වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඡන්දෙ ඉල්ලපු මුල්ම නළුවා මමයි

ඡන්දෙ ඉල්ලපු මුල්ම නළුවා මමයි

ශාන්ති අබේසේකර

සුපි‍්‍රයා, සාධානා ඇතුළු දූ දරු පිරිසෙන් සමහරෙක්

පනහ දශකයේ හැටේ දශකයේ සිංහල සිනමවේ ජනප්‍රිය නළුවන් අතර ශාන්ති අබේසේකර ඔහුටම ආවේණික රංග ශෛලියක නියැලුණේය. ඔහු සතුව තිබූ ආකර්ෂණීය කඩවසම් පෙනුමට ද ඔහුටම ආවේණික වූ රංග ශෛලිය නිසා එදා සිනමා ලෝලීන් අතර ඔහු ජනප්‍රිය විය. චිත්‍රපට නළුවකු ලෙස සිය කලා ජීවිතය ආරම්භ කළ ඔහු කතා, දෙබස්, තිර රචකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු ලෙසින් කටයුතු කළ ශාන්ති අබේසේකර හා පිළිසඳරේ යෙදෙමු.

තිරයේ ශාන්ති අබේසේකර නම කියන කොටම කෙනෙකුගේ සිතට දැනෙන්නේ ඔබ කාන්තාවක් කියා?

ඒ දැනෙන කුතුහලයත් සැබෑ ලෙසටම මට ආශිර්වාදයක්. ඒකට හේතුව නම කියන කොට කාන්තා චිත්‍රයක්. සැබෑ ලෙසින් කඩවසම් නළුවෙක්. හොඳයි නේද මගේ නාම ප්‍රාතිහාර්ය. මගේ නම ශාන්ති මෙන්ඩිස් අබේසේකර. නමේ මෙන්ඩිස් හලල සිනමාවට ශාන්ති අබේසේකර වුණා.

මම හිතන්නේ ඔබ සිනමාවට එන්නේ පාසල් ශිෂ්‍යකුව ඉන්නා අවධියේ?

ඔව්. එතකොට මට අවුරුදු 17 යි. පාසල් අවධියේ පටන් මම සිනමාවට ඇලුම් කළා. මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තේ හලාවත ආනන්ද විද්‍යාලයෙන් හා මාදම්පේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්. චිත්‍රපටයක රඟපාන්න, නළුවකු වෙන්නට එහෙම ආශාවක් තිබුණේ නෑ. මා තුළ කුතුහලයක් තිබුණේ චිත්‍රපටයක් හදන හැටි දැක බලා ගැනීමට, ඒ පිළිබඳ දැනුමක් ලබා ගන්න.

මේ චිත්‍රපට නිර්මාණයේ පිපාසය ඔබ සංසිඳවාගන්න මොන වගේ උපායක් ගැන ද හිතුවේ?

මම අහල තිබුණ තොරතුරු අනුව දවසක් මම කඳානේ එවක තිබූ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයට පැමිණියා චිත්‍රපටයක් හදන හැටි දැක බලා ගන්න. ඒ ආපු ගමනේදී ස්ටුඩියෝවේදී චිත්‍රපටයක් කරමින් හිටිය එවක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ඒ. එස්. නාගරාජන් මහතා මට හමු වුණා. මගේ ආශාව ගැන ඔහුට පැවසුවාම මට චිත්‍රපටය රූපගත කරන හැටි දැකගන්න අවස්ථාව ලබා දුන්නා.

පිපාසය සංසිඳවාගන්න ගිය ගමන කෙළවර වුයේ ඔබව නළුවෙකුත් කරලයි?

මෙහිදී මාගේ ස්වරූපය දැකලා පැහැදුණු නාගරාජන් මට නළුවෙක් ලෙස චිත්‍රපට රඟපෑමට ආරාධනයක් ද කළා. ඒ වෙන කොට කරමින් සිටි චිත්‍රපටයේ බොහෝ රූපගත කිරීම් අවසන් කර තිබූ හෙයින් ඒ චිත්‍රපටයේ වෛද්‍යවරයකුගේ චරිතයක් ලබා දුන්නා. ඒ තමයි පුදුම ලේලි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ වෛද්‍යවරයාගේ සුළු චරිතය රඟපාමින් තමයි මම මුලින්ම සිනමා රංග ශිල්පියෙකු ලෙස මගේ ගමන ආරම්භ කරන්නේ.

1953 පුදුම ලේලි රඟමින් සිනමාවට එන ඔබ සැඩ සුලං චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පවා තෝරා ගැනීමක් සිද්ධ කරනවා?

එතනදිත් සිදු වන්නේ අපූර්වතම සිද්ධි මාලාවක්. දවසක් මට එවක ජනප්‍රිය නිළියකව සිටි ෆ්ලොරිඩා ජයලත් හලාවතදී මුණ ගැහුණා. මම ඇයත් සමඟ කතා කළා. ඇයට වැටහුණා මම සිනමාව ගැන ගොඩක් පැහැදී සිටින වග. ඒ අනුව ඇය කිව්වා සැඩ සුළං කියලා චිත්‍රපටයක් චිත්‍රපට අධ්‍යක්ෂ ටී. සෝමසේකරන් කරන්න යනවා. මම ඔහුට කියලා ප්‍රධාන චරිතය කතා කරල දෙන්නම් කියලා. දවසක් මට ඈ එන්න කියලා ටී. සෝමසේකරන්ට හඳුන්වලා දුන්නා. ඔහු මම ගැන පැහැදිලා පිටපතේ නළු නිළියන් ගොන්නේ මගේ නම ඉදිරියෙන් ලිව්වා ලීඩ් ඉන් ද රෝල් කියලා.

ඒත් ඔබට ප්‍රධාන චරිතය සැඩ සුළංවල රඟපාන්න ලැබෙන්නේ නැහැ?

සැඩ සුළං රූපගත කරන්න අපි ඉන්දියාවට ගියා. වාහිනී ස්ටුඩියෝවේ තමයි රූගත කිරීම් සිද්ධ කළේ. ලංකාවෙන් යන කොටත් මම තමයි සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. අපි රත්මලාන ගුවන් තොටුපලින් ඉන්දියාව බලා ගිහින් එවකට ජනප්‍රිය ඉන්දීය නිළි රාජ් කුමාරිගේ ගේ ළග ලොච් එකක නැතිලා තමයි අපි චිත්‍රපටය කළේ. චිත්‍රපටය ෂූට් කරන්න පටන් ගන්න කලින් මට මේකප් ටෙස්ට් එකක් කළා ඉන්දියානු මේකප් ආටිස්ට් කෙනෙක්. මේකප් එකෙන් පස්සේ මම චරිතයට යං වැඩියි කියලා අදහසක් ඇති වුණා. ප්‍රධාන නිළිය ලෙස රඟපෑමට හිටියේ ෆ්ලොරිඩා ජයලත්. ඇයගේ පෙනුම වැඩිමල් මගේ පෙනුම බාලයි කියලා අධ්‍යක්ෂවරයා සමග කතා කර පෙනුමේ නොගැළපීම් මත මට ප්‍රධාන චරිතය අහිමි වුණා. ඒ වුණත් මට ඒ චිත්‍රපට කතාවේ තිබුණු නැටුම් ගුරුවරයාගේ චරිතය රඟපාන්න ලැබුණා. ඒ සඳහා මගේ පෙනුම ගැළපුන නිසා මම කරන්න ගිය ප්‍රධාන චරිතයට ප්‍රේම් ජයන්ත්ව නැවත ලංකාවෙන් ගෙනත් චිත්‍රපටය කළා.

සැඩ සුළං රඟපාන්න ඉන්දියාවට ගිය ගමන ඔබේ ජිවිතයේ විශාල පරිවර්තනයක් ඇති කළා?

