වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




හද සසල කළ තාරුණ්‍යයේ යථාර්ථය

හද සසල කළ තාරුණ්‍යයේ යථාර්ථය
මෝටර් බයිසිකල් සිනමාපටය

ශ්‍රී ලාංකේය සිනමාවේ කොතෙක් ඉව අලලා බැලුව ද තාරුණ්‍යයේ සැබෑ යථාර්ථය පිළිබඳව කතා කරන චිත්‍රපටයක් අපට රස විඳින්න ලැබෙන්නේ කලාතුරකිනි. තාරුණ්‍යයේ හැඩය සහ වර්ණය කියාපාන යථාර්ථවාදී චිත්‍රපට පිළිබඳව අපේ මතකය තවමත් දිව යන්නේ මෙරට සිනමාවේ 70 දශකය වෙතටය. එහි කූටප්‍රාප්තිය ලෙසින් අප දුටුවේ ආචාර්ය ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටයයි. අහස් ගව්ව යනු අපට එකල තරුණ අර්බුදය පිළිබඳව සැබැවින්ම කතාබහ කළ සිනමාපටය විය. එකල පාසල් වියේ පසු වු අප අහස් ගව්ව බලා සිනමා ශාලාවෙන් පිටවූවේ කුමක්ද මේ ආශ්චර්යය යයි සිතමිනි. විරැකියාව - අනාදරය - සිහින පුපුර යාම - පාර දිගේ දිවෙන ජීවිතය පිළිබඳව මුල් පොත අප එකල සිනමාවෙන් උගෙන ගත්තේ ද අහස් ගව්වෙනි.

70 දශකයේදී තරුණ ප්‍රශ්න ගැන කතා කළ පතිරාජයන් වැනි සිනමාකරුවන් සිටිය ද ඉන් අනතුරුව මෙරට තරුණ ගැටලු පිළිබඳව සිනමා ඇත්තන් කටයුතු කළේ කලාතුරකිනි. පතිරාජයන්ගේ අහස් ගව්වෙන් අප දුටු මේ නිමිත්ත ඉන් පසුව ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් - පරාක්‍රම සිල්වාගේ බිත්ති හතර ආදී නිර්මාණවලින් ද බූධි කීර්තිසේනගේ මිල්ල සොයා තුළින් ද විවිධ පැතිකඩයන් ඔස්සේ අප රස වින්දෙමු. ඉන් පසුව මෙරට සිංහල සිනමාවේ විවිධ සංස්කෘතින් විදහාපාමින් නේක නිර්මාණයන් බිහි වුව ද නගර ලුම්පන් සංස්කෘතිය ගැන කතාබහක යෙදෙන සිනමාවක් අපට හමු වූවේ නැති තරම්.

ශමීර නාඔටුන්න තරුණ සිනමාකරුවාගේ මෝටර් බයිසිකල් චිත්‍රපටය බිහි වන්නේ මෙවැනි සිනමා රික්තකයක් තුළය. තරුණ වියේ ආදරය - විරැකියාව - අපේක්ෂා භංගත්වය - ලිංගිකත්වය - භිෂණය සමඟ බැඳී පවතින තාරුණ්‍යය මේ වන විටත් වර්තමාන සමාජ රටාව තුළ මහත් අර්බුදයක් බවට පත් වෙමින් තිබේ. එවැනි කටුක ඝොර වටපිටාවක් ගැන කතා කිරීමට සිනමාකරුවන් බොහෝ විට උනන්දු වන්නේ ද නැත. මිල මුදල මත ලංසුව තබන මෙවන් වසල ක්‍රමයක බොහෝ සිනමාකරුවන්ට ද මෙවන් ප්‍රස්තුත දිරවා ගැනීම පහසු නොවන්නකි. එහෙත් සමීර නාඔටුන්න සිනමාවේ මෙතෙක් පැවති වසා දැමුණු කාමරයක් නැවත අප වෙනුවෙන් විවෘත කර ඇත. අප යළිත් නගරබද තරුණයාව කාමරය දොරකඩින් දකින්නෙමු.

