වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




‘මචං උඹ නං කවදාවත් හැදෙන මිනිහෙක් නොවෙයි’

27 කොටස

‘මචං උඹ නං කවදාවත් හැදෙන මිනිහෙක් නොවෙයි’

මෙ විශේෂාංගය ලියාගෙන යන විට කාලීන සිදුවීම් කෙරෙහි ද සැලකිලිමත් වීමට සිදු වෙයි. පසුගිය දෙසතිය ඇතුළත කලාවට සම්බන්ධ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් දෙදෙනෙකු වූ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ හා සෝමපාල හේවාකපුගේ මෙසේ අප අතරින් වෙන්වීම බලවත් කනගාටුවකි. මේ දෙදෙනාම මගේ සමීප මිතුරන් විය.

මේ දෙදෙනාම හඳුනාගෙන වසර 50 කට කිට්ටුය. නිහාල්සිංහයන් මා හඳුුනා ගත්තේ 1967 වසරේදී පමණ මුදලිනායක සෝමරත්න අධ්‍යක්ෂණය කළ 'බිනරමලී' චිත්‍රපටයේ රූපගත කිරීම් බැලීමට යාමෙනි. මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ මගේ මාමා ගුණරත්න රත්නායක දිනක් 'මේ මගේ බෑණා. ආනන්දේ ඉගෙන ගන්නේ' යයි හඳුන්වා දීමෙන් පසු ඔහු මගේ මිතුරෙකු විය. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ රංජිත් නිව්ටන් ප්‍රනාන්දු නිහාල්සිංහයන්ගේ ගෝලයෙකු වූ අතර කැමරා සහායකයන් වූ කේ. ඩී. දයානන්ද, එම්. වී. හේමපාල (තලේ) අතපත්තු ආදීන් සමීපව ඇසුරු කිරීමට මට ලැබුණි. 'බිනරමලී' චිත්‍රපටය ගැනත් නිහාල්සිංහයන් ගැනත් මම 'විසිතුර' පත්‍රයට කුඩා ප්‍රවෘත්ති ලියාගෙන ගොස් කර්තෘට දුනිමි. ඔහු නිර්ලෝභීව ඒවා ඡායාරූප සමඟ පළ කර දුන්නේය. පසුව සරසවියට සම්බන්ධ වූ පසු ද ඔහුගේ 'වැලිකතර' චිත්‍රපටයට උපරිම සහාය දුනිමි.

නිහාල්සිංහයන් තරම් පිළිවෙළකට, ක්‍රමානුකූලව වැඩ කළ කැමරා ශිල්පියෙක් තවත් සිටියේ නම් ඒ සුමිත්ත අමරසිංහය. මේ දෙදෙනාගේ කන්තෝරු කාමරය ක්‍රමානුකූලව, නිරවුල්ව සකසා තිබුණි. නිහාල්සිංහයන්ගේ කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි නිවසේ ඔහුගේ කාමරයේ තමා විසින් පෙර සිට භාවිත කළ කැමරා, කැමරා කාච, කෞතුක වස්තු ලෙස වීදුරු අල්මාරිවල අභිමානවත් ලෙස වැජඹෙනු දක්නට ලැබෙයි. ඒ අතර ලන්ඩන් නුවර කාඩීෆ් චිත්‍රපට උලෙළදී හොඳම කෙටි චිත්‍රපට සඳහා ලැබුණු ජාත්‍යන්තර සම්මාන තබා තිබූ වීදුරු මංජුසාව කාගේත් සිත් දිනා ගනී. තමා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට, ටෙලි නාට්‍ය හැම එකකින්ම ඡායාරූප එහි බිත්ති සරසා තිබුණි. ඒ කාමරයේ තිබු විදුලි පංකාව ද දුර්ලභ ගණයේ මුළු කාමරයටම සිසිල ලබා දෙන යන්ත්‍රයකි.

