|
ආදර කටයුතු පිළිබඳ වෙනම අමාත්‍යාංශයක් ඕනෑ
ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ
ඔහු තම මාධ්‍ය ජීවිතය ඇරඹුවේ පුංචිම තැනකිනි. පසු කලෙක පත්තර කර්තෘවරයකු බවට පත්වෙමින් ඔහු ඒ ගමන් මගෙහි මුදුන් ඉමට ළඟා වූයේ දහසකුත් එකක් බාධක, අභියෝග මැදය. ඒ ගමන් මඟට දැන් අඩ සිය වසරක් සපිරී තිබේ. මෙරට වැඩිම විශේෂාංග පුවත්පත් සංඛ්‍යාවක් බිහි කරමින් එහි කර්තෘත්වය දැරූ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වූ ඔහු අර්නස්ට් වඩුගේය. රස, සුවඳ, සුමියුරු, බිරිඳ, ජීවිතය, ඈ, මල්සමය, මැණික වැනි පුවත්පත් හා සඟරා බිහි වූයේ ඔහු සුරතිනි. ජනප්‍රිය යොවුන් නවකතා හා ග්‍රන්ථ කිහිපයක් ද රචනා කරමින් ඔහු පාඨක ලොවේ සිතැඟියාවන් හඳුනාගත් ආදරණීය ලේඛකයකු බවට ද පත් විය. ‘නිළියකගේ විවාහය’ ඔහුගේ අලුත්ම නවකතාවයි. එය ඔහු පාඨක දෝතට තිළිණ කරන්නේ සිය කලා දිවියට පණස් වසක් සපිරීම නිමිත්තෙනි. මේ අර්නස්ට් වඩුගේ නමැති ප්‍රවීණ මාධ්‍යවේදියා හා සුන්දර මිනිසා සමඟ ගෙවූ රසබර හෝරා කිහිපයක මතකයයි. * අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා පත්තරකාරයින් කිහිප දෙනා අතරින් ප්‍රමුඛයෙක් ඔබ. දන් ඒ ගමන් මඟට පණස් වසරක් ගත වී තිබෙනවා? මේ වසර පනහම සක්‍රීයව,අඛණ්ඩව මාධ්‍ය කලාවේ නියැලෙන්නට ලැබීම මම හිතන්නේ සුවිශේෂ දෙයක්. කෙටි මාර්ග හොයාගෙන හැල්මේ දුවගෙන ආපු නැති නිසයි මට මේ වගේ ස්ථාවර ගමනක් එන්න පුළුවන් වුණේ. ඉක්මණින් කර්තෘවරයෙක් වෙන්න, ඉක්මනින් නවකතාකාරයෙක් වෙන්න, ඉක්මනින් ජනප්‍රිය වෙන්න අතුරු මාවත් හොයාගෙන මම ගියේ නෑ. මම කලාව පටන් ගන්නේ ඉතාමත් ප්‍රාථමික මට්ටමෙන්නේ. * රසිකයෙක් විදිහට? හරි. ඒ කියන්නේ ගුවන් විදුලියෙන් සිංදු ඉල්ලුවා. ඊට පස්සේ සිනමා පත්තරවලින් පාඨක පැන ඇහුවා. ඔය කරුණාසේන ජයලත්, ජයවිලාල් විලේගොඩ, ආරියරත්න කහවිට වගේ අයගෙන්. ගිංතොට අර්නස්ට් කුමාර් වඩුගේ කියලයි මම ඒ කාලේ නම භාවිතා කළේ. මගේ ගම ගාල්ලෙනේ. කිසිම තරුවකට එදා ගාල්ලට පායන්න බෑ මගේ ඇස් දෙකට ලක් වෙන්නේ නැතිව. ජෝතිපාලට නම් ගාල්ලට එන්න දෙන්නෙම නෑ. ගිහිල්ලා හම්බ වෙනවා. ඒවගේමයි රුක්මණී දේවී. * එතකොට ඔබ පාසල් සිසුවෙක්? ඔව්. ගාල්ලේ මහින්ද විදුහලෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. අරිසෙන් අහුබුදු, එඩ්වින් ආරියදාස මගේ ගුරුවරු. පසු