වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




වැට පැන්නොත් වැඩ වරදී නිර්මාණ අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙමු

වැට පැන්නොත් වැඩ වරදී නිර්මාණ අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙමු

ජාතික දේපොළ විවිධාකාරයෙන් ගසාකෑවුන් වංචා දූෂණ කළවුන් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමසාරිස් කාර්යාලයට යමින් එමින් හෙළිදරව් කරමින් කෙරෙන විශාල උද්ඝෝෂණයක් මේ දිනවල සියලු මාධ්‍යයන් ඔස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේය. මේ දූෂණයන්ට කෙළින්ම හෝ වක්‍රව දේශපාලන සම්බන්ධකම් ඇති බව ද රහසක් නොවන්නේය. එහෙත් කවුරුවත් දන්නේ නැතිව කාගේවත් ඇඟට පතට නොදැනී ගසාකන තවත් ජාතික දේපළක් පිළිබඳව මුළු රටම නිහඬය. නැත්නම් හඬක් නඟන්නට ඒ ගැන නිසි වැටහීමක් නැත.

එය ජනතාවට දැනෙන්නේ නැත්තේ කුසගින්න හෝ වෙනත් භෞතික ඕනෑ එපාකම් වගේ එය ඇඟට පතට දැනෙන දෙයක් නොවන නිසාය. මා මේ කියන ජාතික දේපළ නම් අන් කිසිවක් නොව ජාතික බුද්ධ්මය දේපළයි. ඉහමොළ සූරාගෙන කන මේ සොර මුල ගැන දන්නේ බුද්ධියෙන් යමක් කළවුන් ස්වල්ප දෙනෙක් පමණි. ඒ අතරිනුත් සංගීත විෂය ක්ෂේත්‍රයේ පමණක් මේ සූරාකන බුද්ධිමය දේපළේ වටිනාකම යටත් පිරිසෙයින් අවුරුද්දකට මිලියන පනහකට වැඩිය. මේ සූරාකෑමට ද කෙළින්ම හෝ වක්‍රව දේශපාලන බලය අත පොවන්නේය. ඒ මන්ද සංගීත ක්ෂේත්‍රයේ සිදුවන මේ සූරා කෑවුන් දේශපාලකයින් සමඟ ළඟින්ම පයුරුපාසායනයේ යෙදෙනවුන් නිසාය.

මේ කොල්ලය නිසා මේ සූරාකෑම නිසා සිදු වී ඇති නපුරුම ව්‍යසනය නම් සංගීත ක්ෂේත්‍රයේම සිටින පිරිස අතර ඇති වී තිබෙන නොමනාපකම් හා නොහොඳ නෝක්කාඩුය. සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ යෙදෙන්නන් බුද්ධිමත් වේ නම් එබඳු නෝක්කාඩු ඇති වන්නේ නැත. බුද්ධිමය දේපළ යනු පුද්ගලික දේපළක් පමණක්ම නොවන්නේ එය යම් විටෙක ජාතිය සතු පොදු දේපළක් වීමෙන් එම නිර්මාණ ඇසුරෙන් ජාත්‍යන්තර වශයෙන් අත්පත් වන කීර්තිය භුක්ති විඳින්නේ නිර්මාණකරුවන් පමණක් නොවන නිසාය. මෙය වටහාගෙන නොතිබීමෙන් දකුණු ආසියාවේ කර්තෘභාග කළමනාකරණ ආයතනයක් නැති එකම රට බවට අද ලෝකය හමුවේ ශ්‍රී ලංකාව පත්ව සිටී. මෙය සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන නිර්මාණකරුවන් තවමත් අවබෝධ කරගෙන නොතිබීම නිසා ඔවුන් ලෝකයා හමුවේ බුද්ධි හීනයින් පිරිසක් විත්තිය ප්‍රදර්ශනය කර පෙන්වන්නේය. ශත වර්ෂ එකහමාරකට ඉස්සර සිට ලෝකයේ සුරැකීමට ලක් වී ඇති මානව හිමිකමක් අප රටේ සංගීත නිර්මාණ ක්ෂේත්‍රයේ නියළෙනවුන්ට විසි එක් වැනි සියවසේදීත් අහිමි වී තිබීම රටට මදි පුචිකමක් නොවේ යයි කියන්නට පුළුවන් කාටද?