මගේ ජිවිතයේ මුල්ම විදේශීය සංචාරය වූණෙත් මේ ඉන්දිය ගමන. මම චිත්‍රපටයේ වැඩ ඉවර වුණත් තව වැඩිපුර අවුරුද්දක් විතර ඉන්දියාවේ ගත කළා. මට මේ සඳහා ආනන්ද සමරකෝන් මහත්මයා උදවු කළා. මට මතකයි සැඩ සුළං චිත්‍රපටයේ ලතා මංගේෂ්කාර් ගයන ගීතය සඳහා ආනන්ද සමරකෝනුත්, සෝමසේකරනුත්, මාත් බොම්බායට ගිය අවස්ථාව. ඒ ගමනේදී ලතා මංගේෂ්කාර් කිව්වා අපේ භාෂාවත් සිංහල භාෂාවත් අතර වචන භාවිතයේ එතරම් වෙනසක් නෑ. සිංදුව අපහසුවක් නැතුව ගායනා කරන්නත් පුළුවන් කියලා. කෙසේ වුවත් ඔකස්ට්‍රා එක හතලිහක් විතර හිටියා. දක්ෂිණමූූර්ති සංගීතවේදියා තමයි මියුසික් කළේ. විශ්වාස කරන්න ලතා මංගේෂ්කාර් කිසිම රියසල් එකක් නැතුව එක ටේක් එකෙන්ම සිංදුව කිව්වා. ඒ වෙලාවේම ලතා මංගේෂ්කාර්ගේ පේමන්ට් එක ඇය අතට දුන්නේ ආනන්ද සමරකෝන්. ඒත් ඇය ඒ මෙහොතේම නැවත ඒ පේමන්ට් එක ආනන්ද අත තැබුවේ ඔයාට තමයි මේක හිමි වෙන්න ඕනෑ, මෙලඩිය ඔයාගේ කියලා.

ඔබ සිනමාව ගැන හැදෑරීමක් සිද්ධ කරන්නෙත් මේ ගමනේදී?

මම ස්ව උත්සාහයෙන්ම තමයි චිත්‍රපට හදන්න ඉගෙන ගත්තේ. ඉන්දියවේ ස්ටුඩියෝවල රිංගලා චි’ත්‍රපට හදන හැටි, කාර්මික පැත්ත ගැන එහෙ හිටිය කාලය පුරා මම ස්වයංව ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගෙන තමයි මම නැවත ලංකාවට ආවේ.

දස්කම චිත්‍රපටයේ රංගනය තුළින් ඔබ ප්‍රධාන චරිත රංගනය අරඹනවා?

මගෙ ප්‍රධාන චරිත භූමිකාව ඇරඹුවේ ‘දස්කම’. එතන ඉඳලා මම දිගටම රඟපෑවෙ ප්‍රධාන උප ප්‍රධාන චරිත.

මාධ්‍ය ක්ෂේත්‍රයේ සුප්‍රකට නමක් දිනූ කරුණාරත්න අබේසේකර තමයි ඔබට ප්‍රධාන චරිත භුමිකාවේ දොරටු විවර කරන්නේ?

දවසක් මම කුරුණෑගල ඉන්න කොට කරුණාරත්න අබේසේකර දුරකතන ඇතුමක් දුන්නා. දීලා ඇහුවා කොහෙද ඉන්නේ කියලා. මම කිව්වා කරු අයියේ මම කුරුණෑගල කියලා. එහෙනම් මල්ලි අද දස්කම කියලා චිත්‍රපටයකට නළු නිළියෝ තෝරනවා ඔරුගොඩවත්තේ. ඔයත් එන්න කිව්වා. ඒ කාලේ මට එම්. ජී. රේසිං කාර් එකක් තිබුණා. මම ඒකේ පණිවිඩය ලැබුණු ගමන් හැටට හැටේ පාගලා කොළඹ ආවා. කරු අයියා කිව්ව ඔරුගොඩවත්තේ ප්ලේස් එකට ගියා. තට්ටු දෙකේ ගෙදරක කරු අයියා උඩ තට්ටුවේ. මුළු ගේ වටේම සෙනඟ. රඟපාන්න ආපු අයත් පිරිලා ඉතිරිලා. මාව දැක්ක කරු අයියා උඩට එන්න මල්ලි කිව්වා. චිත්‍රපටයේ ඩිරෙක්ටර් ජේ සිංහට මාව හඳුන්වලා දුන්නා. ඔහුව එදා ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය හැඳින්වූයේ බාබුජි කියලා. ඒ පාර මම දිහා හොඳට බලන් හිටිය බාබුජි එක පාරට දෙනෝ දාහක් ඉන්න තැන නැගිටලා ඉන්ටව් කැන්සල්. සේපාල ආවා කියලා මාව බදා ගත්තා. එතනින්ම ඉන්ටව් කැන්සල් වුණා. දස්කම චිත්‍රපටයේ සේපාල ප්‍රධාන චරිතය මට ලැබුණා. එදා මම දිස්නා රංජනී සමඟ ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා.

