වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




21 වැනි සියවසේ මිනිසුන් ජාතික රාජ්‍යයකට සීමා වන්නේ නෑ

21 වැනි සියවසේ මිනිසුන් ජාතික රාජ්‍යයකට සීමා වන්නේ නෑ

අහම්බකාරක පිළිබඳ ආචාර්ය ලියනගේ අමරකීර්ති

අද මං සළකුණු වෙන් වුණේ ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත ‘අහම්බකාරක’ නවකතාව වෙනුවෙනි. අහම්බකාරක ආචාර්ය අමරකීර්ති විසින් රචනා කරන ලද නවතම කෘතිය යි. පසුගිය වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමිවූයේද ඔහු විසින් රචිත ‘කුරුළු හදවත’ නවකතාවටය. ‘අටවක පුත්තු’ නවකතාව 2008 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාර්යවරයෙකු ලෙසින් කටයුතු කරන ආචාර්ය ලියනගේ අමරකීර්ති නවකතා සේම කෙටිකතා, පරිවර්තන, ගීත රචනා සහ කාව්‍ය රචනා රැසක්ද දේශීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ පෝෂණය වෙනුවෙන් දායාද කර තිබේ.

අහම්බකාරක නවකතාව පසුපිටෙහි දැක්වෙන්නේ මෙවැන්නකි.

ලියනගේ අමරකීර්ති සිය සිව්වැනි නවකතාව වන අහම්බකාරක මඟින් ජීවිතයේ අහම්බමය ස්වභාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පිළිබඳ සංස්කෘතික ගවේෂණයක් ද සමගය. කුමකින් කුමක්වේ දැයි නිශ්චිතව කියන්නට ඉඩ නොදෙන කතාකීමේ ශිල්ප ක්‍රමයකින් යුතු මේ කෘතිය ඉතා නාට්‍යමය නවකතාවකි. එක්තරා යුගයක අධ්‍යාත්මය ගැන ගවේෂණයකි. චර්ම වර්ණ, දේශසීමා ආදිය ඉක්ම වූ ආදරයක සහ මිත්‍රත්වයක කතාවකි. අටවක පුත්තු, අර මිහිරි සීනු නාදය සහ කුරුළු හදවත වැනි කෘතිවලට වඩා බෙහෙවින් වෙනස්වන අතරම තේමාත්මකව ඒ කෘති වෙත නෑකම් දක්වන කෘතියකි.

මෙම කෘතිය ඔබේ අනෙකුත් කෘති අතරේ විශේෂ වන්නට හේතුවක් ඇති?

ඕනෑම ලේඛකයෙකුට තම නවතම කෘතියේ විශේෂත්වයක් තියෙනවා. මෙම නවකතාව තුළ කතා කරන, එයින් ප්‍රකාශවන ක්ෂේත්‍රය තරමක් පුළුල්. තවත් පැත්තකින් බැලුවොත් දේශපාලනිකව පෘථුල ක්ෂේත්‍රයක් වෙනවා. ඒ වගේම මෙහි එන චරිත ගත්තොත් ඒවා කේන්ද්‍ර කරගත් ප්‍රදේශ විහිදී යනවා. මෙහිදී ලංකාව විතරක් නොවෙයි අමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ඕලන්දය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල් කරා එම චරිත දිවෙනවා. මෙම නවකතාව ඉදිරිපත් කළ අඛ්‍යාන රටාව තරමක් වෙනස්. මේ සියල්ල කැටිකර ගත් ‘අහම්බකාරක’ කෘතිය මට මගේ අනෙකුත් කෘති අතරේ විශේෂ වෙන්න බලපානවා. ලේඛකයෙකුට අලුත් කෘතියක් හරියට අලුත උපන් බිළිඳෙක් වගෙයි. මේ කෘතියක් මෙම කාරණා ඔස්සේ මට විශේෂ වෙනවා.

‘අහම්බකාරක’ කෘතිය රචනා කරන්න අවැසි පසුබිම සැකසුනේ කුමනාකාරයෙන්ද?

‘අහම්බකාරක’ කෘතිය රචනා කරන්න මා උත්තේජනය කළ හේතු කිහිපයක්ම තියෙනවා. කුරුණෑගල මේ කෘතියට පාදක වන එක් ප්‍රදේශයක්. වාණිජකරණයත් සමඟින් කුරුණෑගල නගරයේ තිබූ පැරණි ගෙවල් කිහිපයක්ම අතුරුදහන් වෙනවා. මට මගේ කුඩා කාලයේ ඒ ගෙවල් හොඳින් මතකයේ සටහන් වුණා. ඒවා අතුරුදන් වෙලා ගියේ ආයෙමත් දකින්නවත් නොලැබෙන අන්දමින්. මේ සිදුවීම ‘අහම්බකාරක’ රචනා කිරීමට උත්තේජනය කළ එක් සිදුවීමක්. ඒ වගේම මගේ මනසේ තවත් සිතුවිල්ලක් ඇති වුණා. ආචාර්ය ඇන්. ඇම් පෙරේරා, කොල්වින් ආර් සිල්වා වැනි පුද්ගලයෙකුගෙන් අයෙක් එයින් පසු පරපුර නියෝජනය කරමින් විදෙස් අධ්‍යාපනයක් ලැබ මෙරටට පැමිණියහොත් ඇති වන තත්ත්වය කෙසේ විවිද?

