වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




වෙළෙඳ සේවයට තවත් බයිලා එපා

වෙළෙඳ සේවයට තවත් බයිලා එපා

හැටපස් වසර සපිරි වෙළෙඳ සේවය ගැන එදා වෙළෙඳ සේවා අධ්‍යක්ෂ කී කතාවක්

ආරියදාස පීරිස් විස්තර කරයි

ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට පසුගිය අප්‍රේල් 09 වැනිදා සිය හැටපස් වසරක් සපිරුණි. ගුවන්විදුලි සේවයේ නව මාවතක් විවර කරමින් වෙළෙඳ සේවය එදා සිට අද දක්වා පැමිණි ගමනේ සොඳුරු මතක සටහන් සිහිපත් කරන්න අප හමුවූයේ ප්‍රවීණ නිවේදක ආරියදාස පීරිස්. වෙළෙඳ සේවයේ ප්‍රථම සිංහල නිවේදකයා වන්නේද ඔහුයි. ආරියදාස පීරිස් නම්, නිවේදකයෙකුම පමණක් නොව, ගායකයෙක්, වේදිකා නාට්‍ය හා සිනමා රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසත් තම හැකියාවන් දැක්වූ සුවිශේෂ කලාකරුවෙක්. එසේම මෙරට කලා ලොවේ ඉහළින්ම වැජඹුණු තරු කිහිපයක්ම හඳුන්වා දුන් පුරෝගාමියෙක්. ප්‍රථමවරට වෙළෙඳ සේවයේ ස්වර්ණ සංඛ නමින් සිනමා සම්මාන උලෙළක් සංවිධානය කළේද ආරියදාස පීරිස් නම් වූ ගුවන්විදුලි කලාවේ දැවැන්තයා විසිනි.

ලබන 30 වැනිදා සිය ජීවන ගමනේ සුවිශේෂ වූ උපන්දිනයක් සමරන්න සූදානම් වන ඔහු අද වෙළෙඳ සේවයට හැටපස් වසරක් සපිරෙන අවස්ථාවේදී සිය අතීත මතක සිහිපත් කළේ මෙලෙසින්.

“ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට එන්න පෙර මම සිංහල අංශයේ ගීත ගායනා කළා. මම ගීත ගැයුවේ ජී. එස්. බී රාණි පෙරේරා සමඟින්. ඒ අවස්ථාව මට ලැබුණේ ප්‍රවීන නාට්‍යකරුවෙකු වූ ලැඩී රණසිංහ නිසා. මම ඊට පෙර ඔහුගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. ගුවන්විදුලියේ වෙළෙඳ සේවය ආරම්භ කළේ 1951 වසරේ අප්‍රේල් 09 වැනිදා. ඊට පෙර ‘කොමර්ෂල් සර්විස්’ නමින් ඉංග්‍රිසි සේවය ක්‍රියාත්මක වුණා. එහි ඇතැම් සිංහල දැන්වීම් ප්‍රචාරය කරන්න සිංහල නිවේදකයෙක් හිටියේ නැහැ. ප්‍රොස්පර් ප්‍රනාන්දු නම් නිවේදකයා ඒ කටයුත්ත ඉටු කළත් ඉංග්‍රිසි ආරට කළ ඒ සිංහල නිවේදනය විවේචනයට ලක් වුණා. වෙළෙඳ සේවයේ සිංහල අංශයට මා යොමු කළේ ලැඩී රණසිංහ. ඔහුත් ගුවන්විදුලියේ සේවය කළා.

එවකට වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂ ධුරය දැරුවේ ඔස්ට්‍රේලියානු ජාතික ක්ලිෆඩ් ආර්. ඩොඩ්. ඔහු මා ඔස්ට්‍රේලියානු ක්‍රමයට සතියේ පඩියට වෙළෙඳ සේවයේ නිවේදකයෙකු ලෙසින් පත්කරනු ලැබුවා. වෙළෙඳ සේවයට දැන්වීම් හිඟ වුණු නිසා වසා දමන බවට එවකට පැවැති රජය විසින් නිවේදනය නිකුත් කිරීම සමඟින් මගේ වැඩකටයුතු වෙනස් වුණා. තිබුණේ පැය හතළිස් අටක් විතරයි. ඩොඩ් මහත්තයාගේ දැනුම්දීම අනුව මම වෙළෙඳ දැන්වීම් හොයන වගකීමත් භාර ගත්තා.