මෝටර් බයිසිකල්හි රංග යනු මෙරට නගරබද ජීවත්වන ලුම්පන් තරුණයායි. රංග සංගීතකරුවෙකි. එහෙත් ඔහුට අක්මුල් නැත. සිය ජීවිතයේ අනාගතය කුමක්දැයි ඔහු නොදනී. එතේ අද දවස වෙනුවෙන් ඔහු ජීවත් විය යුතුය. ආදරය කළ යුතුය. ආදරය ලැබිය යුතුය. ජීවත් විය යුතුය. හුස්ම ගත යුතුය. එහෙත් ඒ නිදහස ඔහුට වත්මන් සමාජ රටාව විසින් අහිමි කර ඇත. එය සැබැවින්ම දේශපාලනිකය. සිය මිතුරන් කීප දෙනෙකු සමඟ තුන්වන පන්තියේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන රංග රාත්‍රී සමාජ ශාලාවලට සංගීතය සපයා කිසිවක් සොයා ගනී. ටානියා රංගගේ පෙම්වතියයි. ඇයට ද මේ සියල්ල පොදු කාරණා බව පෙනේ. ඇය ආදරයට ප්‍රියමනාපය. එහෙත් ඇය තුළ ද ජීවිතය ගැන මතු සපිරි ප්‍රාර්ථනාවන් නොමැත. තවමත් පාසල් අධ්‍යාපනය හමර කළා පමණි. රංගගේ වත්මන් බලාපෙරොත්තුව මෝටර් බයිසිකලයක් ගැනීමයි. ඒ වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කිරීමට ඔහු සූදානම්ය. ඒ සඳහා තම මවගේ රන් මාලය ඉල්ලා දොස් තබන රංග අනතරුව එය ටවුමේ උකස් කඩේට විකුණා සිය සිහින දඩුමොනරය ලබා ගනී. ටානියා ද නංවාගෙන නගරය පුරා චාරිකාවක යෙදෙන ඔහු සිය වටපිටාවෙන් ඉල්ලා සිටින්නේ ඔවුනට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියායි. අවසානයේදී මෝටර් බයිසිකලය ද ඔහුගෙන් පැහැර ගැනේ. ටානියා ද රංගගෙන් මිදී පළා යන අතර එකම දින රංගට තම ජීවිතය ද භීෂණ වටපිටාව තුළ අහිමි වෙයි.

මෙම ජීවිත නාටකය ඇසුරෙන් ශමීර නාඔටුන්න විසින් අප කැඳවාගන යන රූප චාරිකාව සුළුපටු වූවක් නොම වෙයි. තරුණියකටත් තරුණයකුටත් සිය සිත් සේ ආදරය කරන්න නොලැබිම යන සංකල්පය විචාරක්ෂීව බලන්නෙකුට නම් සරල පට්ට ගැසූ සංකල්පයක් විය හැකිය. එහෙත් තරුණ සිනමාකරු මෙම සරල සුගම තේමාව ඇසුරින් අප ඉදිරියේ මවන සමාජ පසුතල රූප සමුදාය සැබැවින්ම අයස්කාන්ත වූවකි. ඔහුගේ අංකුර සිනමා ප්‍රතිභාවයට හසුවන මෙම සරල පුවත විවිධාකාර වන චෛතසිකයන් අප තුළ ගම්‍ය කරවමින් සමාජය දෙස නව මානයකින් බලන්නට සිනමාකරු පොහොසත් වෙයි.

