වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගැහැනු ළමයින්ගෙන් පරිස්සම් වෙන්න කියා තාත්තා මට නිතර කීවා

ගැහැනු ළමයින්ගෙන් පරිස්සම් වෙන්න කියා තාත්තා මට නිතර කීවා

- සංජය

ඇපල් ඉල්ලූ දවසට පසුව මං පුතාට ගැහැව්වේ නැහැ

- සුගත්

සුගත් - සංජය පිය පුතුන්ගේ රස කතා

සංජය සමරකෝන් යනු චිත්‍රපට සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ සුගත් සමරකෝන්ගේ එකම පුත්‍රරත්නය වේ. තව නොබෝ දිනකින්ම පියා වර්තමානයේ යන අධ්‍යක්ෂණ අඩිපාරට පා තියන්නට සැරසෙන ඔහු රංගන ශිල්පියකු වශයෙන් කලකට ඉහත සිටම කටයුතු කළේය. පියා විසින් අධ්‍යක්ෂණය කරන ලද විජය කුවේණි සිනමාපටයෙන් නළුවකු ලෙස කලඑළියට ආ සංජය, සුගත්ගේ සුන්දර බණ්ඩා වේදිකා නාට්‍යයයේ ද ප්‍රධාන චරිතය මවයි. ඔවුන් අද අප සමඟ එකතු වන පිය පුත් දෙපොළ වේ.

මට තාත්තා ගාවින්ම වාඩිවෙන්න ඕන.

එහෙම කියපු සංජය මා ආසනයක් පෙන්වීමට ද ප්‍රථමයෙන් සුගත් ගාවින් වාඩි වුණා.

මොකෝ පුතාට අදත් ඇපල් ඕනද?

සුගත් ඇපල් ගැන හදිසියේම මතක් කළේ ඇයිදැයි මටත් හිතාගන්න බැහැ. සංජය ද කල්පනාවකට වැටුණා. ක්‍රමයෙන් ඔහුගේ මුහුණින් සිනහවක් මතු වුණේ ඇපල් කතාව මතක් වෙලා වගෙයි.

අහා . . . මට මතකයි ඇපල් කතාව.

ඒ සංජය.

අපූරු ආරම්භයක පෙර නිමිත්තක් පහළ වී තිබෙනු දුටු මා ද නිහඬව සිටියා.

පුතා එතකොට බොහොම පුංචියි'. එක දවසක් මං වැඩ ටික ඉවර කරලා ගෙදර ආවා. පුතා හොඳටම නිදි. හදිසියේම පුතා මහ රෑ ජාමෙ අවදි වුණා. ඊට පස්සේ බෙරිහන් දෙන්න පටන් ගත්තා. 'මට ඇපල් ඕන, මට ඇපල් ඕන' කිය කියා දැන් පුතා කෑගහනවා. ගෙදර එවලේ ඇපල් තිබුණේ නැහැ. ඒ වෙලාවෙ කඩවලුත් වහලා. අනික දැන් වගේ හැම තැනම ඇපල් තිබුණු කාලයක් නෙවෙයි. ඒ මොනවා කරන්නද මං දෙකක් ගැහැව්වා. ටික වෙලාවකින් පුතා සද්ද නැතුව නිදා ගත්තා. එදා තමයි මට මතක හැටියට මම පුතාට ගහපු ප්‍රථම සහ එකම දවස. ඊට පස්සේ එක දවසකවත් සංජයට ගැහැව්වේ නැද්ද

මං ඇහැව්වේ සංජයගෙන්.

අපොයි නැහැ. එදා ඉඳලා මේ වන තෙක් තාත්තා මට අතක් ඉස්සුවෙත් නැහැ. මං ආයෙත් තාත්තගෙන් අර වගේ මුකුත් ඉල්ලලා අඬලත් නැහැ.

පුතාට මතකද පුතා ඉස්සර මට ඔයා ලියපු කවි පෙන්වනවා. මං ඒ කාලෙදිම දැනගත්තා පුතාට කලා හැකියාවක් තියෙනවා කියලා.

ඔව් තාත්තෙ, මට හොඳට මතකයි ම්ම්ම් . . . මට කවියකුත් මතක් වෙනවා මෙ වෙලාවේ.

කියන්නකො බලන්න.

ලෝකේ ලෝකේ මල් ලෝකේ
හරිම ලස්සන මල් ලෝකේ
අපි පුදමු මල් ලෝකේ
බුදු සාදුගෙ මල් ලෝකේ

මම හරි නම් ඔය කවිය තමයි මං තාත්තට ලියලා පෙන්නපු පළමු කවිය.

