය කතාවක්. පලිගැනීම පිණිස සංහාරයට වගකිව යුතු පලස්තීන ජාතිකයින් සොයා මැරීමට යන ඊශ්‍රායල් ජාතික ත්‍රස්ත මර්දන කණ්ඩායමක සත්‍ය කතාව චිත්‍රපටයෙන් පිළිබිඹු වුණා. ඉතා හොඳ විචාරක ප්‍රතිචාර ලැබුවද මෙය වාණිජමය වශයෙන් අසාර්ථක වූවා. මේ චිත්‍රපටය අද වෙනතුරු ස්පීල්බර්ග් ගේ නිර්මාණ අතරින් වඩාත්ම ආන්දෝලනාත්මක නිර්මාණයක් හැටියට පිළිගැණෙනවා.

2008 දි ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ හතර වෙනි ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටය වූ ද කිංග්ඩම් ඔෆ් ක්‍රිස්ටල් ස්කල් තිරගත වුණා. එයත් ඉතා විශාල ආදායමක් උපයන්නට සමත් වුණා.

ස්පීල්බර්ග්ගේ චිත්‍රපටවල බොහෝ විට එකම තේමාව නැවත නැවතත් පුනරාවර්ථනය වන සැටි දැකිය හැකිය. බොහෝ විට ඒවායේ සිටින බොහොම සාමාන්‍ය චරිතවලට අසාමාන්‍ය දේවල් හෝ පුද්ගලයින් සොයා යෑම් හෝ ඔවුන් සමඟ සම්බන්ධයක් ඇති කර ගැනීමට සිදුවීම හෝ සාමාන්‍ය පුද්ගලයින් අසාමාන්‍ය අවස්ථාවලට මුහුණදීමට සිදුවන අකාරය ද ඔහුගේ චිත්‍රපටවලින් නිරූපණය කරනු ලැබුවා.

පවුලේ සැමට එකට රස විඳිය හැකි කතා තේමා චිත්‍රපටවලට යොදා ගැනීම ස්පීල්බර්ග්ගේ තවත් සුවිශේෂත්වයක්. ළමයින්ට වඩාත් සමීප තේමා, අරුම පුදුම දේ සහ භක්තිය ගැන ඇති සංවේදිතාව ඔහුගේ චිත්‍රපටවල බහුල වුණා. අහිංසකත්වය නැතිවීම සහ වැඩිවියට පත්වීම ඔහුගේ චිත්‍රපටවල චරිතවලට බොහෝ විට පොදු වුණා.

ස්පීර්ල්බර්ගේ ගේ සිනමාව තුළ නොකඩවාම පවතින තේමාවක් වන්නේ දරුවන් සහ දෙමාපියන් අතර සම්බන්ධවල ඇති ආතතියයි. දෙමව්පියන් (බොහෝ විට පියවරුන්) බොහෝ විට දරුවන්ගේ ජීවිත තුළ නැති නැතහොත් අදිමදි කරන එසේත් නැත්නම් අඥනයි (නොදැනුවත්), මෙම තේමාව ඔහුගේ චිත්‍රපටවලට ඔහුගේම ජීවිතයෙන් ඇතුළු වුණු දෙයක්. දෙමව්පියන්ගේ දික්කසාදය හේතුවෙන් කුඩා ස්පීල්බර්ග්ට පීඩා විඳින්නට සිදු වූ අතර ඔහුගේ පියාත් ඔහුගේ ජීවිතයේ වැඩිපුර සිටියේ නැහැ. තවත් හොඳින් නිරීක්ෂණය කළොත් ඔහුගේ චිත්‍රපටවල කතා නායකයාගේ දෙමව්පියන් බොහෝ විට දික්කසාද වූ අය වෙනවා. මුලදී පවුල් බෙදී වෙන් වූ බව පෙන්වන ඔහුගේ චිත්‍රපට බොහෝමයක අවසානයේදී පවුල එකට එකතු වෙනවා.

ඔහුගේ චිත්‍රපට බොහෝමයක් ස්වභාවයෙන්ම සර්වශුභවාදීයි. ඒවා අන්තය ඉක්මවා යන තරම් භාවතිෂ්‍ය බවට විචාරකයින් ඔහුට නිතර චෝදනා එල්ල කරනවා. නමුත් ස්පීල්බර්ග් සිතන්නේ එය වෙස්වලා චිත්‍රපටය තුළින් ඉදිරිපත් වෙනවා නම් එය කමක් නැති බවයි. ඔහුට මේ ආභාශය ලැබී ඇත්තේ ෆ්රැන්ක් කැප්රා සහ ජෝන් ෆෝඩ් වැනි අධ්‍යක්ෂවරුන්ගෙනි.

