වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




පළිඟු මැණිකේ අදත් ජනප්‍රිය අපේකම නිසයි

පළිඟු මැණිකේ අදත් ජනප්‍රිය අපේකම නිසයි

- සෝමවීර සේනානායක

පළිඟු මැණිකේ යනු මෙරට ටෙලි නාට්‍ය කලාවේ හැඩතල ගොඩනැගූ මුල්ම ටෙලි වෘත්තාන්තයන්ගෙන් එකකි. ධම්ම ජාගොඩ විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි තිර රචනය ප්‍රවීණ මාධ්‍යවේදී සෝමවීර සේනානායකගෙනි. පළිඟු මැණිකේ හා ධම්ම ජාගොඩ පිළිබඳ මේ සංවාදය සෝමවීර සේනානායකගෙනි.

* නිර්මාණකරණයේදී ධම්ම ජාගොඩ හා ඔබ අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙන්නේ කොහොමද?

අප හඳුනා ගන්නා විට ධම්ම නාට්‍යකරුවෙක් හැටියට නමක් දිනූ යුගය. ඔහු සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍යවල රඟපාමින් නමක් දිනා සිටියා. මම ලේක්හවුස් ආයතනයේ සිළුමිණ, සරසවිය, නවයුගය කර්තෘ මණ්ඩලවල සේවය කළා. ඔහු නිතර නාට්‍ය පිළිබඳ ලිපි පළ කර ගැනීමට ලේක්හවුස් ආයතනයට ආව ගියා. මම නාට්‍ය බලන්න ගිය අවස්ථාවල අපි එකට හමු වුණා. ඔය හමුවීම් අපිව මිත්‍රයෝ බවට පත් කළා. අපේ හමුවීම්වලදී අපි දෙන්නා අතර කලාව පිළිබඳ සංවාද ගොඩ නැඟුණා. ඒ සංවාද එකිනෙකට නොදැවැනි තර්ක විතර්ක බවට පත් වුණා. මේ නිසා අපේ මිත්‍රත්වය පෞද්ගලිකව ගොඩ නැඟුණ එකක් නොවෙයි. අපි දෙන්නා යෙදී සිටි කලා මාධ්‍යය ඔස්සේ තමයි මේ මිත්‍රකම ඇති වුණේ. එවක ධම්ම ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයේ පාඨමාලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. ඒ නිසාම අපි නිතර ඔහු යෙදී සිටි මාධ්‍ය පැත්තෙනුත් මම යෙදී සිටි මාධ්‍ය පැත්තෙනුත් එකට හමු වුණා. මමත් ධම්මත් මහගමසේකරයන් ළඟින් ඇසුරු කළා. අපි තුන් දෙනා මාධ්‍ය තුනක නියෝජනයක්. සමහර දවස්වල සවස් යාමයේ අපි තුන් දෙනා එකට හමු වී තර්ක විතර්ක කරමින් කාලය ගත කළා.

* ඔය ඇති වෙන මිත්‍රකමද පළිඟු මැණිකේ තිර පිටපත ලියවෙන්න හේතු වෙන්නේ?

රූපවාහිනිය බිහිවීමත් සමඟ ටෙලි නාට්‍ය කලාවක් ඇති වුණේ නැහැ. මම මේ පළිඟු මැණිකේ තිර පිටපත ලිව්වේ 1984 දි. පළිඟු මැණිකේ නාට්‍යයක් වශයෙන් රූපවාහිනියේ විකාශය වුණේ 1985 දී.

* කාගේ යෝජනාවක් අනුව ද ඔබ මේ පළිඟු මැණිකේ තිරපිටපත ලියන්නේ?