ඒ කාලේ මං ගොඩක් වේදිකා නාට්‍ය නළුවකු හැටියටත් නිර්මාණවලට එකතු වුණා. කොහොම හරි තැනකට ගියාම මිනිස්සු මාව වට කර ගත්තා.

එතකොට මං බලනවා ඇයි මෙහෙම මිනිස්සු තාත්තා ගාවට එන්නේ කියලා. ටික කාලයක් ගියාම තමයි තේරුම් ගියේ තාත්තා මෙරට ජනප්‍රිය කලාකරුවෙක් කියලා. අන්න එතකොට මටත් ඇල්මක් ඇති වුණා කලාවට එන්න. වෙන එකක් හින්දා නෙවෙයි එතකොට මං ගාවටත් ඇවිත් මිනිස්සු කතාබහ කරයි කියන ආසාවට.

ඒ ජනප්‍රියත්වය තියෙන කාලෙ සුගත් විදෙස් ගත වෙනවා.

මං පුංචි බාධා කිරීමක් කළා සංජයට.

මමත් එදා ගියා තාත්තව එයාර්පෝට් එකට ඇරලන්න. මට හරිම දුකයි. නමුත් ඇඬුවෙ නැහැ. තාත්තා රට ගියත් හරි මට මහා පාළුවක් දැනුණා. ඉස්කෝලෙත් මං හිටියේ තනියම. පන්තියේ අන්තිම පේළියේ අන්තිම පුටුවේ මං වාඩි වුණේ. ගොඩක් හුදකලා වුණා මං.

මටත් දැනුණා පුතා ගොඩක් තනියම ඉන්නවා කියලා. එංගලන්තයේදී මට නිතරම පුතාව මතක් වුණා. ඒ කාලේ අද වගේ නෙවෙයි. තාක්ෂණය දියුණුත් නැහැ. ඉඳලා හිටලා තමයි අපි දෙන්නට කතාබහ කරන්නට ලැබුණේ. අන්තිමේට මං තීරණය කළා පුතාවත් මං ගාවට ගන්න.

තාත්තා මාව එංගලන්තයට ගෙන්වා ගත්තා. එහි ඩ්‍රාමා පාසලකට දැම්මා. ඔන්න එතකොට මගේ සබකෝලය පහව ගිහින් යළිත් කලාව ගැන ඇල්මක් ඇති වුණා. තාත්තා තමයි ඒ සෑම දෙයකම පිටුපස හිටියේ.

සුගත් ලංකාවට එන්නේ විජය කුවේණි චිත්‍රපටය නිර්මාණය කිරිමේ අදිටනින්. එහි පිටපත ටයිප් කරන්නේ සංජය. ඒක වෙන කාටවත් බලන්න දුන්නෙත් නැතිලු සුගත්. සංජය තමයි ඒ රහස දන්නේ.

මං කිව්වට කමක් නැද්ද දන්නේ නැහැ.

සංජය සුගත් දෙස බැලුවේ යටැසින්. සුගත් ඊට ප්‍රතිචාර දැක් වූයේ හිනා වෙලා. සංජය ලද අවසරයනේ කතා කරන්න පටන් ගත්තා.

තාත්තාගේ අකුරු කාටවත් කියවගන්න බැහැ. වෙන කෙනෙකුට පිටපත දුන්නා නම ටයිප් කරන්න තවමත් ඒකෙ මුල පිටුව ටයිප් කරනවා. ඉතිං මං කොහොම හරි කියව කියව ඒක ටයිප් කළා. ඇතැම් වෙලාවන්හි තාත්තා කියෙව්වා, මං ටයිප් කෙරුවා.

සුගත් සංජයට නිතර පවසන වාක්‍යයක් තිබුණලු. ඒ 'ගෑනු ළමයින්ගෙන් පරිස්සම් වෙන්න' කියන එක.

තාත්තා මට ඔය කතාව හැම තිස්සෙම කියන්නේ ඇයි දන්නවද මං කලින් කිව්වනෙ එක්තරා කාලයකදී මං හුදකලා වුණා කියලා. ඒ කාලයේ ගැහැනු ළමයි ගැන හිතන්නේම නැති තරම්. ඒත් නාට්‍ය කරන්න ආවා විතරයි මට ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය වැඩි වුණා. තාත්තට පෙනුණා මට වඩාත් ගැහැනු ළමයි හිතවත් කියලා. අන්න එදා ඉඳලා මට ඔය අවවාදය දෙනවා.

පුතා එහෙම කියද්දී මට මරු කතාවක් මතක් වුණා. හැබැයි දැන් වගේ නෙවෙයි මට එවලේ නම් ටිකක් කේන්ති ගියා.

