වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයා එක ටේක් එකෙන්ම වැඩේ කළා
නම හෙළි නොකරන ලේඛකයකු නම හෙළි නොකරන ආදරණීය තාරකාවකගේ ජීවිතය අළලා ලියන සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

ඔයා එක ටේක් එකෙන්ම වැඩේ කළා

'මොනවද නංගි බය නැතුව එන්ඩකෝ'

ජිතේන්ද්‍ර පැවසුවේ සිනාසෙමිනි. සුජිත්, මානවීට ළං වූවාය.

'ඔයාට බය වෙන්න දෙයක් නෑ . නංගී ඔයාට තියෙන්නේ වෙනදා වගේ කඩේට ආපු කෙනෙක් කියලා හිතලා ජිතේන්ද්‍ර අයියත් එක්ක කතා කරන එක'

සුජිත් පැවසුවේ මානවීගේ බිය වටහා ගත්තා මෙන් හැඟීමෙනි.

'නංගිගේ අතට ආපු චාන්ස් එක'

මානවී පිටුපසට යනු දුටු සුනීතා හෙමින් කෙඳුරුවාය.

'අනේ බෑ අක්කේ'

ඈ යළිත් පසුපසට ගියාය.

'ඇයි මොකද්ද ප්‍රශ්නේ'

ඒ ප්‍රශ්නය ඇසුණේ පොත් සාප්පුවට ඉදිරියේ කුඩා මොනිටරයක් ළඟිනි. එහි සිටියේ කලින් සුජිත් සමඟ කතාබස් කරමින් සිටි තැනැත්තාය. ඔහු කැප් තොප්පියක් පැලඳ සිටියේය.

'නෑ මචං හරි'

සුජිත්ගේ ස්වරූපයේ තිබුණේ කිසියම් වරදක් සඟවාලන ස්වරයකි. මානවී සාප්පුවෙන් ඈත එළිය බැලුවාය. ගමේ ගැටවරයෝ කිහිප දෙනෙක්ම ඒ වටා රොක්ව සිටිති.

'නංගි මෙච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. දැන් ජිතේන්ද්‍ර අයියා ඉස්සරහ ඉඳන් කඩේට එනවා. ඇවිල්ලා පෑනක් ඉල්ලයි. ඔයාට තියෙන්නේ පෑන අරගෙන දෙන්න.'

සුජිත් මානවීගේ පස්සෙන් යමින් කියා සිටියේය. මානවීට උත්තර දෙන්නට හැකියාවක් නැත. සුජිත් ඈ දෙස බලා සිටියාය. ඊළඟට සුමිත් ළඟට ආවේය.

'ඇයි මානවී බෑ කියන්නේ?'

ඔහු පුටුවක් ඇද වාඩි වූයේ ගුරුවරයකුගේ විලාසය පෙන්වමිනි.

'ගෙදරින් බනියි කියලද?'

මානවී කිසිත් පැවසුවේ නැත. ඈ ඒ වෙනුවට නියපොත්ත සපන්නට පටන් ගත්තාය.

'මං ඒක බලාගන්නම්. පොඩි එකක්නේ. කොච්චර හොඳද?'

මානවී උන්නේ දෙගිඩියාවෙනි. කැප් තොප්පිය පැලඳ සිටි තැනැත්තා සුජිත් ළඟට ආවේය.

'දැන් ද උඹලා ආටිස්ට්ලා හොයන්නේ'

'නෑ නෑ මචං දැන් හරි, අර එනවා කිව්ව එකී ආවේ නෑනේ'

සුජිත් පැවසුවේ ඇපෙන් ගැලවෙන්නට මෙනි. මානවී ආපසු හැරී බැලුවාය.

උඹලගේ වැඩ ඉතිං . . .'

කැප් තොප්පිය පැලඳි තරුණයා කෝපයෙන් නැඟිට ගියේය. සුජිත් හා ජිතේන්ද්‍ර එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. මානවී ඔවුන් දෙස බැලුවාය. සුජිත්ගේ ඇස් දෙකේ තිබුණේ ආයාචනයකි.