චිත්‍රපටය ආරම්භ වන්නේ කොළඹ නගරයට නව දවසක් උදාවෙන බව පසක් කරමිනි. නගරයේ ඉහළ දැකීමෙන් පෙනෙන ගොඩනැගිලි, වැඩට යන ජනතාව, සිඟමන් යදින්නන්, කිසිවක් විකුණා ගැනීමට වෙහෙසෙන පදික වෙළඳුන්, තැබැරුම්වල සෙනඟ, එහි ගී කියන ලුම්පන් තරුණ පෙළ දකින්කට දිවෙන කැමරාව අපට සිහි කරන්නේ තුන්වන ලෝකයේ වීදි තරුණයාගේ ශෝකාලාපයේ පැතිකඩකි. වීදි තරුණයකු වන රංගනට එදාවේල පිරිමසා ගන්නටවත් වත්කමක් නොමැත. තැබෑරුම් සමාජ ශාලාවේ ගී ගයන ඔහු රාත්‍රී නිවස බලා ගමන් කරන්නේ ද පයින්මය. හදිසියේ අවටින් ඇසෙන භීෂණ - වෙඩි තබා ඝාතනය කරන පුද්ගලයා - මිනීමරු වෑන් රිය දකින ඔහු අනතුරුව දිව ගොස් ත්‍රීවිලයකට පනින්නේ ද රිසි මුදල් නොමැතිවය. අවසානයේ මුදල් ගෙවීමට කිසිවක් තිබුණ ද ඔහුට ඒ මුදල තව බොහෝ දේ වෙනුවෙන් අවශ්‍යව ඇත. ඒ නිසා ඔහු මුදල් නොගෙවා පලා යයි. සිය පෙම්වතිය වන ටානියා සමඟ ආදරය පටන් ගත්ත ද එය ද ඉහවහා ගිය මානව ප්‍රේමයක් ලෙස විද්‍යාමාන නොවේ. සිය ආදරවන්ත අනෙකාගේ ජීවිතය බෙදා හදා ගැනීම එකිනෙකා අගය කිරීම් මෙහි දක්නට නොමැත. රංග සිය මෝටර් බයිසිකලය මිලටගෙන ටානියාට එය පෙන්වන විට ඇය පෙරළා අසන්නේ මේක බයිසිකලයක් ද කබල් එකක්නෙ යනුවෙනි. පරම පිවිතුරු පේ‍්‍රමයක් මෙන් අනාගතයේදී කසාද බැඳීම් සංකල්පයන් ඔවුන් තුළ නිවැරදිව විද්‍යාමාන නොවෙයි. එකිනෙකා අතර පවතින ආදරය ද විටෙක රංගනත්, ටානියාත් ක්‍රියා කරන්නේ ද එවැනි අස්ථිර පෙම්වතුන් ලෙසින්ය. ඒ සියලු අස්ථිරභාවයන්ට හේතුව ඔවුන් ජිවත් වන සමාජ ආර්ථික දේශාපාලන සංස්කෘතියයි.

යොවන් වියේ ආදරය කරන්නට මෙම ලුම්පන් තරුණ පෙළට කිසිදු ස්ථානයක් නොමැත. සිනමා ශාලාවේ සිටින්නේ ද පෙම්වතියගේ ඥාති සහෝදරයායි. විහාර මහා දේවි උද්‍යානයේ තවදුරටත් ආදරය බෙදා හදා ගැනීමට ආලකමන්දාවක් නොමැත. අලුතින් ඉදි කළ තණතීරු - වාඩිවීමට සාදන ලද බංකු - විසල් තුරු ලතා අසල සැඟව ආදර සිප ගැනීමකටවත් තව නම් නිදහසක් නොමැත. ආරක්ෂක භටයින් හැංගිමුත්තම් සෙල්ලම් කරන අතරම මෙගාෆෝන් යොදා තාරුණ්‍යයට රිසි සේ පහර දෙනු පෙනෙයි. අවසානයේ අපේ කතානායක නායිකාවට සිදුවන්නේ සිය අතැති සියල්ල යොදා ආදරය කරන්නට කාමරයක් කුලියට ගැනීමටය.ඒ සඳහා ටානියා සිය ටියුෂන් ෆීස් ද ලබා දෙයි. හතර වටින්ම ලෝකයාගෙන් සැඟවිය හැකි කාමරයක් ගත්ත ද ඔවුනට එහිද ආදරය කිරීමට බොහෝ බාධා පැමිණෙයි. වසල වෙලද කුලයෙන් උපන් කුඩා තානායම්කරුවා පවා බලන්නේ ෂයිලොක්ගේ මස් රාත්තල කෙසේ හෝ තරුණයාගෙන් ලබා ගන්නටයි. හෝටල් කාමරයේ තනි වන රංග ටානියා සිප ගැනීමකට සැරසෙන විටදී විටින් විට දෙරට තඩිබාමින් හෝටලයේ සබ්බ සකලමනාවම විකුණන්නට ලංසු තබන සේවකයින් අප දකිමු. මේ සියල්ල සැබැවින්ම තාර්කිකය. යථාර්ථවාදීය. එය මෙරට පවතින සැබෑ විපරිත යථාර්ථයයි.