රවීන්ද්‍ර රන්දෙණිය

ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ

නිහාල්සිංහයන් තමා ගැන ලියූ දේශිය හා විදේශීය පුවත්පත් ලිපි, නිශ්චල ඡායාරුප පිළිවෙළට ඕනෑම අවස්ථාවක ගත හැකි අයුරින් සංරක්ෂණය කර තිබුණි.

තම මව වූ රතී ධනපාල මහත්මිය විසින් අඳින ලද චිත්‍ර රැසක් ආලින්දයේ එල්ලා තිබුණි. සාලයේ බිත්තියේ හකුළා එල්ලා ඇති චිත්‍රපට බලන දැවැන්ත ස්ක්‍රීන් එකකි. එය අවශ්‍ය වේලාවට පහතට එයි. එහි එල්ලා ඇති ප්‍රොජෙක්ටර් එකෙන් ලෝකයේ අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුතු සිනමාහලක මෙන් පරිසරයක් මවමින් උසස් විදේශ චිත්‍රපට තිරගත වෙයි. මෙවැනි සම්භාව්‍ය චිත්‍රපට නැරඹීමේ වාසනාව ලද්දන් අතර ස්වර්ණා මල්ලවාරච්චි, ජයන්තා රුක්මණී සිරිවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න මහාචාර්ය පැට්රික් රත්නායක සුවිශේෂය. මේ සාමාජිකයන් චිත්‍රපටය අවසන් වූ පසු රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ඊට පෙර පුරුෂ පක්ෂයට විශේෂ සංග්‍රහයක් ද ලැබෙයි.

නිහාල්සිංහයන් සැර බීම පාවිච්චි කළේම නැත. වයින් හෝ බියර් වීදුරුවක් ද රස වින්දේ ද එහි බෝතලයේ ලේබලයේ ඇති සැර ප්‍රමාණය සලකා බලමිනි. ඔහු සෞඛ්‍යය ගැන දැඩි ලෙස සැලකිලිමත් විය. ඇඳුම පැලඳුම විශේෂයි. කමිසය යටින් දිස්වෙන බැනියම එම ඇඳුමට අලංකාරයක් දෙයි. පයේ පළඳින සපත්තු යුවළ දීප්තිමත්ය. හවසට ඔහු අනිවාර්යෙන්ම මලලසේකර මාවතේ ඇවිදී.

ක්‍රමානුකූලව කටයුතු කිරිමේ පිළිවෙත පුරුදු වුණේ ආනන්දයේ කැඩෙට් කණ්ඩායමේ සාජන් කෙනෙකු ලෙස සිටි කාලයේ ලැබුණු විනය, ශික්ෂණය නිසා බව ඔහු අපට කියා ඇත. එකල තම පන්තියේම සිටි කරු ජයසූරිය (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක) කැඩෙට් කණ්ඩායමේ සාජන්වරයකුව සිටි බව ද පවසා තිබුණි.

ආනන්දයේ තමා සමඟ කලාවට සම්බන්ධ ආනන්දයේ තමා සමඟ කලාවට සම්බන්ධ ශිෂ්‍යයන් අතර විජේරත්න වරකාගොඩ, ජේ. බී. දිසානායක, අසෝක පොන්නම්පෙරුම, සුනන්ද මහේන්ද්‍ර, බණ්ඩාර කේ. විජේතුංග ගැනත් රසකතා අපට කියා තිබුණි. සිංහල ගුරුවරයා වූ ඩී. බී. කුරුප්පු මහතා ගැන නිහාල්සිංහයන් තුළ වුයේ අසීමිත ආදරයකි.

නිහාල්සිංහයන්ගේ ' මල්දෙනියේ සිමියොන්' හා 'කෙළි මඬල' චිත්‍රපට සරසවි සම්මාන හිමි කර ගත්තේය. සිය පියාට හිමි දුර්ලභ පුස්තකාලය ද, ලෝකයේ සිනමාව ගැන ලියූ පොතපතින් යුත් වෙනමම පුස්තකාලයක් ද ඔහුට තිබුණි.