කලෙක එඩ්වින් ආරියදාස මහතා සමඟ එකට සේවය කරන්නට මට වාසනාව ලැබුණා. ඒ ලේක්හවුස් ආයතනයේදී. එතුමා ‘නවයුගය’ පත්තරේ. මම සරසවියේ. අපේ මේස දෙක තිබුණේ එකළඟ. එතකොට පසු කලෙක අරිසෙන් අහුබුදු මගේ ‘සම්පත’ පත්තරේට ලිව්වා. එතුමා ඡ්‍යොතිෂවේදියකුත්නේ. ඒවා දෛවෝපගත සිදුවීම් විදිහටයි මම දකින්නේ. * එදා රසිකයකු විදිහට දැන හඳුනාගත් බොහෝ කලා ශිල්පීන් පසු කලෙක ඔබේ සමීපතම හිතවතුන් බවට පත් වෙනවා? හොඳම මිතුරු මිතුරියන් බවට පත් වුණා. ජෝතිපාල මුලින්ම ගාල්ලේ සංගීත සංදර්ශනයකදී මට හමුවුණ වෙලාවේ මල්ලී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවාම මම කිව්වා පත්තරකාරයෙක් වෙන්න ආසයි කියලා. එතකොට ඔහු මට කිව්වේ පත්තරකාරයෙක් නෙවේ, පත්තර කර්තෘවරයෙක් වෙන්න. හැබැයි මල්ලි මම ගැනත් මොන, මොනවා හරි ලියන්න කියලයි. මොන මොනවා හරි ලියන්න කිව්වා කෙනාගේ ජීවිත කතාව ලියන්න මට පුළුවන් වුණා. ඒ ‘සත්සර’ පත්තරේට. ඔහු මට හෙළි කළ අතිශය පෞද්ගලික හා සත්‍ය තොරතුරු පාදක කරගෙනයි එය මං ලිව්වේ. පසු කලෙක ඒ කතාව තමයි ‘අමරණීය ජෝති’, ‘හදවත රත්තරං’ ග්‍රන්ථ මඟින් එළි දැක්කුවේ. * එදා ජෝතිපාල පත්තර කර්තෘවරයෙක් වෙන්න කියලා කිව්වාම මොකද හිතුණේ? ඒක මට ලැබුණු නියත විවරණයක් වගේ. හැබැයි මම අරමුණ ඉටු කරගන්න රේස් දිව්වේ නෑ. බොහොම ඉවසීමෙන් මේ ගමන ආවේ. පත්තරයක කර්තෘ කෙනෙක් වෙන්න මට අවුරුදු විස්සකට වැඩි කාලයක් ගතවුණා. * රුක්මණී දේවිය පවා ඔබේ සමීප මිතුරියක් බවට පත් වෙනවා? ඔව්. ඒක සොඳුරු මතකයක්. දයානන්ද රොඩ්රිගෝ අධ්‍යක්ෂණය කළ ‘අනූෂා’ චිත්‍රපටයේ තිර කතා රචකයා හා සහාය අධ්‍යක්ෂවරයා වුණේ මම. එහි රුක්මණී දේවියට දෙබස් පුහුණු කිරීමේ කාර්යය අධ්‍යක්ෂවරයා පැවරුවේ මට. ඒ මම ‘සරසවිය’ පත්තරේට සම්බන්ධ වුණ මුල්ම අවධියේ. දෙවියනේ, රුක්මණී දේවිට දෙබස් පුහුණු කරන්න මම. දෙගිඩියාවක්, චකිතයක් මට ඇති වුණා එවෙලේ. * ඒත් කොහොම හරි වැඩේ කළා? රුක්මණීට තේරුණා මගේ චකිතය. ඇය කාමරයකට මාව එක්කරගෙන ගිහින් ‘අර්නස්ට් මල්ලි, මෙතන රුක්මණී දේවි නෑ, අර්නස්ට් වඩුගේ කියන ජ(ර්)නලිස්ට් නෑ, මෙතන ඉන්නේ සහාය අධ්‍යක්ෂවරයා. ඔයා ස්ක්‍රිප්ට් රයිටර්, මම මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය. මට වැරැද්දක් වුණොත් ඒක කියලා දෙන්න ඔයාට අයිතිය තියෙනවා’ කියලා ඇය මාව පුදුම විදිහට ධෛර්්‍යවත් කළා. මගේ අත් දෙකම අල්ලාගෙනයි ඇය එහෙම කිව්වේ. * රුක්මණී වගේ ජනකාන්ත නිළියක් ඔබ වගේ නවකයකුගේ අතින් අල්ලපුවහම ඇත්තටම මොකද හිතුණේ? මේ අත් දෙක හෝදන්නේ නැතිව තියා ගන්න හිතුණා. ඇය ඒ තරමටම ඉහළම තලයේ සිටි නිළියක්, ගායිකාවක්. * ඔබේ පත්තර කලා ජීවිතය ඇරඹෙන්නේ ‘සරසවිය’ පුවත්පතින්? වෘත්තීය මාධ්‍යය ජීවිතය ඇරඹෙන්නේ එතනින්. 1964 දී. එතකොට ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා. නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ. අලුත් ලේඛකයෙක් වුණාට නිදහසේ වැඩ කරන්න ඔවුන් මට ඉඩ දුන්නා. ලොකු ස්ටාෆ් එකක් හිටියෙත් නෑ. ඒ කලේ පත්තරේ පිටු සකස් වුණේ ලඩ්ලෝ මැෂින් එකේ. ඊයම් අකුරුවලින්. සමහර දාට ෆෝමන් මහත්තරුන්ගේ අනුදැනුම පිට අපිත් යනවා කරෙක්ෂන් දාන්න. මම, සෝමවීර සේනානායක වගේ අය. අතේ මජන් තවරගෙන අපි ඒ වැඩ කළේ බොහොම ආසාවෙන්. ඒ තාක්ෂණික දැනුම පසු කලෙක දැවැන්ත පත්තර ආයතනයක් බිහි කරන්නට මට ඉවහල් වුණා. * ඔබ මුල්ම වැටුප ලබන්නේ ලේක්හවුස් ආයතනයෙන්? ඔව්. මුලින්ම රැකියාවකින් කියලා මම මාසික වේතනයක් ලැබුවේ ලේක්හවුසියෙන්. ඒ මුදල රුපියල් 325 යි. වසර පහළොවක් මම ‘සරසවිය’ පුවත්පතේ සේවය කළා. 1980 වසරේ තමයි ඉන් ඉවත් වුණේ. * ඉන් පස්සේ? ආතර් යූ. අමරසේනගේ පත්තරවලට මම විශේෂාංග ලිපි ලිව්වා. එහෙම ඉන්න කොට බන්දුල පද්මකුමාර මහත්මයා ‘සරසි‘ නමින් පුවත්පතක් පළ කරන්නට යන බවත් එහි විශේෂාංග කර්තෘ ධූරය මට බාර ගන්නා ලෙසත් ආරාධනා කළා. ඉන් පස්සේ ඔහු මෙරට මුල්ම සංගීත පුවත්පත වූ ‘සත්සර’ ආරම්භ කළා. එහි විශේෂාංග කර්තෘ ධූරය ඔහු බාර දුන්නේත් මට. ඇත්තටම බන්දු මට පූර්ණ නිදහස දුන්නා ඒ කටයුතු කරගෙන යන්න. * ඉන් පසු ඔබේ පුරෝගාමිත්වයෙන් ‘රස’ ප්‍රකාශන ආයතනය බිහි වෙනවා. එය මා හිතන්නේ ඔබේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂී කාල පරිච්ඡේදයක්? ප්‍රීතිරාජ් වීරරත්න ‘නොම්මර 17’ චිත්‍රපටයේ නිෂ්පාදකයා විදිහට ජනප්‍රිය වෙලා හිටපු යුගයේ ඔහුට අවශ්‍ය වුණා නිකං විනෝදයට වගේ සිනමා සඟරාවක් කරන්න. පත්තර ඒජන්සිවලට ගිහින් ඔහු සමීක්ෂණයක් කර තිබුණා කවුද ජනප්‍රිය සිනමා පත්තරකාරයා කියලා. ඒ හැම තැනකින්ම එයාට කියලා තියෙන්නේ අර්නස්ට් වඩුගේ කියලා. දවසක් මාළිගාවත්තේ අපේ නිවසට ප්‍රීති ආවා ශෂී විජේන්ද්‍ර හා ලාල් වීරසිංහ එක්ක. ‘රස’ ප්‍රකාශන ආයතනය බිහි