වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

මේ සුවඳට මං ආසයි

‘ෆ්‍රීමන් උන්නැහේ ඔය වැව් බැම්ම දිගේ ඇවිත් මගේ බඩ මිරිකලා ඇහැව්වා කොල්ලා උඹ බයියං කෑවේ නැද්ද කියලා. සුද්ද උනාට මිනිහා අපේ මිනිස්සුන්ට ආදරේ කළා'

පැහැදිලි ස්වරයෙන් අත්තා කතා කරනු මානවීට ඇසුණේ සිහිනයක් මෙන්ය. ඇය එයට ටික වේලාවක් කන්දී උන්නාය. අනතුරුව ඇය ඇඳෙන් බිමට බැස්සාය. රෑ ඇඳුමට පිටින් ගවුමක් දාගත් ඇය කාමරයෙන් එළියට ආවාය. අම්මා තද නින්දේය. ඈ එම නින්දෙන් ඇහැරෙන්නේ පාන්දරය. සාලයේ දැල්වුණු විදුලි පහනේ ආලෝකය පැතිර ගොස් තිබිණ. ගෙයි ඉදිරිපස කාමරය ද විවෘතව ඇත. එහි නිදා ගත්තේ රවිඳුය.

ගෙයි ඉදිරිපස දොර විවෘතව ඇති බැවින් මානවී එදෙසට ගියාය. ගෙයි මිදුලේ සේපාලිකා මල් ගස ළඟ බංකුවක අත්තා අසුන්ගෙන සිටියි. ඔහුට යාබදව කතාව අසා සිටින්නේ රවිඳුය.

සඳ එළිය ගලා විත් මිදුල දෝවනය කර තිබිණි. උඩුකය නිරුවත්ව අත්තා ළඟ අසුන් ගෙන සිටින රවිඳුගේ දේහ විලාසය සඳ එළියේ ඔපවත්ව කදිමට පෙනිණ. ෆ්‍රීමන් මහත්තයා යයි අත්තා කියන්නේ අනුරාධපුරයේ සිටි සුදු ජාතික දිසාපතිවරයෙකි. ගමෙන් ගමට ගොස් මිනිසුන්ගේ දුක සැප කුමන්දැයි විමසීම ෆ්‍රීමන්ගේ සිරිත විය. තමා දරුවකුව සිටියදී ෆ්‍රීමන් ගමට ආ විටක තම කුස අත ගා බත් කෑවාදැයි ෆ්‍රීමන් ඇසූ පුවත අත්තාගේ අතීතාඩම්බර කතාවල ජනප්‍රිය එකකි. ෆ්‍රීමන් දිසාපතිකම අතහැර මහජන ඡන්දයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වූ අනුරාධපුරයේ ප්‍රභූවරයකු ඉහළම ඡන්ද ගණනකින් පරාජය කරමිනි. යළි කිසි දිනෙක සිය මව්රට නොගිය ඔහු අනුරාධපුරයේම සදාකල් නින්දට වැටී සිටියේය.

මානවී ගෙයින් එළියට බසිනු දුටු රවිඳු උන් තැනින් නැගිට්ටේය.

'කඩුපුල් මලක් පිපිලා'

රවිඳුගේ ඉහ අද්දර ගසක කඩුපුල් මලක් පිපෙමින් තිබිණ. මානවී එතැනට ආවාය.

'මම අහන්න හිටියේ ඒ මල මොකද්ද කියලා'

රවිඳු පැවසුවේය.

'කඩුපුල් මලක්. හරියට රෑ දොලහට පිපෙන්නේ'

මානවී දෝතින් මල නෙලා ගත්තාය.

'අපරාදේ'

රවිඳු කනගාටු වුවේය.

'නැහැ කඩුපුල් මල් පිපෙන්නේ හරියට දොළහට. එළිවෙන කොට ඒක ආපහු පරවෙනවා'

'ඉතින් මල ගහේම තිබුණා නම් ඉවරයිනේ'

'නෑ මං හැදුවේ මේ මල පූජා කරන්න'

'දැන්?'

මානවී ඔව් නොකියා හිස සැලුවාය. නෙලා ගත් මල ගෙතුලට ගොස් දොවා ගත් මානවී එය නැවත ගෙන අත්තාට අත ගැසුවාය. අනතුරුව රවිඳුගේ අතට පෑවාය.

'උපාසක අම්මා කෙනෙක්නේ'

රවිඳු සිනාවක් නඟමින් පැවසුවේය.

'අනේ මගේ මිණිබිරීට පින් සිද්ධ වෙන්න මායි උන්දැවයි දෙන්නව දඹදිව වන්දනාවේත් යැව්වා'

අත්තා පැවසුවේ පින් දෙන ආකාරයටය. රවිඳු පුදුමයෙන් මෙන් මානවී දෙස බැලුවාය. එය ගණනකට නොගත් මානවී මිදුලේ පැලේ වූ බුදු පිළිමය අභියස දණගසා මල පූජා කළාය. පහන් පැල තිබුණේ මිදුලේ කෙළවරය. මානවී දොහොත් මුදුන් දී බුදුන් වැඳ ආපසු හැරෙන තෙක් රවිඳු ඈ දෙස බලා සිටියේය.