ඒ කාලයේ මම ලේක්හවුස් එකේ සේවය කරද්දී මම නවකතා රචනයේත්, චිත්‍රපට තිර රචනයේත් යෙදුණා. එතකොට ධම්ම තමයි යෝජනා කළේ ටෙලි නාට්‍යයක් ලියමු කියලා. නමුත් ඔහු ඒ ආරාධනය කරන විටත් මම රූපවාහිනියට ඒකාංගික ටෙලි නාට්‍ය පිටපත් කීපයක් ලියලත් තිිබුණා. රූපවාහිනියෙන් විකාශය වෙලත් තිබුණා. වෙසක් උත්සවයක් වෙනුවෙන් ආචාර්ය සාලමන් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ වෙසක් පහන ඒකාංගික නාට්‍ය. කොහොමත් ඒ වෙන කොට මමත් රූපවාහිනියත් අතර සම්බන්ධයක් ගොඩ නැගිලයි තිබුණේ.

* ධම්ම ජාගොඩ ඔබට පැවසුවාද පළිඟු මැණිකේ කතා වස්තුව මෙහෙම වෙන්න ඕනෑ කියලා?

නැ. මොකුත්ම කිව්වේ නැහැ. ඔහු කිව්වේ අපි ටෙලි නාට්‍යයක් කරමු කියන එක විතරයි. ඒ වෙන කොට රූපවාහිනියේ නාට්‍ය අංශයේ ප්‍රධානියා වුණේ ධම්ම ජාගොඩ. අවශ්‍ය පරිදි තීරණ ගන්න එවක එහි සභාපතිව සිටි එම්. ජේ. පෙරේරා වැඩ සටහන් අධ්‍යක්ෂ වුණේ හෙන්රි ජයසේන. ඒ වගේ අපි දන්න කියන ඉහළ පෙළේ කලාකරුවෝ කිහිප පලක්ම හිටියා.

* ඔබේ කැමැත්තට පළිඟු මැණිකේ තිර පිටපත ලිව්වත් ඒ සඳහා අනුමැතිය ලැබුණාද?

මම කතාව හා චරිත ගොනු කරගෙන ධම්ම හා කතා කළා. පළිඟු මැණිකේ තිර පිටපත කීප වතාවක් ලිව්වා. අපිට අලුත් අදහස් ආවා. ඒවා අපි වරින්වර සංශෝධනය කළා.

* ඔබ තුළම උපදින පළිඟු මැණිකේ කතා වස්තුවේ මුල්ම බීජය සැබෑ සමාජයේ සත්‍ය සිද්ධියක්ද?

ඒක මෙහෙමයි. මම ලේක්හවුස් එකේ රාජකාරි කරන කාලයේ බොහෝ කැමැත්තක් දැක් වූවා විවේක දවස්වල ඈත ප්‍රදේශවලට ගොස් කාලය ගත කරන්න. ඈත ප්‍රදේශවල හිටියා මගේ විශ්ව විද්‍යාල මිත්‍රයෝ, පත්තරය නිසා හඳුනා ගත්ත අය. ඒ අයත් හරිම කැමතියි මම එනවට. අපි ඒ ප්‍රදේශවල ඇවිදින්න ගියා. මම එහෙම ගියේ ටෙලි නාට්‍ය කලාවක් ගැන හිතල නෙමේ. මගේ විනෝදාංශයට. එහෙම ගිහින් පත්තරයට ලිපි ලිව්ව අවස්්ථාත් තිබුණා. ඔය ගිය එක අවස්ථාවකදී අනුරාධපුරයේ එක්තරා පාලු ප්‍රදේශයක තුංමං හන්දියක් ළඟ මම රැඳී හිටියා ඒ පැත්තේ මිත්‍රයෝත් සමඟ. ඒ අවස්්ථාවේ පැය තුනකට සැරයක් ඒ ප්‍රදේ්ශයෙන් යන බස් එකෙන් බැස්සා ගමට නුහුරු මිනිහෙක්. කැසට් එකක් අතට ගත්තු සිගරැට් එකක් පත්තු කර ගත්තු මේ මිනිහා දිහා මම බලන් ඉන්න කොට මට තේරුණා ඔහු මේ ප්‍රදේශයට නොගැලපෙන කෙනෙක් බව. එතන කඩයක් තිබුණා. ඒ කඩය ළඟ තමයි මම හිටියේ. ඒ කඩෙත් මගේ අවධානයට ලක් වුණා. ගමේ කඩේ වුණත් නිදහස් ආර්ථිකයට යට වෙමින් විවිධ බඩු කඩේට එමින් තියෙනවා කියන දේ පේන්න තිබුණා. නිදහස් ආර්ථිකය කඩේට රිංගලා කියන දේ මට හොඳට තේරුණා. අර ම්නිහා දැක්ක කඩේ හිටිය දෙන්නෙක් ආන් අරූ ඇවිත්, ගම ඉවරයි කියන වචන ටික කිව්වා. එයින් මම දැනගත්තා මෙයා ගමේ හිටිය කෙනෙක්, ආයේ කාලෙකට පස්සේ ගමට ඇවිත් ආයෙත් විනාශයක් ගමට කරයි කියලා.

