වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමයෙන් පිළිස්සෙන හැන්දෑවක අහන්න; චියර්ස් ඩාලිං !

ප්‍රේමයෙන් පිළිස්සෙන හැන්දෑවක අහන්න; චියර්ස් ඩාලිං !

'සැරදේවා සොඳුර
මේ ඔබටයි ඔබේ ආදරවන්තයාටයි'

සොවක් නම් මේ අයුරින් දැනෙන්නට තිබිය යුතුය. වැසි වැටෙන හැන්දෑවද, මද සීත අලුයමද, පිළිස්සෙන දහවලද එක සේ මේ ශෝකය ඔබ වටා සැරිසැරිය යුතුය. මලින් සජ්ජිත උයනක වුව අත්හැර දැමුණු අලංකෘත මල් තිබිය හැකිය. ඩේමියන් රයිස් ගයන විට මාව අත්හැර දැමුණු; එහෙත් මලින් සජ්ජිත උයනක නතර වෙන්නේ එහෙයින් විය හැකිය.

එහෙත් මෙතැන සියුම් පැටලැවීමකි. මා සිතා උන්නේ ඉතාමත් වැරැදියටය. ගීතය අත්හැර දැමුණු පෙම්වතෙකු ගැන නොවේ. මේ ශෝකය දිගුකාලීන ආලිංගනයක ප්‍රතිඵලයක් නොවේ. ප්‍රේමය එතරම් සුළුවෙන් හට ගන්නට පුළුවනිද? මල් පිපෙන තරමට නෙළන්නට අමතක වූවොත් ඒ සෑම මලකටම ආවේනික ශෝකයක් ඇති වෙන්න පුළුවනිද? ශෝකය යනු ඉමහත් ප්‍රමෝදයේ ගැස්සී ගිය වැරැදීම්කාරකයක්ද?

'චියර්ස් ඩාලිං'
හියර්ස් ටු යූ ඇන්ඩ් යුවර් ලවර් බෝයි'

ඩේමියන් ගීතය ගැන කියන බොහෝ දේ මගේ ශෝකය නරුම ලෙස කුඩුපට්ටම් කර දමයි. ගීතයේ ඇට සැකිල්ල ඔහු ගෙනැවිත් ආලින්දයෙන් තබයි.

'මං මේ සින්දුව ලිව්වේ පාන්දර 03.00ට විතර. එතකොට මං හිටියේ බීමතින්. බීමහලක රූමතියක් එක්ක ආදර බස් කියමින් මං උන්නේ. මං හිතුවා එයා මට කැමතියි කියලා. ඈට මගේ ගැන හැඟීමක් තියෙන්න නැතුව ඇති. ඒත් එතන යමක් සිද්ධ වුණා. නිතර තෙරපුණ වැලමිට, මෘදු කෙඳීරීම් වගේම ඇස් දිලිසීම අමතක කරන්න බෑ. මං හිතුවා මුළු රාත්‍රියම මෙහෙම වල්පල් දොඩවමින් ඉන්නයි යන්නේ කියලා. සිගරට් උරමින්, මෘදු විදිහට තුරුල් වෙමින් ඉන්නයි ඈ හදන්නේ කියලා'

බීම හලක කළුවරක උනුන් ළඟ සිටින'තර බීමතින් පසුවන තෙවැනි පාර්ශවය වීමට මට සිදු වෙයි. අඩවන්වූ ඇස්වලින් වයලින් තත් හඬවන්න මට සිදු වෙයි. එකිනෙක පැටලෙන තරමට වෙනත් ගීත මතකයෙන් ධාවනය කරවන්නට සිදු වෙයි. නමුත් ඩේමියන් 'චියර්ස් ඩාලිං' කියමින් මා වෙනතකට අඬගසාගෙන යයි. මට පෙම්වතුන්ව හැර දැමූ මතකය දැනෙයි. මංගල සීනු හැඬෙවන්නේ ඔහුගේ දෙසවන තුළ බව කියන විට මත් ගතිය පහව යයි.