ඒ වගේම 1983 වසරේ ඇති වූ කලබලකාරී වාතාවරණය කුරුණෑගල ප්‍රදේශයට බලපෑ අන්දමත් මෙහි විශේෂ වෙනවා. මෙම නවකතාව තුළ කුරුණෑගලදී සිදු වූ එම සිදුවීම් සත්‍ය සිදුවීම් ලෙසින්ම කෘතියට ඇතුළත් කරන්න මම තීරණය කළා. මෙහිදී මිත්‍රත්වයටත් විශේෂ ස්ථානයක් හිමිවෙනවා. මිත්‍රත්වය ‘අහම්බකාරක’ කෘතිය තුළ පමණක් නොවෙයි මගේ අනෙකුත් නවකතාවලටත් පොදු තේමාවක්.

මෙම කතාපුවත තුළ ඔබ චරිත නිර්මාණය කරගතේ කෙසේද?

මෙහි එන සියලුම චරිත ප්‍රබන්ධාත්මකයි. බන්දු, රාධා, සේන ආදි වූ මේ සියලු දෙනා මගේ පරිකල්පන ශක්තියෙන් නිර්මාණය කළ චරිත.

ඔබේ ජීවිතයේ ලද ඇතැම් අත්දැකීම් මේ සමඟ මුසු වෙලා ඇති?

නවකතාවක් කියන්නේ සිදුවීම් ගණනාවක එකතුවක්. ඒ වගේම සිතුවිලි ගණනාවක් එයට ඇතුළත්. මේ අතරේ විවිධාකාර වූ ස්ථාන රාශියකුත් එයට පදනම් වෙනවා. මෙම නවකතාව තුළ කියවෙන ස්ථාන සියල්ලම සත්‍යය ස්ථාන. ඒ වටා නිර්මාණ වූ සිතුවිලි, සිදුවීම් පරිකල්පන ශක්තියෙන් නිර්මාණ කරගත් ඒවා. මෙහි එන චරිත අතරේ අප දන්නා හඳුනන අයගේ ගති ලක්ෂණ මුසු වෙලා තියෙන්න පුළුවන්. ඇතැම්විට එක චරිතයකට කිහිප දෙනෙකුගේ ගති ලක්ෂණ ඇතුළත් වෙන්න පුළුවන්. මේ අතරේ සත්‍ය වශයෙන්ම සිදු වූ පුංචි පුංචි සිදුවීම් තියෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ නිර්මාණය පරිකල්පනිකයි.

3 කලබල මෙයට ඇතුළත් කිරීමට විශේෂත්වයක් තිබුණාද?

මෙහි එන ප්‍රධාන චරිත දෙකේම විකාශනයට වගේම ප්‍රධාන චරිත චරිත කිහිපයකම මුණ ගැසීමට බලපාන සිදුවීම වන්නෙත් 83 කලබලකාරී වාතාවරණය යි. ඒ කාලයවන විට අපි පොඩියි. නමුත් ඒ ගැන මතකය හිතේ තියෙනවා. ඒ අපරාධය ලේඛගත කර තැබීම ලේඛකයෙක් විදියට එක්තරා වගකීමක්. මගේ පෙර නවකතාවකත් 1988 වසරේ සිදුවීම් සාහිත්‍යගත කළා. සාහිත්‍යකරුවා කියන්නේ ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම් ලේඛනගත කරලා තැබිය යුතු පුද්ගලයෙක්. කතාකාරයෙක්, කලාකාරයෙක් වෙනවාට අමතරව එවැනි සිදුවීම් සමඟත් ගනුදෙනු කිරීමට සාහිත්‍යකරුවෙකු වගබලාගත යුතුයි.

