වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතේට නාට්‍ය නොදැකපු අයටත් අපි නාට්‍ය පෙන්නුවා

ජීවිතේට නාට්‍ය නොදැකපු අයටත් අපි නාට්‍ය පෙන්නුවා

සම්මානනීය වේදිකා, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල

උත්තමාවී, වරෙන්තු වැනි සුසාධිත නාට්‍ය කලාවේ ලක්ෂණ ඉතා හොඳින් උකහා ගත් නාට්‍ය නිෂ්පාදනය කළ ඔබ නැවත ජන රංගය හා වීදි නාට්‍ය කලාව දිහාට හැරුණේ ඔබේ නාට්‍ය කලාවේ පදනම එය නිසාද?

සම්මත නාට්‍ය කලාවේ තිබෙන දියුණු ලක්ෂණ වීදි නාට්‍යයේදී භාවිතා කෙරෙන්නේ නැහැ. වීදි නාට්‍යයේ මූලික පරමාර්ථය නාට්‍ය ශාලාවලට නොපැමිණෙන ජනතාව කරා ගොස් නාට්‍ය ප්‍රදර්ශනය කිරීමයි. ඒ අර්ථයෙන් අපේ කාර්යය වීදි නාට්‍ය කලාවට සමීපයි. නමුත් ‘ජන කරළියේදී’ නාට්‍ය කලාවේ තියෙන සෞන්දර්ය, තාක්ෂණය වගේ දියුණු ලක්ෂණ භාවිත කරනවා.

මගේ විශ්වාසය නාට්‍යයක් පෙන්විය හැකි ප්‍රේක්ෂකයා රැස්වන ඕනෑම තැනක් රංග භුමියක්. 'සෙක්කුව' නිෂ්පාදනය කළේ කමතක් වැනි විවෘත තැනක පෙන්විය හැකි ආකාරයට. නමුත් එය විවෘත තැන්වල පෙන්වන්න ලැබුණේ අවස්ථා හතරකදී පමණයි. අනික් හැම විටම පෙන්නුවේ සම්මත වේදිකාවේ. මම ආපහු පින්තූර රාමු වේදිකාවට හැරුණේ මේ ගැටලුව නිසයි.

නාට්‍ය කලාව ගමට ගෙන යන 'ජන කරළිය' පිළිබඳ අදහස ඔබට ආවේ කොහොමද?

ඉන්දියාවේ ජායිපූර්වල තිබුණ ප්‍රජා නාට්‍ය වැඩමුළුවක් බලන්න අවස්ථාව මට 1978 දී ලැබුණා. මා මෙතෙක් සොයමින් හිටිය ගැටලුවට පිළිතුර ඔවුන් තුළ තිබෙන බව එහිදී අභීබ් තන්වීර් ජන සම්ප්‍රදාය යොදා ගත් ආකාරයෙන් පෙනී ගියා. ඔහුගේ නාට්‍ය තුළ ඉතා මිහිරි ආස්වාදජනක ගායනා වගේම නාට්‍ය කලාවේ අනෙකුත් දියුණු ලක්ෂණ අඩු නැතිව තිබුණා. මේ නිසා ඒ වන විටත් ඔවුන්ට එඩින්බර්ග් නාට්‍ය උලෙළේ ඉහළම සම්මානයන වන 'ෆින්ච්' කුසලානයත් ලැබි තිබුණා.

නාට්‍ය කූඩාරම පිළිබඳ අදහස ආවේ ඒ වැඩමුළුවටම ජපානයේ 'බ්ලැක් ටෙන්' නාට්‍ය කණ්ඩායම කූඩාරමක් යොදාගෙන ඉදිරිපත් කළ නාට්‍ය නිෂ්පාදනය නිස. ඉස්සර ටීටර් පෙන්නුවේ ඒ වගේ තැන්වලනේ. ඒ නිසා මේ අදහස් දෙක එකතු කළොත් නාට්‍ය කලාව ගමට ගෙනියන්න පුළුවන් බව මට තේරුණා.

නාට්‍ය කලාව කියන්නේ අස්වාදයක් ලබාදීම පමණක් නෙවෙයි. මිනිසා පෙළෙන ප්‍රශ්නවලට උත්තර හොයන ක්‍රමයක් හැටියටත්, මිනිස් සංවර්ධනය සඳහාත් නාට්‍ය කලාව යොදා ගන්න පුළුවන්. මම නාට්‍ය හදන්නේ ඒ අදහසින්.