තාත්තා ඔය කියන්න හදන්නේ එස්. එම්. එස්. කතාව වෙන්න ඇති.

ඔව්.

ඉන්නකො මං කියන්නම්. ඔන්න දවසක් මං යාළු වෙලා ඉන්න ගෑනු ළමයට මැසේජ් එකක් ගැහැව්වා. එයාගෙන් රිප්ලයි නැහැ. සෑහෙන්න වෙලාවක් බලාගෙන හිටියා. ඒත් නැහැ. බැරිම තැන මං ෆෝන් එක පැත්තකට දාලා නිදා ගත්තා. උදේ පාන්දරම ෆෝන් එක අතට ගත්තා. මෙන්න තියෙනවා තඩි මැසේජ් එකක්. ඒක හැබැයි ගැහැනු ළමයෙක්ගෙන් නෙවෙයි. තාත්තයි මට එවලා තිබුණේ. 'මහ රෑ ජාමේ නැගිටලා හිටියට කමක් නැහැ. ආයෙත් මැසේජ් යවද්දී කල්පනාවෙන් යවන්න' කියලා පටන්ගෙන ලොකු හෑල්ලක් තියෙනවා මට බැනලා. බැලින් නම් මගෙ ගෑනු ළමයට යැව්ව මැසේජ් එක ගිහින් තියෙන්නේ තාත්තාගේ ෆෝන් එකට.

සංජය ඒක කියලා තාත්තා දිහා බැලුවේ තව මොනවා හරි කියයිදෝ කියන අදහසින්.

එදායින් පස්සේ නම් මට මැසේජ් ආවේ නෑ පුතාගෙන්. කොහොම හරි ඔහු මගේ අවවාද පිළිඅරගෙන හොඳ ගැහැනු ළමයෙක්ව හොයා ගත්තා. එයා ගැන මට නෙවෙයි මුලින්ම කිව්වේ අම්මයි එයාගේ පුංචියි එක්කයි පුතා ගැහැනු ළමයා ගැන කියලා තිබුණේ. මං ඉතින් පුතාට එක සිතින්ම ආශිර්වාද කළා.

තාත්තා මට විජය කුවේණි චිත්‍රපටයේ ලබා දුන්නේ දෙබස් නැති චරිතයක්. ඊට පසුව ඇහැළේපොල කුමාරිහාමි චිත්‍රපටයෙත් මං රඟපෑවා. මේ දිනවල වේදිකා ගත වන සුන්දර බණ්ඩා වේදිකා නාට්‍යයේ සුන්දර බණ්ඩාගේ චරිතය ඔහු මට ලබා දුන්නාම මට පුදුමත් හිතුණා. වේදිකා නාට්‍යයක ප්‍රධාන චරිතයක් කිරීම ලෙහෙසි නැහැනෙ.

මං මගෙ පුතා හින්දා නෙවෙයි ඒ චරිතය ලබා දුන්නේ. මට දැනුණා මෙයාට වේදිකාවේ ප්‍රබල යමක් කළ හැකියි කියලා. මට පුතා ගැන දැඩි විශ්වාසයක් තිබුණා. ඒ හින්දා සුන්දර බණ්ඩා මංගල දර්ශනය දවසෙවත් මට දෙගිඩියාවක් තිබුණේ නැහැ පුතා ගැන.

තාත්තා ලබා දුන් අවස්ථාව මට මහ මෙරක් තරම් වටිනවා. මං හින්දා තාත්තා වැඩියෙන්ම සතුටු වුණු දවස් දෙකයි තියෙන්නේ. ඒ මං ඒලෙවල් පාස් වෙච්ච දවස සහ සුන්දර බණ්ඩා වේදිකා නාට්‍යය වේදිකා ගත වෙච්ච දවස. මමත් උපරිමයෙන් රඟපෑවා. තාත්තාගේ දෙපා නැමද මං වේදිකාවට නැග්ගෙ හරිම ජවයකින්. එදා මං සුන්දර බණ්ඩා රඟපාලා කෙළින්ම දුවලා ගියේ තාත්තා ගාවට. මගේ ඔළුව අතගාලා 'පුතා නියමෙට රඟපෑවා, සුපිරියි' කියලා කිව්වා.

පුතකු දිහා බලලා තාත්තා කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් ඊට එහා දෙයක් නැහැ. සංජය අන්න ඒ වගේ පුතෙක්.

ඇයි මං විතරක් තාත්තත් එහෙමනෙ. ඇත්තටම මගේ ලෝකයේ වීරයා මගේ තාත්තා.

සංජය සුගත් දිහා බැලුවේ මහත් වූ පීතෘ සෙනෙහසකින්.