චිත්‍රපට කීපයකම ඔබ ඉන් පසු ප්‍රධාන භුමිකා නිරූපණයේ නියැලෙනවා?

ප්‍රධාන නළුවකු ලෙසින් කිසියම් වෙනසක් දැකිය හැකි ආකර්ශණීය නළුවකු ලෙසින් මට නමක් හැදිලා තිබුණ නිසා චිත්‍රපට කීපයකටම මට ආරාධනා ලැබුණා. සිරිසේන විමලවීරගේ ‘සිරකරුවා’ චිත්‍රපටයේ ලීලා හල්ලෝවිට සමඟ රඟපාන්න ලැබුණා. රෝලන්ඩ් අමරසිංහගේ කොළඹ හාදයෝ, ගිජු ලිහිණියෝ, පුතා මගේ සූරයා චිත්‍රපටවල රඟපෑවා.

‘පුතා මගේ සූරයා’ රඟපෑමත් සමඟ ඔබ සිනමාවෙන් සමුගන්නවා. මේ චිත්‍රපටය වැඩ ඉවර කරල අවුරුදු පහළොවක් විතර ගිහින් 2012 වසරේ තමයි තිරගත වෙන්නේ.

සිනමාවේ ලැබූ ජනප්‍රියත්වයත් සමඟ ඔබ දේශපාලනයට පිවිසෙනවා නොවේද?

නළුවෙකු ලෙස මුල්වරට මහ මැතිවරණයකට ඉල්ලූ මුල්ම පුද්ගලයා වන්නේ මම. මගේ මිත්‍රයෙක් වූ රංජිත් දහනායක මහතා 1959 දී එවක භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතාට මාව හඳුන්වලා දුන්නා. එතුමාණන්ගෙන් මට දේශපාලනය කිරීම සඳහා ආරාධනයක් ලැබුණා. ඒ් අනුව මම ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වාරියපොල සංවිධායක ලෙස ලිපියකින් පත්වීමක් ලැබුණා. මට කැන්වසින් කරන්න ලක්ෂ පහක මුදලක් ලබා දුන්නා. 1960 අතුරු මැතිවරණයෙදී දහනායක මහත්තයා ඇතුළු අපි හය දෙනෙක් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉල්ලුවා. අපි හය දෙනාම පැරදුණා. මම වාරියපොලින් තුන්වෙනියාට ආවා. ජයග්‍රහණය කරන්න බැරි වුණා. ඊට පස්සේ දේශපාලනය පැත්තකට දාලා ආයෙත් රඟපාන්න ආවා.

රංගනයෙන් සිනමාවට එක් වන ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයට නිෂ්පාදනයට වගේම තිර රචනයටත් යොමු වෙනවා?

මගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය වුණේ වහල් දූපත. පුංචි ලේලි චිත්‍රපටයේ පුංචි චරිතයක් රඟපාන්න ආපු දවසේ ඉඳලා චිත්‍රපටවල කාර්මික පැත්ත ගැන මම හොඳ අවබෝධයෙන් හිටියා. කවද හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ ආසාවක් මගේ හිත තුළ තිබුණා.