වුණේ එදා අපි අතර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට. * ‘රස’ ප්‍රකාශන හරහා ඔබ පුවත්පත් කිහිපයකක්ම අපේ පාඨකයාට හඳුන්වා දෙනවා? ‘රස’ සිනමා පත්තරයෙන් තමයි අපි ඒ කාර්යයට මුල පිරුවේ. ඊට පස්සේ සුවඳ, බිරිඳ, සුමියුරු, ජීවිතය, සම්පත, කුමාරයා, ඈ වගේ පුවත්පත් සඟරා අපි පාඨකයා වෙත ගෙන ගියා. පුංචි කර්තෘ මණ්ඩලයකින් ආරම්භ කළ ඒ ආයතනය ටික කලකින් ලංකාවේ ජනප්‍රිය පුවත්පත් ආයතනයක් බවට පත් වුණා. මගේ දියණිය මධාරා වඩුගේ ඒ වෙනකොට කොළඹ ආනන්ද බාලිකා විදුහලේ සිප් සතර නිමා කරලයි හිටියේ. මගේ අනාගත කිරුළ ඇයට බාරදීමේ අටියෙන් මම ඇයව ‘රස’ නිවසට කැඳවාගෙන ආවා. ඉතා කෙටි කලකින් ‘රස’ පත්තරේ වැඩි වගකීම මාධාරාට බාර දෙන්නට තරම් ඇය ජනප්‍රිය වුණා. * නවක පුවත්පත් කලාවේදීන්, වේදිනියන් රැසක් ඔබ ‘රස’ පුකාශන හරහා ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා? චන්දි කොඩිකාර, චමිලා නුවන්කුමාරි, හේම ශ්‍රී අමරසිංහ වගේ කිහිප දෙනෙක් එකතු කරගෙන තමයි මේ ආයතනය මම ආරම්භ කළේ. ඒත් පසු කලෙක රස නිවසට සම්බන්ධ වී ජනප්‍රියත්වයට පත් වූ මාධ්‍යවේදීන්, වේදිනියන් රාශියක් ඉන්නවා. * ඒ වන විටත් ඔබ සිනමා පුවත්පත් කලාවේදියකු ලෙස ඉහළ නමක් දිනා සිටියේ. ‘රස’ පුවත්පත ආරම්භ කළේ ඒ අත්දැකීම් සහ පළපුරුද්ද නිසයි. ඒත් ජනප්‍රියතම යොවුන් හා කාන්තා පුවත්පත් දෙකක් ඔබ අතින් බිහි වෙනවා? තනි පුවත්පතකින් ආයතනයක් පවත්වාගෙන යන්න අපහසුයිනේ. ඒ නිසයි ‘සුවඳ’ හා ‘බිරිඳ’ පුවත්පත් ආරම්භ කළේ. ‘සුවඳ’ තමයි මෙතෙක් පිටපත් ලක්ෂය ඉක්මවා මෙරට අලෙවි වූ එකම යොවුන් පුවත්පත. එය වාර්තාවක්. මැද පෙරදිග වැඩියෙන්ම අලෙවි වූ පුවත්පත ‘බිරිඳ’යි. එහි පිටපත් පනස් දහසක් එතෙර දී අලෙවි වුණා. ඊට පස්සේ මම ‘සුමියුරු’ සංගීත පුවත්පත ආරම්භ කළා. එය සංගීත ක්ෂේත්‍රයේ කාගේත් සිත්ගත් පුවත්පතක් වුණා. අනෙක් පුවත්පත් සඟරා මගේ අතින් බිහි වෙන්නේ ඊට පසුව. * මම හිතන්නේ ඔබ එකල ගත කළේ ඉතාමත් කාර්යබහුල දිවි පෙවෙතෙක්. එය වෙහෙසකර කාර්යයක් වුණේ නැද්ද? අපොයි නැහැ. මම හිතන විදිහට උනන්දුව, ආසාව, කැපවීම තියෙනවා නම් ඕනෑම අභියෝගයක් අපට ජයගන්න පුළුවන්. සතුටක් මිසක් කවදාවත් පත්තර රස්සාවේ මට වෙහෙසක්, මහන්සියක් දැනුණේ නෑ. වෘත්තියක දැඩිව නියැලිලා ඉන්න කොට ඉන් පරිබාහිර දෙයක් නැති තරම්. අද නවකයෙකුගෙන් ඇහුවොත් එක