වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඔහු නිෂ්පාදකයකු නෙවෙයි කූට වෙළෙන්ඳෙක්

ඔහු නිෂ්පාදකයකු නෙවෙයි කූට වෙළෙන්ඳෙක්

"ඇහැලේපොළ කුමාරිහාමි"

අධ්‍යක්ෂ - සුගත් සමරකෝන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කළ ‘විජය කුවේණි’ ඉහළ ආදායම් ඉපයූ අති සාර්ථක චිත්‍රපටයකි. එහි නිෂ්පාදකවරයා වූයේ ගයාන් රණධීරය. ඉනික්බිතිව ඔවුන් දෙදෙනා එක්ව යළිත් ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අභිමුවට ගෙන ආහ. එයද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද චිත්‍රපටයකි.

එහෙත් දැන් ගයාන් රණධීර පවසන්නේ එම චිත්‍රපටය නිසා තමන්ට ලක්ෂ හයසිය අසූවක පාඩුවක් සිදුව ඇති බවය. ගියවර ‘සරසවිය’ පුවත්පතෙන් ඔහු එය අනාවරණය කර තිබුණි.

අද සුගත් සමරකෝන් මේ සංවාදයට එක්වන්නේ ඊට පිළිතුරු සැපයීම සඳහාය.

‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටය පිළිබඳ කුමන තක්සේරුවක් ද අධ්‍යක්ෂවරයා හැටියට ඔබේ සිතේ තියෙන්නේ?

ඒක මම කියන්න අවශ්‍ය නෑ. ‘ඇහැලේපොළ කුමාරිහාමි’ නැරැඹූ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් දන්නවා චිත්‍රපටය හොඳද නරකද කියලා. ඒ නිසා මම ඒගැන කතා කිරීමට අවශ්‍ය නෑ. ඊළඟට මේ චිත්‍රපටය නැරැඹූ විචාරකයන් හා විද්වතුන් ඒ පිළිබඳ කළ අගැයීම මට ලොකු සතුටක්. ගාමිණී වේරගම, තිස්ස ප්‍රේමසිරි වැනි විචාරක මහතුන් ඉතාමත් අපක්ෂපාතීව ඒ ගැන විචාරයේ යෙදුණා.

මේ නිර්මාණය පිළිබඳ ඔබ සතුටට, ඒ වගේම සෑහීමකට පත්වෙනවාද?

ඇත්තටම මීට අවුරුදු දෙසීයකට පෙර අපේ රටේ සිදුවූ ඒ ඓතිහාසික දේශපාලනික කුමන්ත්‍රණය සිනමා නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ඊට ලැබුණු ඉහළ ප්‍රතිචාරය ගැනත් මා සෑහීමකට පත් වෙනවා. ඒක කවුරුත් දන්න දෙයක්. ඒ නිසා ඒක බොරුවකුත් නෙවෙයි.

නමුත් නිෂ්පාදක ගයාන් රණධීර පවසනවා මේ චිත්‍රපටය නිසා ඔහුට ලක්ෂ හයසිය අසූවක පාඩුවක් සිදුවුණා කියලා?

දැන් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හමුදුරුවන්ගෙනේ. සල්ලි වියදම් කළේ එයානේ. අපි නෙවේනේ. කෝටි පනහක් වුණත් චිත්‍රපටයට වියදම් කළා කියන්න ඔහුට පුළුවන්.

නමුත් වැය ඇස්තමේන්තුවක් අනුවනේ චිත්‍රපටයක් හැදෙන්නේ. එතකොට අධ්‍යකෂවරයා හැටියට ඔබට අවබෝධයක් තිබුණේ නැද්ද ඒ ගැන..?

මුදල් පරිපාලනයට මම සම්බන්ධ වුණේ නෑනේ. මම කළේ උදවු කරපු එක. සාමාන්‍යයෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ වගකීම තමයි තිර පිටපතක් අතට ලැබුණාට පසුව, එය අධ්‍යක්ෂණය කරලා, ඊට පසුව එය සංස්කරණය කරදෙන එක. ඒ කියන්නේ තිර පිටපතේ සිට සංස්කරණය දක්වා වූ කාර්යභාරය. නමුත් මම ඊට එහා ලොකු මේ චිත්‍රපටයට සේවයක් කර තිබෙනවා. මම මොන තරම් කැපවීමකින් මේ චිත්‍රපටය කළාද කියලා ඒ නිර්මාණයට දායක වුණු දහස් සංඛ්‍යාත නළු නිළි පිරිස පවා දන්නවා.

