වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මේක රුසියාවෙ නාට්‍යයක් යකෝ

මේක රුසියාවෙ නාට්‍යයක් යකෝ

ජයලත් මනෝරත්න පුත්‍ර සමාගම නිෂ්පාදනය කරන්නේ 1985 දී. ඇලෙක්සැන්ඩර් වැම්පිලොව්ගේ The Elder Son  කියන රුසියානු නාට්‍ය පිටපත සිංහලයට පරිවර්තනය කරන්නේ ප්‍රසන්න විතානගේ. පුත්‍ර සමාගම නාට්‍යයට සම්බන්ධ වුණු කට්ටියත් එක්ක රට වටේ ගිය සංචාර, ජීවිතේ මිහිරිම මතක විදි’යට අදත් සිහිවෙනවා. නාට්‍යයේ අධ්‍යක්ෂ මනෝගේ චරිතය සරාෆ්නොව්, ක්ලැරනට් වාදකයෙක්. පුතා වැසිලි වරිසන්කා ජයශ්‍රී චන්ද්‍රජිත්. දුව නීනා රත්නා ලාලනී. ඇගේ පෙම්වතා කුඩ්මෝව්, සම්පත් තෙන්නකෝන්. නතාශා, චාන්දනී සෙනෙවිරත්න. අනෙක් ප්‍රධානම චරිත දෙක තමයි බූෂීන්, වෛද්‍ය ශිෂ්‍යයා, අජිත් ජිනදාස. ඔහුට අහම්බෙන් මුණ ගැහෙන මිතුරා ස්ලික්, ශ්‍රියන්ත මෙන්ඩිස්. මේ කණ්ඩායම එක්ක සංගීතයට ලක්ෂ්මන් විජේසේකර එකතු වෙන කොට මේක්අප් කළේ මම. කොස්ටියුම්ස් සුවිනීතා සුබසිංහගේ. අපි හැමෝගෙම නාට්‍ය ජීවිතයේ ඉතාමත් මිහිරි සුන්දර මතක රාශියක් පුත්‍ර සමාගම ගමන්වල තියෙනවා. වේදිකා පාලනයට එක් වෙච්ච පස් දෙනා එක්ක මේක පවුලේම සමාගමක් වගේ. චන්දන නිශාන්ත (ලකී මල්ලි), සුනෙත් නන්දලාල්, සිරිල් ආරියපාලත්, අසෝක සොයිසා සමඟ විජේ මල්ලිත්.

පුත්‍ර සමාගම අරණායක වේදිකා ගත වෙච්ච දවසේ දවල් දර්ශනේදී තමයි මේ නාට්‍ය ජවනිකාව රංගගත වෙන්නේ. බූෂින් (අජිත්) ස්ලික් (ශ්‍රියන්ත) මහ රෑක අතරමං වෙලා නවාතැනක් හොයා ගෙන යන අතරවාරේ මුණ ගැහෙන සරාෆ්නොව් කියන වැඩිහිටි චරිතය එක්ක අමුතු සම්බන්ධයක් ඇති වෙන්නේ ස්ලික්ගෙ, ශ්‍රියන්ත්ගෙ කපටි සැලසුමකින්. ඔහු මේ පියාට එනම් මනෝට ඒත්තු ගන්වනවා, බුෂීන් එයාගෙම පුතා කියලා. මනෝ අජිත්ව වැලඳ ගන්නේ තමන්ගෙ වැඩිහිටි පුතා කියලා රැවටිලා වුණත් නාට්‍යය ගලා යනවා බාල පුතා වරිසන්කා (ජයශ්‍රී) දුව නීනා (රත්නා) ආදීන් එක්ක. දෙවැනි ජවනිකාවෙදී බුෂීන්, ස්ලික් සරාෆ්නොව්ගේ ගෙදරට රිංගලා වරිසන්කාව රවට්ට ගන්නේ බුෂීන් (අජිත්) එයගේ ලොකු අයියා විදියට අඟවලා. මහ රෑ ජාමෙ තාත්තා සරාෆ්නෙව් ගෙදර ආවම තමයි රහස් හෙළි වෙන්නේ. කොහොම හරි මනෝ විශ්වාස කරනවා අජිත් (බුසීව්) තමන්ගේ ලොකු පුතා කියලා.

