වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිරිවර්ධන පවුලේ සිහින හොරු අරන්

සිරිවර්ධන පවුලේ සිහින හොරු අරන්

රාජිත දිසානායකගේ නවතම නාට්‍යය නිර්මාණය

රාජිත දිසානායක මීට පෙර ඔබ හමුවට පැමිණියේ ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’, ‘ආපසු හැරෙන්න බෑ’, ‘බකමූණා වීදි බසී’ යන වේදිකා නාට්‍ය ඔස්සේයි. මෙවර ඔහු ඔබ හමුවට රැගෙන එන නවතම වේදිකා නාට්‍යය වන්නේ ‘සිරිවර්ධන පවුල’ යි.

වර්තමානයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන රියැලිටි කලාව මඟින් ඇති කරන බලපෑම පිළිබඳ කතා කරන ‘සිරිවර්ධන පවුල’ වේදිකා නාට්‍යය ගැන රාජිත දිසානායක පැවසුවේ මෙවැනි කතාවකි.

* මෙවර ඔබගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය සඳහා තේමා කරගෙන තිබෙන්නේ කුටුම්භයක්. ඒ ඔස්සේ ඔබ කතාබහ කරන්නට තනන්නේ වෙනස්ම කාරණයක් නේද?

මේ වේදිකා නාට්‍යය විහිද යන්නේ සාමාන්‍ය පවුලක් වටා. ඔවුන් විශේෂ පවුලක් වන්නට දරන උත්සාහයේදී අත්වන ඉරණමයි මා මේ නිර්මාණය ඔස්සේ කතාබහට ලක් කරන්නේ.

එහි පවුල තෝරා ගැනීමේදී රියැලිටි තරගකරුවෙක්ගේ පවුලක් මා තෝරා ගත්තා. ඔවුන් වටායි මේ කතාව ගොඩ නඟන්නේ. එමඟින් වර්තමාන සමාජය හා පවුල පිළිබඳ විමසා බලන්ටයි මට උවමනා වුණේ.

* මේ වනවිට ‘සිරිවර්ධන පවුල’ දර්ශන කිහිපයක්ම වේදිකා ගත වී අවසන්. කුමන විදියේ ප්‍රතිචාර ද ‘සිරිවර්ධන පවුල’ට හිමි වුණේ?

මේ වනවිට සිරිවර්ධන පවුලට විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ නාට්‍යයට සාමාන්‍ය රසික ජනයා වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙනවා.

ඒ ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් සමඟ ‘සිරිවර්ධන පවුල’ ඔස්සේ සාමාන්‍ය සමාජය ඇමතීමට ගත් උත්සාහය සාර්ථක වූ බවක් මට හැඟෙනවා. ඉදිරි කාලයේදී කොළඹ නගරය ඇතුළු රට වටාම ‘සිරිවර්ධන පවුල’ වේදිකා ගත කරන්නට අවශ්‍ය කටයුතු සංවිධානය වෙමින් පවතින නිසා අපේ මහන්සියේ වටිනාකමට මීට වඩා ප්‍රතිචාර ලැබේවිය කියලත් අප සිතනවා.

* ඔබගේ අදහස ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන්න ඔබට සහය වුණු පිරිස පිළිබඳත් යමක් කියමුද?

මගේ මුල් වේදිකා නාට්‍යවල ඉඳලා මමත් සමඟම සිටි ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ වගේම ශ්‍යාමි ප්‍රනාන්දු ඇතුළු ශිල්පිනියන් හා ශිල්පීන් රැසක් මේ නිර්මාණයටත් දායක වුණා.

ඊට අමතරව අලුත්ම තරුණ පිරිසක් සම්බන්ධ කර ගනිමින් මා මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළා. ඔවුන් මගේ අදහස් ප්‍රේක්ෂකයා වෙතට රැගෙන යන්නට දැඩි උත්සාහයක නිරත වූ බව මා දන්නවා. ඉදිරියේදී ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් තමයි අප සිටින්නේ.

* වර්තමානයේ වේදිකා ගතවන වේදිකා නාට්‍යවලට පාදක වී තිබෙන නාට්‍ය රැල්ල ඔබගේ නාට්‍යයටත් පොදු වුණාද?

මෑත කාලයේ පැතිරුණු හාස්‍ය රැල්ලේ නාට්‍යක් ලෙස ‘සිරිවර්ධන පවුල’ වර්ග කරන්නට බැහැ. මේ වේදිකා නාට්‍යයේදී අපේ ජීවිතවල තිබෙන ඇතැම් ක්‍රියාවලට අපටම හිනා වෙන්න අවස්ථාවක් ප්‍රේක්ෂකයන්ට හිමි වෙනවා.