තුන්වන ලෝකයේ රටක් ලෙස වඩා වැඩි අවශ්‍යතාවයන් වෙනුවෙන් නිිර්මාණකරුවා පෙළ ගැසිය යුතු බව බොහෝ විචාරකයින් පවසති. එයට හේතු වන්නේ තමත් වැනි රටවල් අඩු වැඩි වශයෙන් විවිධ වකවානුවලදී අධිරාජ්‍යවාදීන් විසින් මෙන්ම එරට පාලකයින් විසින් පීඩාවට පත්කර තිබීමයි. එය අප රටට ද පොදු සත්‍යයකි. පීඩකයා සහ පීඩිතයා අතර තවමත් දේශපාලනිකව ඝට්ටන පවතින අතර සකල සමාජ ක්‍රමයම මෙම බලවත් දේශපාලන හස්ත මත ක්‍රියා කරනු ලබයි. අප රටේ සංස්කෘතික විපර්යාසයන් මෙතක් සිදු වුවේ ද එලෙසින්ය. එනිසා තුන්වන ලෝකයේ සිටින නිර්මාණකරුවකුට ඇති කාර්යභාරය සුළු පටු වූවක් නොවේ. හුදු ඓතිහාසික රජ කථා ඉක්මවන යුගයේ අවශ්‍යතාවයට අනුකුල වූ සිනමාවක අවශ්‍යතාවය පෙරටත් වඩා දැන් දැඩි වෙමින් පවතියි. ඒ සඳහා දෘෂ්ටිමය වශයෙන් ස්වකීය නිර්මාණ චින්තනය විදහා දැක්වීමට නිර්මාණකරුවකුට පහසු කාර්යයක් නොම වෙයි. ශමීර නාඔටුන්නගේ සිනමා දෘෂ්්ටිය සැබැවින්ම වත්මන් දේශපාලන රටාව අවබෝධ කරගන්නට අපට දොර කවුළුවක් විවෘත කර දෙයි. ඒ අතින් ශමීරගේ දෘෂ්්ටිය ඉදිරියෙන් සිටියි. හුදු පුද්ගලික චරිතවල චෛතසිකයන් කරා සිය චරිත මෙහෙයවීමක් නොකරන මෙම සිනමාකරුවා අප ඉදිරියේ ඇති සමාජ යථාර්ථය මත සිය චරිත ගොඩනංවාගෙන සිටී.