ශත වර්ෂ එකහමාරකට ඉස්සර තම බුද්ධිමය දේපළ ආරක්ෂා කරගන්නට සංගීත නිර්මාණකරුවන්ට මුලින්ම පෙළඹවීම ඇති කළ එම ඉතිහාසගත සිද්ධිය අපේ රටේ සෑම දෙනාම දැන ගත යුතු සංසිද්ධියක් නිසා මෙහි ලියා දන්වමි. වර්ෂය 1847 යි. එය සිදු වූයේ ප්‍රංශයේ පැරිස් නුවරයි. ස්ථානය 'ලෙ ඇම්බැස්ඩර්ස්' නම් බොජුන්හලයි. එක් දවසක් සැන්දෑවක එවකට ප්‍රංශයේ සිටි සුප්‍රකට සංගීත නිර්මාණකරුවන් තුන් දෙනෙක් එනම් අර්නස්ට් බුජේ - පෝල් හෙන්රියස් සහ වික්ටර් පැරිසෝ එකී බොජුන්හලේ මේසයකට වට වී මධුවිතක රස විඳිමින් සිටියා. බොජුන් හලේ වාදක කණ්ඩායම ද පැමිණ සිටි පරිභෝජකයින් සංගීතයෙන් පිනවමින් සිටියා. මධුරස බලන සංගීතඥයින් තිදෙනාගෙන් එක් කෙනෙකුගේ අවධානය සංගීත වාදක කණ්ඩායම දිහාට එක්වරම ඇදී ගියා. මොකද ඔහුට තේරුණා තමාගේ සංගීත නිර්මාණයන් මේ වාදක කණ්ඩායම පැමිණ සිටි පිරිස රස ගැන්වීමට යොදා ගන්නා විත්තිය.

එය සම්පූර්ණයෙන්ම වාණිජමය පරමාර්ථයකින් ප්‍රයෝජනයට ගැනීම සඳහා යොදාගෙන තිබීම ඔහු ඉවසුවේ නැහැ. ඒ බව ඔහු අනෙක් දෙදෙනාටත් කිව්වා. තුන් දෙනාම එකතු වී විරෝධය පළ කළා. අවසරයක් නැතිව වාණිජමය පරමාර්ථයක් සඳහා තමන්ගේ නිර්මාණයක් යොදා ගැනීම වෙනුවෙන් වන්දි මුදලක් ගෙවන්නේ නම් මිසක තමන් පරිභෝජනය කළ මධුවිත සඳහා මුදල් ගෙවන්නේ නැතැයි ඔවුන් කියා සිටියා. උසාවි යන නඩුවක් දක්වා එය දුරදිග ගියා. එම සංගීත නිර්මාණයේ ප්‍රකාශකයා වූ ජුල්ස් කොලොම්බියර්ගේ උදව්වෙන් නඩු මඟට ගිය සංගීතඥයෝ නඩුවෙන් දිනුවා. එහෙයින් ටික කලකට පස්සේ 1851 දී ප්‍රංශයේ Society Anthors Composers and Publishers (SACEM) සංවිධානය බිහි වූයේ එහෙමයි.

