|
එදා ආරාධනා පත්‍රය මට විශේෂයි
ච තු රි කා පී රි ස්
කලා ක්ෂේත්‍රයට පැමිණිමත් සමඟින් සරසවිය සම්මානයකින් පිදුම් ලබන්න වාසනාවන්ත වූ යොවුන් කලාකරුවන් පිරිසකුත් ඉන්නවා. චතුරිකා පීරිස් කියන්නෙත් ඒ අතරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කලා පවුලක උරුමයත් සමඟින් රංගන ක්ෂේත්‍රයට පිවිසි චතුරිකාගේ සිනමා ගමනය සිදු වුණේ සෙනේෂ් බණ්ඩාර දිසානායක අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයෙන්. 2004 වසරේදී තිරගත වූ ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයේ චාපා නම් චරිතයට පණ පෙවු චතුරිකා 2005 වසරේ පැවති සරසවිය සම්මාන උලෙළේදී නැඟී එන නවක නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇය ඒ මතකය Road to Prestige වෙනුවෙන් නැවතත් සිහිපත් කළා.
ඔබට ප්‍රථමවරට සරසවිය සම්මාන උලෙළකට ආරාධනාවක් ලැබුණාම දැණුන සතුට කොහොමද? අපි පොඩි කාලයේ පටන්ම සරසවිය සම්මාන උලෙළට ආරාධනා පත්‍ර අපේ ගෙදරට ලැබෙනවා. ඒ අපේ තාත්තාට. ඒ නිසා මමත් මීට පෙර එක වරක් තාත්තා එක්ක සරසවිය සම්මාන උලෙළට සහභාගි වෙලා තිබුණා. ඒ විදියට සරසවිය සම්මාන උලෙළක අත්දැකීම ලබා ගෙන සිටි මටත් 2005 වසරේදී සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් ආරාධනා පත්‍රයක් ලැබුණා. හැබැයි සරසවිය සම්මාන උලෙළේ මම වෙනුවෙන් ලැබුණු ආරාධනා පත්‍රයේ විශේෂත්වයක් මට තිබුණා. මොකද ඒ අවස්ථාවේදි මගේ නමත් නැඟි එන නිළිය වෙනුවෙන් වූ නිර්දේශ අතරට එක් වෙලා තිබුණේ. ඒ නිසා මට විශේෂ සතුටක් දැනුණා. ඒ වෙනුවෙන් මහා ලොකුවට නැතත් සරළව සුන්දරව චාම් විදියට මම සූදානම් වුණා. සම්මානයක් ගැනත් බලාපොරොත්තුවක් තිබුණාද? එහෙම බලාපොරොත්තුවක් නම් තිබුණේ නැහැ. අනික මම ක්ෂේත්‍රයට පය තියනකොටම කවදාවත් සම්මාන පසුපස එළවන්නේ නැහැ කියන සිතුවිල්ලක් හිතේ ඇති කරගෙන හිටියේ. 2002 වසරේදී ක්ෂේත්‍රයට පැමිණි මට 2004 වසරේදී ජනප්‍රිය නිළියට හිමි සම්මානයක් හිමි වෙලා තිබුණා. “ඔය සම්මානය ඔයාට ලැබිය යුතු සම්මානයක්. ඒක ලැබෙන්න තිබුණේ මීට කලින්” කියලා එදා සරසවිය සම්මාන උලෙළට ගිය වෙලාවේ බොහෝ දෙනෙක් මට කිව්වා. ඒ වුණත් මගේ අදහස වුණේ සම්මාන වෙනුවෙන් කියලා නිර්මාණ හොයා ගෙන ගිහින් කරන්නේ නැහැ කියන එකයි. නමුත් සම්මානයකින් පිදුම් ලැබීම කලාකරුවෙකුගේ ජීවිතයට විශාල උද්‍යෝගයක් ගෙන දෙනවා. ආත්ම ශක්තිය වැඩි දියුණු වෙන්නත් ඒක රුකුළක්. ඒ වගේම ඊළඟ නිර්මාණ කෙරෙහි උනන්දුවටත් එය ලොකු බලපෑමක් කරනවා. 