එවක පුවත්පත්වල වහල් සේවයට ළමයි රැගෙන යාමේ සිද්ධි ගැන ප්‍රවෘත්ති වැඩි වශයෙන් පළ වුණා. මේ ගැන මගේ අවධානය යොමු වුණා. මේ සිද්ධි පිළිබඳ ලිපි කියවනකොට අදහසක් ආවා මේ ආශ්‍රිතව චිත්‍රපටයක් නිර්මාණය කළොත් හොඳයි කියලා. ඒ අනුව මම තිර නාටකය ලියන්න පටන් ගත්තා. මාත් සමඟ කලින් රඟපා තිබුණු නළුවෙක් හිටියා ඇම්. ඇස්. බෙලිඅත්ත කියලා. ඔහු මට මේ සඳහා සම නිෂ්පාදනයෙන් සහාය වුණා. ගොඩක් පිරිසක් මට උදවු කළා මේ චිත‍්‍රපටය කරන්න. සිරිසේන විමලවීර හමු වී කැමරා උපකරණ පසුව ගෙවීමේ පදනමට ලබා ගත්තා. මම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. මාත් සමඟ චන්ද්‍රකලා, රැල්ෆ් විජේසේකර, ඔස්ටින් අබේසේකර, පියදාස විජේකෝන්, අශෝක හේවාවිතාරණ ඇතුළු නළු නිළි බොහෝ පිරිසක් මෙහි රඟපෑවා. ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා කැමරාවෙන් මට සහාය වුණා. කොහෙම හරි රුපියල් හැට දහසකින් විතර මට මගේ මුල්ම චිත්‍රපටය වු වහල් දූපත නිෂ්පාදය කරගන්න හැකි වුණා.

වහල් දූපත හරහා ඔබ ජයග්‍රහණ කීපයක් ලැබුවා නොවේද?

ආර්. ජී. සේනානායක මහත්තයා මට ගොඩක් රූපගත කිරීම් ප්‍රදේශවලදී උදව් කළා. අපි නිලාවැලි ප්‍රදේශයේ නතර වෙලා තමයි ෂූටින් කළේ. යාපනය ප්‍රදේශයේ අප චිත්‍රපටයේ රූපගත කිරීම් කළා. ඒ ප්‍රදේශවල මිනිස්සු පවා අපට උදව් කළා. මම තමයි චන්ද්‍රකලා ප්‍රධාන නිළියක් වශයෙන් මේ චිත‍්‍රපටයෙන් හඳුන්වා දුන්නේ. සරසවිය සම්මාන උලෙළේදී මේ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් චන්ද්‍රකලා විශිෂ්ට කුසලතා සම්මානය දිනා ගත්තා. චිත්‍රපටයත් ගොඩක් ජනප්‍රිය වුණා. ආදායම් අතිනුත් සාර්ථක වුණා.

ශාන්ති ඔබේ දූවරුන් දෙදෙනෙකුගේ නමින් ඔබ චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරනවා?

සුප්‍රියා ෆිල්ම්ස් නමින් මම වහල් දූපත නිෂ්පාදනය කළා. සාධානා ෆිල්ම්ස් නමින් මගේ දෙවැනි චිත්‍රපටය වූ සිදාදියෙන් හයක් නිෂ්පාදනය කළා.

දෙවන අධ්‍යක්ෂණය වූ සිදාදියෙන් හයක් කිසියම් වාරණයකට ලක් වෙනවා නොවේද?

මේ චිත්‍රපටය තැනුවේ මුලින්ම සිදාදියේ මදාවියෝ නමින්. මේ චිත්‍රපටයට නොයෙකුත් බාධා එල්ල වුණා. රැඟුම් පාලක මණ්ඩලය එහි නමට අවසර දුන්නේ නැහැ. බොහෝ දර්ශන කපාහැර අලුත් දර්ශන එකතු කරන්නත් සිද්ධ වුණා. එය නිර්මාණයට තදින් බලපෑවා. හැටේ දශකයේ අග භාගයේ තිරගත වුණ මෙහි මාත් සමඟ සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අශෝක හේවාවිතාරණ, කමල් දිසානායක, රැල්ෆ් විජේසේකර, පද්මා සිරිවර්ධන, විලී රණවීර ප්‍රධාන චරිත රඟපෑවා.