* ඔබ දකින වස්තු බීජය කොයි අකාරයෙන්ද තිර පිටපතට යොදා ගත්තේ?

ඒ වකවානුවේ විවෘත අර්ථිකය ගැන මහා ලොකුවට කතා කරමින් හිටිය කාලයක්. මම සූරසේනගේ චරිතය ගමට ආගන්තුක පුද්ගලයාට යොදා ගත්තා. ගමේ කඩේට පොඩි අප්පුහාමිගේ කඩේ යොදා ගත්තා. මේ සිද්ධිය තුළ මම ප්‍රධාන ගැටුම් පහක් විතර සම්බන්ධ කරගත්තා. නිදහස් ආර්ථිකයක් සමඟ පවුල් ජීවිතය දෙදරවීම, තරුණ සමාජය වෙනස් වීම, සංස්කෘතිය විකිණීම, සම්පත් විනාශ කිරීම මේ කාරණාවලට සූරසේනගේ චරිතය මම ගළපා ගත්තා නාට්‍යයට ඕන විධියට.

* ඔබ මෙහි දෙබස් පවා හරි අපූරුවට සමාජගත කිරීමක් සිද්ධ කළා?

නිදහස් ආර්ථිකය නිසාවෙන් ඉක්මනින් මුදල් ඉපයීම කියන දේ සමාජ ගත වෙමින් තිබුණා. සූරසේනට දෙබසක් ලිව්වා පට් පට් ගාලා සම්තින් එකක් හොයා ගන්න කියන දේ සමාජ ගත කළේ එහෙමයි. මගේ මේ විග්‍රහයත් මත තිර පිටපත සකස් කරලා ධම්මට දුන්නම ඔහු ගොඩක් සතුටු වුණා. අපි නිකම්ම නාට්‍යයක් නොවෙයි අර්ථ සම්පන්න නාට්‍යයක් හදමු කියලා. ඒ එක්කම මම මේ කතාව තුළ ගොඩනැඟුවා මේ සඳහා ගොඩ නැගෙන විරුද්ධ බලවේග සඳහා චරිත කීපයක්. ගුරුන්නාසේ, පන්සලේ හාමුදුරුවෝ, විදුහල්පතිතුමා, වෙද මහත්තයා ඒ ඔක්කොම චරිත බවට පත් කළා. නගරයේ සුවඳ වෙනුවට මම පන්සලේ සුවඳ සමාජගත කරන්න මේ නාට්‍ය අවස්ථාවක් කොට ගත්තා. ඇත්තෙන්ම මගේ අභිප්‍රාය සාර්ථක වුණා.

* විශාල පෙලඹවීමක් සමාජගත කරන්නත් ඔබේ මේ නාට්‍යයට හැකි වුණා?

ඔය වකවානුවේ හැම නිවෙසකම රූපවාහිනි නෑ. තියෙන තැනකට ගමම එක් රොක් වී සියලු දෙනා නරඹපු යුගයක්. විදුලිය නැති නිවෙස්වල බැටරියෙන් රූපවාහිනිය නරඹන කාලයක්. මට මේ නිර්මාණයට එක් කළ චරිත අපේ ගමේ සමාජයේ තිබුණු චරිත. බලන කෙනාට ඒක අපේම දෙයක් වුණා. මෙන්න මේ අපේකම මේ නාට්‍යය වඩාත් ජනප්‍රිය කරන්න හේතු වුණා.

