වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




පාසල් නාට්‍ය ප්‍රබෝධයේ පුරෝගාමියා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 13

පාසල් නාට්‍ය ප්‍රබෝධයේ පුරෝගාමියා

චන්ද්‍රසේන දසනායක

චන්ද්‍රසේන දසනායයක, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පේරාදෙණි විශ්වවිද්‍යාල ගෝලයකු ලෙස හඳුන්වා දිය හැකිය. ඔහු නාට්‍යකරණට යොමු වූයේ ද සරච්චන්ද්‍රයන්ගේ 'රත්තරන්' නාට්‍යයේ රඟපෑමෙනි. 'ගොළු බිරිඳ', 'මුහුදු යන්නෝ' ඔහු එකල රඟපෑ තවත් නාට්‍ය දෙකකි.

දසනායක අංග රචනා ශිල්්පියෙක්ද වෙයි. මහාචාර්ය සිරි ගුණසිංහ, විමලධර්ම දියසේන යටතේ ඔහු මෙම වෘත්තීය ක්ෂේත්‍රය හැදෑරුවේය. 'මනමෙ' පසු නිෂ්පාදනය, 'වෙල්ල වැහුම්', 'ඒකට මට හිනා හිනා', 'කසී රටෙන්' දසනායක වෙස් නිර්මාණය කළ නාට්‍ය අතර වෙයි.

සිංහල වේදිකාව තුළ දසනායක වැදගත් වන්නේ පාසල් නාට්‍ය කලාවේ ප්‍රබෝධයක් ඇති කළ පුරෝගාමියා ලෙසිනි. 'හැමදා නියං', 'ආඬි ටිකයි අම්බලමයි', 'පොතක සටහන්' ඔහු රචනා කර නිෂ්පාදනය කළ පාසල් නාට්‍ය තුනකි.

'හැමදා නියං' 1964 සමස්ත ලංකා විද්‍යාලාන්තර නාට්‍ය තරගයට ඉදිරිපත්වූවකි. (මෙම නාට්‍ය තරග ආරම්භ වූයේ 1959 දීය). ඇමෙරිකාව ලොකු බලවතකු වීම හේතුවෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේද යන ප්‍රශ්නය 'හැමදා නියං' සකච්ඡාවට ගැනිණි. සුදු කළු වර්ණ භේදය ද මෙම නාට්‍යයෙන් කියැවිණි. 'හැමදා නියං' පහත රට කෝලම්, තොවිල් සම්ප්‍රදායන්ගේ ආභාසය ලබාගෙන කළ ශෛලිගත නාට්‍යයකි.

'සක්කාර දිෂ්ටිය' දසනායක ඉහත නාට්‍ය තරගයටම ඉදිරිපත් කළ තවත් නාට්‍යයකි. ශක්‍ර දේවේන්ද්‍රයාට ඇස් සියයක් ලැබීම පිළිබඳ පුවත අන්තර්ගත මෙය ශෛලිගත නාට්‍යයක් විය.

'ආඬි ටිකයි අම්බලමයි' (1966) දසනායකගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණයකි. එය 1966 වසරේ පැවති සමස්ත ලංකා විද්‍යාලාන්තර නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනුවේය. මෙය එක අතකට 'හැමදා නියං' නාට්‍යය ආ කතා පුවතේම කිසියම් විස්තාරණයක් වැන්න. ලෝක දේශපාලනය මෙහි වස්තු විෂයය වූයේය. මෙහි ආ චරිත ද සංකේතාත්මක විය.

 ධනවාදීගේ ඇමෙරිකන් අප්පු, ප්‍රජාතන්ත්‍රගේ බ්‍රිතානියා, මාක්ස්වාදයේ රුසියා, සමාජවාදයේ චීනවර්ධන, නිකම් ඉන්නගේ සිලෝනිස් වැනි චරිත ඊට දෙස් දෙයි. මෙය අද අප වසන ලෝකයේ උත්තරීතර සංවිධානය වී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ හා සම්බන්ධ සිද්ධි කීපයකුත් අලළා යටත් පිරිසෙයින් ජාතීන් වශයෙන් අප ආත්මාර්ථකාමිත්වයෙන් තොරව පොදු මිනිස් අරමුණ - ලෝක සාමය කරා යාමේ අගය පෙන්වීම උදෙසා රචිත නාට්‍යයක් බව දසනායක කියයි.

'සොකරි' ජන නාටකයේ ආභාසය ලද 'ආඬි ටිකයි' ශෛලිගත නාට්‍යයකි. චරිතවල ඇඳුම් සඳහා ඒ ඒ රටවල ජාතික කොඩියේ වර්ණය යොදා තිබීම නාට්‍යයේ අරුත විදහා දක්වන්නක් විය.

චීන තානාපති කාර්යාලය මෙම නාට්‍යය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියත් එය ඉටු වූයේ නැත. වසර එක හමාරක් තුළ දර්ශන වාර 200 ක් වේදිකා ගත කළ පාසල් නාට්‍යයක් ලෙස 'ආඬිටිකයි' වාර්තාවක් තබා ඇත.