ඒ හැරුණුකොට මෙම සමය පිළිබඳම ලිවිය යුතුයි කියන තීරණය මත රචනා කළ දෙයක් නොවෙයි. කුරුණෑගල නගරයේ එවැනි කලබලකාරී සිදුවීම් සිදු වුණා. එදා කුරුණෑගල නගරයේ දෙමළ කඩ විසිහතරක් තිබුණා. දැන් තියෙන්නේ හතරක් විතරයි. මොනවා හරි ප්‍රශ්නයක් නැතිනම් එහෙම වෙන්න බැහැ. ඉතිං ඒ අවට ජීවත්වන සංවේදී මිනිසෙක් හැටියට එම සිදුවීම ගැන කල්පනා කිරීම අපේ වගකීමක්. සාහිත්‍යකරුවෙකු ලෙසින් ඒ වගකීම තව තවත් වැඩි වෙනවා.

මේ නවකතාව විදෙස් රටවල් ඔස්සේද ගලාගෙන යනවා?

මට මගේ අධ්‍යාපන කටයුතු ආදි දේ වෙනුවෙන් විදෙස් රටවල වාසය කරන්න සිදු වුණා. අමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව යුරෝපා රටවල් රැසක සංචාරය කරන්න මට අවස්ථාව උදා වුණා. මෙම නවකතාවේදී එම ස්ථාන යොදා ගන්න මම තීරණය කළා. විසිඑක්වැනි සියවසේ මිනිසුන් ජාතික රාජ්‍යයකට සීමා කරන්න හැකි දෙයක් නොවෙයි. මෙහි එන බන්දුගේ චරිතය ගත්තොත් සමාජයේ පංති පසුබිම අනුව ඔහුගේ ජීවිතය ජාත්‍යන්තර මට්ටම දක්වා බැඳි පවතිනවා.

මෙම කෘතිය පර්යේෂණ කෘතියක ලක්ෂණද පෙන්නුම් කරනවා. ඔබ මේ කෘතිය රචනා කිරීමට ගත කළ කාලය ගැනත් සිහිපත් කරමු?

‘අහම්බකාරක’ කෘතියට අවශ්‍ය මූලික පසුබිම ලබා ගන්න මට වසර පහක පමණ කාලයක් ගත වුණා. රචනා කරන්න වසර දෙක හමාරක කාලයක් වෙන් කළා. පසුගිය සැප්තැම්බර් මාසයේදී එය පාඨකයා වෙත තිළිණ කළා. මේ වෙනුවෙන් කුරුණෑගල ආර්ථිකය පිළිබඳ දත්ත රැසක් මම සොයා ගත්තා. මම හිතන්නේ නවකතාවක් රචනා කරන ඕනෑම අයෙක් තම නිර්මාණයට පෙර තම නිර්මාණය හා අදාළ වන පර්යේෂණයක නිරත විය යුතු බවයි.

මෙහි පර්ච්ඡේදයෙන් පරිච්ඡේදය වෙන වෙනම මාතෘකා ඔස්සේ රචනා කිරීම ඔබ විශේෂ කරගත් ලක්ෂණයක්ද?

මේ අයුරින් කෘති රචනා කරන කිහිප දෙනෙක්ම ලෝකයේ සිටිනවා. කතාංග ලෙසින් යෙදීම පාඨකයාටත් පහසුවක්. මෙම කෘතිය කියවූ බොහෝ දෙනෙක් එහි එක් එක් පරිච්ඡේදය ස්වාධිනව රසවිඳි බව සඳහන් කළා. මෙලෙසින් පර්ච්ඡේදයෙන් පරිච්ඡේදය වෙනම මාතෘකා යටතේ කතා කිරීම පාඨකයාට සේම ලේඛකයාටත් විශාල පහසුවක්.

මෙය වෙනස් ආකාරයක ප්‍රේම කතාවක් කීවොත් නිවැරදිද?

මෙය ආදර කතාවක් යැයි කියන්න පහසුයි. මේ තුළ මිතුරුකමක් පිළිබඳ කතා කරනවා. ඒ වගේම අහම්බයකින් ගැනත් කියන්න පුළුවන්. මෙහි එන බන්දු බොහෝවිට කාලය ගත කරන්නේ හුදකලාවයි. එහිදී ඔහුගේ මේ සියලු දේම ‘අහම්බකාරක’ කෘතිය තුළ ඇතුළත් වෙනවා.

මේ කෘතිය තුළ සිතුවිලි විශේෂයි?

ප්‍රධාන චරිතය ජීවිතය පිළිබඳ කල්පනා කිරීම ගැන අවධානය යොමු වෙනවා. ඔහු ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතන්න උත්සාහ කරන පුද්ගලයෙක්. ඒ නිසා එම අවස්ථාවල ඔහුගේ හිතට දැනෙන දේ ඔස්සේ ඔහුගේ සිතුවිලි ධාරාට ගලාගෙන යනවා. නමුත් මෙහි නාට්‍යමය සිදුවීම් ද වැඩිවශයෙන් ඇතුළත් බව මගේ හැඟීමයි.