* පළිඟු මැණිකේ නාට්‍ය සඳහා නළු නිළියන් තෝරා ගැනීමේදී වැඩි වශයෙන් නළු නිළියන් නොවන අය ද වැඩිපුර රඟපෑවේ?

මේ නාට්‍ය පුරාවට සමූහ දර්ශන ගොඩක් තියෙනවා. ඒ දර්ශනවල ඇත්තෙන්ම රඟපෑවේ ඒ රූපගත කිරීම් කළ ප්‍රදේශවල ජනතාව. ධම්ම තුළ විශ්වාසයක් තිබුණා අපේ ජනතාවට රඟපෑම කියන දේ අමුතුවෙන් උගන්වන්න ඕනෑ නැහැ කියලා. ඒ බව ධම්ම හරි අපූරුවට පළිඟු මැණිකේ හරහා රටට පෙන්නුවා. මේ නාට්‍යයේ සූරසේනගේ නංගි පොඩි අප්පුහාමිගේ දුව ඒ වෙන කොට නිළියෝ නොවෙයි. නමුත් ධම්ම තුළ තිබුණු කෙනෙකුගේ හැකියාව හඳුනා ගැනීමේ විනිවිදභාවය නිසාවෙන් ඔහු හරි අපූරුවට ගැමිකම තුළ ඇති රංගනය විද්‍යුත් මාධ්‍ය හරහා පෙන්නුවා. රංගන කුසලතා පිළිබඳ ධම්ම තුළ විශාල ජාලයක් තිබුණා. ඔහුගෙන් ගුරුහරුකම් ලැබූ විශාල ශිෂ්‍ය පිරිසක් විවිධ ප්‍රදේශවල විසිරී සිටියා. මේ නාට්‍යයට චරිත හොයන්න මමත් ධම්මත් බොහෝ දුර බැහැර ප්‍රදේශවල සංචාරය කළා. පස්සර, බදුල්ල, ගාල්ල, පාසල් නාට්‍ය තරග බලන්න ගියා. මේ ගමන්වලින් අපිට ඕනෑ කළේ මේ සඳහා සම්පත් දායකත්වයක් ලබා ගන්න. ඒ නිසාවෙන් අපේම නාට්‍ය කලාවක් කියන දේ මිනිස්සු තුළ ඇති වුණා.

* පළිඟු මැණිකේ මේ වෙනකොට වාර ගණනාවක් විකාශය වෙලා තියෙනවා?

1985 මාර්තු මස 16 වැනිදා ඉඳලා 1985 අගෝස්තු මස 13 වැනිදා දක්වා සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30 ට මෙය රූපවාහිනියෙන් විකාශය වුණා. කොටස් දහ අටකින් යුතු මේ නාට්‍ය මේ වන විට දස වතාවක් විතර රූපවාහිනියෙන් පෙන්නලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම පරම්පරාවෙන් පරම්පරාවට මේක අලුතින් රස විඳලා තියෙනවා. මේ අයුරින් පවතින නාට්‍යයක් කරන්න ලැබීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

* පළිඟු මැණිකේ කියන නම ඔබේ යෝජනාවක්ද ධම්මගේ යෝජනාවක්ද?

නාට්‍යයේ චරිතවල නම් සියල්ල මගේ. මම හැම නාට්‍යකම නම් දාන්නේ හේතුවක් ඇතුව. නාට්‍යයේ චරිත ලක්ෂණය අනුව මතුවන විදියට තමයි මම නම් දාන්නේ. නම් දානකොට මම විශේෂයෙන් ළමයෙකුට නමක් දාන කොට වගේ ගණ බලනවා. අදටත් මම ඒ දේ කරනවා. ඒ මගේ දරුවොනේ. මගේ අනෙක් නාට්‍යවලත් මම නම් දාලා තියෙන්නේ ඒ විධියට. මේ නාට්‍යයෙත් සූරසේන, විජේපාල, මැණික්හාමි ඒ නම් දැම්මෙත් එහෙම. නාට්‍යයට මුලින් මම දැම්මේ මැණික්හාමි කියලා. පස්ස් මට කල්පනා වුණා පළිඟු මැණිකේ කියලා දැම්මොත් ඊටත් හොඳයි කියලා. මම නමක් දැම්මොත් ඒක ධම්ම වෙනස් කරන්න උත්සාහ කළෙත් නැහැ. එයත් දැන හිටියා මම හේතුවක් උඩයි නම දාන්නේ කියලා.