නිහාල්සිංහයන් මෙන්ම අප අතරින් වෙන් වූ සෝමපාල හේවාකපුගේ ගැන ද මතක සටහනක් ලිවිය යුතු යයි මම සිතුවෙමි. 'අයි. පී. බී. සෝමේ', 'සෝමේ මචං', 'සෝමේ මාමා', 'කලාකරුවන්ගේ දුක්ගන්නා රාළ' නමින් හඳුන්වන ඔහු කාගේත් හිතවතෙකි. හැටේ දශකයේ වේදිකා නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය වු අතර ඊට සමගාමීව මරදානේ කේ. ඩී. ඩේවිඩ් මාවතේ කෙළවර පිහිටි අයි. පී. බී. නම් පුංචි මුද්‍රණාලය නිර්මාණාත්මක නාට්‍ය පෝස්ටර් කලාවේ පෙරමුණ ගත්තේය. අද කලාකරුවන් බොහෝ විට එකට එකතු වීමට අවස්ථාව ලැබෙන්නේ ප්‍රේම් දිසානායකගේ ෆාස්ට් ඇඩ්ස් ආයතනයේදීය. එදා කලාකරුවන් එකට මුණ ගැසෙන්නේ අයි. පී. බී. මුද්‍රණාලයේදීය.

ජී.ඩී.එල්.පෙරේරා

සෝමපාල හේවාකපුගේ

සෝමපාල සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා එඩ්වින් හේවාකපුගේ යුවළ එදා නාට්‍ය කලාවට නැතිවම බැරි විශ්ව කර්මයන් වූහ.

වැඩිමහල් සොහොයුරු එඩ්වින් තරමක් නීතිකාරයෙකි. ඔහු අසලට යාමට ආධුනික කලාකරුවෝ බිය වෙති. අයියාට හොරා පිටුපස දොරින් ආධුනික කලාකරුවන්ට අවශ්‍ය ටිකට්ස්, පෝස්ටර් මුද්‍රණය කර දී 'ඉක්මනට සල්ලි ටික අරං වරෙන් මචං' යයි සෝමේ කීවත් ඒ සල්ලි ලැබී ඇත්තේ කීයෙන් කී දෙනාගෙන්ද? එම මුද්‍රණාලය 1967 සිට ගොඩ වදින ගාමිණී විජේතුංගත් මාත් හොඳින් දැක ඇත්තෙමි. අයියාගෙන් මල්ලීට ලැබෙන බැනුම් කප්පරයක්ය.

'ඔහේ තමයි මේ සේරටම වග කියන්න ඕන. හැමදාම අපි වෙස්සන්තරලා. මම බෑ කිව්වාම ඔහේ පාර්සල් පස්ස දොරින් දීලා පිටත් කරනවා.'

සෝමපාල කලාකරුවන්ගේ දුකේදී සැපේදී ළඟින් සිටි දුක්ගන්නා රාළ කෙනෙකි. ඔහුගේ ප්‍රියතම වචනය 'මචං'ය. එදා ඔහුගේ අවමඟුලේදී බණ්ඩාර ඇහැලියගොඩ කීවාක් මෙන් යාළුවන්ට මෙන්ම තම දරුවන්ට ද මුනුබුරන්ට ද 'මචං' කියන ජාතියේ චරිතයකි. 'නිම්වළල්ල' චිත්‍රපටයේ ප්‍රචාරක පත්‍රිකා මෙන්ම සමරු කලාපය ද මුද්‍රණය වූයේ අයි. පී. බී. මුද්‍රණාලයෙනි. ගාමිණී විජේතුංගත් මාත් එහි සෝදුපත් බැලීමට කිහිපවරක්ම එහි ගියෙමු. එවකට වේදිකා ගත වූ හරිම බඩු 6 ක්, හුණුවටයේ කතාවක්, නැංගුරම්, කුවේණි, හිත හොඳ අම්මණ්ඩි ඇතුළු වේදිකා නාට්‍යවල පෝස්ටර් ලිනෝලියම් සීට් එකේ කපන එඩ්වින් හේවාකපුගේ එහි පැමිණ සිටි රැලෙක්ස් රණසිංහට පෙන්නා උපදෙස් ගනී. මම නොතිත් ආසාවෙන් ඒ දෙස ආසවෙන් බලා සිටිමි.