එහෙත් ඒ ප්‍රතිචාරය සිනහවට පමණක් සීමාවන ප්‍රතිචරයක් පමණක් නොවෙයි. ඒ ඔස්සේ ඔවුන්ගේ සිත්වල යම් හැඟීමක් ඇති වන බවත් මා සිතනවා. එතනදි මේ නිර්මාණය ප්‍රහසන ගණයට නොවැටුණත්, හාස්‍ය මඟින් ජීවිතය දෙස ආපසු හැරී බලන්නට ඉඩ හසර පාදන නාට්‍යයක් ලෙස හඳුන්වා දිය හැකියි.

* හාස්‍ය නොවැදගත් ලෙස නිර්මාණවලට හසු කර ගන්නා නිර්මාණකරුවන් අතරින් ඔබ වෙනස් වෙන්නේ කොහොමද?

හාස්‍ය කියන්නේ මිනිසුන් ආකර්ෂණය කරගත හැකි ප්‍රබල රසයක් ගෙනෙන මාධ්‍යයක්. ඒ සඳහා මිනිස්සු වැඩි උනන්දුවක් දක්වන බව සත්‍යයක්. එය නියමාකාරයෙන්, කලාත්මකව, වගකීමෙන් උපැද්දවීමයි කළ යුතු වන්නේ.

නමුත් ලංකාවේ බොහෝ දෙනා මිනිස්සු සිනහා ගැන්වීම සලකන්නේ සරල කාරණයක් ලෙසයි. එය වඩාත් වගකීමෙන් කළ යුත්තක් බව වගේම එවැනි නිර්මාණ කිරීම පහසු කාරණයක් නොවන වග අපට පෙනෙන්නේ ලෝකයේ උසස් හාස්‍ය නිර්මාණ පරිශීලනය කිරීමෙන්. මේ නිසා හාස්‍ය නිර්මාණවලට යොදා ගැනීම සරල හා පහසු ක්‍රියාවක් නොවෙයි.

මගේ නිර්මාණවලදී මා හාස්‍ය මතු කළ යුතුම යැයි අරමුණු කර ගනිමින් හාස්‍ය යොදා ගැනෙන්නේ නැහැ. ඒ හාස්‍ය මතු කෙරෙන්නේ ඒ ඒ චරිතවල හැසිරීම අනුවයි. මේ අනුව ප්‍රේක්ෂකයාට හාස්‍ය මුසු සිනහවක් ඇති කළ යුත්තේ ඒ අවස්ථාව පිළිබඳ සිතීමක් ඇති කිරීම මඟින්.

සිතීම සඳහා පොලඹවන සිනහව මගේ නාට්‍යවල භාවිත වන විධි ක්‍රමයක්. තවදුරටත් සිරිවර්ධන පවුල නිර්මාණයේදී ඒ විධි ක්‍රමය යොදා ගැනෙනවා.

මේ කාරණයත් සමඟ මගේ අවධානයට ලක් කරන අනෙක් කාරණය වන්නේ නිර්මාණයක් ප්‍රේක්ෂකයාට වින්දනාත්මක අත්දැකීමක් බවට පත් කිරීමයි.

නිර්මාණය වින්දනාත්මක අත්දැකීමක් බවට පත් වුණොත් පමණක් එය වින්දනාත්මක සිතීමක් බවටත් පත් වේවි. නිර්මාණකරුවන් ලෙස අප ඒ පිළිබඳ සිතිය යුතුයි.

මගේ නිර්මාණ හරහා හැඟීම් කියන දෙය සියුම්ව ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාරණය නාට්‍යවල සාර්ථකත්වයටත් හේතු වී තිබෙන වගක් මට හැඟෙනවා.

* වර්තමානයේ තිබෙන රියැලිටි කලාව අද ජනතාව අතර ජනප්‍රිය මාධ්‍යයක්. ඒ ජනප්‍රියත්වය ද ඔබ මෙවැනි නිර්මාණයකට පෙලඹෙව්වේ?

අප මේ හරහා ඉලක්ක කරන්නේ රියැලිටි තරග පමණක් නොවෙයි. ඒ නිසා ‘සිරිවර්ධන පවුල’ කියන්නේ රියැලිටි තරගවලට පමණක් සීමා වූ නාට්‍යයක් නොවන බව අනිවාර්යයෙන්ම පැවසිය යුතුයි.

