වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




කතරක මල් පිපේවා

කතරක මල් පිපේවා

දැකලා පුරුදු කෙනෙක්

චිත්‍රපට නැරඹීම සඳහා ඕනෑ තූත්තුකුඩියක යෑමේ පුරුද්දක් දිගු කලක් මට තිබුණි. එබඳු ගමන්වලදී අනිකුත් සියලුම කාරණා වැදගත් නොවීය. පසුගිය සතියේ මට එවැනි අවස්ථාවක් මඟහැරලන්නට සිදු විය. ඒ පුවත්පතේ කාර්ය බහුලත්වය නිසාමය. එලෙස සහභාගි වන්නට නොහැකි වූයේ යාපනය අන්තර් ජාතික සිනමා උලෙළටයි. තිස්ස අබේසේකරයන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය දරන වකවානුවේ චෝල මණ්ඩල සිනමා උලෙළ නම් උලෙළක් කොළඹ හා මහනුවර දී පැවැත්විණ. ඒ ඉපැරණි දෙමළ චිත්‍රපට ඇතුළත් සිනමා දැක්මකි. එයට ඇතුළත් වූ එක් චිත්‍රපටයක් නම් ඉන්දියානු සිනමා ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපටයක් සේ ගැනෙන එස්. එස්. වාසන්ගේ චන්ද්‍රලේඛාය. කොළඹදී චන්ද්‍රලේඛා තිරගත කළ දිනයේ මෙබඳුම වෙනත් කටයුත්තක් නිසා එය නැරඹීමට අවස්ථාව මට ලැබුණේ නැත. ඊළඟ දිනයක එය මහනුවරදී තිරගත කෙරිණි. රාජකාරි සියල්ල පසෙක ලූ මම මහනුවර රීගල් සිනමාහලට ගොඩ වැදී චන්ද්‍රලේඛා නැරඹීමි. අද මෙන් ජංගම දුරකතන නොමැති එකල පසුදා වනතුරු මා සොයා ගන්නට කිසිවකුගේ සමත් වූයේ නැත. එහෙත් ඒ අතීතය දැන් පහළොස් වසරක් පමණ පැරණි පුරාවතකි. පසුගිය කාලය මුළුල්ලේ ඉන්දියානු අන්තර් ජාතික උලෙළට සහභාගි වූයේ ද මෙම සීමාරහිත සිනමා මාන්දම හෙවත් සීරසිමා රෝගය වැලඳීම හේතුවෙනි.

එමෙන්ම ලංකවේ ජාත්‍යන්තර සිනමා උලෙළක් පැවැත්වීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ මාධ්‍ය හරහා කරුණු දැක්වූයේය යන ආත්ම තෘප්තිය ද මා සතු විය. පසුගිය වසරේ කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ, ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් සංවිධානය කොට ඉදිරිපත් කිරීම සිනමා රසිකයකු ලෙස මා දුටු සිහිනය සැබෑවීමකි. මෙරට අන්තර් ජාතික සිනමා උලෙළ ඉතිහාසය තවත් පියවරක් ඉදිරියට තබමින් යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ පසුගිය 15 වැනිදා ඇරඹි අතර එය 21 වැනිදා නිමාව දුටුවේය. රටේ එක් කොනක් නිසාදෝ මෙම උළෙළ පිළිබඳ කොළඹ මාධ්‍ය එතරම් ඇස් ඇර බැලූ වගක් පෙනෙන්නට තිබුණේ නැත. සීරසිමා රෝගයෙන් පෙළුණ ද උලෙළට සහභාගී වී එයට ප්‍රතිකාර ගැනීමේ යුතුකම මගෙන් ද ගිලිහිණ.

එයට දෙසතියකට පමණ පෙර මා යාපනය බලා ගියේ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ යාපනයේ මංගල දර්ශනය සඳහාය. ඒ වන විට යාපනයේ තරුණයන් සූදානම්ව සිටියේ යාපනය අන්තර් ජාතික සිනමා උළෙල සඳහාය.