* ඔබ තුළ නිර්මිත චරිතවලට සැබෑ ලෙසම නළුවෝ සාධාරණයක් ඉෂ්ට කළාද?

මට වචනවලින් සටහන් කර ලියන්න බැරි කොටස් අධ්‍යක්ෂ මාත් සමඟ සාකච්ඡා කරලා ඒ දේ අධ්‍යක්ෂ සිතින් මවාගෙන නළුවෝ හැසිරවීම සිද්ධ කළා. මමත් ධම්මත් හික්කඩුවේ හෝටලයක නැවතිලා මේ නාට්‍ය කරන්න කලින් චරිත ගැන සාකච්ඡා කරමින් හැදෑරීමක් කළා. සමහර අවස්ථාවලදී ධම්ම ඒ දෙබස් කියමින් රඟපෑ අවස්ථා තිබුණා. නළුවෝ වුණත් ඒ වන විට විශාල වශයෙන් රූපවාහිනියේ රඟපාලා අත්දැකීම් ලබපු අය නෙවෙයි. හැම කෙනෙක්ම උපරිම කැප කිරීමක් මේ සඳහා ලබා දුන්නා. අද ජැක්සන්ලා, ශ්‍රියන්තලා නෙවෙයි එදා හිටියේ. මේ අය ඒ කාලයේ ඉතාම තරුණ උදවිය. කොටින්ම කියනවා නම් රෝහණ බැද්දගේ කළ මැණික්හාමි ගුරුන්නාන්සේගේ චරිතය කරන්න කෙනෙක් ලංකාවේ නැහැ. එතන ඔහු කරපු රඟපෑම නිකම් රඟපෑමක් නොවෙයි. ඔහු අපිත් එක්ක ගිහින් අම්බලන්ගොඩ ආරියපාල ගුරන්නාන්සේ ළඟ කැටයම් කපන හැටි ඉගෙන ගත්තා. ඒ ගුරුන්නාන්සේ පණ වගේ ආදරය කරපු වෙස් මුහුණු සියල්ල අපිට දුන්නා ඒ කාලය තුළ කැමරා ගත කරන්න. නළු නිළියෝ කවුරුත් උපරිම කැප කිරීම් සිද්ධ කළා.

* නාට්‍ය රූපගත කරන අවධියේ ඔබලා අතර අපූරු පුරුද්දක් තිබුණා නොවේද?

ඒක ධම්මගේ අදහසක්. හැමදාම රූපගත කිරීම අරඹන්නට පෙර සියලු දෙනාම එක තැනකට එකතු වෙලා පොල් තෙල් පහනක් පත්තු කරලා අතින් අත යවනවා. අන්තිමට හිටිය කෙනා එය උස් තැනක තියලා සියලු දෙනා වඳිනවා. කාට හරි කියන්න පුළුවන් එය මිත්‍යාවක් කියලා. ඒත් ඒ තුළින් ගොඩ නැඟුණු සාමුහිකත්වය කා තුළත් තිබුණා සාර්ථක වේවා කියන සිතුවිල්ල. කොටින්ම කියනවා නම් මේ ටෙලි නාට්‍යයේ සූරසේනව අල්ලන්න එන්නේ ඇත්තම පොලිස් නිලධාරින්. හික්කඩුව, රත්ගම පොලීසිවල නිලධාරින් තමයි ඒ සඳහා රංගනයෙන් එක් වුණේ. ජීප් රථ සපයමින් ආයුධ සපයමින් අපිට මේ සඳහා දායකත්වයක් දුන්නා. හැම කෙනෙක්ම පුදුම කැප කිරීමක් කළා මේ නාට්‍යය සාර්ථක කරගන්න.