නාට්‍යමය සිදුවීම් සමඟින් ලියවුණේ ඉදිරියේදී රූප මාධ්‍යයට නැඟීම වෙනුවෙන්ද?

මම ‘අහම්බකාරක’ කෘතිය රචනා කළේ එවැනි අදහසක් හිතේ තබා ගෙන නම් නොවෙයි. නමුත් මේ කෘතිය කියවා දුරකථනය ඔස්සේ මට ලැබුණු පාඨක ප්‍රතිචාර අතරේ චිත්‍රපට අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක්ම සිටිනවා. ඔවුන් මෙහි එන නාට්‍යමය අවස්ථා පිළිබඳ මා සමඟින් සාකච්ඡා කළා. මේ තුළ සිනමාත්මක ලක්ෂණ ගැනත් එහිදී අවධානය යොමු වුණා. ටෙලි නාට්‍ය ගැන නම් මම එතරම් බලපතල ලෙසින් හිතන්නේ නැහැ. හොඳ සිනමා අධ්‍යක්ෂවරයෙක් මුණ ගැසුනොත් ‘අහම්බකාරක’ කෘතියෙන් සිනමා නිර්මාණයක් කිරීම පිළිබඳ හිතා බලන්න කැමැතියි.

‘අහම්බකාරක’ කෘතිය සමඟින් බැඳී සිටින පාඨක ප්‍රතිචාර වගේම විචාරක අදහස් ගැනත් සිහිපත් කරමු?

තවම මේ පොත නිකුත් වෙලා මාස කිහිපයක් ගත වුණා පමණයි. පොත කියවු අය අතුරින් කිහිප දෙනෙක් මට ඔවුන්ගේ අදහස් දැක් වූවා. ඒ අතරේ සිටින්නේ වයස අවුරුද විසිපහට වැඩි වයස් මට්ටම්වල පාඨකයන්. පොත එළි දැක්වූ සැප්තැම්බර් මාසයේ සිට එතරම් කාලයක් ගත වුණේ නැතත් විචාරක අදහස් කිහිපයකුත් පළවී තිබුණා. ලංකාවේ එවැනි දෙයක් සිදුවීම ගැනත් සතුටුයි. මේ කෘතිය පිළිබඳ විවාදයක් ඇති වෙන්න තව ටික කාලයක් ගත වේවි.

ඔබ නවකතා රචනය සේම කවියෙන් පාඨකයා අමතන සාහිත්‍යකරුවෙක් ලෙසින් මේ මාධ්‍ය දෙක පිළිබඳ වගේම ඒවා භාවිතය පිළිබඳවත් ඔබේ අදහස?

නවකතාව කියන්නේ ජනප්‍රිය මාධ්‍යයක්. කවිය ඉතාම සියුම්. සියුම්බව නොමැති වුණත් වැඩි රසික පිරිසක් බැඳි සිටින්නේ නවකතාව සමඟින්. ඇත්තටම කවි කියවන පිරිස අඩුයි. නමුත් ඒ කවි නිර්මාණ රසවිඳින සහෘදයා පවා ඉතා සියුම්. වර්තමානයේ කවියට හොඳ තැනක් තිබෙන බව පේනවා. අද කරුණ කවි පිටු බොහොමයක් දකින්න පුළුවන්. ඒ සමඟ බැඳි සිටින රසික පිරිස අඩුයි. මේ තත්ත්වට ලෝකයේ කිසිම රටකට විශේෂ වන්නේ නැහැ. කවි රසවිඳින්නේ බොහොම ටික දෙනයි. ඒ ටික දෙනාගේ වටිනාකම ඉහළයි.

නවකතාව සමඟ තරුණ පරපුරේ බැඳීමක් තියෙනවා. සල්ලි වියදම් කරලා පොත් අරගෙන කියවන ළමයි අද බොහොමයක් සිටිනවා. ඒ විතරක් නොවෙයි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළත් පොත්වලට ළෙංගතු පාඨකයන් සිටිනවා. ඒ තත්ත්වය ඒ කාලයට වඩා අද අඩු හෝ වැඩියි කියා කියන්න අපහසුයි. නිර්මාණ කාර්යය අතින් බැලුවොත් වර්තමානයේ තරුණ පරපුර නියෝජනය කරමින් නවකතා රචනා කරන පිරිස අඩු බව මගේ හැඟීමයි. නමුත් අලුත් කවි පරපුරක් බිහි වී සිටින බව නම් පේනවා. වර්තමාන යොවුන් පරපුරේ දක්ෂ කවියන් කිවිඳියන් පිරිසක් සිටිනවා. තමන් තෝරා ගත් කලාව වෙනුවෙන් කැප වුණොත් ඔවුන් ගෙන් හොඳ සාර්ථක නිර්මාණ බිහි විය හැකියි.