අද අපි ලංකාවේ බොජුන් හලකට ගියහම අපේ නිර්මාණ කීයක් නම් පරිහරණය වෙනවා අපේ කනට ඇහෙනවාද? අපිත් අපේ බිල්පත නොගෙවා අපයෝජනයට එරෙහිව වන්දියක් ඉල්ලුවොත් මොනවයින් මොනවා වෙයිද? කලාකරුවන් අවශ්‍ය වූ සමාජයක අපි ජීවත් නොවන බව නේද මෙයින් පෙනෙන්නේ. කලාකරුවා අවශ්‍ය නම් ඔහුව රැකගන්නේ ජනතාවයි. රජයයි. සබුද්ධිකව එසේ හිතන්න පුළුවන් ජනතාවක් ඇති කරගන්නට අර සිද්ධියෙන් ශත වර්ෂ එකහමාරක් ඈතට ගියත් අපට තාමත් බැරි වී ඇත්තේ ඇයි? හොරකම - අනුන්ගේ දේ අත්පත් කර ගැනීමේ ආශාව අද අපේ සමාජ දේහය පුරා නහරගත වී හමාරයි. එය කළේ දේශපාලනයයි. ඒ දේශපාලනය පෝෂණය කරන්නන් ජනතාවයි. ගලා යන ගඟකින් වතුර දෝතක් තමනුත් ගත්තාට කමක් නැතැයි සිතන ජනතාවක් අද නිර්මාණය වෙලා. මෙය ජාතියකට සිදු විය හැකි නපුරුම ව්‍යසනය නොවේද?

ජාතික බුද්ධිමය දේපළ හිමිකම් පනත මේ රටට හඳුන්වා දුන්නේ 1979 දී එවකට වෙළඳ හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා විසිනි. ඒ අනුව ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය පිහිටුවනු ලැබීය. එදා මෙදාතුර හතළිස් වසරකට කිට්ටු කාලයක් ගෙවී ගොස් ඇත. මේ මුළු කාලය පුරා ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාණකරුවන්ට හා ප්‍රකාශකයින්ට එක් වී කර්තෘභාග කළමනාකාර ආයතනයක් අදාළ පනතට අනුකූලව පිහිටුවා ගන්නට බැරි වී ඇත්තේ ඇයිදැයි කෙනෙක් සිතනු නොඅනුමානය.

පනත ප්‍රකාරව සංගීත හෝ මොනයම් කෂේත්‍රයක වුව එක් විෂයක් සඳහා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය මඟින් ලියා පදිංචි කළ යුත්තේ එක් කර්තෘභාග කළමනාකරණ ආයතනයකි. එහෙත් වසර තිස් ගණනක් තිස්සේ මේ කාර්යාංශය භාරව සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා එකම කාරණය සඳහා ආයතන තුනක් ලියාපදිංචි කර තිබුණේය. ඒ අතර විවිධ කලාකරුවන් හා නොයෙකුත් පිරිස් එක් වූ සුබසාධන ආයතනයක් ද කර්තෘභාග කළමනාකරණ ආයතනයක් ලෙස ලියාපදිංචි කර ඇත්තේය. මෙය හිතාමතාම කර්තෘභාග කළමනාකරණ ආයතනයක් ඇතිවීම වැළැක්වීමට ගත් සූක්ෂම ක්‍රියා මාර්ගයකි.

අපේ රටේ මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව සොයා බැලූ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO)  පසුගිය අවුරුදු පහළොවක් පමණ කාලය තුළදී විවිධ වැඩමුළු හා සම්මන්ත්‍රණ ගණනාවක් සංගීත ක්ෂේත්‍රයේ රචකයින් නිර්මාණකරුවන් උදෙසා පවත්වනු ලැබීය. ඒ අතරින් වර්ෂ 2004 සහ 2009 දී එම ආයතනය කළ සමීක්ෂණ මඟින් හෙළිදරව් කර ඉදිරිපත් කළ වාර්තා මෙන්ම ඔවුන්ගේ නිර්දේශයන් ද අතිශය වැදගත්ය. අවාසනාවකට දියුණු ලෝකය අපේ නොදියුණු ලෝකයේ අඩුපාඩුකම පෙන්වා දෙන විට ඒවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙස නූගත් ජනතාවට පෙන්වා දීමට හුරු පුරුදු වී ඇති දේශපාලනඥයින් මෙන් සංගීත ක්ෂේත්‍රය සූරා කන්නවුන් ද මේ නිර්දේශයන් වසං කරමින් ඔවුන්ගේ මංකොල්ලකාරී ව්‍යාපාරිකයින්ගේ රැකවරණය සඳහා ඉදිරිපත් වී සිටිති.