එතකොට ඔබේ ඒ කැපවීම නිෂ්පාදකවරයාත් නොදන්නවා වෙන්න බෑනේ?

නිෂ්පාදක මහත්තයා ඒ සියලු දේ දන්නවා. එයාගෙ මුවිනුත් ඒ ගැන කියලා තියෙනවා. මංගල දර්ශනය දවසේ මාව බදා ගත්තා, ඔක්කොම ඉදිරිපිට. සංතෝසෙ වැඩිකමට. අද ඔහු කියන්නේ වෙන දෙයක්.

මේ චිත්‍රපටය පැය හතළිස් එකක කාලයක් ඔබ රූගත කළා කියා ඔහු චෝදනා කරනවා?

Cuting Point එක තියලා ෆිල්ම් එකක් Shoot කරන්න බෑ. විශේෂයෙන්ම ඓතිහාසික චිත්‍රපටයක් වුණාම. දැන් මේ දවස්වල ප්‍රදර්ශනය වෙනවා දැවැන්ත ඓතිහාසික චිත්‍රපටයක්. ඒක පැය කීයක් කරලා තියෙනවාද කියන එක කාටවත් ප්‍රශ්නයක් නෑනේ. කවුරුත් ඒ ගැන ඇහුවෙත් නෑ. දැවැන්ත චිත්‍රපට කරද්දී දවස් සීය, එකසිය පනහ රූගත කළ ඒවාත් තියෙනවා. මම අඩුම කාලයක් ඉඩධධබ කරලා තමයි මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ. ඉතින් මෙයා පළවෙනි ෆිල්ම් එකත් මා එක්ක කළානේ. එහෙම මගේ දුර්වල කමක් තිබුණා නම් ඇයි දෙවැනි චිත්‍රපටයත් කළේ.

ස්ටෝරි බෝඩ් එකක් ඇඳගන්න බැරි, ෂොට් බ්‍රේක් ඩවුන් එකක් දන්නැති අධ්‍යක්‍ෂවරයෙක් හැටියටයි ඔහු ඔබ හඳුන්වා දී තිබුණේ?

ස්ටෝරි බෝඩ් එකක් නැතුව මම වැඩ කරන්නේ නෑ. ඒක මගේ සහායකයොත් දන්නවා. අනික මම එංගලන්තෙ සිනමාව හදාරපු කෙනෙක්. මට සිනමාව උගන්නන්න ඔහුට තියෙන සුදුසුකම ගැන ඔබම සිතා බලන්න. ඕවා නිකං අනංමනං කතා විතරයි.

ඔබත් සමඟ නැවත චිත්‍රපට හදන්නේ නෑ කියා ඔහු කියනවා?

එහෙමනම් ඔබ මගෙන් අහන්න ඕනෑ, මමත් එයා එක්ක මින් මතුවට චිත්‍රපට නිර්මාණය නොකරන්න තීරණය කළේ ඇයි කියලා.

ඇයි කියමුකෝ එහෙනම්?

කලාකාරයා කියන්නේ කුලීකාරයකුට වඩා ටිකක් ඉහළ කෙනෙක්. කුලීකාරයෙකුට වුණත් ගෙවන මුදලක් තියෙනවනේ. ඒ මුදල නොගෙවනවානම් ඔහු වැඩ කරන්නේ නෑ. එතකොට කලාකාරයෙක් වුණත් එහෙම තමයි. අධ්‍යක්ෂවරයාට ගෙවන්න ඕනෑ. අදාළ ශිල්පීන්ට මුදල් ගෙවන්න ඕනෑ. එය කඩකළ නිසා ඔහුගෙන් මම අයින් වුණා.

පැහැදිලිව කියන්න ඔහු ඔබට මුදල් ගෙවන්න තියෙනවාද?

පොරොන්දු වූ මුදලින් කොටසක් ඔහු මට ගෙව්වේ නෑ. මට විතරක් නෙවේ, මේ චිත්‍රපටයට සම්බන්ධ තවත් දහදෙනෙකුට වඩා ඔහු නිසියාකාරව ගෙවීම් සිදුකර නෑ. කොටින්ම ඔහු අපට කෑම බීම සැපයූ තැනටත් ණයයි.