'පොතක සටහන්' ඉහත නාට්‍ය තරගය සඳහාම ඉදිරිපත් වූවකි. මෙයට පාදක වූයේ 'ඩයරි ඔෆ් ඇන් ෆ්‍රෑන්ක්' නම් වූ ලෝක ප්‍රසිද්ධ කෘතියයි. ඒ හැරුණු කොට 'අයි ඈම් ඔන්ලි ෆිෆ්ටීන් ඉයර්ස් ඕල්ඩ් ඇන්ඩ් අයි ඩෝන්ට් වෝන්ට් ටු ඩයි' කෘතියත් 'හවුස් ඔෆ් ඩෝල්ස්' යන කෘතියත් මෙහිලා ආභාසයට ගැනුණු බව දසනායක කියා ඇත. ලෝක මහා සංග්‍රාම අවදියේ හිට්ලර්ගේ නාසි සංහාරයට බියෙන් යුදෙව් පවුලක් ඕලන්දයේ කාර්යාලයක පිටුපස කාමරයක සැඟ වී අවුරුදු හතරක කාලයක් ගෙවූ දුක්බර ජීවිතයක් අවසානයේ හිට්ලර්ගේ නාසි භටයන්ට හසුවීමේ පුවතක් මෙම නාට්‍යයෙන් ඉදිරිපත් කෙරිණි.

මළගිය ඇත්තන් ප්‍රේක්ෂකාගාරය දෙසින් ඒමත් නාසි භටයන් රංග ශාලාවේ දොර ජනෙල් අතරින් පැනීමත් නාට්‍යයට නව මුහුණුවරක් ගෙන දුන්නේය.

මෙහි ගැහැනු චරිත නළුවන් විසින් රඟදක්වන ලදී. ඊට හේතුව විද්‍යාරත්න පිරිවෙනේ සිසුවියන් නොසිටි බැවිනි. සංගීතයෙහිලා යොදා ගැනුණේ බටහිර සංගීතයයි.

මෙබඳු නාට්‍ය ඔස්සේ දසනායක පාසල් නාට්‍ය කලාවේ ප්‍රබෝධයකට මුල පිරුවේය.

ඔහු ඉගැන් වූ හොරණ විද්‍යාරත්නයෙන් පමණක් පසුව නාට්‍ය රංගනයෙහි හා නිෂ්පාදනයෙහිලා ප්‍රවීණත්වයක් දැරූ හේමසිරි ලියනගේ, ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, ලාල් කුලරත්න, තරංග රුක්මල්වල වැනි පිරිසක් බිහි වූහ. (විශ්ව විද්‍යාල උපාධිය ලබා පැමිණි හේමසිරි පසුව මෙම පිරිවෙනේම ගුරුවරයෙක් වශයෙන් කටයුතු කළේය).

1966 පාසල් නාට්‍ය තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපත් කළ 'නොගිය ගමනක්' (නිෂ්පාදනය ලයනල් රන්වල) තෙවැනි ස්ථානය සපුගස්කන්ද මහා විද්‍යාලය ඉදිරිපත් කළ 'අක්කර සියයක්' (නිෂ්පාදනය ආනන්ද සෙනෙවිරත්න) දිනා ගත්තේය. මෙය ඇන්ටන් චෙකෝව්ගේ 'ද චෙරි ඕචඩ්' නාට්‍ය ආශ්‍රයෙන් නිර්මාණය වූවකි.

'වානරයෝ' 1967 'ලස්සන' නාට්‍ය උලෙළට ඉදිරිපත් කළ ඒකාංගික නාට්‍යයකි. සිංහල නාට්‍යයේ විකාශනය මෙයට පාදක වූ කතාව විය.

දසනායක විදෙස් රටවල් ගණනාවක නාට්‍ය කලාව හදාරා ඇත. ඒ එංගලන්තය, ඇමෙරිකාව, ජර්මනිය, රුසියාව, ප්‍රංශය වැනි රටවලදීය.

'රන්කඳ' (1971) චන්ද්‍රසේන දසනායකගේ අතිශය ජනප්‍රිය නාටය්‍යකි. මුලින් 'මගේ රන්කඳ' යනුවෙන් නම් කෙරුණු මෙය පසුව 'රන්කඳ' විය. ජෝර්ජ් බර්නාඩ් ෂෝ ගේ 'පිග්මැලියන්' නාට්‍යය ඇසුරෙන් ඇලන් ජේ. ලර්නර් ඉදිරිපත් කළ 'මයි ෆෙයාර් ලේඩි' නම් වූ සංගීතමය නාටකය මෙයට පාදක වූයේය. මෙය පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොවේ. ස්වතන්ත්‍ර රචනයකි.