ටෙලිවිෂන් හරහා රියැලිටි තරග පැවැත්වීම කියන කාරණයේදී කිසියම් පවුලක් ඊට සහභාගිවීමෙන් අත්වන තත්ත්ව සමුදායක් නාට්‍යයේ දිග හැරුණාම මීට වඩා වෙනස් කාරණා රැසක් ද මෙහි සාකච්ඡා කෙරෙනවා.

විශේෂයෙන්ම සමාජය හා පුද්ගලයාව මේ මාධ්‍ය කියන යාන්ත්‍රණය හසුරුවන ආකරයත්, ආකල්ප ගොඩ නඟන්නට ටෙලිවිෂන් යන්ත්‍රයට තිබෙන ශක්‍යතාව පිළිබඳත් අප කතාබහට ලක් කරනවා. එහිදී විමසා බැලෙන්නේ පුද්ගලයා එයට ගොදුරුවීමෙන් අත්වන ඉරණමයි.

* ‘සිරිවර්ධන පවුල’ හරහා දේශපාලන කියැවීමක් අන්තර්ගතද?

‘ආපසු හැරෙන්න බෑ’, ‘වීරයා මැරිලා’, ‘බකමූණා වීදි බසී’ කියන නිර්මාණ මගින් කතා කරන තරම් දේශපාලනික කාරණා ‘සිරිවර්ධන පවුල’ හරහා මතු නොකළත්, එහි මතු කරන දේශපාලන අරුතක් නැතිවාම නොවෙයි.

ජීවිත සම්බන්ධයෙන් බල පවත්වන හෝ සමකාලීන සමාජයට අදාළ කාරණා මේ නාට්‍ය හරහාත් අප මතු කරනවා. ඒවා මෙහි දිග හැරෙන්නේ වෙනත් ආකාරයෙන්.

මේ වන විට ඒ අරුත් සමහර අයට සියුම් ලෙස දැනිලා තියෙනවා. සමහර අයට ඒ ආකාරයෙන් ඒ කාරණා දැනෙයි කියලා අපට සිතන්න බැහැ.

* ඔබ වේදිකාවට රැගෙන පැමිණි ‘වීරයා මැරිලා’ වැනි මුල් කාලයේ නිර්මාණ මඟින් ඉදිරිපත් කළ ප්‍රබල සමාජ කාරණා පසුව කළ නිර්මාණවල ඒ තරමටම දකින්නට නොහැකි වුණා?

නාට්‍ය රචකයෙක් විදියට මේ සමාජයේ ජීවත් වනවිට මට දැනෙන කාරණායි මා නිර්මාණ හරහා ඉදිරිපත් කරන්නේ. සමාජය සමඟ බෙදා ගැනීමට, පළ කිරීමට අවශ්‍ය දේයි මා නිර්මාණ හරහා රැගෙන එන්නේ. මුලින් කළ නිර්මාණ කිහිපයෙන් පස්සේ මා නිර්මාණවලට අරගෙන එන්නේ වෙනස් සමාජ කාරණායි.

‘සිරිවර්ධන පවුල’ නාමයට ද ඒක පොදුයි. ඒ අනුව සිරිවර්ධන පවුල නැරැඹුව අය එය හොඳ බව සිතනවා. සමහර අය කියන්නේ මගේ මුල්ම නාට්‍ය මීට වඩා හොඳ බවයි. මේ වගේ වෙනස් අදහස් ඕනෑම කෙකෙªට පළ කළ හැකියි.

කොහොම නමුත් නිර්මාණකරුවෙක් අඛණ්ඩව නිර්මාණකරණයේ නියැළෙන විට විධි ක්‍රම දෙකක් සිදු විය හැකියි. නිරර්ථක බව නිර්මාණකරුවා අතෙන් ඇතැම් විට ගිලිහෙන්න පුළුවන්. නාට්‍ය නරඹන රසිකයා හා විචාරකයාගේ පැත්තෙන් ඒ නිර්මාණ දෙස බලන විදිය ද කිසියම් වෙනසක් විය හැකියි.

මෙහිදී නිර්මාණකරුවා අලුත් වන ආකාරයෙන්ම ඔවුන් එය භාර ගන්නට පෙලඹෙන්නේ නැතිවීමක් ද සිදු විය හැකියි. මේ කුමන කතා ප්‍රකාශ කළ ද නිර්මාණකරුවෙකු විදියට මා උත්සාහ ගන්නේ මගේ නිර්මාණවල නිර්මාණාත්මක බව හා ගුණාත්මක බව ගිලිහී යෑමට නොදී රැක ගැනීමටයි.