'නංගි, මුකුත් නෑ, යන්තම් ඉන්ඩකෝ'

මානවී හිස සැලුවාය. එයින් එහා උත්තර දෙන්නට ගියේ සුජිත් නොවේ. ඔහු වහා කැප් තොප්පිය දැමූ තරුණයා ළඟට ගියේය. ඔවුන් දැන් කුටු කුටුවකය. ජිතේන්ද්‍රට හැඩ වැඩ දැමූ තරුණයා මානවී ළඟට ආවාය.

'පොඩි ටච් එකක් දාමු'

ජිතේන්ද්‍ර වාඩි වී සිටි අසුනේ දැන් මානවීය. වෙස් ගැන් වූ තරුණයා ඇයගේ මුහුණේ යමක් තැවරුවේය.

'දැන් හරි' යයි පැවසුවේය.

සුජිත් ඊළඟට ආවෙ පොතක් අරගෙනය.

'නංගි මෙහෙම කියන්ඩ'

ඔහු දෙබසක් පැවසුවේය. ජිතේන්ද්‍ර ඇයට ළං විය.

'බය වෙන්ඩ එපා නංගි. දැන් මම ඔයා ළඟට ඇවිත් අහනවා පෑන් තියෙනවද කියලා'

'ඔව් කියලා ඔයා කීයේ පෑනක් ද කියලා අහන්න'

ඒ අතරවාරයේ තවත් එකෙකු කඩේ තිබූ පෑන් එකතුව තවත් තැනක එල්ලුවේය.

'හරි නේද'

මානවීට සියල්ල අමුතුය. පෑන ඇල්ලූ තැන සිට තරුණයා අහන්නේ ද පාරේ සිටින අයගෙනි. ඔහු කැමරාවක් මානාගෙන සිටී. කඩේ ඇතුලේ තිබූ විසල් පහන පොඩ්ඩක් පැත්තකට ගියේය. ඒ අතරවාරයේ ඇත්තටම ගනුදෙනු කරන්නට පැමිණි කෙනෙකු සුමිත් සමඟ ගනුදෙනුවකය.

'පිච්චර් එකක් ගහනවද?'

'නෑ ටෙලි නාට්‍යයක්'

දැන් සියල්ල සූදානම්ය. අයෙමත් මානවීට බය හිතුණාය. අත්තම්මාගෙන් හරි ඇසුවා නම් හොඳය. ඒත් කරන්නට දෙයක් නැත. සුමිත් ඒ කාරණය ගැන බලා ගන්නවා ඇත.

සුජිත් ඇයට කළ යුතු කාරණය පහදා දුන්නේය.

ඕකේ! සයිලන්ස් ප්ලීස්, රෝලිං'

කාගේදෝ හඬක් ඇසිණ. අල්පෙනෙත්තක් වැටුණත් නිහඬය. බස් රථයක් පාර දෙදරවාගෙන ගියේය. තමන් සිටි තැනට උඩින් මොකක්දෝ ලීයක් පාත් වෙයි. මානවී එය නොතැකුවාය.

'නංගි මට පෑනක් දෙන්නකෝ'

ජිතේන්ද්‍ර කඩයට ගොඩ වී ඇසුවේය.

'කීයක පෑනක් ද?'

මානවී ඇසුවාය. ඇයගේ මුහණේ සිනහවක් නැඟිණ. අනතුරුව ඇය එම සිනහවෙන් පෑන ගෙනවිත් දුන්නාය.

'රයිට්'

සුජිත් කෑගෑවේය. කැප් තොප්පිය දැමූ තරුණයා එතැනට ආවේය.

'මේ නංගිගේ නම මොකක්ද?'

'මානවී'

ඇයට කලින් උත්තර දුන්නේ සුනීතාය.

'මානවී, ඔයා එක ටේක් එකකින්ම වැඩේ කළා'

මානවී ඔහු දෙස බැලුවේ ඉවරද යනුවෙනි. රඟපෑම මෙතරම් පහසුදැයි ඇය දැන සිටියේ නැත. පාසල් වේදිකාවේ නාට්‍යයකට පුහුණු වුණු වාර ගණන අපමණය. කෙතරම් නම් බැණුම් ඇසුවාද? වෙලාවට නොපැමිණියාට එක දඬුවමකි. මානවීට ආඩම්බර සිතිණි.

