වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලිවලට මම වෘත්තීය පාවා දෙන්නේ නෑ

සල්ලිවලට මම වෘත්තීය පාවා දෙන්නේ නෑ

‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසි උදාර සමරවීර

සංගීත අධ්‍යක්ෂවරයකු හැටියට කටයුතු කිරිම මං හීනෙකින්වත් හිතපු කාරණාවක් නෙවෙයි. එහෙත් දෛවෝපගත ලෙස මං අද වෘත්තීමය සංගීත අධ්‍යක්ෂවරයකු බවට පත් වෙලා ඉන්නවා. මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලබමින් සිටි මාව සංබගීතයට යොමු වුණේ දිලුප් ගබඩාමුදලිගේ හමුවීමත් සමඟයි.

උදාර සමරවීර එලෙස සිය කතාව ආරම්භ කළා. ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කළ උදාර ආදරණීය කතාවක් සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ද වෙනවා.

දිලුප් මහත්මයා ගාව මං බොහෝ කාලයක් සංගීතය හදාරනවා. මට දැනෙන්න පටන් ගත්තා සංගීිතය කියන විෂය මගේ ඇඟේ තියෙනවා කියලා. ක්‍රම ක්‍රමයෙන් මං සංගීතය පැත්තට යොමු වුණා. 2011 වසරේදියි මං වෘත්තීමය සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසට වැඩ කරන්නට පටන් ගත්තේ.

මොකක්ද ඔබ නිර්මාණය කළ පළමු ජනප්‍රිය ගීතය වුණේ?

මට ජාතික නාළිකාවේ සිංහල අවුරුද්ද වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්නට අවස්ථාව ලැබුණා. මං වගේ කෙනෙකුට එය මහඟු වූ දෙයක්. ඒ හින්දා මං අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනෑ කියලා හිතලා එවකට නවක වුණත් ඒ බව නොහැඟෙන්නට ගීතය හැදුවා. සංගීත ලෝකය දිග් විජය කළ රෝහණ බැද්දගේ ඇතුළු ජනප්‍රිය ගීත තරු රැසක් එයට ගායනයෙන් දායක වුණා. පසුකාලිනව එම ගීතයට සම්මානයක් පවා හිමි වුණා.

ඒ මොකක්ද?

2014 රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම කණ්ඩායම් ගීතය හැටියටයි එය සම්මානයට පාත්‍ර වුණේ.

අනතුරුව ඔබ ජනප්‍රිය ගීත කිහිපයක්ම නිර්මාණය කරනවා?

ඔව්. මට ඒ අවුරුදු ගීතය නිර්මාණය කරන්නට ගිහිල්ලා ශෂිකා නිසංසලාව හඳුනා ගන්නට ලැබුණා. මං ඇයට නිර්මාණය කළා හුස්මක් දුරින් නමැති ගීතය. එය ඉතාමත් ඉක්මනින් ජනතාව අතරට ගියා. ඊට පසුව අතුල සමිතා ගයන ඉවසයිද මන්දා, සුරේන්ද්‍ර ගයන තවමත් මුණ ගැහුණේ නැති වාගේ ගීත නිර්මාණය කළා.

ඔබේ ගීතවල බොහෝ සෙයින් මිනිස් කටහඬවල් යොදා ගන්නවා. ඔබ සැදූ ගීතවල බොහෝ විට ස්ථායි කොටසේ සිට අන්තරා කොටස දක්වා සංගීත ඛණ්ඩ වෙනුවට ඔබ භාවිත කොට ඇත්තේ මිනිස් කටහඬවල්?

මම ගොඩක් ප්‍රිය කරනවා මිනිස් කටහඬවල් මගේ ගීත සඳහා පාවිච්චි කරන්න. ඒක හරිම සොභාවිකයි. වෙනසක් කරන්නටත් එක්කයි එලෙස යොදා ගත්තේ. එය සාර්ථක වුණා.

ඔබට කොහොමද ආදරණීය කතාවක් සිනමාපටයෙහි සංගීත අධ්‍යක්ෂණයට ආරාධනා ලැබෙන්නේ?

චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මං නිර්මාණය කළ සංගීතමය නිර්මාණ රස විඳලා තිබුණා. මං ඔහුත් එක්ක වෙළෙඳ දැන්වීම් කිහිපයක වැඩ කළා. ඒත් එක්කම තමයි ඔහුගෙන් මට ආදරණීය කතාවක් චිත්‍රපටයට ඇරැයුම් ලැබෙන්නේ.

චිත්‍රපටයක සංගීතය නිර්මාණය කිරීම සුලුපටු කාර්යයක් නෙවෙයි. එක්තරා අතකින් එය අභියෝගයක්?

ඇත්ත. මේක මගේ පළමු චිත්‍රපටය නිසා ඩබල් ත්‍රිබල් වෙච්ච අභියෝගයක්. ප්‍රියන්ත මට චිත්‍රපටයේ විස්තර කිව්වට පස්සේ මට තේරුණු කරුණක් තමයි මෙහිදී සංගීිතයට වඩාත් මුල් තැන දිය යුතුය කියන එක. ඉතින් මං එහෙම කළා.

චිත්‍රපටයේ ගීත ගායනා කිරිමට ශිල්පීන් තෝර ගත්තෙත් ඔබමද?