තාත්තයි පුතයි එළිවෙන යාමෙ වෙනකන් පවුලේ ආගිය කතා කියමින් වොඩ්කා බිබී ඉඳලා පාන්දරම නිදාගන්න යන්න ලෑස්ති වෙනවා. සාරාෆ්නොව්, බුෂීන්ට මෙහෙම කියනවා. ‘පුතා දැන් එළිවෙන්නත් ළඟයි, ඔය පරණ කතාවලින් හිත කලබල කර ගන්න ඕනෑ නැහැ. පුතාට දැන් තාත්තා හම්බ වුණා නේ. පුතාගෙ මල්ලී, සහෝදරී, ඉතින් සන්තෝස නැද්ද? අපි නිදාගන්න යමු පුතා, හෙට උදේට නැගිටලා තව කතා කරන්න බැරියැ’ මනෝත්, අජිතුත් වේදිකාවේ කතාබහ කරමින් ඉන්න මැද ලාම්පුව (Centre Spot) අඳුරු වේගෙන යනවත් එක්කම වේදිකාවේ දකුණු පැත්තේ ඉඳලා සරමක් ඇඳගත්තු තට්ටෙ තියෙන මනුස්සයෙක් කේතලේකුත් අතින් අරන් කිසිම ගාණක් නැතුව වේදිකාව හරහා ගියේ නැද්ද? මනෝයි, අජිතුයි අන්දුන්කුන්දුන් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටියා සිද්ධ වුණේ මොකක්ද කියලා. වේදිකාව අඳුරු වුණා. දැන් මනෝ ග්‍රීන්රූම් එකේ. ස්ටේජ් මැනේජස්ලා පස් දෙනාම කැඳවලා. ‘මේක රුසියාවේ නාට්‍යයක් යකෝ, උඹල දැකල තියෙනවද, අහල තියෙනවද රුසියාවේ ගෙවල්වල පාන්දර යාමේ සරම් ඇඳගත්ත මිනිස්සු කේතල් උස්සගෙන ගේ හරහා යනවා. උඹල පස් දෙනෙක් ඉඳලත් බැරි වුණාද යකුනේ එකෙකුට හරි ඔය තේ පෝච්චියක් උස්සගෙන ගිය තට්ටයව අල්ලල නවත්ත ගන්න.

වේදිකාව හරහා ගිහින් තියෙන්නේ නළු නිළියන්ට තේ හදාපු මනුස්සයා තේ පෝච්චියත් අරගෙන.

ප්‍රේක්ෂකාගරයෙන් ඒතරම් දරුණු ප්‍රතික්‍රියාවක් ආවේ නැති වුණාට වේදිකා පාලකයෝ බය වෙලා නිස්සබ්දව ඉන්න කොට මොකක් හරි විහිළු කතාවක් හරි කට කැඩිච්ච කතාවක් හරි කියන්න හුරු වෙලා හිටපු ඒකට දක්ෂ අසෝක සොයිසා කිසිම ගාණක් නැතුව මෙහෙම කිව්වා මනෝට. ‘ඉතින් මනෝ හොඳ නළුවෙක් නම්, ටක් ගාලා ඒ මිනිහ දැක්ක ගමන් ඩයලොග් එකක් හදලා කියන්න තිබුණනේ. නීනා දුව බලන්න මේ කිරිකාරයද කොහේද ඇවිල්ලා කියලා.’ ලකී මල්ලී, නන්දලාල්, සිරිල්, විජේ මල්ලී දැන් හොදටම බය වෙලා අසෝකගේ කතාවට මනෝට තරහ ගිහින් මොනවා කියයිද කියලා. ‘ඔව් අසෝකා උඹ හරි. මම හොඳ නළුවෙක් නම් එහෙම ඩයලොග් එකක් හදල කියන්න තිබුණා තමයි. හරි, එහෙනම් සික්ස් තර්ටි ෂෝ එකේදි ඒ වෙලාවටම ඒ ජාතියෙ තට්ටයෙක් එවපන් කේතලේකුත් අරගෙන, එතකොට ඔය දැන් උඹ කියපු ඩයලොග් එක මම කියල පෙන්නන්නම්.’ අසෝක ලැජ්ජාවෙ මුහුණ හංග ගත්තා. පුත්‍ර සමාගම අරණායක ගමන තවමත් මතක තියෙන්නේ මනෝගේ ඒ උත්තරෙත් එක්ක.