'මං ඔබේ කවුදැ'යි අසන විට සියුම් ලේ රසකින් උගුර දැවෙනු දැනෙයි. ඇඟිලි පැටලුම් ලිහෙනු දැනෙයි. ඩේමියන් ගීතය ගැන කියයි. ප්‍රේමයක් කුඩු පට්ටම් වී ගියාක් මෙන් අනෙකෙකු අතර වෙනෙකෙකු වී සිටින්නට සිදු වෙයි.

'ඒත් හදිස්සියේම එයා කිව්වා, මට පරක්කු වෙලා. මගේ පෙම්වතා හම්බ වෙන්න යන්න ඕනා කියලා. මං එයාට කැබ් එකක් හොයාගෙන ආවා. එයා ගියා'

ඒ සා ඇවිලීමක් මිනිත්තු පහකින් ඔබට ලැබිය හැකිද? ප්‍රේමයේ හට ගැනීම් ඉතා සුළුය. ගිනි ගන්නා සුළුය. බීමතින් රම්‍ය ගීයක් ලියා තනුවක් දමා ගයන්නට හැකි තරමට පුදුමාකාරය.

පාන්දර පහට අමෙරිකාවේ සිටින නිෂ්පාදකයාව නින්දෙන් ඇහැරමින් තමන් අලුත් ගීතයක් හැදූ බව කියන්නට තරම් උන්මන්තකය.

'චියර්ස් ඩාලිං' යනු 2002 පෙබරවාරි 01 වැනිදා අයර්ලන්තයේදී නිකුත් කළ 'ඕ' නම් සංගීත ඇල්බමයේ අන්තර්ගත ගීතයකි. ඇල්බමයේ සියලු ගීත රචනා කර සංගීතවත් කළේ ඩේමියන් රයිස් ය. මේ ඇල්බමය අකලට වියෝ වූ මයික් ක්‍රිස්ටෝපර් ට උපහාර පිණිසය.

ඩේමියන් රයිස් උපන්නේ 1973 දෙසැම්බර් 07 වැනිදාවකය. අයර්ලන්තයේ දීය.

හේ ගායකයෙක්, ගීත රචකයෙක්, සංගීතඥයෙක් සහ සංගීත නිෂ්පාදකයෙකි. ජුනිපර් නම් සංගීත කණ්ඩායම සමඟ ඇරැඹි ඔහුගේ සංගීත දිවිය කෙලවර වූයේ ටස්කනි හි ගොවිපොළකය. නැවැත ගොවිපොළින් පටන් ගත් කේවල සංගීත චාරිකාව 2002 දී නිකුත් කළ 'ඕ' ඇල්බමය මඟින් උත්කර්ෂයට නැංවුණි. දෙවැන්න නිකුත් වූයේ 2009 දීය. ඒ '9' නමිනි. 2014 දී තෙවැන්න නිකුත් වූයේ ' මයි ෆේවරිට් ෆේඩඩ් ෆැන්ටසි' නමිනි.

'චියර්ස් ඩාලිං'

යළිත් මධු බඳුන් එකිනෙක වැදෙන හඬ ඇසෙයි. දුරින් ඇසෙන ගිටාර තතකි. මිමිණුමක් මෙනි. හැඬුමක් මෙනි.

'අපි වැස්සේ දුවන අතරේ
මට ඔබව සිපගන්නයි තිබුණේ'

එහෙම සිප ගැනීම් මඟ හැරෙන්නට පුළුවන්ද? හවස වැස්සකින් බැට කන ජනේල වීදුරුවක් දෙස බලා මම සිතන්නට වීමි. ජනේලයට ප්‍රවේසම් වීමට ඊට මදක් ඈතින් තිබෙන වහල උපකාර වූවත් වැස්සට ඊට අවනත නොවී සිටීමට හැකිය. ඉතින් ජනේලයට තමන්ටම කියා ආරක්ෂක උපාය මාර්ගයක් ඇත්තේ නැත. ඉතිං ප්‍රේමයට පවා තමන්ට උවමනා විදිහට ප්‍රවේසම් වීමට නොහැකියාවක් තිබෙන්නට පුළුවන. සිප ගැනීමක් පවා මඟ හැරී තිබෙන්නට පුළුවන.