එතුමා මට කිව්වේ එක දැන්වීමක් හරි හොයාගෙන එන්න කියලයි. මම පාන්දර නවය වෙනකොට පිටකොටුවට එනවා. කඩයක් කඩයක් ගානේ දැන්වීම් ඉල්ලගෙන යනවා. හැන්දෑවේ හය වෙනකල් මේ රාජකාරිය තමයි කෙරුවේ. පළවෙනි දවසේ මට එක දැන්වීමක්වත් හොයා ගන්න බැරි වුණා. “මොනවද මහත්තයා. ඒක කිව්වම හුළඟේ ගියා. එච්චරයි. පත්තරේ දැම්මම එහෙමද? කාලයක් තියෙනවානේ” හැමෝම කිව්වේ මේ කතාව. පිටකොටුවේ වීරරත්න සහෝදරයෝ ආයතනයේ මගේ හිතවතෙක් අනුව වචන විසි පහක දැන්වීමක් ඉල්ල ගන්න මට පුළුවන් වුණා. එදා මම වෙළෙඳ සේවයට එනකොට රෑ එකොළහයි. මං දැන්වීමක් අරගෙන එනකල් ඩොඩ් මහත්තයා බලාගෙන හිටියා.

පහුවෙනිදා විනාඩි පහෙන් පහට මේ දැන්වීම ප්‍රචාරය කරන්න ඔහු මට උපදෙස් දුන්නා. ඒ අනුව ‘ෆාර්වේ ලූබා’ ඔරලෝසු දැන්වීම මම ප්‍රචාරය කළා. ඒ නිසා වෙළෙඳ සේවය වසා දමන්න ගත් තීරණය වෙනස් කරන්න අදාළ බලධාරින්ට සිදු වුණා. ඊට පස්සේ මම ආරියන්ස් පබ්ලිසිටි සර්විස් නම් වෙළෙද දැන්වීම් ප්‍රචාරක ආයතනය පිහිටුවා ඒ හරහා වෙළෙඳ දැන්වීම් සංස්ථාවට ලබා දෙන්න කටයුතු කළා. ලැඩී රණසිංහ නාට්‍ය අංශයේ වැඩ කටයුතු කරන විටදී වෙළෙඳ සේවය අනෙක් සියලු කටයුතු බලා ගත්තේ මම. වෙළෙඳ දැන්වීම් හොයන්න, පිටපත නිර්මාණය කරන්න, නිෂ්පාදනය කරන්න ඉදිරිපත් කරන්න මේ සියලු වගකීම් ගෙන බොහොම උනන්දුවෙන් මගේ දායකත්වය දුන්නා. නමුත් මම ස්ථිර සේවකයෙකුත් නොවෙයි. ලැඩී රණසිංහත් නාට්‍ය අංශයේ විශාල දියුණුවක් ඇති කළා.

කාලයත් සමඟින් වෙළෙඳ සේවයට නව වැඩසටහන් රාශියක් හඳුන්වා දෙන්නත් මට හැකි වුණා. ‘පිබිදෙන ගායක පරපුර’, ‘ආධුනික පැය’, ‘ඔව්, නෑ, බෑ’, ‘මිනිත්තුවක් පමණයි’, ‘පැණ පොඩි, ‘අම්බිගා ගීතයෙන් ගීතය’, ‘එඩී ගෙන් අහන්න’ ආදි වූ වැඩසටහන් තිස් එකක් මම නිර්මාණය කළා. ඒ හැම වැඩසටහනක්ම සමඟින් වෙළෙඳ සේවය ජනතාව අතරට ගියා. එඩී ගෙන් අහන්න වැඩසටහනේදී එඩී ජයමාන්නත් හොඳ හොඳ උත්තර තමයි දෙන්නේ. මේ අතරේ ‘පැණ පොඩි, වැඩසටහන විශේෂයි. මම තමයි ප්‍රශ්න විචාරක, ඉස්කෝල පහකින් දරුවන් පස් දෙනෙක් උත්තර දෙන්න එනවා. ඔවුන් පොඩිත්තෝ. මම ප්‍රශ්න අහනවා පොඩිත්තෝ උත්තර දෙනවා. එදා ඒ පොඩිත්තන් වුණේ, ප්‍රවීණ නිවේදක කරුණාරත්න අබේසේකරගේ සහෝදරයෙක් වන ගුණරත්න අබේසේකර, ගුණතුංග කේ ලියනගේ, ට්‍රිලීෂියා ගුණවර්ධන, කේ. කේ එස් පෙරේරා.