අපි සිටින අතරවාරේ හෙන්රි ජයසේන ද, සුගතපාල ද සිල්වා, නාමෙල් වීරමුණි, ප්‍රේමරංජිත් තිලකරත්න, දයානන්ද ගුණවර්ධන, උපසේන ගුණවර්ධන, ඩී. බී. කුරුප්පු ආදී එහි යති එති.

'මචං සෝමේ උඹ හැමෝටම උදව් කරනවා. උඹේ වගතුග අපිට කිව්වේ නැහැ' දිනක් මම ඔහුගෙන් ඇසුවෙමි.

ඔහු කියූ ආකාරයට ඔහු ඉපදී ඇත්තේ 1937 දෙසැම්බර් 10 වෙනිදාය. මාතරදීය. නාවිමන මහාරජා, මාතර රාහුල විද්‍යාලවල ඉගෙනීම ලැබීය. තාත්තා හෙන්ද්‍රික් හේවාකපුගේ පන්සලේ ප්‍රධාන දායකයා මෙන්ම මහා පරිමාණයෙන් එළවළු කොළඹට එවීමේ ව්‍යාපාරයක් ගෙන ගිය කෙනෙකි. පවුලේ 12 දෙනෙකි. සෝමේ පවුලේ බාලයාය.

'මම කොළඹ ආවේ මචං එඩ්වින් අයියාගේ තනියට. අයියට කොටහේනේ කුමාර විද්‍යාලයේ ගුරුවරයකු හැටියට පත්වීමක් ලැබුණා. මම කොළඹ එනකොට අම්මා කිව්වා 'පුතේ අයියා කසාද බඳින කෙනෙක් නෙවෙයි. උඹ අයියාගේ වැඩ වලට උදව් කරපන්' කියලා. අයියා මුලින්ම ගුණරත්න සහ සමාගමේ (මුද්‍රණකරුවෝ) ලියන මහත්තයා. මගේ ලොකු අම්මාගේ පුතා ගුණරත්න මුදලාලි. අපේ පවුලේ හැමෝම මාළු ටැංකි වගේ. එහෙ මෙහෙ ගියේ නැහැ. විවාහ තුලා සිදු වුණේ නෑනා මස්සිනා අතරේ.

අයියා කොටහේනේ කුමාර විද්‍යාලයේ උගන්වන කාලේ තමයි ඒ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වූ ජී. ඩී එල්. පෙරේරා 'සාමා' නාට්‍යය කළේය. අයියා මේ නාට්‍යයට උදව් කළා. ඊට පස්සේ එය සිනමා කෘතියක් වූ පසුත් අයියා එයට උපරිම උදව් දුන්නා. ජී. ඩී. එල්. 'තොටුපළ' කියලා නාට්‍යයක් කළා. මේ නාට්‍යයට ගහපු පෝස්ටරය අයියට ඇල්ලුවේ නැහැ. අයියා හිතුවා මුද්‍රණාලයක් පටන් ගන්න. 1960 දෙමටගොඩ රේල් ගේට්ටුව ළඟ 'ශාන්ති නිකේතනය' ප්‍රෙස් එක පටන් ගත්තා. උදේට අයියා උන්වන්න යනවා. මටයි ප්‍රෙස් එක බලන්න වුණේ. අයියා රාත්‍රී ඉංග්‍රීසි පන්තියක් පටන් ගෙන අවට ළමුන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා. ඊට පස්සෙයි අයි. පී. බී. මුද්‍රණාලය පටන් ගත්තේ.