අනෝමා රාජකරුණා

ලාංකික සිනමා කර්මාන්තයේ අතීතය සොයා බලද්දී යාපනයේ තරුණයන් එකල එම කර්මාන්තය බිහි කරන්නට හා එය ගොඩ නඟන්නට විශාල වෙහෙසක් දැරූ වග නොරහසකි. මුල්ම කතානාද සිංහල චිත්‍රපටය බිහි කිරීමෙහිලා ඉන්දියානුවන් දායක වුව ද මෙරට චිත්‍රපට කර්මාන්තය බිහි කිරීමට පුරෝගාමී ව්‍යාපාරිකයන් ප්‍රධාන වශයෙන් යාපනය නිජබිම කර ගත්තවුන්ය. විශේෂයෙන්ම සිලෝන් තියටර්ස් සමාගම ගොඩ නැංවූ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මෙන්ම සිනමාස් සමාගම ගොඩනැඟූ කේ. ගුණරත්නම් ද යාපනය නිජබිම කොට ගත්තවුන්ය. මෙරට චිත්‍රාගාර ගොඩනැගුව පසු ඒ සඳහා මුලින් දායකත්වය සැපයීම සඳහා ඉන්දියානු ජාතිකයන් පිවිසිය ද අනතුරුව එයට දායක වූයේ ශ්‍රී ලාංකිකයන්ය. එමෙන්ම ඒ අතරින් බහුතරය යාපනයේ නැතහොත් උතුරුකරයේ උපත ලද්දන්ය. ඉන්දියාවේ සිට මෙහි චිත්‍රාගාර සඳහා පැමිණි බහුතරයක් දක්ෂ කාර්මික ශිල්පීන් වුව ද, ඔවුන් මෙරට තරුණයන් සඳහා තමා දන්නා දෙය උගන්වන්නට මැලි වූහ. සිනමාවට ඇල්ම ඇතිව හෝ රැකියාවක් සොයා ගෙන හෝ ලාංකික චිත්‍රාගාර සොයා පැමිණි ඇතැම් තරුණයන් මේ ඉන්දියානුවන්ගේ රැවුම් ගෙරවුම ඉවසිය නොහැකි තැන ආපසු සිය ගම් බිම් බලා ගියහ. නැතහොත් වෙන රස්සාවක් සොයා ගත්හ. කට්ට කන්නට කැමැති වූ තරුණයන් පමණක් ඉන්දියානු කාර්මික ශිල්පීන් මැද සිය ශිල්පය උගත්තේ එයටත් වඩා හොඳින් ප්‍රතිභාව පළ කරමින්ය. අද සිටින ජ්‍යෙෂ්ඨතම කැමරා අධ්‍යක්ෂවරයකු වන වී වාමදේවන් ගේ මතක පොත දිග හරින කළ මේ අතීතය නිරන්තරයෙන් අවදි වෙයි. මෙයට දෙසතියකට පෙර යාපනයේ දී හමු වූ සම්මානනීය ශබ්ද පරිපාලක කේ. පී. කේ. බාලසිංහම් මෙන්ම මීගමුවේ ජීවත් වන චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, බර්නාඩ් රෙජිනෝල්ඩ් ආදී සිනමා ශිල්පීන් රැසක් ඉන්දියානුවන්ගේ දුෂ්කර ක්‍රියා මැද ශිල්පය උගත් අය වූහ.

මෙරට සිනමා කර්මාන්තයේ ආදිතමයන් වන ශ්‍රීමත් ගාඩිනර්, තුරෙයිසිංහම් මෙන්ම ලාංකික සිනමා කර්මාන්තය වඩාත් නිර්මාණශීලී බවට පරිවර්තනය කළා වූ කේ. ගුණරත්නම් සහ ටී. සෝමසේකරන් ද යාපනයේ උපන්නෝ වූහ. සෝමසේකරන් සුජාතා චිත්‍රපටය නිර්මාණයේ දී ගුණරත්නම් පසුපස සිටි දැවැන්ත හස්තයක් විය. ඉන් පසු කලක සැඩ සුළං චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ද සෝමසේකරන් විසිනි'.

පසුගිය දශකය දක්වාම යාපනය නැතහොත් උතුරු දෙසින් පැමිණි සිනමා තාක්ෂණ ශිල්පීන් මෙරට කර්මාන්තය ඔප් නැං වූ වග නොරහසකි. එහෙත් ඒ සියල්ල පසු කලෙක කුරිරු යුද්ධය සමඟ විනාශව ගියේය. එහෙත් එම වකාවානුවේ පවා යාපනයේ ඇතැම් තරුණයන් නිර්මාණශීලී චිත්‍රපට තැනූ වග රහසක් නොවීය.