ඔබ වෙන චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහාත් යොමු වෙනවා?

හිඟන කෙල්ල චිත්‍රපටය තමයි මගේ තෙවන අධ්‍යක්ෂණය. ඒත් එහි වැඩ අතරමග නතර වුණා. ඊ. ඒ. පී. එදිරිසිංහ මහත්තයා තමයි ඒ සඳහා උදවු කරන්නේ. මුත්තුසාමි මාස්ටර් තමයි මියුසික් කළේ. සිංදු එහෙම ෂූට් කළා.

චිත්‍රපට පසුබිම් ගායනයෙනුත්, ගුවන් විදුලි ගායිකාවක් ලෙසිනුත් ගායන ක්ෂේත්‍රයේ නම් දරා සිටින ප්‍රවීණ ගායිකාවක වූ දයා හේමන්තා අබේසේකර ඔබට හමු වූ ඒ රසබර අතීතය සිහිිපත් කළොත්?

මගේ බිරිය දයා හේමන්තා එවක සිටි ප්‍රවීණ ගායිකාවක් වූ වසන්තා සන්දනායකගේ දියණියක්. දයා මට හම්බ වුණේ අහම්බෙන්. මමයි මිල්ටන් පෙරේරායි කාලයක් නතර වෙලා හිටියේ එක බෝඩිමේ. අපේ යාළුවෙක් හිටියා බී. ජී. ජෝතිපාල කියලා. එයාගේ වෙඩින් එකේ සිංදු කියන්න වසන්තා සන්දනායක හමු වෙලා ඇයව බුක් කර ගන්න මමත් මිල්ටන් පෙරේරාත් ඇගේ ගෙදර ගියා. ඔය ගිය වෙලාවේ මගේ හිත ඇදිලා ගිය රූප සුන්දරියක් මම දැක්කා. ඒ තමයි දයා. ඒ පාර මම ඇහුවා හෙමින් මිල්ටන්ගෙන් මචං කවුද ඒ කියලා. ඒ බං වසන්තාගේ දුව කිව්වා. ඔන්න මුලින් දැක්ක දවස.

ඒ කාලේ මම නොකරපු දෙයක් නෑ. මරියකඩේ සීගිරි කියලා ස්ටුඩියෝවක් කළා. කලා රැජිණි කියලා සිනමා පත්තරයක් ගැහුවා. සිංදු පොත් කළා. ඔය වගේ කරපු සිංදු පොතක වසන්තාගේ පින්තූරයක් මුල් කවරයට ගන්න කතා කරන්න ආවා. ඒත් ඒක හරි ගියේ නෑ. ඒ වෙන කොට දයා රස මිහිරි කතා සිංදුව කියලා ජනප්‍රියයි. මම ඇයට ආරාධනා කළා පින්තූරයකට. එයා අයියත් එක්ක සරත් සන්දනායක එක්ක මරියකඩේ සීගිරි ස්ටුඩියෝවට ආව පින්තූරයක් ගන්න. ඒ වෙලාවේ නංගිගේ තනියට අයියා ආවත් නංගි එක්ක පින්තූරයක් ගන්න අයියා මැලි වුණා. දෙන්නම තරුණ වයසේ නිසා කවුරු හරි වැරැදි විදියට හිතයි කියලා ඒ පාර අයියා සමඟ නංගිව තියලා මම අනික් පැත්තෙන් හිට ගත්තා තවත් කෙනෙක් විදියට. එදා තමයි මගේ හිතේ මලක් පිපුණේ. කියලවත් කරගන්න බැරි දෙයක් දෙයියෝ ළඟටම ඇවිත් දුන්නා. ඇගේ පින්තුරය දාලා ගී රස ගංගා නමින් ඒ සිංදු පොත කළා. පොතත් ජනප්‍රිය වුණා. ඔය අතරේ ඇති වුණ මිත්‍රකම ටික ටික ආලයකට හැරුණා. කලාකාරයෝ හැටියට මම ගැනත් එයාලගේ පවුලේ අය දැන හිටියා. මමත් විවාහ යෝජනාවක් ගෙනාවා. ඒකට කැමැත්ත ලැබුණා. 1960 ගණන්වලදී අපි විවාහ වුණා.

ඔබ කාලයක් නිරතව සිටි ආදරය කළ සිනමාව ටිකෙන් ටික අමතක කරලා ව්‍යාපාර කටයුතුවලට යොමු වුණා නේද?

දරු පවුලත් සමග චිත්‍රපටවලින් ජීවිතය ගෙනි යන්න බැරි බව මට තේරුණා. ඒ නිසා මම විදේශ රැකියා ඒජන්සියක් පටන් ගත්තා. ඒ සදහා මට අවශ්‍ය අවසර පත්‍රය ලබා දුන්නේ එවක රාජ්‍ය ඇමැතිවරයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් මහත්තයා. මම එතුමන්ගේ දේශපාලන දිවියේ ගොඩක් දේවල්වලට පුද්ගලිකව උදවු කළ කෙනෙක්. ඒ නිසා එතුමාත් මට මේ අයුරින් උදව් කළා.

ඔබේ සිනමා ජීවිතය ගැන ආපසු හැරී බලන කොට පසුතැවිමක් තියෙනවාද?

මම සිනමා කර්මාන්තයට ගරු කරනවා. චිත්‍රපටයක් කරන්න ගියහම ඇතිවන ගැටලු, කැපිලි කෙටිලි මේ දේවල් දකින කොට ඇත්තෙන්ම ඇති වෙන්නේ කලකිරීමක්. එදා හිටිය නළු නිළියෝ හොඳයි. දක්ෂයි. අද ඉන්න අය ගැන නම් මම කියන්න දන්නේ නැහැ මම දැන් ක්ෂේත්‍රයේ නැති නිසා. නළුවෙකු ලෙස මම ආදරය කළ කෙනෙක් තමයි විජය කුමාරතුංග. ඔහු සැබැවින්ම ගරු කළ යුතු පුද්ගලයෙක්. අද වෙන කොට අපේ සිනමාව විජය හිටියා නම් මේ තත්ත්වයෙන් නැහැ. ගව් ගානක් ඉස්සරහට ගිහින්. අපරාදේ කාලකණ්නි ඒ වටිනා පුද්ගලයා මරලා දැම්මා. විජය මැරුනට පස්සේ මට ආටිස්ලා එපා වුණා. ළමයි ලොකු වෙන කොට මම හිතා ගත්තා සිනමාවෙන් අයින් වෙනවා කියලා. ගෑනු දවටගෙන රඟපෑමක් කළත් මට හිතුණා මම දරුවන්ට ආදර්ශමත් වෙන එක හොඳයි කියලා.

ඔබේ දැන් වයස?

අවුරුදු 78 ක්. මේ කාලයෙන් අවුරුදු 30 - 35 විතර කලාව් මම මොන විදියෙන් හරි නියැලෙන්න ඇති. ඒත් දැන් නම් කිසිම දේකට යන්නේ නැහැ, චිත්‍රපට කරන්නෙත් නැහැ. ගෙදරටම වෙලා ඉන්නවා.

එදා සිනමාවේ කඩවසම් නළුවෙකු වූ ඔබට ආදර සම්බන්ධතා විවාහ යෝජනා එහෙම ගලාගෙන එන්න ඇති?