* පළිඟු මැණිකේ කරන්න ගිහින් සමූහයක් ඔරුවක් පෙරලී ජීවිතයත් මරණයත් අතර සටන් කළ සිද්ධියක් පවා සිදු වුණා නොවේද?

මමත්, ධම්ම ජාගොඩත්, රෝහණ බැද්දගේත්, හීනටිගල ප්‍රේමදාසත් අපිට උදව්වට ඇවිත් හිටිය ලූෂන් බුලත්සිංහලත් අපි කට්ටිය ඔරුවකින් ගියා හික්කඩුවේ තලාගස්දෙනිය කලපුවේ කැලෑබද ප්‍රදේශයක නිධන් ගන්න තැනක් කැමරා ගත කරන්න ලොකේෂන් බලන්න. ඒ යන කොට විශාල හුළඟක් ඇවිදින් වතුර කැලඹිලා ඔරුව සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරුණා. අපි සියලු දෙනාටම ඔරුකඳ බදාගන්න පුළුවන් වුණ නිසාවෙන් අපේ ජීවිත වතුරේ නොගිලී බේරුණා. තොටියා අපිව දාල පීනුවා. කොහොම හරි අපි ඔරු කඳ බදාගෙන කෑගහන කොට සංචාරකයෝ ගෙනියන බෝට්ටුවක හිටිය විදේශිකයෝ දුර බලන කණ්ණාඩියකින් අපිට වෙලා තියෙන විපත දැකල අපිව බේර ගන්න ආවා. කොහොම හරි පළිඟු මැණිකේ නාට්‍ය සඳහා අපි ගිලුණා.

* ඔබගේ පළමු ප්‍රසාංගික ටෙලි නාට්‍යය තිර රචනය පළිඟු මැණකේද?

ඔව්.

* ඔබගේ පළමු ප්‍රසාංගික ටෙලි නාට්‍ය තිර රචනය මෙතරම් ජනප්‍රිය වෙන කොට ධම්ම ඔබට ආරාධනා කළේ නැද්ද තවත් නිර්මාණයක් වෙත යන්න?

ආරාධනා කළා. මිහිකතගේ දරුවෝ අපි දෙන්නා එකතු වෙලා කළා. ඊළඟට තව එකක් ලියමින් සාකච්ඡා කරමින් ඉන්න කොට තමයි ධම්ම හදිසියේ වියෝ වුණේ. ඒ ලියමින් හිටිය නාට්‍යය මට ඉවර කරලා කාටවත් අද වෙනකන් දුන්නෙත් නැහැ. ධම්ම ඒ සඳහාත් මාත් එක්ක ගොඩක් වෙහෙසුණා. ඒ නිසාවෙන් මම ධම්මට ගරු කිරීමක් වශයෙන් ඒ නිර්මාණ පිටපත මගේ සිත තුළම තබාගෙන ඉන්නවා.

* ඔබගේ නිර්මාණ කාර්්‍යයයට ධම්ම ජාගොඩ කියන චරිතය කොයි ආකාරයෙන් ද ඉදිරියට දායක වුණේ?

ධම්ම කලාතුරකින් හමුවන උගතෙක්. නාට්‍ය කලා විෂය පමණක් නොව හුඟක් විෂයන් පිළිබඳ කියවීමෙන් හැදෑරීමෙන්, අසා සිටීමෙන් හොඳ බුද්ධියක් ලැබූ කෙනෙක් තමයි ධම්ම. ඔහුගේ ඒ දැනුමෙන් මාවත් පෝෂණය කළා. ඕනෑම විෂයක් පිළිබඳ කතා කරන්න ඔහුට යම් දැනුමක් තිබුණා. ඉංග්‍රීසි, සිංහල භාෂාව පිළිබඳ ඔහුට හොඳ දැනුමක් තිබුණා. ඔහු ලබන අලුත් දැනුම මාත් එක්ක නිතර බෙදා ගත්තා. මටත් ඒ දැනුම ලබාගන්න නිතර පෙලඹවීම් සිද්ධ කළා. කරනු ලබන කාර්යයට පුදුම කැප කිරීමක් කරනවා. ඒ දේට මමත් රුචි කළා. මට ඒ වගේ කැප කිරීමක් කළ පුද්ගලයෝ දෙන්නයි අද වෙන කොට හමු වෙලා තිනේනේ. එක් කෙනෙක් ධම්ම. අනිත් කෙනා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා.

