|
තෙසාරා අතිනත ගත් දා
ජනප්‍රිය නිළි තෙසාරා ජයවර්ධනගේ විවාහ උත්සවය පසුගියදා අත්තිඩියේ ඊගල් ලේක් සයිඩ් ගුවන් හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණ. ඇගේ අත ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු ජීත් සුමේධ සමරසේකරයි. උඩරට ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටි මේ නව යුවළගේ මංගල්‍යයේ තේමාව වූයේ දඬුමොණරය සහ රාවණා යන්නයි. තෙසාරා මනාලියක ලෙස හැඩ වැඩ කළේ චන්දිමාල් ජයසිංහයි. නව යුවළගේ ඇඳුම් නිර්මාණය චරිත් සහ නයෝමි යන ශිල්පියා හා ශිල්පිනියගෙනි. තෙසාරා - ජීත් ඔබ දෙපළට ‘සරසවිය’ සුබපැතුම්! සේයාරුව - රංජිත් අසංක
භවතරණ දිල්ලියට
දිල්ලි අන්තර් ජාතික සිනමා උලෙළේ අවසාන තරඟයට දේවින්ද කෝන්ගහගේ ගේ භවතරණ සිනමාපටය තේරී පත්ව තිබේ. රටවල් පනහක සිනමාපට තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම උලෙළ නියෝජනය කරයි. ඒ අතරින් උලෙළේ තරගකාරී අංශයට එක් වන එකම ලාංකික සිනමාපටය වනුයේ භවතරණයයි. මෙම උලෙළට සහභාගිවීම සඳහා එහි අධ්‍යක්ෂ දේවින්ද ප්‍රධාන චරිත මවන චන්දික නානායක්කාර සහ සජීව් රාජපුත්‍ර හෙට දිනයේ දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
පැරැණි හින්දි ගී ගායන ප්‍රසංගයක්
පැරැණි හින්දි ගී චිත්‍රපට රසික සමාජය ඉදිරිපත් කරන පැරැණි හින්දි ගීත ගායනා ඇතුළත් ප්‍රසංගයක් මෙම මස 06 වැනිදා එනම් ලබන ඉරිදා උදෑසන කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මෙවර විශේෂයක් ලෙස එච්. ආර්. ජෝතිපාලයන් ගායනා කළ ගීතවල මුල් හින්දි ගීත රැසක් මෙම සමාජයේ ගායක ගායිකාවන් විසින් ගායනා කරනු ලබයි. පැරැණි ගීත ඇතුළත් සී. ඩී. සහ ගීත දර්ශන සහිත ඩී. වී. ඩී. තැටි ද එදින ලබාගැනීමේ හැකියාව තිබෙන අතර නොමිලයේ පැවැත්වෙන මෙම ප්‍රසංගය සඳහා සහභාගිවන්නට යැයි හින්දි ගීතවලට ළැදි රසික රසිකාවන්ට විවෘත ආරාධනාවක් කරයි.
සේලිත මුණසිංහට සම්මාන
අධ්‍යාපන අමාත්‍යංශ මගින් ‘තෙවැනි ඇසින් ලොව දකිනු’ යන තේමාව යටතේ 2014 වර්ෂය සඳහා පැවැත් වූ සමස්ත ලංකා පාසල් ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගියදා සහතිකපත් සහ පදක්කම් ප්‍රදානය කරන ලදී. එහිදී තෙවැනි ස්ථානය දිනා ගන්නා ලද්දේ ඡායාරූප ශිල්පී අතුල මුණසිංහගේ පුතු වන සේලිත මුණසිංහ පාසල් සිසුවායි. සේලිත රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයේ දහතුන වසරේ තාක්ෂණික අංශයේ ඉගෙනුම ලබන අතර මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප ශිල්පින්ගේ සංගමයේ ද සමාජිකයෙක් වෙයි. මෙහි දැක්වෙන්නේ සේලිත මුණසිංහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී.එස්. රාධ ක්‍රිෂ්ණන් අතින් ලබාගත් සම්මානය අතැතිව ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි.
|