2005 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නැඟි එන නිළිය ලෙසින් සම්මානය ලබන විටත් එහෙම දැනෙන්න ඇති? ඇත්තටම මට ගොඩක් ලොකු සතුටක් දැනුණා. සරසවිය සම්මානයක් ලැබීම කලාකරුවෙකුට විශේෂයි. මටත් ඒ අවස්ථාව හිමි වුණා. අපේ පවුලේ හැමෝමත් ගොඩක් සතුටු වුණා. මම කලා ක්ෂේත්‍රයට දායක වූ කාලය පුරා පැවති සෑම සම්මාන උලෙළකින්ම එක සම්මානයක් හරි ලබා ගන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අතරේ සරසවිය නැඟි එන නිළිය වෙනුවෙන් වූ සම්මානය විශේෂයි. නමුත් පසුව කාලයක් සරසවිය සම්මාන උලෙළක් අත්දකින්න අවස්ථාව උදා වුණේ නැහැ. කලාකාරිණියක් විදියට නැවතත් සරසවිය සම්මාන උලෙළක් පවත්වනවා නම් ඒක මට ලොකු සතුටක්. මේ සම්මානය කරා ඔබ මෙහෙය වූ ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටය ගැනත් කියමු? මට ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයේ රංගනයට ආරාධනා කළේ, එය අධ්‍යක්ෂණය කළ සෙනේෂ් බණ්ඩාර දිසානායක. මගේ පෙනුම චරිත ස්්වරූපය එක්ක එහි චාපා නම් චරිතය මට මොන තරම් ගැලපේවිද කියන එක එතැනදී හැමෝටම ප්‍රශ්නයක් වුණා. නමුත් සෙනේෂ්ගේ ආරාධනාව පරිදි පිටපත අධ්‍යයනය කර මා සමඟින් චාපාගේ චරිතය හොඳින් ගලපාගන්න මට හැකි වුණා. අවසානයේදී කවුරුත් හිතුවාටත් වඩා ප්‍රේක්ෂක අවධානයක් ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයට හිමි වුණා. ‘ආදරණීය වස්සානය’ සිනමා ශාලාවලින් දුරස්ව සිටි ප්‍රේක්ෂකයා යළි කැඳවූ චිත්‍රපටක් බවට පත් වුණා. සිනමා ශාලාවල දිගු පෝලිම් ඇතිව සිංහල සිනමාවේ වෙනසක් සිදු කළ සිනමා නිර්මාණයක් විදියට 2004 වසරේදී ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටය තිරගත වුණා. එයත් මට සම්මානය ලැබෙන්න හේතු වෙන්න ඇති. පුංචි තිරයේ ආදරය දිනූ නිළියක වූ ඔබට අලුත් සිනමා ගමන දැනුණේ කොහොමද? ඇත්තටම මට ඒ ක්ෂේත්‍ර දෙකේ වෙනසක් දකින්න ලොකු කාලයක් තිබුණේ නැහැ. මොකද 2004 වසරේ තිරගත වුණාට මම මගේ මුල්ම ටෙලි නාට්‍යය වූ ‘සූරිය දරුවෝ’ ටෙලි නාට්‍යයට දායක වූ කාලයේදීම වගේ තමයි ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයටත් දායක වුණේ. ඒ නිසා රංගන ක්ෂේත්‍රයේ ලොකු අත්දැකීමක් ඒ වෙනකොට මට තිබුණේ නැහැ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වගේම සිනමාවටත් උපරිම කැපවීමෙන් හොඳ චරිත නිරූපණයක් කරන්නයි මට වුවමනා වුණේ. ‘ආදරණීය වස්සානය’ දර්ශන තලයේ අමතක නොවන අත්දැකීම් එහෙමත් තියෙන්න ඇති? චිත්‍රපටය අවසානයේ තිබුණා, චාපා සහ කසුන් කෝච්වියේ නැඟලා ඈතට යන දසුනක්. මමයි රොෂාන් රවීන්ද්‍රයි ඒ දර්ශනය වෙනුවෙන් කෝච්චියේ නැඟලා ගියා. ටික දුරක් ගිහින් කෝච්චිය නවත්වලා ආපසු එනකොට අපේ අම්මා හොඳටම අඬනවා. “ඇයි අම්මේ අඬන්නේ” කියලා මං ඇහුවම “නෑ. මට දුක හිතුණා” කියලා අම්මා කිව්වා. එදා ඇය ඒ දර්ශනය නිසා ගොඩක් සංවේදි වෙලා. ‘ආදරණීය වස්සානය’ සෙනේෂ්ගෙත් පළමු වැනි චිත්‍රපටය. අත්දැකීම් බහුල එකම කෙනා වුණේ නිළි රැජන මාලිනි අක්කා. ඇය මගේ අම්මාගේ චරිතයට පණ පෙව්වා. ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටය පුරාවට ඇයගෙන් ගොඩක් වටිනා ගුරුහරුකම් රැසකුත් ලැබුණා. එදා සරසවිය සම්මානය අතැතිව ඉදිරි ගමන ගැන හිතුවේ කොහොම ද? ඇත්තටම එදා මට සරසවිය සම්මානය ලැබුණාම මම හිතුවේ සිංහල සිනමාවේ ලොකු වෙනස්කමක් විය යුතුයි කියලායි. තරුණ අයට සිනමාවේ තව තවත් අවස්ථා ලැබිලා ඒ හැමෝටම සාර්ථකව ඉදිරියට යන්න ලැබිම තමයි ප්‍රාර්ථනා කළේ. ඒ වගේම මම ඊළඟට දායක වුණු ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් බවට පත් වුණා. නමුත් එතැනින් එහාට බොක්ස් ඔෆිස් මට්ටමට චිත්‍රපට බිහි වුණේ නැහැ. මොකක් හෝ හේතුවකට එතැනින් එහාට එය සැබෑවක් වුණේ නැතත් දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් අපේ රටේ ඉන්නවා. හොඳ චිත්‍රපට බිහි වෙන්න හොඳ තිර රචනා බිහිවිය යුතුයි. මෙතැනදී අධ්‍යක්ෂවරයා වගේම කැමරා ශිල්පියා අතත් ලොකු වගකීමක් තිබෙනවා. අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ එතැනින්. සාර්ථක සිනමා නිර්මාණයකට සියලු දෙනාම ලොකු කැපවීමක් වගේම ප්‍රේක්ෂකයාගේ උනන්දුවත් තිබිය යුතුයි. එදා සිට අද දක්වා සිනමාවේ ඔබ පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ? ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයෙන් පසුව ‘හිරිපොද වැස්ස’, ‘සොඳරු වසන්තේ’, ‘නිල්දිය යහන’, ‘මචං’, ‘සිනාසුනා ආදරෙන්’ වැනි චිත්‍රපටලට දායක වුණා. සිනමාවේ පැමිණි ගමන ගැන තෘප්තිමත් කියලා නම් විශේෂයෙන් කියන්න බැහැ. ඒ වකවානුවේ තිබුණු සීමිත අවස්ථාවලින් කිහිපයක් මටත් ලැබුණා. නමුත් අදටත් සිනමාව තුළ මීට වඩා නිර්මාණ බිහි වෙලා අවස්ථා ලැබෙනවා නම් යහපත් කියන මතයේ තමයි මම ඉන්නේ. රංගන ශිල්පිනියගේ භූමිකාවට අමතරව සිනමාව වෙනුවෙන් යමක් කරන්න අදසක් නැතිද? ඇත්තටම ගයාන්ට නම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් නිෂ්පාදන අංශයෙන් සහයෝගය දෙන්න අදහසක් මට තියෙනවා. හැබැයි ඒක හෙට අනිද්දා වෙන දෙයක් නම් නෙවෙයි. මොකද ලංකාවේ සිනමාව තුළ තියෙන තත්ත්වයත් එක්ක ඉස්සරහට අඩියක් තැබිය යුත්තේ බොහොම පරෙස්සමෙන්. ඒ නිසා පරෙස්සම, රැකවරණය අප වටා හදාගෙන අපි ඉදිරියට යා යුතුයි.
|