වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිහින විමානේ ආදර මතඟන මා වෙත ඈ එනවා

සිහින විමානේ ආදර මතඟන මා වෙත ඈ එනවා

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක

අතීතය හා පිවිසෙන්නට එහි සැරිසරන්නට බොහෝදෙනා කැමැතිය. ඒ තරමටම ඒ අතීතය අපගේ සිත වරෙක පී‍්‍රතියට පත් කරයි. වරෙක බියට පත් කරයි. එවැනි අතීතයක් හිමි ප්‍රවීණ ගායන ශිල්පිනියක්, කෝකිලාවක් මෙවර ‘මතක ගී පොත’ට කැන්දා ගෙන එයි. ඈ රිදී සීනුවක් වැනි මියුරු කටහඬක් හිමි ඇන්ජලින් ගුණතිලකය. මෙවර ‘මතක ගී පොත’ සරැසෙන්නේ ඇගේ මතකය ඇසුරෙනි.

රථයේ ඉදිරිපස අසුනේ ඉඳගත් මම එහි වූ ගුවන් විදුලිය ක්‍රියාත්මක කළෙමි. ඒ සුපුරුදු ලෙස මා ස්වදේශීය සේවය ඔස්සේ ශ්‍රවණය කරන ගී වැඩසටහන අසන්නටය. ඉන් ප්‍රචාරය වූයේ ජෝතිගේ ගීතයකි. ඒ “ටජ් මහලක් තනවන්න නෑ මට...” යන ගීතයයි. ජෝති ගැයූ සෑම ගීතයක්ම බොහොම මිහිරිය. සුන්දරය. ඒ මිහිරි බව නොඅඩුව මා ප්‍රිය කරන මේ ගීතයේ ද රැඳී තිබෙන්නේ යැයි සිතෙයි. එසේ සිතන විට ජෝති හා සම්බන්ධ බොහෝ සිදුවීම් රැසක් මගේ මතකය වෙත පැමිණීම වැළැක්විය හැකි නොවේ. මේ කතාව ද ඉන් එකකි.

එකල කරුණාරත්න අබේසේකරයන්ගේ නිවෙස පිහිටා තිබුණේ මරදානේය. මරදාන පොලිසිය අසල පටු මාවතක පිහිටා තිබුණු ඒ නිවෙසට අපට යන්නට සිදුවූයේ අහම්බයෙනි. එකල මම දොළොස් හැවිරිදි වියේ වූ පසු වූ දැරියක් වීමි. ළමා පිටියේ සාමාජිකාවක් ලෙස කරු අයියාගේ නිවෙසට ගිය ඒ දිනය මට අද මෙන් මතකය. ඒ දිනය මතේ මතකයේ වඩාත් රැදෙන්නේ ජෝතිපාලයන් නිසාය. මන්ද අප මරදානයේ දී බසයෙන් බැස පාර මාරු වූවා පමණි.

“අන්න ජෝතිපාල සිංදුවක් කිය කියා යන ලස්සන”

මා සමඟ සිටි අනෙක් කෙනා පාර දෙසට අත දිගු කළේ ය. ඔහු පැවසූ අයුරෙන් ලී සෙරප්පුවක් පැලැඳ පා පැදි යක නැඟී ගීතයක් උරුවම්බාමින්, අවට සිටින්නන්ට ආචාර කරමින් යන අපූරු තරුණයා දෙස මා බලා සිටියේ විමතියෙනි. ඒ වනවිට ජෝතිපාලයන්ගේ ගීත අසා තිබුණ ද, ඔහු එවැනි සරල අයෙකු යැයි මම කිසිදිනෙක නොසිතුවෙමි. මේ අතීත මතකයත් සමඟ මගේ සිතට පිවිසෙන්නේ ඔහු මියුරු හඬෙන් ගයන මම කවදත් ආදරය කරන මේි ගීතයයි.

සරා සඳේ සිනාසේලේ

ගිලිහී වැටිලා

වලා තලේ ඔබේ දෑසේ

සිනහා මැවිලා

තනිවී....අඳුරේ....

සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් පායේ

හදේ වේදනා //

හඬා වැටේ එදා ඇසූ

ඔබේ ගීතිකා

සැඟවී ඈත මේ හිමයායේ //

ඔහේ පාවෙලා....