* ඔබ මෙතෙක් නිර්මාණය කළ සියලු තිර පිටපත් ඔබගේම ස්වයං තිර පිටපත් ද නැත්නම් වෙනත් ආභාෂයක හෝ පෙළඹවීමක් මත ලියවූවක්ද?

වැඩි හරියක් මගේ සංකල්ප. එහෙම නොවන තිර රචනා කීපයක් තියෙනවා. චරිත තුනක්, ගිරය, අම්මයි තාත්තයි, සිටුවරයෝ, වෑකන්ද වලව්ව ආදිය මම වෙනත් අයගේ නවකතා කෙටි කතා ඇසුරු කරගෙන ලිව්ව තිර රචනා. එහෙම මම කාගේ හෝ නිර්මාණයක් ඇසුරින් තිර පිටපතක් ලිව්වා නම් ඒ බව මම පැහැදිලිවම සඳහන් කරලා ඇති.

* පළිඟු මැණිකේ නිර්මාණයේදී ඔබ චරිත නම් කළා පමණද? ධම්මම නළු නිළියන් තෝරා ගැනීම කළාද?

අපි දෙන්නා කළේ මුලින් තිර රචනය ලියා අවසන් කරන එක. මුලින් නළුව හොයාගෙන චරිතය ලිව්වා නෙවෙයි. අපි කළේ චරිතයට නළුවෙක් හෙව්වා පමණයි. ශ්‍රියන්ත, ජැක්සන් එහෙම එවක රඟපෑ නාට්‍ය අපි බලන්න ගිහින් තමයි ඔවුන්ව මේකට සම්බන්ධ කර ගත්තේ. මම තිර පිටපත ලියන අවධියේ පුද්ගලයෙක් ගැන හිතලා නොලිව්වත් එහෙම ලිව්වා නම් රෝහණබැද්දගේත් සතිස්චන්ද්‍ර එදිරිසිංහත් ගැන විතරයි සලකන්න තිබුණේ.

* ඔබ මේ නාට්‍ය හරහා අපූරු වදන් මාලාවන් කීපයක් සමාජගත කරනවා?

එතෙක් සමාජයේ නොතිබුණු වචනයක් තමයි මම ටිකක් මොඩ් කළේ. අපි කියනවානේ වැඩක් කරන්න ගියහම පට පට ගාලා කරන්න කියලා. මම ඒක ටෙලි නාට්‍යයේ පිටපතට අල් කලා පට් පට් ගාලා කියලා. කීයක් හරි හොයාගන්න ඕනේ කියන එක සමාජයේ තිබුණු දෙයක් මම සම්තින් කළා. පට් පට් ගාලා සම්තින් හොයනවා කියලා.

* දශක තුනකටත් වැඩි කාලයක් ඔබ අතින් නිර්මාණය වෙන ටෙලි නාට්‍ය තිර රචනයක් ඇයිද මේ අයුරින් දිගු කලකට පසු පොතක් ලෙස නිකුත් කරන්න හිතුවේ?