මේ කාලේ බොනිෆස් පෙරේරා නම් ප්‍රතිභාන්විත වේදිකා නළුවා රංග ශිල්ප ශාලිකාව හරහා කලා ලොවට එන්නේ. මේ නාට්‍ය බැලූ සෝමේ සමඟ බොනිෆස් යාළු විය.

'මචං ඔහේට ඔය නම අල්ලන්නේ නැහැ. බොනිෆස් කියලා තව චිත්‍රපට නළුවෙක් ඉන්නවානේ. ඔහේට මං අලුත් නමක් දෙන්නම්. රවීන්ද්‍ර රන්දෙණිය. සෝමේ රවිට දුන් ඒ නම කලා ලෝකයේ අභිෂේක විය.

'මචං මම මිත්‍රයන්, හිතවතුන් ආශ්‍රය කරන්නේ අමුතු විදිහකට. මගේ මිත්‍රයන්ගේ බිරින්දෑවරු දූ දරුවන් මගේ සමීප හිතවත්තු. මම යාළුවන්ගේ දරුවෝ 21 දෙනෙක් පෝරුවට නග්ගලා තියෙනවා. ළමයින් ප්‍රේම සම්බන්ධතා, හිතුවක්කාර වැඩ කරනවා නම් වැඩිහිටියෝ කිව්වේ 'ඒක සෝමෙ මාමාට කියපන්' කියලා මාව ප්‍රාණ ඇපකාරයා කරනවා.

ඕනෑම ප්‍රශ්නයක් කියන්න සැදී පැහැදී හිටියා.

'මචං මගේ කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා. ටිකක් බලලා අවවාද කරපන්' මිත්‍රයෝ කියන්න පටන් ගත්තා . සෝමේ සිනාමුසුව කිව්වා.

මහාචාර්ය සුනිල් ආරියරත්නට 'මචං' කියලා කතා කරන දුර්ලභ ගණයේ හිතවතා සෝමේය.

සෝමේ විවාහ වන විට දෙවැනි මනමාලයා වූයේ ද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්මය. අමරදේව, නන්දා මාලිනී, වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, මාලිනී බුලත්සිංහල යන කලා ශිල්ප ශිල්පීන් එතෙර ප්‍රසංග පවත්වන විට ඉංග්‍රීසි සිංහල නිවේදන කටයුතු කළේ ද සෝමේය.

සෝමේගේ 50 වසරක නිහඬ සේවය වෙනුවෙන් 'දයාබර සෝමේ' නමින් උත්සවයක් සහෘද සංවාද කේන්ද්‍රය විසින් 2007 මාර්තු 30 වැනිදා සංවිධානය කළේය.

ඒ නිමිති කොට මම විසින් ජාතික පුවත්පතකට ලිපියක් ලිව්වෙමි. ලිපියට අවශ්‍ය පින්තූර සෝමේ මට දුන්නේ 'මචං මේක පරෙස්සම් කරලා එවපන්' කියමිනි. ලිපිය පළ වූ පසු සෝමේ දුන් ඡායාරූප මම ඔහුට තැැපල් කළෙමි. හැරෙන තැපෑලෙන් මට ලිපියක් ලැබිණ.

'මචං රන්ජිත් උඹ නං කවදාවත් හැදෙන මිනිහෙක් නෙවෙයි. මගෙන් ගත්තු පින්තූර ආපසු එවීමෙන් මට හැඟෙන්නේ උඹ වගේ පොරොන්දු ඉටු කරන පත්‍රකාරයන්ට හැදෙන්න බැරි බවයි. හැදෙන එකා පින්තූර එවන්නෙ නැහැනේ'

ඒ සෝමේගේ හැටිය. මගේ යටගිය දවස් ලියද්දී නිහාල්සිංහ - සෝමපාල ගැන දන්න දෙයක් ලිවීම මගේ යුතුකමක් නොවන්නේද?