මිලාන වී ගියාද ඒ

සිනා වාසනා

 

ගේයපද – කුලරත්න ආරියවංශ

සංගීතය - සරත් දසනායක

ගායනය – එච්. ආර්. ජෝතිපාල

‘මිහිදුම් සිහින’ චිත්‍රපටයේ ගැයෙන මේ ගීතය වඩාත් සුන්දර වන්නේ විජය කුමාරතුංගගේ රංගනයෙනි. ඔහු එහි රඟන විලාසය මට දැනුදු මැවි මැවී පෙනෙයි. මේ ගීතය සඳහා ජෝතිපාලයන් සරසවිය සම්මානය දිනාගත් බව ද මට මතකය. වර්තමානයේ තරම් දියුණු ප්‍රවාහන පද්ධතියක් නොතිබුණු එකල අපි ඈත ප්‍රදේශවල ප්‍රසංගවලට සහභාගි වූයේ පොදු බස් රථයකිනි. මිල්ටන්, ජෝතිපාල, හරුන්ලන්ත්‍රා, එම්.එස්., සීටී ප්‍රනාන්දු ඇතුළු පිරිමි පාර්ශවය මෙන්ම මා ඇතුළු කාන්තා පාර්ශවයේ බොහෝදෙනා ද මේ ප්‍රසංගවලට සහභාගි වූහ. එහි යන එන කාලය අතර සිදු වූ බොහෝ රසවත් සිදුවීම් රැසකින් මගේ මතකය අවදි වෙයි.

වරක් අපි හපුතලේ දී රාත්‍රියේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයකට සහභාගි වී එමින් සිටියෙමු. සැතපුම් කිහිපයක් ගිය ද තිබුණේ කැලෑ රොදවලින් ගහනය වූ, පෙනෙන තෙක් මානයේ නිවෙසක් නොපෙනෙන වනාන්තරය පමණි. ඈතෙන් ඇසෙන රැහැයියන් නඟන ඝෝෂාකාරී හඬ කරච්චලයකි. අතබැඳි ඔරලෝසුව පවසන්නේ මධ්‍යම රාත්‍රියට ආසන්න බව ය. අප ගමන් කරන රථයේ ඇතුළත ආලෝකයෙන් බොහෝදෙනා නිදිකිරා වැටෙන අයුරු පෙනෙයි. අවට පරිසරයේ වූ ඝන අඳුර කපාගෙන බස් රථය ඉදිරියට ඇදෙන්නේ වේගයෙනි. නිදි නැතිව සිටින අප කිහිපදෙනාගේ නෙතඟ ගැටුණේ රථය ඉදිරිපසට පැමිණෙන රෝස බසයකි.

“හැතැප්ම කිහිපයක් ඉදිරියෙන් මහත්තයලා යන මේ මාර්ගයේ හරි මැද ගල් පේළියක් තියලා තියෙනවා. ඒක හොරුන්ගේ වැඩක්. බස් එක උස නිසා බහින්නේ නැතිව වමට හරවලා පුළුවන් තරම් වේගයෙන් යන්න.”

ඒ බසයේ උන් රියැදුරා අපගේ රථයේ රියැදුරා අමතා කිව්වේ ශබ්ද නඟමිනි. සැතපුම් කිහිපයක් ගියතැන ඈත සිට අපට පෙනෙන්නේ පාර මැද තබා ඇති ගල් ගොඩවල් කිහිපයකි.

“ඒයි ඔන්න සූදානම් වෙයල්ලා හොරු ආවොත් ගහන්න”

ජෝතිපාලයන්ගේ ස්වරයට නිදාගෙන උන් සියල්ලන්ම අවදි වී ඇත. එක් අයෙක් යකඩ පොල්ලක් සොයයි. තවත් කෙනෙක් අත පොල්ලකි. රියැදුරු බස් රථය වේගයෙන් ධාවනය කරන්නේ ගල් ගොඩවල් නොතකමිනි. දිගු දුරක් වේගයෙන් පැමිණි රථය නතර කරන ලද්දේ ඒ ආසන්නයේ තිබෙන නගරයට පැමිණීමෙන් පසුවය. තරමක විශාල ගල් ගොඩවල් අතරෙන් රථය ධාවනය කිරීම නිසා එයට සුළු තැළුම් කිහිපයක් ඇති වී තිබේ.

“ මදැයි ඔයින් ගියා”

ජෝතිපාලගේ විහිළු සහගත ස්වරය අපව ප්‍රකෘති ලෝකයට කැන්ඳයි. සියල්ලන්ගේම මුහුණුවල සිනහ පොදක් මා දුටුවේ එවේලෙහිය. ඒ මහා සංග්‍රාමයෙන් පසුව මම ද සිනහ වීමි.