මෝටර් බයිසිකල් සිනමාපටය තුළ සමාජ ආර්ථික සංස්කෘතික පසුතලය විමසන විට නගරයේ පහළ පාන්තික ජන සමාජය ඒ සඳහා උපයෝගී කරගෙන ඇත. කතා නායකයා වන රංගන වෙසෙන ඉසව්ව ද මුඩුක්කු සහ තට්ටු නිවාසවලින් පිරී පවතී. එහි වෙසෙන චරිතයෝ ද නේත දුක්ඛ දෝමනස්සයන්ට හසුව සිටියි. දරිද්‍රතාවය කොතෙක්දැයි කිවහොත් වැලේ දමා ඇති කලිසම මොහොතකින් අතුරුදහන් වෙයි. අවම ලංසුවට දෙමෝ දාහක් ඉදිරියේ මිනිසුන් මරා දමනු ලබයි. රාත්‍රිය ද දවාල ද මිනී මරන්නන්ට එකසේය. එකිනෙකා ගැන සිතා බලන්නට නොව තමා ගැනවත් සිතන්නට මේ කොදෙව්වේ වෙසෙන නිවැසියන්ට ඉඩක් නැත. තමන් වැටී ඇති නරකාදියෙන් ගැලවීමට ඔවුන් මඟක් ද නොදනී. එහෙත් ඔවුන්ගේ තරුණ සිහින මෝදු වී පුපුරා හැලෙයි. දිළිඳු සිය මවගේ මාලය උකස් කර සිය සිහින සැබෑ කර ගැනීම කොතෙක් යුක්ති සහගතදැයි අප කතා නායකයාටවත් වැටහෙන්නේ නැත. ඒ තරමටම ඔවුන්ගේ ජීවන ගමන් මඟ සමාජ ප්‍රපංචයන් විසින් සිරකර දමා ඇත. එය පවතින සමාජ යථාර්ථයයි. එනම් නිෂ්පාදන බලවේග සහ දේශපාලනය මත පැන නඟින සංකීර්ණ අර්බුදයේ සමාජ ක්‍රියාදාමයයි.

මෙහි රංගන යනු සැබැවින් පාලකයා විසින් හෙම්බත් කරන ලද මෙරට වත්මන් තාරුණ්‍යයයි. එමෙන්ම මෙහි චරිත වන රංගන - මව - ටානියා - කුලී මිනීිමරන්නා - බයිසිකල් තැරුව්කරු යන සියල්ලෝම මෙම සමාජ ක්‍රමය තුළ බිහිවූවන්ය. එම චරිත ක්‍රියා කරන්නේ ද සමාජය හා අන්තර් සම්බන්ධතාවයන් මතිනි. ඔවුහු ඕපපාතිකව බිහිවුවන් නොවෙති. විෂම සමාජ සන්දර්භයක් තුළ තරුණ්‍යයේ මළගම කියාපාන මෝටර් බයිසිකල් චිත්‍රපටය තුළින් අපට පසක් කරන්නේ යොවුන් වියේ නව දේශපාලන සිනමාවක් යළි හිස ඔසවන නිමිත්තකි.

මේ නයින් බලන විට සිය මංගල සිනමා වියමනේදීම මෙවැනි දේශාපාලනික තේමාවක් තෝරා ගැනීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය සැබැවින්ම සිනමාකරුවාට හිමි විය යුතුය. මෙවන් කතා සංකල්පයන් ගැන හිතන්නට පවා හැකි වන්නේ මෙරට නාගරික ලුම්පන් සංස්කෘතිය ගැන හසළ දැනීමක් ඇත්තකුට පමණි. හුදු රජ කතා, සුරංගනා ළමා කතා පමණක් වත්මන් සිනමාවට ගෝචර යයි සිතන - බලෙන් ඔබ්බවනු ලැබූ ප්‍රේක්ෂක රුචිය බැහැර කරන්නට සමීර විසින් නැවතත් මෙරට සිනමාවට මුල් පොත ප්‍රදානය කර ඇත.

මෝටර් බයිසිකල් චිත්‍රපටයේ දක්නට ඇති හද සසල කරවන අවස්්ථාව බොහෝය. ඉන් එක් ජවනිකාවක් ලෙස මගේ මතකයට නැඟෙන්නේ වීදි තරුණයා සිය පෙම්වතිය සමග ප්‍රේම චාරිකාව අවසන් කරන්නට සිදුවීමෙන් හටගත් ළතැවිල්ලෙන් මහ වැසි මැද සුපිරි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකට ඇතුළුව කරනු ලබන ක්‍රියාදාමයයි. ප්‍රේමයේ ආස්වාදය ද නෙලැබ තනිවන මෙම පෙම්වතුන් යුවළ වෙළඳ සංකීර්ණයේ ඇඳුම් අතර මොහොතක් තනි වෙයි. අනතුරුව ටානියා විවිධ වර්ගයේ ඇඳුම් පැලඳගෙන සිය පෙම්වතා ඉදිරියේ මනහර රැඟුම් පායි. අවිහිංසක ළදැරියක සේ සිනාසෙයි. ඔහු ද ඇගේ ක්‍රියාවෙන් උත්තේජනය වී සිනා ලෝකයක් මවයි. එහෙත් මෙම එකම වස්ත්‍රයක්වත් මිලට ගැනීමට ඔවුනට අතේ එක පිච්චියක්වත් නැත. එනමුදු ආදරවන්තයෝ සිනාසෙති. ඔවුන්ගේ සිනාහඬ යටින් ඇසෙන ශෝකී රාවය බුද්ධිමත් ප්‍රේක්ෂකයකුට සදා අමතක නොවනු ඇත.