'අපි කවදාවත් හිතුවේ නැහැ දඹදිව යන්න ලැබෙයි කියලා. එව්වට වියදම් කළේ අපේ මිණිබිරි. අනේ ඉතිං ස්වල්ප පිනක්ද?'

රවිඳු හමුවේ අත්තා මානවීට පින් දුන්නේය.

'මොනවද කඩුපුල් මල් පූජා කරලා ප්‍රාර්ථනා කළේ'

'බුදුහාමුදුරුවන්ට පූජා කරලා ප්‍රාර්ථනා කරන්නේ සංසාර ගමන ඉක්මනින් කෙළවර කර ගන්න විතරයි'

රවිඳු යළි බංකුවේ වාඩි වූවේය.

'ඔයගොල්ල එළියෙ මොකද?'

'මට ටිකක් දාඩිය දැම්මා. මම එළියට බහින්න හදන කෙට මං දැක්කා අත්තා නැගිටලා ඉන්නවා. ඊට පස්සේ මාත් එක්ක එළියට ආවා. ඊට පස්සෙ අත්තා මට මේ පළාත ගැන ගොඩක් කතන්දර කිව්වා'

රවිඳු එක දිගට කියාගෙන යන අයුරු මානවී බලා උන්නාය. අත්තා උන් තැනින් නැඟිටින්නට තැත් කළේය. මානවී ඔහුට වාරුවක් වූවාය. රවිඳු අසල වූ හැරමිටිය අතට දුන්නේය.

'මං යනවා පුතේ. පින්නත් එනවා. ටිකක් නිදිමත ගතිය තියෙනවා. ඕං ඔහොම ඉඳලා නින්දට වැටුණාම නින්ද යනවා'

අත්තා ගෙතුළට යන තුරු රවිඳු බලා උන්නේය. මානවී අත්තා සමඟ ගෙතුළට ගියාය. අනතරුව ආපසු පැමිණි ඇය රවිඳු සමීපයේ වාඩි වූවාය. ඒ අත්තාගෙන් හිස් වූ තැනය.

'හරි සුවඳයි'

රවිඳු පැවසුවේය.

මොනවද?'

මානවී විතාළාය.

'මල්වල සුවඳ'

'තාම දොළහ පහු වුණා විතරයි. කඩුපුල් මල් පිපෙන්නේ ඒ වෙලාවටනේ.

'ඔයාට තේ එකක්වත්'

'එපා! මං මේ සුවඳට ආසයි'

රවිඳු මානවී දෙසට නැඹුරු වන්නට මෙන් සැරසුණේය.

'මං කිව්වනේ, ඒ. සී කාමරවල බුදියන අයට මේවායේ නිදා ගන්න අමාරුයි කියලා'

'අනේ මට එහෙම අමාරුවක් නෑ. ටිකක් දාඩිය දැම්මා. ෆෑන් එක තිබ්බත් එළියේ ගස් කොලන් තියෙනවනේ'

'අපිට නම් මේව පුරුදුයි'

'මට නුහුරු නෑ. මං කොච්චර කෑම්ප් යනවාද?'

පරාජය නුහුරු ලෙසින් රවිඳු කතා කළේය.

'කෑම්ප් යනවා වගේ නෙවේ. මෙහෙම ඉන්න එක'

'ඔයා හිතන්නේ මං හොදට සැප වින්ද මිනිහෙක් කියලද?'

'හිතන්න දෙයක් නෑ'

මුල්ම දවසේ රවිඳු අතින් ඇල්ලූ විට එහි තිබූ සුමුදු පහස ඇයට සිහිවිණ.

'ඔයගොල්ලො හිතන් ඉන්නවා වැරදියි. මං එංගලන්තේ ඉගෙන ගන්න ගියේ බැරි තැන. ඒ ඉගෙන ගන්න කාපු කට්ට දන්නේ මං විතරයි'

'කොහොමටත් එංගලන්තේ ගිහින් ඉගෙන ගන්න ගියාම එහෙමලු'

මානවී කතා කළේ ගණං නොගන්නා තාලයටය.

'අපි පුංචි කාලේ අපේ පවුල ඈත් වුණා. අම්මයි මායි අක්කයි තනි වුණා. අප්පච්චි පොලිටික්ස්වලට ගිහින් දේපල නැති කර ගත්තා. අපේ සීයා ගැන අහල ඇති. එයා පොලිටික්ස්වලට ගිහින් ඉවර වෙන කොට සීයා ගේ වලව්ව විකුණලා'

'දැන් ඒ වලව්ව?'

'ඒ වලව්ව ගත්තේ අපේ ගෙදර වැඩට හිටපු මනුස්සයෙක්ගේ පුතෙක්. දැන් ඒක හොටෙල් එකක්'

රවිඳුගේ පුළුල් උරහිසට හේත්තු වන්නට හිත උපන් ආසාව මානවී වලකා ගත්තේ අසීරුවෙනි. එහෙත් ඇය ඔහු දෙසට නැඹුරු වූවාය.