එහෙත් 2013 දී AC PO හෙවත් කතුවරුන්ගේ සංගීත රචකයින්ගේ හා ප්‍රසංග කලාකරුවන්ගේ සංවිධානය බිහිවීමත් සමඟ පෙර කී බොහෝ කරුණු පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ විශාල පිරිසක් දැනුවත් කරමින් ඔවුන් එක පෙරමුණකට ගෙන ඒමට අපිට හැකි වුණි. 2015 ජනාධිපතිවරණය එයට තවත් ආශිර්වාදයක් විය. ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිත පොරොන්දුවකින් මෙම ජාතික කටයුත්ත සාර්ථක කරදීමට කැමැත්ත ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය මැදිහත්වීමෙන් පසුගියදා සියලු පාර්ශව කරන ලද යෝජනාවකට අනුව කටයුතු ආරම්භ වී ඇත්තේය. ඒ අනුව ලියාපදිංචි වූ ආයතන දෙකක් සංගීත ක්ෂේත්‍රයේ කළමනාකරණ අංශයෙන් ඉවත්වීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වූහ.

අර්බුදය විසඳීමට ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය කළ යෝජනාව පලගැන්වීමට හැකි වුවහොත් මංකොල්ලය නතර කිරීමට නුදුරු අනාගතයේදීම අපට හැකිවනු ඇත. ඒ මඟින් සංගීත ක්ෂේත්‍රයේ සියලු කලාකරුවන්ගේ සමඟිය හා එකමුතුකම ප්‍රදර්ශනය වනු ඇත්තේය. ලෝකය පුරා විසිරී සිටින සියලු රටවල කර්තෘභාග කළමනාකරණ ආයතන අන්‍යෝන්‍ය ගිවිසුම් මඟින් බැඳී තිබේ. එසේ එක් රටක එක් ක්ෂේත්‍රයක් සඳහා එක් ආයතනයක් සමඟ පමණක් කටයුතු කිරීම ඔවුන්ගේ ක්‍රමවේදයයි.

දින සියයේ වැඩ පිළිවෙළට මේ කර්තෘභාග කළමනාකරණය ද ඇතුළත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය අවංක උත්සාහයක් දරන ලදී. එහෙත් නුහුරු සංස්කෘතියකට ජනමාධ්‍ය හුරු කිරීම පහසු කටයුත්තක් නොවේ. කර්තෘභාග කළමනාකරණය යනු සංකීර්ණ විෂයයකි. ඒ සඳහා මාධ්‍ය සංස්කෘතියේ විශාල වෙනසක් විය යුතු වේ. ලෝකයේ ඕනෑම විද්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රධාන ලොකුම වැය ශීර්ෂය කර්තෘ භාගයයි. එහෙත් ලංකාවේ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි සිට පුද්ගලික කිසිදු විද්‍යුත් මාධ්‍ය ආයතනයක එබඳු වැය ශීර්ෂයක් නොතිබීමෙන්ම මෙහි බරපතළ හෝදාපාළුව පැහැදිලි වේ. බොහෝ රටවල කර්තෘභාගය ප්‍රදානය කිරීමට පුරෝගාමී වී ඇත්තේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයි. අපේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ ලෝක ආදර්ශය අනුගමනය කරන්නට ඉදිරිපත් වී සිටී. පෙරඹර හිරු නැඟෙමින් පවතින සලකුණ එයයි. මේ මොහොතේ සියලුම සංගීත නිර්මාණකරුවන් එක් විය යුතුව ඇත්තේ ඒ නිසාය. මේ නවෝදයේ අපගේ ACPO  උද්යෝග පාඨය වී ඇති

'එකමුතුව එකා මෙන්
එක මඟක වේගයෙන්'

නම් වූ ධජය යටතේ එක්වන්නැයි සියලු සහෝදර සංගීත නිර්මාණකරුවන්ට අපි ආරාධනා කරමු.