තිර රචනා කලාව අලුතින් ඉගෙන ගන්න කැමති තරුණ පිරිසක් සිටිනවා. ඒ අය නිතර මට ඇවිටිලි කරනවා මගේ තිර රචනා මුද්‍රණය කරනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, හොරණ ශ්‍රීපාලි විශ්ව විද්‍යාලයේ තිර රචනා කලාව දරුවන්ට උගන්වනවා. ඒ අයට ඉගෙන ගන්න ගොඩක් පහසුයි කියා මගේ තිර රචනා මුද්‍රණය කරන්න කියලා ඉල්ලා හිිටිනවා. මේ නිසාවෙන් මම ඒ ඉල්ලීම් සලකා බලලා කොටස් 18 ක පළිඟු මැණිකේ පිටු 408 ක පොතක් වශයෙන් එළි දක්වන්න තීරණය කළා. තිර රචනා හැදැරීමට අවශ්‍ය පිරිස් මගේ ශෛලියට තියෙන කැමැත්ත නිසාවෙන් මාව මේ සඳහා වඩාත් පෙළඹවීමක් සිද්ධ කළා. මගේ අනෙක් තිර රචනාත් ඉදිරියේදී මේ අයුරින් පොතක් ලෙස එළි දක්වන්නත් මගේ අදහසක් තියෙනවා.

* එදා අසූව දශකයේ ඔබ ටෙලි නාට්‍ය හරහා කතා කළ දේ විවෘත ආර්ථික රාමුව තුළ අදටත් සමාජය තුළ කෙරීගෙන යනවා?

කැලෑ කපන එක, නිධන් හාරන එක, තරුණ පෙළ මොඩ් කිරිම, සංස්කෘතිය විකිණීම, කෞතුක බඩු විකිණීම, පළිඟු මැණිකේ හරහා අපි සංකේතාත්මක සිද්ධි භාවිත කළා ඉරි තැලුනු ලෝකයකට යන්න හදන්නේ කියලා පෙන්වන්න. පළිඟු මැණිකේ පිංකම පොලට යන්න ලක ලෑස්ති වෙලා මුණ බලන කණ්ණාඩිය අපි බිඳලා ඉරිතලා යන්න හදලා පසුව ගෙදර අයට අලුත් එකක් අරන් දුන්නා.

* පළිඟු මැණිකේ නම එවක රට පුරා ජනප්‍රිය නමක් වුණා?

මට මතකයි නාට්‍යයේ තිබුණු පොඩි අප්පුහාමිගේ කඩේ ලඟ පාරේ ඒ දවස්වල දිව්ව ප්‍රයිවේට් බස් එකක හතර පැත්තේම ගහලා තිබුණා පළිඟු මැණිකේ ටුවර්ස් කියලා. තෙල්වත්ත පන්සලේ තමයි රූපගත කිරීම් කළේ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ සිවුරු ඇදලා හැංගිලා හිටියේ එළියට ආවොත් මිනිස්සු වඳිනවා කියලා.

මුලින්ම කොටස් ටිකක් පටිගත කරලා විකාශය වෙන්න පටන් ගත්තට පස්සේ ධම්මට ඕනෑ කළා ප්‍රතිචාර බලන්න. දවසක් මමත් ධම්මත් ගාල්ල යන පාරේ බස් එකකට නැග්ගා ශ්‍රියන්තත් ජැක්සන්වත් එක්ක. අපි කවුද කියලා මිනිස්සු දන්නේ නැහැ. ශ්‍රියන්ත ජැක්සන් වට කරගත්ත මිනිස්සු සීට්වලින් නැගිටිනවා. සීට් දෙන්න හදනවා. සූරසේන ගැන ශ්‍රියන්තගෙන් අහනවා. විජේපාල ගැනත් එහෙමයි. කොහොම හරි එදා බස් එක පුරාවටම පළිඟු මැණිකේ සම්මන්ත්‍රණයක්. ඒ දවස්වල මැණිකේ අත්තනායකව නමින් නෙමේ මිනිස්සු හැඳින් වූණේ පළිඟු මැණිකේ කියලා. ශ්‍රියන්තව හැඳින් වූයේ සූරසේන කියලා. ජැක්සන්ව හැඳින් වුණේ විජේපාල කියලා. මම හිතන්නේ ඒ තත්ත්වය සමහර විට අදටත් ඒ අයට එහෙම ආමන්ත්‍රණය කරන අය ඉන්නවා.