ස්පීල්බර්ග් එකම වෘත්තිකයක් සමග තම නිෂ්පාදන කටයුතුවල යෙදෙන බවට ගත හැකි ලෝක ප්‍රසිද්ධ උදාහරණය වන්නේ ඔහු සහ සංගීතවේදී ජෝන් විලියම්ස්ගේ සුසංයෝගයයි. ෂුගර්ලන්ඩ් එක්ස්ප්‍රස් සිට ඔහුගේ සෑම චිත්‍රපටයකම (ද කලර් පර්පල් සහ ටිවයිලටිරි සෝන් හැර) සංගීතය සැපයුවේ ජොන් විලියම්ස්ය. ස්පීල්බර්ග් ගේ ට්‍රේඩ්මාර්ක් එකක් වන්නේ ජෝන් විලියම්ස්්ගේ සංගිීතයයි. සමහර දර්ශන උද්දීපනය කිරීමට යොදා ගනිමින් එම දර්ශන සහ ඊට අදාල සංගීතය ප්‍රෙක්ෂකයින්ගේ මතකයේ සනිටුහන් කරන්නට ඔහුට ඇති හැකියාවයි. ස්පීල්බර්ග් අයත් වන්නේ නූතන සිනමාකරුවන් වන ජෝජ්ර් ලූකස්, ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා, මාර්ටින් ස්කෝසේසී, ජෝන් මිලියස් සහ බ්‍රයන් ඩී පැල්මාගෙන් සැදුම් ලත් සිනමා කොල්ලන් යන අනවර්ත නාමය ලත් කණ්ඩායමටයි.

සමහර විට බාහිර ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධම ජීවමාන සිනමාකරුවා වන ස්ටීවන් ස්පීර්ල්බර්ග්ගේ පුද්ගලික දක්මේ ඉතා සමීප බව නූතන වාණිජමය සාර්ථකත්වයට අවශ්‍ය අමුද්‍රව්‍ය සමඟ සංයෝජනය කිරීමෙන් ඉතා සාර්ථක ලෙස චිත්‍රපට නිර්මාණයේ යෙදෙන්නෙක්. ඔහුගේ අති සාර්ථකත්වය ගැඹුරු දැක්මක් ඇති වැදගත් සිනමාකරුවෙකු ලෙසට ඔහුට පිළිගැනීමක් ඇතිවීම ප්‍රමාද කළ නමුත් ස්පීල්බර්ග්ගේ නිර්මාණ ඒවායේ ප්‍රබල දෘශ්‍ය කැටයම් සහ සමස්ත ලෝකයම හඳුනාගත් භාවයත් සමඟින් විසි වන සියවසේ සිනමාවට නිත්‍ය වශයෙන්ම මහත් සේ බලපෑම් ඇති කළ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකියි. මේ කිසිවක් නැතත් ස්පීල්බර්ගේ චිත්‍රපට විශේෂ ප්‍රයෝග කලාවේ පුරෝගාමී වූවේ දෘශ්‍ය සහ ශ්‍රවණ අංශ දෙකෙන්මයි. තවද ප්‍රේක්ෂක ප්‍රතිචාර උකහා ගැනීම ගුප්ත හුරුබුහුටිකමක් එම ප්‍රයෝග සතු වූවා. ස්පීල්බර්ග්ගේ මේ සාර්ථකත්වය ඔහුගේ පරම්පරාවේ කිසිම සිනමාකරුවෙකුට නොහැකි තරමට සංස්කෘතික ව්‍යාපෘති සහ නොයෙකුත් මානව හිතවාදී සුභසාධන වැඩවල යෙදීමට ඔහුට නිදහස සපයා දී තිබෙනවා. ඔහු මේ සියලු කාර්යයන්වල නියැලෙන්නේ ලොව පුරා සිනාමලෝලීන්ගේ සිත් සතන් සනහන ලැබැඳි සිනමා නිර්මාණ ඔවුනට නිරන්තරයෙන් තිළිණ කරන අතරේදීමය.

ර්‍ථඡ්අඉර්‍ණව්ඒඹ් Qඋර්‍ණඊඡ්

මා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට යන්නට කලින් අනිවාර්යයෙන්ම බලන චිත්‍රපට හතරක් තිබෙනවා. ඒවා නම් සෙවන් සමුරායි, ලොරන්ස් ඔෆ් ඇෙරිබියා, ඉට්ස් අ වන්ඩර්ෆුල් ලයිෆ් සහ ද සර්වර්ස්ය.

වින්දන ආරියවංශ