මේ සිදුවීම සිදුවූයේ නුවර එළියේ ප්‍රසංගයකට සහභාගි වී පැමිණෙන අතරතුරය. දින කිහිපයක සිට පැවතුණු වරින්වර පතිත වන වැස්ස එදිනත් එලෙසම පතිත වෙමින් තිබිණි. සීතල නිසා අපි බස් රථයේ කවුළු සියල්ල වසා දැම්මෙමු. සියල්ලන්ම සිටියේ ශරීරයේ උණූසුම ආරක්ෂා කර ගැනීමට තරම් වන සීත කබා හැඳ ගෙනය. සංගීත ප්‍රසංගය අවසාන වනවිට මධ්‍යම රාත්‍රියත් පසු වී තිබිණි. ඊළඟ දිනයේ ආරම්භය සනිටුහන් වී තිබෙන බව කියා පෑ හෝරා යන්ත්‍රයට අනුව අපි කොළොම් පුරවරයට පිවිසීමේ අදහසෙන් පිටත් වීමු. හෝරා කිහිපයක් ගෙවීගියේ අපටත් නොදැනීමය. එක්වරම බස්රථය නතර කළේ ඉද්ද ගැසුවාක් මෙනි.

“පස් කන්දක් කඩාගෙන වැටිලා. දැන් කොහොමද යන්නේ”

ප්‍රධාන පාරට ඇද වැටුණු පස් කන්ද විශාලය. එක් පැත්තකින් කන්ද ය. අනෙක් පැත්තේ පතුළ නොපෙනෙන බෑවුමකි. අවට ඇති දැඩි අඳුර නිසා කිසිවක් නොපෙනේ. බස් රථයෙන් බිමට බට සියල්ලෝම මේ සූදානම් වන්නේ බස්රථය පස් කන්ද උඩින් තල්ලු කිරීමටය. එහි මූලිකයා ජෝති ය.

“ ඒයි මිල්ටන් නැඟිටපන්”

මිල්ටන් පෙරේරා අමතන ජෝතිගේ ස්වරය එන්න එන්නම උස් හඬක් බවට පත්වෙයි. ඔහු නැඟිටින වගක් නොපෙනෙයි. ගැහැනු, පිරිමි සියල්ලෝම එකතු වී බස් රථය තල්ලු කිරීම ආරම්භ කළහ. පසු කන්ද උඩින් බස් රථය ගමන් කළේ එකමුතු බවේ අගය මොනවාට කියාපාමිනි. එසේ නොකරන්නට හිරු නැගෙනතුරුම ඔවුන්ට රැය පහන් කිරීමට එදා සිදුවන්නේ පස් කන්ද අසල බව නොරහසකි.

මීළඟට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූයේ මේ ගීතයයි. මිල්ටන් මල්ලවාරච්චි ගයන මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි.

රණඹර ඉඳුදුණු සිතුවම් වෙලා

බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා

වසන්තේ උදා වුණා.... //

රන්බඳ රන්කුඹු රන්සළු වෙලා

චන්දන අංජන දෙනෙතේ උලා

දෙපයේ කිංකිණි නූපුර සොලවා

මා වෙත ඈ එනවා

ඇගෙ ළැම රන්ගිරි දෙහද මැදේ

මගෙ ජීවන රජ මැදුර සැදේ

සිහින විමානේ ආදර මතඟන

මා වෙත ඈ එනවා

 