මොකද නැත්තේ, ඕනැ තරම් තිබුණා. ලියුම් මිටි ගණන් ඇවා. සමහර කලා ක්ෂේත්‍රයේම නිළියෝ මංගල යෝජනාත් ගෙනාවා. රසිකයොත් එහෙමයි. ඒත් මගේ කැමැත්තක් ඒවට ඇති වුණේ නැහැ. සමහර නිළියෝ මට වයසින් වැඩි අයත් හිටියා. ඒ කාලේ සන්ධ්‍යා කුමාරි මට විවාහ යෝජනාවකුත් කළා. ශාන්ති අපි බැඳලා හින්දි ජෝඩුවක් වගේ ඉමු කියලා. කොහොම හරි මගේ හිත ගියේ කැමැත්ත ඇති වුණේ දයාට. ඇය මට අදටත් සැබැවින්ම ප්‍රියම්බිකාවක්.

මේ ක්ෂේත්‍රයේ ඔබට අමතක නොවන කට පුරා කතා කළ හැකි පුද්ගලයෝ එහෙම ඇතිනේ?

ෆ්ලොරිඩා ජයලත්, කරුණාරත්න අබේසේකර මගේ මතකයන් අතර අදටත් එහෙමයි.

අදටත් ඔබ ප්‍රේක්ෂක මතකයේ රැඳිලද?

සමහරුන්ට මාව මතකයි. ඒත් එදා පරපුර ගැන අද දන්න අය නැති තරම්. කොළඹ හාදයෝ චිත්‍රපටයේ ගැමි තරුණියන් පිරිවරා ගිටාරයක් වයමින් නාගරික තරුණ්‍යකු ලෙසින් ජීවිතේ ප්‍රීති සංසාරෙකි ලොවේ (ධර්මදාස වල්පොල ගායනා කරන) ගීතය මම කරන අපූරු රංගනය අදත් ප්‍රේක්ෂකයෝ සිහිපත් කරන්නේ හදවතින්. ඒ වගේ අතීත සිදුවීම් කවුරු හරි මතක් කරන කොට ඇත්තෙන්ම මට දැනෙන්නේ ලොකු සතුටක්.

කොහොමද දැන් දුවා දරුවන් එහෙම?

මට දරුවෝ හත් දෙනයි. දුවල පස් දෙනයි, පුතාලා දෙන්නයි. සුප්‍රියා, සධානා, සංජය, සුදේව, ශර්මිලා, සංජානා, සජනි ඉෂාරා. දරුවෝ සියලු දෙනාටම ගායන හැකියාව වගේම නර්තන හැකියාවත් හොඳට පිහිටලා තියෙනවා. ඒ වගේම මම මේ වන විට මුනුබුරෝ පස් දෙනෙක්, මිණිබිරියෝ දෙන්නෙකුගේ මුත්තනුවකුත් වෙලා.

අද දරුවෝ ඔබේ අඩි පාරේ නොගියත් කලාවට සම්බන්ධයි?

එයාලා කලාවට විශේෂයෙන් රඟපෑමට එනවට මම කැමැත්තක් දැක් වුයේ නැහැ. දරුවන්ට පොඩි කාලේ අධ්‍යක්ෂවරු නිෂ්පාදකයෝ ඕනෑ කරම් කතා කළා. ඒත් මම ක්ෂේත්‍රයේ හැටි දන්න නිසා එයාලගේ ආශාව තිබුණත් යන්න දුන්නේ නැහැ. ඒත් එයාලා අද චිත්‍රපටවල රඟපාන්න නොගියත් ගායනය පැත්තෙන්, නර්තනය පැත්තෙන් ලබලා තියෙන දියුණුව ගැන මම හදවතින් සතුටු වෙනවා. විදෙස් රටවල් හැටකට විතර ගිහින් තියෙනවා. ශර්මිලා දුව ඉන්නෙත් එංගලන්තයේ. හැකි වෙලාවට එහෙ ගිහිල්ලත් ඉන්නවා. දරුවෝ හත් දෙනා එක්ක ඉන්නවා තරම් සතුටක් මට තවත් නැහැ.

ඔබේ ආදරණීය රසිකයන්ට ඒ අතීත සැමරුම් සිහිපත් කරන්න ලිපිනය මතක් කළොත්?

73/33, සැනසුම පෙදෙස, ග්‍රාමෝදය පාර, කලල්ගොඩ.