'මේ නංගි ෆොටෝ ජෙනික්'

කැමරාව ළඟ සිටි තැනැත්තා ආවේ කැමරාවත් ඔසවා ගෙනය.

'නංගි හිටපු තැනට යන්ඩ'

ඔහු අණ කළේය. මානවී උන් තැනට ගියාය.

'ඔය පස්සේ ඉන්න දෙන්නා අයින් වෙන්ඩ'

අණ දීමක් ලැබිණ. මානවී හැරී බැලුවාය. ඒ සුමිත් හා සුනීතාය.

'ඔව්! ඔය දෙන්නා තමා'

ඔවුහු එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. අනතුරුව පැත්තකට ගියහ.

'ජිතේ උඹ ඔතැන ඉඳපං'

කැප් තොප්පිකරු බලා සිටියදී කැමරා ශිල්පියා උපදෙස් දුන්නේය.

'සුජියා උඹ පොඩ්ඩක් හදපං. මං මේක දාගන්න කං'

ඔහු යළිත් ගෙරෙව්වේය.

'හරි නංගි. ඔයා ජිතේන්ද්‍ර අයියා දිහා බලන්න'

මානවීට ජිතේන්ද්‍රගේ බැල්ම ඉවසුවේ නැත. ඇය බිම බලා ගත්තාය.

'හරියට බලන්න'

ඇය යළිත් හිස ඔසවා බැලුවාය.

'ෂා!'

'මෙන්න කැලේ පීදී කැලේ පරවන මල්'

ජිතේන්ද්‍ර පැවසුවේ මහ හඬින් සිනාසෙමිනි. මානවී කඩය ඇතුළට දුව ගියාය.

'ඔය නංගිගේ නම ලියා ගන්න'

කවුදෝ කියනු ඇයට ඇසිණ. පෑළ දොරින් පැන දුවන්නට යැයි මානවීට ඇගේ දෙපා කීවාය. එහෙත් එයට එකඟ වන්නට ඇගේ සිත ඉඩ නොදුන්නාය. පසුපස ද ටෙලි නාට්‍යයේ කට්ටියය. එකෙකු දුම් වැටියක් උරයි. මේ සියල්ලන්ගේම ඇස් තමා වෙතය.

'අයියේ ස්තූතියට නම දාන්න ඕනනේ'

සුජිත් පැවසුවේ සුමිත්ටය.

'සාප්පුවේ නමත් දාන්න මල්ලි'

සුමිත් පැවසුවේය.

මානවී ගෙදර ගියේ ඉර අවරට ගොස් ටික වෙලාවකින්ය. ඒ වන විට ටෙලි නාට්‍යයේ පිරිස ආපසු ගොසිණි.

'ඔයාගේ නොම්මරේ මොකක්ද?'

සුජිත් ඒ අතරවාරයේ මානවීගෙන් ඇසුවාය.

'ෆෝන් එකක් නෑ'

'අයියෝ ඔය වයසේ ළමයෙකුට ෆෝන් එකක් නැද්ද?'

කැමරා ශිල්පියා ඇසුවේය. මානවීට ලජ්ජාවක් සිතිණ. අද ෆෝන් එකක් ගත්තා යැයි කියන්නට සිතුණ ද මානවී පැවසුවේ නැත.

'නංගි ඔයාට හොඳ ටැලන්ට් තියෙනවා'

එසේ පැවසුවේ විදුලි පහන ඔසවාගෙන ගිය ඉලන්දාරියාය.

මේ හොඳටම ඇති මානවී සිතා ගත්තාය. හතර වට බිම් කළුවර ගලා එමින් තිබිණ. අත්තම්මා කවදාවත් නැතුව වැට ළඟට වී බලා සිටී. ගමේ කිසිවක් රහසක් වන්නේ නැත.

'උඹ කොහෙද මෙච්චර වෙලා'

අත්තම්මාගේ ස්වරය වෙනදාට වඩා වෙනස්ය.