'රන්කඳ' ට වස්තු වී ඇත්තේ සුළු සිද්ධියකි. වීදියකදී නගර ශෝභනියක් හමුවන පඬිවරු පිරිසක් ඇයට සිප්සතර ඉගැන්වීමෙන් උසස් කාන්තාවක් කිරීමට උත්සාහ දරති. අනතුරුව ඔවුහු ඇයට ශිල්ප උගන්වති. නගර ශෝභනියගේ අරමුණ සමාජයේ බැබළීමට හා උසස්, උගත් අයකු වීමටය. පඬුවන්ගේ පරමාර්ථය තම බස් වහරින් ඇයට 'ශිල්ප සතර ආලෝකය' දීමටය. එහෙත් අතරමඟදී තම තමන් තුළ සහජ මමත්වය ඇතිවීමෙන් ඔවුන් නගර ශෝභනියව තනියම අත්පත් කරගැනීමට දරන ප්‍රයත්නය නිසා ඇය පඬුවන්ගෙන් ලත් ශිල්පය ද සමඟ නැවත මහ මඟට බසී.

මෙහි චරිතවලට යෙදූ නම් ද සංකේතාත්මකය. උදා: හෙ. ළ යසවඩු, න. රු. මනෝවර්ධන, ජේ. රාමසිංහ, ස. ශ්‍රී මහොපාධ්‍ය.

1968 ඊරියගොල්ලගේ භාෂා ප්‍රතිපත්තිය විවේචනය කරනු සඳහා 'රන්කඳ' නිර්මාණයව ඇති බව පැවසේ. විකාරරූපී ලක්ෂණ ද සහිත මෙය සංගීත නාටකයකි. සංගීතවත් කළේ ඔස්ටින් මුණසිංහය.

'රන්කඳ' එකල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ එය තහනම් කළ බැවිනි. (ඇත්තටම සිදු වූයේ එය තහනම් කිරීමක් නොවේ. රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය නිකුත් කිරීම ප්‍රමාද කිරීමකි).

මහාචාර්ය සරච්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම, කරුණාසේන ජයලත් වැනි ප්‍රවීණ කලාකරුවන් 'රන්කඳ' තහනමට එරෙහිව විවේචනාත්මක ලිපි ලියා ඇත. මහාචාර්ය සරච්චන්ද්‍ර කියා ඇත්තේ මේ තහනම වැඩීගෙන එන නාට්‍ය කලාවේ දියුණුවට හානිකර විය හැකි බවය. 'රන්කඳ' තහනමට විරුද්ධව 'ඇත්ත' පුවත්පත කතුවැකියක් පවා පළ කළේය.

'රන්කඳ' මංගල දර්ශනය 1971 මාර්තු 06 වැනි දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පවත්වන ලදී. ඊට මාසයකට පසු 71 කැරැල්ල ඇරඹුණෙන් 'රන්කඳ' ඉදිරි දර්ශන කීපයක්ම අවලංගු කෙරිණි. එහෙත් දර්ශන වාර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට එය වේදිකාගත කර ඇත.

'ටිකිරි මැණිකේ' (1972) දසනායකගේ ළමා නාට්‍යයකි. ජර්මන් ජාතික ආචාර්ය නෝබට් ජේ. මයර් සමඟ එක්ව ඔහු මෙය නිෂ්පාදනය කළේය. මෙය 'ස්ටොකලොක් උන්ඩ් මිලිපිලි' නම් වූ ජර්මන් නාට්‍යයේ අනුවර්තනයකි.

'සත්තුන්ගේ පුංචි ගෙදර' (1976) ළමා නාට්‍යයකි. එය 'පියර් හොෂන්' නම් වූ නැගෙනහිර ජර්මන් නාට්‍යයේ පරිවර්තනයකි. මෙහි මූලික පරිවර්තනය පී. බී. විජේසුන්දරගේ වන අතර මූලික නාට්‍ය පිටපත රචනය සෝමා කිරිඇල්ලගෙනි. මෙය සංගීතමය නාට්‍යයට පෙරළීම හා අනුවාදය චන්ද්‍රසේන දසනායකගේය. හාන්ස් ඩීටර් ශ්මිඩ්ට් නමැති ජර්මන් නාට්‍යකරුවා මෙය නිෂ්පාදනය කළේය.

චන්ද්‍රසේන දසනායක කලක් ළමා නාට්‍ය මණ්ඩලයේ සභාපතිව සිටි අතර (මෙය 1972 දී පිහිටුවා ගනු ලැබූවකි). 1996 දී පිහිටුවා ගැනුණු නාට්‍ය අනු මණ්ඩලයේ සිටි අතර ළමා හා යොවුන් නාට්‍ය අන්තර් ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා ද විය. (1996 - 2002 දක්වා) එසේම ළමා හා යොවුන් නාට්‍ය අන්තර් ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයාය.

'ළමා නාට්‍යකරණය' දසනායක ලියූ නාට්‍ය ග්‍රන්ථයකි.