'ඉතින් ඔයත් පොලිටික්ස්වලට ආවේ'

'ආවෙ නැහැ. ඉබේ එවුණා. මම එහේදී ඉගෙන ගත්තා. මේ වාහනයත් මං උපයපු දේවල් මානවී. මගේ මාමටයි ඕනෑ වුණේ මාව පොලිටික්ස්වලට ගේන්න'

'ඇයි ඔයා ඒකට කැමති නැද්ද?'

'දැන් මට හිතෙන්නෙ මට ඒක දුරස් දෙයක් කියලා. පොලිටික්ස් නොකළාට කරන්න කොච්චර වැඩ තියනවාද?'

මානවී කිසිත් පවසන්නට ගියේ නැත. ඇය වටපිට බැලුවේ රාත්‍රියේ කිසිවකු ඔවුන් කතා කරනු බලා සිටින්නේ ද යන්නටය. වලාකුළු රැසක් ඈ පසු කොට ගමන් කරයි. නිවසෙහි වහල අද්දරින් මතුවන වලාකුළුවල ඇඳෙන රූ සටහන් තේරුම් ගන්නට ඈ උත්සාහ කළාය.

රවිඳු බොහේ දේ කියන්නට උත්සාහ කරනවා වැනි යැයි මානවීට වැටහිණි.

'මට ඔයා වැඩ කරනවා දැක්කම මතක් උණේ කවුද දන්නවද?'

මානවී නැතැයි කියන්නට හිස සෙල වූවාය.

අපේ අම්මව. ඔයා වැඩ කරන්නෙත් ඒ වගේ. මම පහුගිය ටික දවල්වල දැක්කා ඔයා වැඩ කරන ස්ටයිල් එක. ඔයා අත්තම්මලත් එක්ක කෑම උයපු හැටි මං බලා හිටියා.'

මානවී ඉවත බලා ගත්තේ රවිඳුගේ බැල්ම ඉවසිය නොහැකි යැයි සිතුණු බැවිනි. ඇයට වීරප්පෙරුම සිහි විය. හමු වූ මුල් දවස්වල කොයි හැටි වෙතත් වීරප්පෙරුම ද තමා වෙත බැඳුණු වග ඈ දන්නීය. පසු කලක ඔහුගේ පැවැතුම් වෙනස්ව ගියේය.

'මට උඹ වෙලාවකට මගේ මැරුණු වයිෆ් වගේ. වෙලාවකට මගෙන් ඈත් වෙච්ච දුව වගේ'

වීරප්පෙරුම එසේ කියද්දී ඔහුගේ ඇස අග කඳුළක් ඉපැදෙනු මානවීට පෙනිණ. පසුගිය කාලයේ වීරප්පෙරුම ඈ හා යහන් ගත වන්නට උනන්දු වූයේ නැත. ඒ වෙනුවට තමාට ආදරයෙන් සලකන්නටත් වැඩිහිටියකු ලෙස ඔවදන් දෙන්නටත් පටන් ගත්තේය. මානවී වෙනස අත් දුටුවාය.

'මොකක්ද ඔයා අද රෑ කෑම කන කොට කිව්ව පලා මැල්ලුමේ කතාව'

රවිඳු එක්වරම කතාව වෙනස් කළේය.

'මොකද්ද?'

රාත්‍රී ආහාරය පිළියෙල කළේ නිර්මලා සහ මානවීය. රවිඳු කියා සිටියේ ගමේ විදියට තිබුණොත් හොඳ බවය. පිළියෙල කළ එළවළු කවරේදැයි රවිඳු විමසා සිටියේ පලා මැල්ලුමක් අතට ගනිමිනි.

'මෙහෙ පලා මැල්ලුම කන අය ආයේ මෙහේ දාලා යන්නේ නැතිලු. විශ්වාස කරනවා නම් කන්න. බය නම් කන්න එපා'

මානවී සිනාසෙමින් රවිඳුට පැවසුවේය. එය ඇසූ නිර්මලා මුවඟට සිනාවක් නඟා ගත්තාය. අත්තාට ද සිනා ගියේය. රාත්‍රී ආහාරයට වාඩි වූයේ පිරිමි දෙන්නාය. ගැහැනු මේසයට නොපැමිණියහ. රවිඳු කිහිප වරක්ම මානවීට කතා කළ ද ඇය පැමිණියේ නැත.

‘ඒක මේ පැත්තේ පරණ කතාවක්’ අත්තා පැවසුවද රවිඳු ඒ ගැන විපරම් කළේ නැත. ඔහුට කතාව මතක් වූයේ දැන්ය.

'ඉස්සර පිට පළාත්වලින් මේ පළාතට එන වැදගත් පිරිමි මෙහෙ බින්න බහිනවලු'

'ඉතින්'

'ඒකට හේතුව පලා මැල්ලමලු'

'ඇයි?'

'ඒ පලා මැල්ලුම ඉනා බේතක්ලු'

රවිඳු මහ හයියෙන් සිනාසුණේය.

'ඔයා මටත් පලා බෙදුවේ ඒකටද?'

'වැඩේමයි'

මනාවී ඔහුගේ උරහිසට තදින් පහරක් ගැසුවාය.