ගේයපද - කේ.ඩි.කේ. ධර්මවර්ධන

සංගීතය – වික්ටර් රත්නායක

ගායනය – මිල්ටන් මල්ලවාරච්ච්

ඒ සේන සමරසිංහගේ චිත්‍රපටයක ගීත පටිගත කරන සමයකි. එහි යුග ගීතයක් ගැයීමට මට මෙන්ම මිල්ටන්ට ද ආරධනා ලැබිණි. අපව රැගෙන යෑමට පැමිණියේ බන්දු සමරසිංහය. සේනගේ ඥාතියෙකු වූ බන්දු රතු පැහැති මෝටර් රථයේ නැඟී අප සොයා පැමිණියේ සරසවි චිත්‍රාගාරයේ ගීත පටිගත කිරීමට රැගෙන යෑමටය. ඒ එම චිත්‍රපටයේ ගීත පටිගත කිරීම එදිනට යොදාගෙන තිබුණු බැවිනි. ඒ ගීතයේ සංගීතය නිර්මාණය කර තිබුණේ සරත් දසනායකය. සරත් ඉදිරි අසුනේ ද, මාත්, මගේ මහත්තයා හා මිල්ටන් පිටුපස අසුනේද ඉඳගත් පසු මොටර් රථය ගමන් ඇරැඹූයේ කැලණිය සරසවි චිත්‍රාගාරයට පිවිසීම උදෙසාය. සුහද කතාබහ සමඟ කැලණිය කොළඹ මාර්ගයේ ඇදී ගිය රථය බන්දු එක්වරම නතර කළේ මේ අතරය. ඒ අප ගමන් කළ ප්‍රධාන මාර්ගයේ කැලණියට යන දුම්රිය මාර්ග කිහිපය මතින් දුම්රියක් ඇදී යන බැවිනි. මේ බවට දැනුම් දෙන සීනු හඬ ඇසෙද්දී දෙපසට ගමන් කරන රථ වාහන හිටිවනම නතර විය. වාහන නතර කරන සංඥා කණු දෙපස විහිදා සිටී. මඟ දෙපස පේළියට පෙළ ගැසී සිටින රථ වාහන බලා සිටින්නේ දුම්රිය පැමිණෙන තුරුය. අප දුටුවනම සංඥා කණුව අසල උන් මුරකරු සංඥා කණුව ඉහළට එසැවූයේ මාර්ගය හරහා ඉක්මනින් යන්නට කරන සංඥාවක් ලෙසිනි. අප පැමිණි රථය බන්දු දුම්රිය මාර්ගයට දැම්මේ ඉක්මනින් යන අදහසෙනි. එහෙත් නොසිතූවිරෑ දෙයක්ම සිදුවිය.

“ වාහනය මුකුත්ම කරන්න බැහැ නේ”

ඔහු අප දෙස බැලුවේ කුමක් කළ යුතු ද යන අදහස පෙරදැරිවය. අප මුහුණෙන් මුහුණ බලා ගත්තේ කළ යුතු කිසිවක් සිතට නොපැමිණි හෙයිනි. අපට විරුද්ධ දිශාවේ සිට පැමිණි පා පැදිකරුවෙක් ඉවත බලාගෙන පැමිණ රථයේ බොනට්ටුව බඳා ගත්තේය. ඈතින් දුම්රිය පැමිණෙන අයුරු පෙනෙයි. මගේ මහත්තයා මට රථයේ දොරටුව හැරදීමට සිතා ඊට අත තැබුවා පමණි. රථය පණ ගැන්විණි. ළඟ ළඟම පැමිණෙන දුම්රියට කලියෙන් බන්දු රථය දුම්රිය මාර්ගයෙන් ඉවතට පදවා ගෙන ගියේ යෝධයෙකු සේය. රථයේ වාඩි වී සිටි සියල්ලන්ටම සැනසුම් සුසුමක් හෙළිනි.

සරසවිය චිත්‍රාගාරයට පිවිසි අපි නියමිත කාර්යය ආරම්භ කළෙමු. මිල්ටන් ගීතය මියුරු ලෙස ගැයුවේ ය.

“ඇන්ජි අක්කේ එන්න”

ඔහු මට කතා කළේය. මම මයික්‍රෝෆෝනය අසලට ළං වුනෙමි. ගීතයේ පද කිහිපයකි ගැයුවා පමණය. පටිගත කිරීමේ කාමරයේ වීදුරුව අතරෙන් මගේ නෙත ගැටුණේ බන්දුගේ මුහුණය. ඒ මොහොතේම බොනට්ටුව බඳා වැළඳගත් පා පැදිකරු මගේ මතකයට පිවිසියේ සැනෙනි. මට සිනහ පහළ වූයේ එක්වරම ය. ගීතය පටිගත කිරීම අතරමග නැවතිණි. සිනාව වළක්වා ගැනීමට මට දිගු වේලාවක් ගතවිය. යළි යළිත් එයම සිදුවිය. ඊළඟ මොහොතේ මම සිතට තරවටු කර ගතිමි. සිත එක්තැන් කරගත් මම ගීතය ගැයීමි. මිල්ටන් ගයන මේ ගීතය අසන සෑම මොහොතකම මම අතීතයට පියමං කරමි. ඒ අතීතය පිළිබඳ සිතමි. ඒ සිදුවීම සිහියට නැගෙන විට අද ද මට සිනහ පහළ වන්නේ නිතැතිනි.