'ජන කරළිය' කිසියම් ග්‍රාමීය ප්‍රදේශයකට ගිය විට එහි ක්‍රියාත්මක සංවිධෘන හා ආයතන සමඟ සබඳතා ගොඩ නඟා ගන්නේ කොහොමද?

අපි ඒ ප්‍රදේශවල තිබෙන ආයතන ජාලය නාට්‍ය පෙන්වන්න ප්‍රයෝජනයට ගන්නවා. රාජ්‍ය ආයතන, දිසාපතිවරු, පළාත් අධ්‍යාපන කාර්යාල, රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානවල සහය ලබා ගන්නවා. ජනතාව, පාසැල් සිසුන් නාට්‍ය දර්ශනයන්ට සහභාගී කරවන්න, ප්‍රචාරක පණිවුඩය යවන්න, ඔවුන්ගේ සහාය ලබා ගන්නවා. ගමකට ගිහින් නාට්‍යයක් පෙන්වනවා වගේ නෙවෙයි දීර්ඝ නාට්‍ය උත්සවයක් සංවිධානය කිරීම. ඒ සඳහා බොහෝ දෙනෙක්ගේ සහය අවශ්‍යයයි.

පහුගිය අවුරුදු 10 තුළ 'ජන කරළිය' ප්‍රදේශ කීයකට ගිහින් තියෙනවාද? වතාවක් ගිය තැනකට ආයෙමත් යන ක්‍රමයක් තියෙනවාද?

අපේ සැලැස්ම වසරකට නාට්‍ය උත්සව දෙකක් සංවිධානය කිරීමයි. ඒ අනුව අපිට අවුරුද්දක් ඇතුළත යන්න ලැබෙන්නේ ප්‍රදේශ දෙකකට පමණයි. බදුල්ලට දෙවතාවක් ගියා. සමහර අවුරුදුවලදී තැන් තුනක ජන කරළිය පෙන්නුවා. ඒ විදිහට දැනට ස්ථාන 23 ක පමණ නාට්‍ය පෙන්වා තිබෙනවා.

ඉඳහිට ග්‍රාමීය ප්‍රදේශයක නාට්‍යයක් පෙන්වීමෙන් නාට්‍ය බලන සංස්කෘතියක් ඇති කරන්න පුළුවන් කියලා හිතනවාද?

අපිට පුළුවන් නාට්‍ය නැරඹීම සඳහා රසිකත්වයක් ඇති කරන්න පමණයි. එතැනින් එහාට ඒ ප්‍රබෝධය පවත්වාගෙන යාම ඒ ප්‍රදේශයේ සිටින ක්‍රියාකාරීන් හා මේ ගැන උනන්දුවක් දක්වන්නන්ගේ කාර්යයක්. අපි නාට්‍ය පෙන්නූ සමහර ප්‍රදේශවල අවුරුදු 8 කින් නාට්‍යයක් ගිහින් තිබුණේ නැහැ. ජීවිතේට නාට්‍යයක් නොදැකපු අයත් හිටියා. අපේ පැමිණීමෙන් පස්සේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් ඇති වූ ප්‍රදේශත් තිබෙනවා.

අනෙක් කාරණය අපි නාට්‍ය පෙන්වනවා පමණක් නෙවෙයි. 'ජන කරළිය' යන හැම පළාතකම නාට්‍ය වැඩමුළු තියෙනවා. ඒ වැඩමුළුවට එන පිරිස අතරින් නාට්‍ය කලාවට උනන්දු පිරිසක් ඇති වෙනවා.

ප්‍රධාන නාට්‍ය උලෙළක් සමඟ තරග කිරීමට 'ජන කරළියේ' නිර්මාණ ඉදිරිපත් කිරීම ඔබේ දැක්මට පෑහෙන්නේ කොහොමද?

අපේ නාට්‍යවල ගුණාත්මක වර්ධනය කරගන්න, ශිල්පින්ට ඇගැයීමක් ලැබෙන්න සම්මාන දිනා ගැනීම වැදගත්. ජන කරළියේ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළේදී වගේම යොවුන් නාට්‍ය උලෙළත් ජයගෙන තිබෙනවා. ප්‍රධාන නාට්‍ය උලෙළකදී සම්මාන දිනීම පිට පළාතකදී නාට්‍ය ප්‍රදර්ශනය කිරීමටත් අපේ නාට්‍ය ඉදිරියට පවත්වාගෙන යාමට අනුග්‍රාහකයන් සොයා ගැනීමටත් වැදගත්.