කවුරු කොහොම කිව්වත් වෙළෙඳ සේවය හැදුවේ මම. මම නොහිටින්න අද වෙළෙඳ සේවයක් නැහැ. අද ඔය ස්ටාර් කියලා හැම තැනම තියෙන්නෙත් එදා මම නිර්මාණය කළ ‘පිබිදෙන ගායක පරපුර’. අසහාය ගායක එච්. ආර් ජෝතිපාල, මිල්ටන් පෙරේරා එහෙම සංගීත ක්ෂේත්‍රයට ආවේ පිබිදෙන ගායක පරපුරෙන්. ඉස්සර ජෝතිපාල මේන් ස්ට්‍රීට් එකේ කඩයක වැඩ කළා. මම දැන්වීම් හොයන්න ගිය දවසක ඔහුට ගීත ගයන්න හැකියාව ඇති බව දැනගන්න ලැබුණ නිසා ඔහු ළඟට ගිහින් සිංදු කියන්න පුළුවන්ද කියලා ඇහුවා. වදෙන් පොරෙන් වගේ සිංදුවකුත් කිව්වා. මගේ ආරාධනාව අනුව පසුදා ජෝති වෙළෙඳ සේවයට පැමිණියා. මුළින්ම පිබිදෙන ගායක පරපුරට දැම්මා. පිබිදෙන ගායක පරපුර වැඩසටහනෙන් වගේම ‘ජයග්‍රාහක පෙළපාලිය’ නම් විනාඩි පහළොවක වැඩසටහනෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නත් එදා ජෝති සමත් වුණා. ඊට පස්සේ ජෝතිට ගුවන්විදුලියේ ගීත පටිගත කරන්න අවස්ථාව ලැබුණා.

මිල්ටන් පෙරේරාත් පිබිදෙන ගායක පරපුරට පැමිණි දවසේ අපූරු වැඩක් කළා. මං නිවේදනය කරලා අත්පුඩි ගහලා පිළිගත්තට මේ මනුස්සයා සිංදුව කියන්නේ නැහැ. මේ අතරේ සුදු නැෂනල් එකක් ඇඳපු මනුස්සයෙකුත් වේදිකාව ළඟ හිටගෙන ඉන්නවා. මං ඇහුවා ඇයි, කවුද මේ ? කියලා. “තාත්තා” කියලා පිළිතුරු දුන්නම, මම ඇහුවා, ඇයි තාත්තා මොකද මෙතන කරන්නේ කියලා. මගේ සිංදුවට තබ්ලා ගහන්නේ තාත්තා කියලා කිව්වා. මගේ පැනය වුණේ තාත්තා කවුද? “පොඩි අප්පුහාමි”. තබ්ලා පොඩි අප්පුහාමි කියන්නේ ඉතා ප්‍රසිද්ධ තබ්ලා වාදකයෙක්. නම අහලා තිබුණට මම ඔහු හඳුනාගෙන හිටියේ නැහැ. එදා මිල්ටන්ගේ සිංදුවට තබ්ලාව වාදනය කළේ ඔහුගේ තාත්තා. මිල්ටනුත් එදා ප්‍රථම ස්ථානය දිනා ගත්තා. රෝහණ බෝගොඩ, එඩ්වඩ් ජයකොඩි එහෙමත් සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ පිබිදෙන ගායක පරපුරෙන්.

ඇත්තටම මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. එදා වහන්න ගිය වෙළෙඳ සේවය ලොකු කැපවීමකින් බේරා ගන්න මට උර දෙන්න පුළුවන් වුණා. පිළිගත් ගායක ගායිකාවන්ගේ හොඳ ගීත මම තෝරා ගත්තා. වැඩසටහන් නිර්මාණය කරන්න දිවා රාත්‍රි නොබලා වෙහෙසුනා. එහෙම කළේ වැඩසටහන්වලට තිබුණු ආදරේ නිසාමයි. මට වුවමනා වුණේ වෙළෙඳ සේවයෙන් හොඳම දේ කරන්න. එදා පටන් ගත් ඒ ගැම්ම අදටත් ඒ විදියටම තියෙනවා.

