වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

එම්. ජී. ආර්. කතරගම දෙවියන් ලෙස රඟපෑ චිත්‍රපටය කුමක්ද?

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ සිංහලද? බර්ගර් ද?
පිළිතුර -
නැහැ. ඇය මැලේ ජාතික තරුණියක්.

මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - එම් ජී. රාමචන්ද්‍රන් කතරගම දෙවියන්ගේ චරිතය රඟපා තිබේද?
පිළිතුර -
ඔහු 'තනි පිරවි' චිත්‍රපටයේ මුරුගා දෙවියන් (කතරගම දෙවියන්ට කියන තවත් නමක්) රඟපෑවා. මෙහි වල්ලි නම් දෙවඟන ලෙස රඟපෑවේ ජෙයලිලතා. ඒ නිසා දෙමළ මිනිසුන් මොවුන් දේව රූප ලෙස සලකා වන්දනාමාන කර ඇති බවත් කියැවෙනවා.

ගොතටුවේ තක්ෂිලා වන්නිආරච්චි
ප්‍රශ්නය - කලකට ඉහත ගාමිණී ෆොන්සේක අධක්ෂණය කරන්ට ගිය ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයට පසුබිම් සංගීතය ප්‍රකට හින්දි චිත්‍රපට සංගීතඥ වසන්ත් දේසායි හා ලයනල් අල්ගමට භාර දුන්නා යැයි කියන්නේ ඇත්තද?
පිළිතුර -
ඔව්. එහි ගීත රචනයට රවිලාල් විමලධර්මත් එකතු වුණා. ඒත් ඒ චිත්‍රපටය නිෂ්පාදනය ඇන හිටියා.

මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - එකල වේදිකා නාට්‍යවල රඟපෑ එසේම ලියෝනි කොතලාවලගේ සෙහොයුරිය අයෝනි වීරසිංහ දැන් කෝ?
පිළිතුර -
ඇය දැන් බර්නදෙත් නිත්‍යනාදන් නමින් පෙනී සිටිනවා. මං හිතන්නේ පදිංචිය ඇමෙරිකාවේ.

හෝමාගම ඩග්ලස් දේද්දුවගේ
ප්‍රශ්නය - ග්‍රේස් ජයමාන්න ගයන 'දොයි දොයි දොයි පුත - කෝමළ මා පුත' ගීතය ඇතුළත් වූ චිත්‍රපටය කුමක්ද?
පිළිතුර - දෛව විපාකය.

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්
ප්‍රශ්නය - ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහගේ ලිපිනය සොයා දෙන්න.
පිළිතුර -
75, ජම්බුගස්මුල්ල පාර, නුගේගොඩ.

කැටපළ සමන් ගාල්ලගේ
ප්‍රශ්නය - මුලින්ම තහනමට ලක් වූයේ 'පළිගැනීමද?' 'නළඟනද?'
පිළිතුර -
'පළිගැනීම' තහනමට ලක්වුණේ නැහැ. 'නළඟන' තහනම් කර පසුව ප්‍රදර්ශනයට අවසර දුන්නා.

කළුතර, දොඩංගොඩ එන්. ඩී. ඉසෙඩ් සිරිවර්ධන
ප්‍රශ්නය -'කළු දිය දහර' චිත්‍රපටය ගැන යමක් කියන්න?
පිළිතුර -
මනික් සන්ද්‍රසාගරගේ මුල්ම චිත්‍රපටය. මෙය ඉතාම සිනමානුරූපී චිත්‍රපටයක්. කැමරාව මෙහෙය වූයේ සුමිත්ත අමරසිංහ. රවින්ද්‍ර රන්දෙණිය ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය. නිමල් මෙන්ඩිස් ගැයූ 'මාස්ටර් සර්' ගීතය ඇතුළත් වුණේ මේ චිත්‍රපටයටයි.

කැලණිය වරාගොඩ නීටා මර්සලින්
ප්‍රශ්නය - හර්බට් එම්. සෙනෙවිරත්න 'සෙනෙහස' චිත්‍රපටයේ ගීත ගායනා කළේද?
පිළිතුර -
නැහැ. ඔහු ගීත රචකයෙක් මිස ගායකයෙක් නෙමෙයි. 'සෙනෙහස' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් හර්බට්මයි.

කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු
ප්‍රශ්නය - 'චණ්ඩියා' චිත්‍රපටයේ එන 'ත්‍රී ස්ටාර් ක්ලබ්' එක පිහිටා තිබුණේ කොළඹ කුමන තැනකද?
පිළිතුර -
ඒක හැඳල විජය චිත්‍රාගාරයේ ඉදි කළ දර්ශන තලයක් පමණයි.

මූදුකටුවේ මිල්ටන් ප්‍රනාන්දු
ප්‍රශ්නය - එඩී ජයමාන්න ගයන 'කොළොම්පුරේ ශ්‍රියා' ගීතය ඇතුළත් වූයේ 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයද? එය ලීවේ කවුද?
පිළිතුර -
එය ඇතුළත් වුණේ 'උමතු විශ්වාසය' චිත්‍රපටයට. ගීතය ලියා ඇත්තේ හර්බට් එම්. සෙනෙවිරත්න.
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. අලුත්ගම අජිත් කුමාර උඩුගමසූරිය, රන්මුතුගල සරත් ලියනගේ, ගෝනපළ සුනිල් බී. වේහැල්ල, සීදූවේ කේ. චන්ද්‍රසේන ප්‍රනාන්දු, මතුගම සුනිල් විජේසිංහ, ගෙලිඔය මල්ලිකා යූ. ලියනගේ, පාණදුර අතුල රම්‍යසිරි, මැවනැල්ලේ පාලිත තිලකරත්න, දූනගහ ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු, මාතර සුදත් නිශාන්ත, මාතර නූපේ දිනේශ් ගුණසේකර.


ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න

‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.