ජන කරළිය' බිහි කළ සමහර ශිල්පින් පසුකාලිනව එයින් ඉවත් වුණා. එයට හේතුව කුමක්ද?

අපේ කණ්ඩායම තුළ ඉන්නම ඕනෑ කියලා නියමයක් නැහැ. සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සිටි ඔහු හඳුන්වා දුන් ශිල්පීනුත් පසුකාලීනව වෙනත් නාට්‍යවලට ගියා. මනමේ, සිංහබාහු වැනි නාට්‍යවල රඟපෑ සමහර විශිෂ්ට නළුවන් ඒ අනන්‍යතාව නැති කරගත් අවස්ථා අපි දැක තිබෙනවා. බසයට ගොඩ වෙන අය තමන්ට වුවමනා තැනින් බැහැ ගන්නවා. බසය ගමනාන්තය දක්වා යනවා. 'ජන කරළියත්' ඒ වගේ.

පරාක්‍රම නිරිඇල්ල නැතිව ජන කරළියට පවතින්න පුළුවන්ද?

මම නැතත් 'ජන කරළිය' ඉදිරියට පවතිනවා. දැන් මේ නාට්‍ය කණ්ායම පවත්වාගෙන යන්න පුළුවන් 10 දෙනෙක් නාට්‍ය ඇතුළෙන්ම ගොඩ නැඟී තිබෙනවා. ඔවුන්ට හැම හැකියාවක්ම තියෙනවා. නාට්‍ය ලියන්න පුළුවන්, රඟපාන්න, අධ්‍යක්ෂණය කරන්න විතරක් නෙවෙයි ආලෝකකරණය, නාට්‍ය සංවිධානය කිරීම වගේ දේවල් කරන්නෙත් ඒ අයයි. දැන් අපිට අපේම අරමුදලක් තියෙනවා. දැන් ජන කරළිය සමාගමක්. ඒකේ නම T.O.People (pvt) Ltd. ගෙනියන්නේ අර කිව්ව දහ දෙනා.

ජන කරළියේ ශිල්පින්ට වෙනත් නාට්‍යවල රඟපෑම වලක්වන බාධාවක් තියෙනවාද?

අපි සමඟ තුන් වර්ගයක පිරිස් වැඩ කරනවා. පූර්ණ කාලීනයෝ 10 දෙනා ජන කරළියේ න්‍යෂ්ටියයි. ඊට අමතරව සහයෝගී සාමාජිකයන් 15 දෙනෙක් ඉන්නවා. ඔවුන් වෙනත් වැඩවල යෙදෙනවා. නාට්‍ය කරන විට එයට සම්බන්ධ වෙනවා. ගෙවීම් ලබනවා. ඊළඟට ආශ්‍රිය සාමාජිකයන්. සංජීව උපේන්ද්‍ර වගේ ප්‍රසිද්ධ වේදිකාවේ වැඩ කරන ශිල්පියෙක් හුණුවටය නාට්‍යයට ආශ්‍රිය සාමාජිකයෙක් විදිහට වැඩ කරනවා.

නාට්‍ය කණ්ඩායමක් පවතින්න නම් විනයක් තිබිය යුතුයි. ඒකට බාධා වන තැන්වලදී අපි සමහර ශිල්පීන් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඔවුන් දක්ෂයෝ. ඒ අය සමඟ ගනුදෙනුවක් දැනටත් තියෙනවා. නමුත් නාට්‍යවලට සම්බන්ධ කර ගන්නේ නැහැ.

නාට්‍යකරුවන් ස්වභාවයෙන්ම ලිහිල් චරිත. එවැනි පිරිස් සමඟ වැඩ කිරීමේදී දක්ෂතාවයට අමතරව ආචාර ධාර්මික කරුණු ගැන අවධානය යොමු කරන්නේ ඇයි?

ඔය ප්‍රශ්නය ජෝන් ද සිල්වාටත් තිබිලා තියෙනවා. ඔහුත් තමන්ගේ නාට්‍ය කණ්ඩායමට නීති රීති මාලාවක් යොමු කර තිබෙනවා. මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. නාට්‍යයෙන් අපි පෙන්වන ගතිගුණ පෞද්ගලික ජීවිතයෙත් තියෙනවාද කියලා මිනිස්සු බලනවා. මේක ශාලාවකට ගිහින් නාට්‍යයක් පෙන්වා ආපහු යන කණ්ඩායමකට අදාළ නොවෙන්න පුළුවන්. අපි කාලයක් ගමක වැඩ කරනවා. එවිට එය බාධාවක් හැටියට මතු වෙනවා.