පාරට කියන්නේ ඡ්ඤඪබධප කෙනෙක් වෙන්න ආසයි කියලා. ඒත් සුදුසුකම් මොනවද බැලුවාම නිසදැස් කවියක්, දෙකක් විතරයි ලියලා තියෙන්නේ. * කලක් නළු නිළියන්, සිනමා ශිල්පීන්ගෙන් තොර ලෝකයක තිබුණේ නෑ ඔබට? ඒක නම් ඇත්ත. එඩී ජයමාන්න, රුක්මණී දේවිගේ ඉඳන් විශ්ව කොඩිකාර, මහේෂි මධුසංඛා දක්වා නළු, නිළියන් මම ඇසුරු කරලා තියෙනවා. ඔවුන් ගැන ලියලා තියෙනවා. සමහර අය ක්ෂේත්‍රයට හඳුන්වා දීලා සිනමාවේ භෞතීස්ම කළේ මම. දිල්හානි ඒකනායක ඉස්සර ‘අශෝකමාලා’ කෑල්ල භාවිත කළේ නෑ. මම තමයි ඇයට ඒ නම භාවිත කරන්න කියලා කිව්වේ. ඒ වගේම ඇයට ‘පුංචි ශ්‍රී දේවි’ කියන නම පට බැන්දෙත් මමයි. ශ්‍රී දේවී උන්මාදයක් ඒ කාලේ අපේ රසිකයන්ට තිබුණා. ඒක දිල්හානිගේ ජනප්‍රියතාවයට කදිම රුකුලක් වුණා. * නවක නළු, නිළියන් ඕනෑවට වඩා පත්තරවලින් පුම්බනවා කියලා ඒ කාලේ ඔබට චෝදනා නැගුණා? අතුපතර විහිදුණ රූස්ස ගහකට වතුර දාලා පොහොර දාලා හදන්න වුවමනාවක් නෑ. එහෙම සාත්තු සප්පායම් කරලා හදන්න ඕනෑ පැලයක්. පුවත්පත් කලාවේදියකුට දුරදක්නා නුවණක් තියෙන්න ඕනෑ. එයාට අවබෝධය තියෙන්න ඕනෑ. මම මගේ මාධ්‍යය ආයතනයට ගත්ත බොහෝ දෙනෙක් අද ඉහලම තැන්වල ඉන්නවා. එක්කෝ මම ළඟ වැඩ කරපු අය. නැතිනම් මම අත හිත දුන්න අය. * කලාකරුවකුගේ සිතැඟියාවන් හොඳින් හඳුනන ආදරණීය ලේඛකයකු හැටියටත් ඔබ ප්‍රකටයි? බොහෝ නළු, නිළියන්ගේ ලිපි ඒ කලේ මම ‘සරසවිය’ ට ලිව්වේ ඔවුන් එක්ක සම්මුඛ සාකච්ඡා නොකර. දවසක් මම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ලිපියක් පළ කළා. ‘උන්නැහේට පරචිත්ත විජාණන ඥාණය තියනවා ද කොහෙද මගේ අදහස්මනේ ලියලා තියෙන්නේ, බොහොම හොඳයි, බොහොම හොඳයි’ කියලා ඒ ලිපිය බලලා ගාමිණී කිව්වා මට අද වගේ මතකයි. මාලිනී ෆොන්සේකාගේ ලිපි පවා මම එහෙම ලියලා තියෙනවා. * මේක කන්න දුන්න අත හපා කන ක්ෂේත්‍රයක් හැටියටත් සමහරු හඳුන්වනවා නේ. ඔබට නැති ද එවැනි අමිහිරි අත්දැකීම්? නෑ. ඇත්තටම මට නම් එහෙම වෙලා නෑ. අද මම සෘජුවම පුවත්පතකට සම්බන්ධ නැතුවට ඒ පැරැණි හිතවත්කම් එහෙම්ම තියෙනවා. දැන් පසුගිය 31 වැනිදා සවස ඉඳලා පහුවදා උදේ වෙනකල් මගේ දුරකතනයන්ට ඇමතුම් රාශියක් ලැබුණා. කෙටි පණවිඩ ලැබුණා. සමහරු යන එන කොට ගොඩ වෙලා යනවා. ආශ්‍රය කරනවා. මැද පෙරදිගෙන් බිරිඳ පාඨකයෝ තවමත් කතා කරනවා. * ඇයි පත්තර ලෝකයෙන් මඳත් ඈත් වෙලා වගේ? කර්තෘ කෙනෙක් හැටියට කර්තෘ පුටුවේ නොසිටියාට මම විවිධ අංශවලින් මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. හැමදාම ඔය F. M නාළිකාවල යම් යම් දේ ගැන මගෙන් ප්‍රශ්න විමසනවා. තොරතුරු දැන ගන්නවා. දැන් ඔය ඒ නාළිකාවල ප්‍රචාරය වෙන ගොඩක් වැඩ සටහන්වලට තරු තොරතුරු දැන ගන්නේ මගෙන්. * නැවත සිනමා පත්තරයක් කරන්න අදහසක් නැද්ද? එහෙම කරනවා නම් ‘රස’ පත්තරේ කළ තත්ත්වයෙන්ම ඒක කරන්න ඕනෑ. අද වැඩේ වෙලා තියෙන්නේ සිනමා ශිල්පීන්ගෙන් පවා සිනමා පත්තර ගිලිහිලා ගිහින්. ඒක හරි වැරදියි. ඉස්සර ගාමිණී ෆොන්සේකා ගල්කිස්සේ ඉඳන් අලුත් හෙට්ටි වීදියේ කලා කාර්යාලයට එනවා ‘කලා’ සඟරාව කලින් ගන්න. එහෙම උනන්දුවක් තිබුණේ එදා. ගුණරත්නම් හම්බවෙන්න අවිත් ආරියරත්න කහවිටගේ සෙක්ෂන් එකටත් ඇවිත් කලින් පත්තරයක් ඉල්ලගෙන බලලා යන්නේ. ඒ සමහර වෙලාවට අපිත් ඉන්නවා. සිනමා පත්තරයකට අද තියෙන ඉඩ සිනමා ශිල්පින් විසින්ම අවහිර කර තිබෙනවා. ‘සරසවිය’ පුවත්පත මිනිසුන් අතර කාලයක ඉඳන් තියෙන නිසා, ලේක්හවුසිය වගේ දැවැන්ත ආයතනයක් එය මුද්‍රණය කරන නිසා තවම පවත්වාගෙන යනවා. එය සතුටට කරුණක්. * ජාතික පුවත්පතක් බිහි කිරීමේ අභිලාෂයක් කලකට පෙර ඔබේ සිතේ තිබුණා? ඔව්. ඇත්තටම මේ වෙනකොට ඊට සුදුසු නමක් පවා ලියාපදිංචි කරලයි තියන්නේ ‘ඉරිදා රස’ කියලා. ජාතික පුවත්පතකට දේශපාලනයත් ඉතින් අවශ්‍යමනේ. අද දේශපාලනය ඉතාමත් නීරස, තුච්චසහගත තත්ත්වයකට පත් වී තිබෙනවා. අද මධ්‍යස්ථ ජාතික පුවත්පතක් කරන්න බෑනේ. එක්කෝ එක පැත්තකට අන්ත ගැති වෙන්න ඕනෑ. නැතිනම් අනෙක් පැත්තට ජන්මාන්තර සතුරු වෙන්න ඕනෑ. නමුත් සිනමාව එහෙම පිළිකුල් සහගත තත්ත්වයට තාම පත්වෙලා නැහැ. ඉතින් ඔය තත්ත්වය නිසා ජාතික පුවත්පතක් කිරීමේ අදහස මගෙන් ගොඩක් දුරට ගිලිහිලා ගිහිනුයි තියෙන්නේ. * කෙසේ වුවත් අර්නස්ට් වඩුගේ කියන නවකතාකරුවා අද පාඨකයන් අතර වඩාත් ජනපි‍්‍රයත්වයට පත්ව සිටිනවා? මගේ කලා දිවියට පනස් වසරක් සපිරි මොහොතේ අලුත් නව කතාව එළිදැක්වූවා ‘නිළියකගේ විවාහය’ නමින්. දැනටමත් එහි ප්‍රථම මුද්‍රණය අලෙවි වී අවසන්. මගේ දයාබර පාඨකයෝ සැමටම මේ මොහොතේ මගේ ප්‍රණාමය පුද කර සිටිනවා. ලේක්හවුස් ආයතනයේ ඉන්නකොට තමයි මම මගේ මුල්ම නවකතාව ලිව්වේ ‘ආදරය මිහිරක් නොවේ’ කියලා. ඊට පස්සේ මම ‘සුවඳ’ පත්තරයට කොටස් වශයෙන් ලියූ ‘පිනිකඳුළු’ නවකතාව අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. එම නවකතාව කොටස් දෙකකින් යුක්තව පාඨකයන්ට තිළිණ කළා. ‘අමිල මල්’, ‘ඇය පූජනීයයි’, ‘දේවතාවියේ’, ‘මුහුද තාමක් අහිංසකයි’, ‘මගේ මැණික’, ‘සංකලනී’, ‘සුපුන් සඳක්’ මා රචිත අනෙකුත් නවකතායි. * ඔබේ නවකතා බොළඳයි කියා සමහරු කියනවා. මොකක්ද ඒකට දෙන පිළිතුර? ඒ ප්‍රශ්නය අහපු එකත් හොඳයි. බොළඳ කියන එක ඉතින් ඔය කුහකකමට හදාගත්ත ඒකක්. නවකතාවකට වස්තු විෂය විය යුත්තේ පූකවරයෙක් ද, ශාස්ත්‍රඥයෙක් ද, තරුණ තරුණියන් ද කියලා තීරණය කරන්නේ ඒක ලියන කෙනා. සමාජයේ ජීවත්වන චරිතනේ ඔහු ඈඳා ගන්නේ. එතකොට යොවුන් තරුණයකුගේ චරිතය නිරූපණය කරද්දිත්, සසර කලකිරීමට මහණ දම් පුරන භික්ෂූවකගේ චරිතය නිරූපණය කිරීමේදීත් හාත්පසින්ම වෙනස් විදිහට ඒ චරිත ගොඩ නඟන්න තියෙන්නේ. මගේ බොහෝ නවතාවල ප්‍රස්තූතය ආදරයයි. ආදරය තමයි ජීවිතය ජීවත් කරවන්නේ. පෙම් යුවළක් මුහුදු වෙරළේ දෑත් පටලවාගෙන ඇවිදින එක බොළඳද? පෙම්වතා පෙම්වතියගේ දෙකපුල් සිප ගන්න එක අශිලාචාරකමක් ද? * ඔබේ නවකතාවලින් නිරූපණය වන්නේ ආදරයේ ඒ විචිත්‍රත්වය? කෙනෙක් ආදරය බුක්ති විඳින්නේ ඔය කියන බොළඳත්වය උඩ. ඒ සුරතල්, දඟකාර බවේ තමයි ආදරයේ අහිංසකත්වය රැඳිලා තියෙන්නේ. බොළඳ කියන වචනය නෙවේ ඇත්තටම මම යොදන්නේ ‘සුන්දරත්වය’ කියන වචනය. සුන්දරත්වය නැතිනම් ආදරයක් නැහැ. බොළඳ නවකතා ලෝකයේ කොහේවත් බිහි වෙලා නෑ. ‘රෝමියෝ ජුලියට්’ පවා ආදර කතාවක්. ඔය සම්භාව්‍ය කතාවලත් තියෙන්නේ ආදරය තමයි. තමන්ගේ පෙම්වතිය ඉදිරියේ දණ ගහපු විප්ලවවාදීන් ගැන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. * අද මේ සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රායෝගිකව අත් නොවිඳින්නෙත් ඔය ආදරයම තමයි? අද මේ සමාජයෙන් ආදරය, කරුණාව බොහෝ සෙයින් දුරස්ව ගිහින්. ඉන්ජෙක්ෂන් එකක් ගහලා ආදරය එන්නත් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. අද කිරි සප්පයෝ ගංගාවල පාවෙනවා. අම්මගේ උකුලේ ඉන්න ඕනෑ දරු පැටව් වැසිකිලිවලවල්වල. වයෝවෘද්ධ පුරුෂයෝ මල් වගේ පුංචි දරුවෝ දූෂණය කරනවා. අම්මා තාත්තාට නෑ. තාත්තා අම්මාට නෑ. මොකද වෙලා තියන්නේ එකිනෙකාගේ සිත් සතන්වලින් ආදරය කියන එය ගිළිහිලා ගිහින්. රජයෙන් වෙනම ආදර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටුවන තරමට මේ ප්‍රශ්නය දුර දිග ගිහින්.
|