සිනමාපටයේ තවත් හද සසල වන මොහොතක් වන්නේ ආදරවන්තයින් ආදරය විඳින්නට සියලු වැර වීරිය යොදා එය අසාර්ථක වූ විට හෝටල් කාමරයේ තනිවන අවස්ථාවයි. මෙතෙක් සිය ලිංගික සංතර්පණය සඳහා වෙහෙසුණු වීදි පෙම්වතා සිය සොඳුරියගේ නළලත සිප අපි යමු යැයි පවසන අවස්ථාව අතිශයින් හැඟුම්බර වූවකි.

තරුණ සිනමාකරු ශමීර රංගන නාඔටුන්න සිය සිනමා වියමනේදී ස්වකීය හෘද සාක්ෂියේ දෝංකාරය බෙදා හදා ගන්නට සංගීතය යොද ඇති ආකාරය ද සැබැවින්ම පැසසිය යුතුය. තමා විසින් තෝර බේරා ගත් විපරිත පසුතලයේ පවතින ඝොර බිරුම් චෛතිසකය හා පෑහෙන ලෙස අජිත් කුමාරසිරි නම් නිර්මාණකරුවාගෙන් විස්මිත සංගීත සම්මාදමක් ලබා ගන්නට සිනමාකරු සමත්ය. අම්මාගේ මාලේ ටවුමේ උකස් කඩේ - හීන අරන් එන්න - මං නයි නටවන පවුලක ඉපදුණා නම් යන ගීත වත්මන් තරුණ පෙළ අතර මහත් ජනප්‍රිය වනු ඇතැයි මම සිතමි.

සන්දර්භය අතින් බලන කළ මෝටර් බයිසිකල් යනු සැබැවින්ම උසස් නිර්මාණයකි. එහි විශිෂ්ටත්වය රඳා පවතින්නේ රූපයටත් වඩා චිත්‍රපටය තුළින් සිනමාකරුවා අප කැඳවාගෙන යන සමාජ දේශපාලනික යථාර්ථය තුළය. මෙම වීදි තරුණයා කවුද? ඔහු මුහුණ දෙන මෙම ඛේදවාචකයට හේතුව කුමක්ද? ඔහුත් ඔහුගේ පෙම්වතියටත් පොදු වූ අර්බුදයන් කුමක්ද? ඒවා ජය ගැනීමට අප විසින් කළ යුතු ක්‍රමවේදය මෙය වන්නේය යයි නොකියන අප සිනනමාකරු රංගගේ ජීවිතයේ එක් දවසක් තුළින් අපට ලෝකය දෙස බොහෝ සෙයින් විමසිලිමත් වන්නට කවුළු දොරක් හැර දෙයි. එය සැබැවින්ම අභියෝගාත්මක පියවරකි. වරක් ඉන්දීය මහා සිනමාකරුවකු වන මිර්නාල් සෙන් සිය සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තුන් වන ලෝකයට අයත් සිනමාකරුවකුගේ කාර්යභාරය විය යුත්තේ සිය රට තුළ පවතින සමාජ යථාර්ථය කැඩපතක් සේ පිළිබිඹු කළ යුතු බවකි. ශමීර රංගන නාඔටුන්න එම පරිචය ඇති බව මෝටර් බයිසිකල් සිනමා කෘතිය අපට පසක් කරයි.