ඔබේ හිඟ මුදල ලබා ගැනීම සඳහා නීති මඟින් ක්‍රියා කරන්නේ නැද්ද?

නෑ, මම එතෙන්ට යන්නේ නෑ. ඒක ලැජ්ජා නැති වැඩක්. මොකද මට සල්ලිවලට වඩා වටින්නේ නිර්මාණය. ගයාන් කියන්නේ සාධාරණ ව්‍යාපාරිකයෙක් නෙවෙයි. සේරිවාණිජ වගේ කූට වෙළෙන්ඳෙක්. ඔහු ‘ඇහැලේපොළ කුමාරිහාමි’ DVD පටය ලක්‍ෂ පනහකට විකුණුවා. පාසල්වල තවමත් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කර මුදල් හොයනවා. ඒත් පාඩු පිට පාඩුයි කියනවා. සමහර ව්‍යාපාරිකයො ආදායම් බදුවලින් බේරෙන්න ඔය වගේ සෙප්පඩ විජ්ජාවල් කරනවා.

‘අනේ දෙවියනේ මට වුණු වියෝයා’ කියලා ගයාන් කියනවා. එතකොට ඔබ ඔහු අමාරුවේ දැම්මේ නෑ?

එහෙනම් චිත්‍රපට දෙකක්ම මා සමඟ කරනවාද? ඔහු පළමු නිර්මාණය මගෙත් එක්ක හොඳට කළා. ඒ කළේ මගේ උපදෙස් එක්ක. දෙවැනි නිර්මාණයේ දී එයාට කට්ටිය ගොඩාක් හිටියා උපදෙස් දෙන්න. ඒ අනුව තමයි වැඩ කටයුතු සිද්ධ වුණේ. දැන් බලන්න එයා කියන විදියට ලක්‍ෂ හත්සීයක් චිත්‍රපටයට වියදම් වුණාලු. ලක්‍ෂ හයසිය අසූවක් පාඩුයිලු. එතකොට චිත්‍රපටයෙන් ලක්‍ෂ විස්සද මෙයා හොයලා තියෙන්නෙ? ඒක අමූලික බොරුවක්නේ.

‘ඇහැලේපොළ කුමාරිහාමි’ නිසා දැන් ඔබේත්, ගයාන් ගේත් හොඳ හිත පලුදු වෙලා?

කිසි කෙනෙක් එක්ක මගේ වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් නෑ. කලාකරුවකුට එහෙම වෙන්නත් බෑ. අපි දෙන්නා එකතු වෙලා හොඳ නිර්මාණයක් කළා. ඒ නිර්මාණය මට නම් දරුවෙක් වගේ. මුළු රටම ඒ දරුවා ආදරෙන් පිළිගත්තා. මම තාත්තා නම් ඒ දරුවාගේ අම්මා තමයි ගයාන්. දරුවා ලොකු මහත් කරලා අපි සමාජයට දීලා තියෙනවා. ඉතිං ඒ දරුවාට අවමන් වෙන විදිහේ වැඩ කරන්න නරකයි අපි මවුපියන් හැටියට.

ඔබ වෙනත් නිෂ්පාදකයකු සමඟ අලුත් චිත්‍රපටයක් නිර්මාණය කළා නේද?

මේ චිත්‍රපටය ඉතිහාස රැල්ලේ චිත්‍රපටයක් නෙවෙයි. එහි අතීත සිදුවීමත් තියෙනවා. වර්තමාන කතාවකුත් තියෙනවා. ‘අපේ කාලයේ පටාචාරා’ නිෂ්පාදනය කරන්නේ ජගත් විශ්ව කුමාර කියලා අලුත් නිෂ්පාදකවරයෙක්. ඔහු මට ඉතාමත් සාධාරණව, ඉහළ ප්‍රතිශතයකින් ගෙවීම් කරනවා. ඔහු අනෙක් අයගේ ශ්‍රමය එහෙම සූරාගෙන කන අයෙක් නෙවෙයි. ඒ නිසා මම ඔහුත් එක්ක දිගටම වැඩ කරනවා. කලාකරුවාගේ නියම වටිනාකම, අගය දැනගෙන, ඒ වටිනාකමට සරිලන මුදලක් ගෙවන කෙනා තමයි නියම නිෂ්පාදකයකු වන්නේ.