නැහැ. ප්‍රියන්ත හිතේ තියාගෙන ඉඳලා තියෙනවා කිහිප දෙනෙක්. චිත්‍රාල් සෝමපාල, කසුන් කල්හාර වගේ අය. මං ඔවුන් එක්ක මීට කලින් වැඩ කරලා තිබුණේ නැහැ. නමුත් මං ඔවුන්ගේ ශෛලියට ගී තනු හැදුවා. කසුන්, චිත්‍රාල් තමන්ගේ ඩියුටිය හරියටම කළා. අපි කොච්චර හොඳට ගී තනු නිර්මාණය කළත් වැඩක් නැහැනෙ ගායනය පැත්තෙන් හරියට සාධාරණයක් ඉටු වුණේ නැත්නම්. මෙහිදී චිත්‍රපටයක කුලුඳුලේ සංගීත අධ්‍යක්ෂණය කරන අයකුට දෙන්න පුළුවන් උපරිම සහාය ඔවුන් මට දුන්නා.

චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නිම කරමින් සිටියදී ඔබට සිදුවුණු අමතකම නොවන මතකය කුමක්ද?

චිත්‍රපටයේ තියෙනවා නේද අහසින් එහා කියලා ගීතයක්. ඒ ගීතයට ඔය තනුවවත් ඔය වචනවත් නෙවෙයි තිබුණේ. මට අන්තිම මොහොත වෙනකම් එම ගීයට සුදුසු තනුවක් අවේ නැහැ. කොපමණ උත්සාහ කළත් ඒ සෑම උත්සාහයක්ම අපතේ ගියා. එතකොට ගීතයත් ලියලා තිබුණේ. අන්තිමේ රෙකෝඩිං දවසත් ළං වුණා. හෙට රෙකෝඩිං නම් අද මගේ ඔළුවට තනුවක් ආවා. මං ඉක්මනට නිලාර් එන්. කාසිම් මහත්මයාට තනුව යවලා වචන ටිකක් ක්ෂණිකව ලියා ගත්තා. මේ වෙලාවේ ඔහු ගැනත් කිව යුතුයි. නිලාර් අයියා හැබෑම දක්ෂයෙක්. විනාඩි දහයක් වගේ කාලයක් ඇතුළතයි ඔහු ගීතය ලිව්වේ. එවලෙම කසුන්ටත් ගීතය යවලා පහුවෙනිදා ඉතාම සාර්ථකව ගීතය පටිගත කළා. මට ඒ සිදුවීම නම් කවමදාකවත් අමතක වෙන්නේ නැහැ.

ආදරණිය කතාවක් නරඹපු ඇතැම් අය කියනවා චිත්‍රපටයට ඇතුළත් කොට ඇති ගීත සංඛ්‍යාව වැඩියි කියලා?

අපි මෙයට ගීත හයක් ඇතුළත් කරන්නයි ප්ලෑන් කරගෙන හිටියේ. නමුත් පිටපතට අනුව වෙනස් වුණා. අවසනදී ගීත නවයක් චිත්‍රපටයට ඇතුළත් කළා. මටත් කිහිප දෙනෙක් කිව්වා ගීත වැඩියි කියලා. හැබැයි මගේ මතයට අනුව මෙවන් වූ ගීත ගණනක් තියෙන්න ඕනෑ.

ආදරණීය කතාවක් චිත්‍රපටය නරඹද්දී ඔබට මොකද හිතුණේ?

පසුබිම 'සංගීතය තව හොඳට කළා නම් හොඳයි කියලා හිතුණා. කොයි නිර්මාණකරුවත් එහෙම තමයි. එකෙන්ම තෘප්තිමත් වෙන්නේ නැහැනෙ.

වර්තමානය වන විට රිඟිං ටෝන් වලටයි ගී නිර්මාණය වන්නේ. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

වෘත්තිය කලාකරුවකුට රිඟිං ටෝන් ඉතාමත් වැදගත්. මොකද තමන් කරන වෘත්තීයට නියම වටිනාකමක් හැදුණා රිඟිං ටෝන් හරහා. මටත් එහෙමයි. වෘත්තීය වශයෙන් සංගීත ක්ෂෙත්‍රයේ නිර්මාණකරුවන් බහුලව බිහි වුණා පසුගිය කාලේ. ඒ රිඟිං ටෝන් නිසා. හැබැයි එන්න එන්න අපේ රිඟිං ටෝන් වෙනුවෙන්ම පමණක් ගීත හැදුවා. වචනවලවත් ගුණාත්මකභාවය ගැන හිතුවේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් ඒවා දඩි බිඩි ගීත.

ඔබටත් එවන් වූ ගීත හදන්නට ආරධනා ලැබෙන්න ඇති?

ඔව්. නමුත් සල්ලිවලට මම මගේ වෘත්තීය පාව දෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ගීතයක් නිර්මාණය කිරීමට ඔබ භාවිත කරන සංගීත භාණ්ඩය කුමක්ද?

පියානීව තමයි. මගේ ආසම වාද්‍ය භාණ්ඩය පියානෝව. පියාමෝවෙන් හදන තනු ඉතාමත් මියුරුයි කියලයි මට හිතෙන්නේ.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් යමක් කරන්න ඕනෑ කියලා හිතාගෙන ඉන්නවා. මොකද සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ශිල්ප ක්‍රම උපරිමයෙන් එළියට දාන්න පුළුවන් මාධ්‍යයක් තමයි සිනමාව කියලා කියන්නේ. ඒ හින්දා ඒ අංශයෙන් වැඩිපුර වැඩ කරන්න කැමැතියි.