ගීතයකට අනවශ්‍ය සොවක් ප්‍රේරණය කරන්නට පුළුවන. එකී අනවශ්‍ය සොව විසින් ගීතය තුළම වෙනත් පිළිම අඹන්නටද පුළුවන. විය නොහැකි බවේ මිත්‍යාවෙන් ප්‍රේමය ගොඩනැඟී ඇත්තාක් මෙනි. ඕනෑම දෙයක් සිදු වෙන්නට පුළුවන. එක්කෝ ඔබට මිදි යුෂ පානය කළ හැකිය. මත් වීමෙන් දියව යන්නට හැකිය. එසේත් නැත්නම් හද පාරගෙන ගීතයක් ලිවිය හැකිය. ඩේමියන් රයිස් මගේ හද පෑරුවේ නොදන්නා අයර්ලන්තයක බීමහලක ලියූ ගීතයකිනි. එතරම් වරදකාරී හැඟීමක් මීට පෙර දැනී නැති තරමකි.

'කවුද මා සොඳුරියේ ඔබට
දෙසවන ළඟ සිහින් කෙඳුරුමක් ද
ඔබේ ලොකුම වැරැදීමද?'

ගීතය මත් බවින් ගලායන අතරතුර මගේ හිසේ පවා බීම හළ ඇතුළත අඳුර වදිනු දැනෙයි. මන්දාලෝකය වැටි, වැටී නැඟිටියි. උස ලී බංකු මත වාඩිවී ඉන්න තැත් කරයි. වතුර මෙන් ගලා යයි.

'මට මේ හරිය කළේ වයින් වීදුරු කීපයක්.'

ඩේමියන් රයිස් යළිත් කොඳුරයි.

'මං කෙලින්ම ගෙදර ආවා. කෝඩ්ස් කීපයක් ලියන ගමන් හිතට එන වචන ගයන්න පටන් ගත්තා. සින්දුවේ තියෙන්නේ එදා රෑ මං බීමතින් ගයපු හඬයි. ඒක ආයෙ රෙකෝඩ් කරන්න කොයි තරම් උත්සාහ කළත් සාර්ථක වුණේ නෑ. මට ආයෙ ඒ විදිහට ගයන්න බැරි වුණා. ඒ හැඟීම ඒ විදිහටම ආයෙ ඇති කරගන්න මට බැරි වුණා.'

'චියර්ස් ඩාලිං'

දැන් මගේ මනසින් නැවත, නැවත වැයෙන්නට පටන්ගෙනය. මම ඔහු සමඟ සවුදිය පුරන්නට පටන්ගෙනය. ඔහු නොදන්නා අයර්ලන්තයක ය. මම නොදන්නා සංගීතයක ය. නොපෙනෙනා හුයක් විසින් එකිනෙකා සම්බන්ධ කොට ලිහෙනසුළු එහෙත් මනරම් සමනල ගැටයක් දමා ඇති සෙයකි. ලිහුණු-බැඳුණු බොහෝ සබඳකම් ගැන සිතන්නට පොළඹවන්න සියුම් වචන කිහිපයක් සමත් වීම පුදුමයකි. මා තුළ වරදකාරී හැඟීමක් දැනෙමින්, වැඩෙමින් පවතින සෙයකි. උමතුවූත්, කුරිරුවූත් හැරදැමීම් කිහිපයක් සිනමා දර්ශන මෙන් පෙනෙයි. හොඳීන් දන්නා කෙනෙකු ඇඟිලි තුඩු සිප ගනිමින් මා පසෙකින්ය.

නොයෙක් සෘතු අතර දෝලනය වෙමින් තිබූ හැටියෙන් දිය ඇළි පවා මිදෙන සෘතුව පැමිනුණි. මතකය ද, ප්‍රේමය ද, ශෝකය ද උන් හැටියෙන්ම වසන්ත නිද්‍රාවකය. තවත් සෘතු කිහිපයක් ගත වන තෙක් ඒ හැටියෙන්ම සියල්ල තිබෙනු ඇත.

'චියර්ස් ඩාලිං'