නාට්‍ය කණ්ඩායම ගොඩ නැඟීමට විදේශාධාර ගැනීම නිසා එන්. ජී. ඕ. නාට්‍යකාරයන් කියන චෝදනාව ඔබට නැඟී තිබෙනවා නේද?

ජන කරළිය දැන් සමාගමක් නිසා ඒ අය මට කොම්පැනි කාරයෙක් කියාවි. මේ විදිහෙ නාට්‍ය කණ්ඩායමක් හදන හීනය අවුරුදු විස්සකට වැඩිය මා තුළ තිබුණා. 99 දී ජාතික තරුණ සේවා සභාවට මේ යෝජනාව ඉදිරිපත් කළා. වැඩක් වුණේ නැහැ. 99 දී ලක්ෂ්මන් ජයකොඩි සංස්කෘතික ඇමතිතුමාට ඉදිරිපත් කළා. ඔහු එය පිළිගත්තා. ටවර් රඟහල හරහා ක්‍රියාත්මක කරන්න භාණ්ඩාගාරයන් මිලියන 10 ක් අනුමත කළා. එතුමා මිය ගියා. පස්සේ ආ සංස්කෘතික ඇමතිට නාට්‍යකරුවෝම මේක පරාක්‍රමගේ පිස්සු වැඩක් කියලා කිව්වා. වැඩේ එතැනින් ඉවරයි.

අපේ ආණ්ඩු උදව් නොකළ නිසා මම නෙදර්ලන්ත සංස්කෘතික අරමුදල, යුනෙස්කෝව, භඵ චඪඤඵ වගේ ව්‍යාපෘතිවලට ඉදිරිපත් කළා. ඒ අය මෙහි වැදගත්කම තේරුම් ගෙන උදව් කළා. ඔවුන් උදව් කළේ කණ්ඩායම ගොඩ නඟා ගන්න. දිගටම උදව් කළේ නැහැ. ඒත් අපි දිගටම වැඩ කරන්න පුළුවන් පදනමක් හදා ගත්තා.

ජන කරළීය ගැන වාර්තා චිත්‍රපටයක් වගේම අන්තර් ජාතික වශයෙන් එහි සේවය ඇගැයීමට ලක්ව තිබෙනවා නේද?

2010 'ආට් ඇක්ෂන් ගෝලීය තරඟයෙන් ආසියා පැසිපික් කලාපයේ හොඳම සංස්කෘතික කණ්ඩායම් දහය අතරට අපි තේරුණා. යුනෙස්කෝවේ ජන නාට්‍ය (ධ්ඊධ්) සහයෝගීතා සාමාජිකත්වය අපිට ලැබුණා. ඒ වගේම එහි ලේකම් ධුරය මට ලැබුණා. කුලන්තෙයි ෂන්මුගලිංගම් කියන ප්‍රමුඛ දෙමළ නාට්‍යකරුවා සමඟ නාට්‍ය වැඩ සටහනක් කරන්න යුනෙස්කෝව අපිට ආරාධනා කළා. ජර්මනියේ, අමෙරිකාවේ හා මැන්චෙස්ටර්වල විශ්වවිද්‍යාල තුනක සමාජ විපර්යකාරකයක් ලෙස නාට්‍ය යොදා ගැනීමේ අපේ අත්දැකීම් ගැන ආචාර්ය උපාධි ඉදිරිපත්ව තිබෙනවා. ඒ වාර්තා චිත්‍රපටය දැන් ඔබට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්.

අයෝමා වලින් පස්සේ චිත්‍රපටයක් හැදුවේ නැත්තේ ඇයි?

කලාකරුවෙක් වැඩ කරන මාධ්‍ය කලින් කල වෙනස් කළ යුතුයි. එහෙම කරන්න බැරි නම් තෝර ගත්ත මාධ්‍ය තුළ හෝ විවිධ වෙනස්කම් කළ යුතුයි. ජන කරළියේදී මම ඒ විදිහෙ වෙනසක් කරන්න උත්සාහ කළා.

ටෙලි නාට්‍ය අපිට ජය ගන්න පුළුවන් තැනක් නෙෙයි. මේ අවුරුද්ද තුළ චිත්‍රපටයක් කරන්න හිතාගෙන හිටියත් යුනෙස්කෝවේ ඇරයුම නිසා එය තරමක් කල් ගියා. පියල් කාරියවසම් සමඟ එක්ව තිර රචනය ලියනවා. අවුරුද්දේ අග වැඩ පටන් ගන්න පුළුවන්.