මේ අතරේ ඇඟේ ලේ වතුර වෙලා වැඩ කළ අවස්ථාත් නැතුවාම නොවෙයි. ‘සමස්ත ලංකා මහා බයිලා තරඟය’ වෙළෙඳ සේවයේ ඉහළ ජන ප්‍රසාදයක් දිනූ වැඩසටහනක්. ඒ කාලයේ බොහොමයක් බයිලා ගායකයන් ඇන්ඳේ සරම්. කළිසම් ඇන්ඳේ එක්කෙනයි. ඔහු තමයි වොලි බැස්ටියන්. අවසාන මහා තරගය තිබුණේ කොළඔ ආනන්ද විද්‍යාලයේ. අපි වොලීව ජයග්‍රාහකයා කරන්න යන බවට රාවයක් පැතිර ගොස් තිබුණා. එහෙම වුණොත් අපට වැලිබෝතල් ප්‍රහාර එල්ල කරන්න සූදානම් කියලත් කටකතාවක් පැතිර ගියා. වෙන කරන්න දෙයක් නැහැ. මම වැඩේ පටන් ගත්ත. බැරි වෙලාවත් විනිශ්චය මණ්ඩලය වොලි ජයග්‍රාහකයා කළා නම් පළමු වැලි බෝතලය වදින්නේ මට. ඇඟේ ලේ වතුර වෙලා. එදා ප්‍රථම ස්ථානය ලැබුණේ කුසුම්පාලට. වේදිකාවට බෝතල් නම් ආවේ නැහැ. මම වේදිකාවෙන් බැහැපු ගමන් ඩොඩ් මහත්තයා මට කිව්වේ ර්ප. ර්‍ථඪපඪඵ, ව්ධ ථධපඥ ඡචඪතච ඛ්ධථථඥපජඪචත ඉඥපමඪජඥ (පීරිස් මහත්තයා, වෙළෙඳ සේවයට තවත් බයිලා එපා) කියලයි.

සුද්දා එක්ක වැඩ කරන්න හරිම ලෙහෙසියි. එවකට අධ්‍යක්ෂවරයා වූ ක්ලිෆඩ් ආර් ඩොඩ් වැඩ කරන්න ලොකු නිදහසක් දුන්නා. “හොඳ වැඩක් කරන්න” කියනවා මිසක් වැඩේට ඇඟිලි ගැහුවේ නැහැ. වෙළඳ සේවය ආරම්භ කළාට මොකද අපට ප්‍රචාරය කරන්න සිංදු තිබුණේ නැහැ. තැටි තිබුණේ සිංහල සේවයේ. සිංහල සේවයෙන් වෙළෙඳ සේවයට සිංදු දුන්නේ නැහැ. මට හිතවත් හොඳ පටිගත කිරීමේ ඉංජිනේරුවන් දෙදෙනෙක් හිටියා. ඔවුන් ලවා මං සිංහල සේවයේ ප්‍රචාරය කරන සිංදු හැම එකක්ම පටිගත කරවා ගත්තා. කාලයක් යනකොට වෙළෙඳ සේවය වෙනුවෙන් අපට හොඳ සිංදු එකතුවක් හදා ගන්න පුළුවන් වුණා.

එදා වැඩ කරන්න මම කාලය ගැන හිතුවේ නැහැ. හෙට වැඩසටහන පටිගත කරන්න අද සිටම සූදානම් වුණා. ඒ කාලයේ මේ තරම් ගුවන්විදුලි නාලිකා තිබුණේ නැහැ. තිබුණේ සිංහල සේවය යි වෙළෙඳ සේවය යි. එතකොට මිනිසුන්ට විනෝදය ලැබුණේ වෙළෙඳ සේවයෙන්. ජනතාව වෙළෙඳ සේවයට බොහෝ ළෙංගතු වුණා. මේ කතාව නම් කිව යුතුමයි. අද ගුවන්විදුලි භාෂාව නම් විනාශ වෙලා. ඉස්සර එහෙම නැහැ වෙළෙඳ සේවය වුණත් සිංහල නම් සිංහල. ගුවන්විදුලියේ භාෂාව නිවැරදිව භාවිත කළ යුතුමයි. වැඩසටහන් සඳහා නම් යෙදීමේදීත් ඒ වැදගත්කම අපි ඉහළින්ම අගය කළා.

එදා මම කළ දේවල් දිහා අද මම බොහොම නිස්කලංකව බලාගෙන ඉන්නවා. දැන් මම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ටෙලි නාට්‍ය තේරීම් කමිටුවේ කටයුතු කරනවා. ඒ හැරුණාම සති අන්තය සියලුම පත්තර බලන්න තමයි වෙන් කරලා තියෙන්නේ.”