යාපනය සිනමා උලෙළ

මෙරට දෙමළ භාෂිත සිනමාවක් ගොඩ නැංවීමට ආරම්භයේ සිටම උත්සාහයන් ගත්ත ද එය වර්ධනය වූයේ නැත. එයට එක් හේතුවක් වූයේ දකුණු ඉන්දියාවේ තැනුණ මහා පරිමාණ සිනමාව හමුවේ අපේ දෙමළ භාෂිත සිනමාව අසරණවීමය. කෙසේ වෙතත් යාපනයේ අන්තර් ජාතික සිනමා උළෙල හැම අතින් බැලුවත් හොඳ සංකල්පනාවක් බැව් මගේ විශ්වාසයයි. මේ සිනමා උලෙළ නැරඹීම සඳහා තකහනියේ යාපනයට ගිය දිවයිනේ වෙනත් පළාත්වල තරුණයන් රැසක් වූ වග මට ආරංචි විය. දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදී චතුර ගීතනාත් බණ්ඩාර හා ප්‍රබුද්ධ රණසිංහ මේ පිළිබඳ විස්තර රාශියක් කියා සිටියේ මට ඊර්ෂ්‍යාවක් මෙන්ම පශ්චත්තාප බවක් ද ඇති කරලමිනි. සිනමා උලෙළක් යනු ලෝකයක් පමණක් නොව දේශයක් ද එකට එක් කරන්නකි. ලෝකයේ විවිධ සංස්කෘතීන් හඳුනා ගැනීමක් පමණක් නොව ජාති. ආගම්, කුල භේදයකින් තොරව සම අසුන් ගැනීමේ පහසුකම් ද ජාත්‍යන්තර සිනමා උලෙළක් මඟින් ඇති කරනු ලබයි.

කොහොමටත් සිනමා ශාලාවක් යනු ආගම්, ජාති භේදය අත්හල තැනකි. යාපනයේ සිනමා උලෙළ කෛලාශපති ශ්‍රවණාගාරය, මැජස්ටික් සිටි සංකීර්ණය, පුස්තකාල ශ්‍රවණාගාරය යන ස්ථානයන්හි පැවැත් වූ අතර එයට ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, රුමේනියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, ඩෙන්මාර්කය, කැනඩාව, මලයාසියාව ආදී රටවල් කිහිපයක්ම මෙම සිනමා උළෙළ සඳහා චිත්‍රපට ඉදිරිපත් කොට තිබිණ පසුගිය වසරේ කොළඹ පැවැත් වූ අන්තර් ජාතික සිනමා උලෙළ අති සාර්ථක විය. එහි දෙවැන්න සඳහා මේ දිනවල ලහි ලහියේ සැරසෙන බව නොරහසකි. ලබන නොවැම්බර් මුල් සතියේ කොළඹ දෙවැනි සිනමා උලෙළ ආරම්භ වීමට නියමිතය. වර්තමානයේ ලෝකයේ බොහෝ ප්‍රධාන නගර අන්තර් ජාතික සිනමා උත්සව සංවිධානය කරති. එක් අතකින් නූතන ඩී. සී. පී. තාක්ෂණය එය පහසු කටයුත්තක් කර ඇත්තේය. අද වෙනදාටත් වඩා චිත්‍රපට උත්සව ජාත්‍යන්තරව - නාගරාන්තර බවට පත් වූයේ එබැවිනි. එය සිනමා සංස්කෘතියක් ගොඩ නැංවීම සඳහා මහෝපකාරී වෙයි.

එදා මෙන් නොව අද සිනමාව පෞද්ගලික කලා රස වින්දන මාධ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතී. එවිට එය පොදු කතිකාවක් බවට පත් වන්නේ එහෙමත් තැනකය. සිනමාව සිනමාකරුවන්ගේ ආත්ම ප්‍රකාශනය ලෙස කලකන්නේ නම් වර්තමානයේ ඒ සඳහා වඩාත්ම ප්‍රඥාගෝචර අවස්ථාව ජාත්‍යන්තර සිනමා උත්සවයන් පැවැත්වීමය. සිනමාකරුවන් හා සිනමාලෝලීන් මුණ ගැසීම මෙහිදී වඩාත් වැදගත් අවස්ථාවක් වෙයි. කොළඹ හා යාපනය අතර දුර එබඳු අවස්ථාවක නොසලකන්නක් බැව් සිනමා උලෙළට සහභාගි වූ අපේ චතුර (කලක් ඔහු සරසවිය නියෝජ්‍ය කතුවරයා විය) මට පැවසුවේය. සිනමාව නැති නෑකම් ඇති කරන්නක් බැව් එයම අපට කියාපායි. යාපනය පමණක් නොව ලංකාවේ බොහෝ නගරවල ඉදිවන සිනමා සංකීර්ණ සමඟ තවත් ජාත්‍යන්තර සිනමා උත්සව බිහි විය යුතුය. මේ ලියනවාට වඩා එය සංවිධානය කිරීම දුෂ්කර බව ඇත්තය. එහෙත් දුෂ්කර කතරක මලක් පිපී තිබෙනු දැක්ම කෙතරම් අලංකාරදැයි සිතන්න. යාපනයේ සිනමා උලෙළට මග පෑදූ සියල්ලන්ටම සේම එහි බර කරට ගත් සම්මානනීය වාර්තා සිනමාකාරිණිය අනෝමා රාජකරුණානායකටත් ඒ පින් අනුමෝදන් වේවා.